ඔබගේ ලේවලට දුක්‌ දෙන්න එපා

තරුණ සේවිකාවන් විශාල සංඛ්‍යාවක්‌ සේවය කරන ආයතනයක 1950 වර්ෂයේ සිට 1955 වර්ෂය අග දක්‌වා මම සේවය කළෙමි. එහි සේවයට ගොස්‌ මාස කීපයක්‌ ගත වන විට එහි සේවයේ නියුතුව සිටි තරුණ සේවිකාවක්‌ මට විවාහ යෝජනාවක්‌ ඉදිරිපත් කළාය. ඇය ගෙනා යෝජනාව ඇය වෙනුවෙන් නොව වෙනත් උසස්‌ සේවිකාවක්‌ වෙනුවෙනි. එම උසස්‌ සේවිකාවගේ පෙළඹවීම අනුව ඉහත කී තරුණ සේවිකාව මා වෙත යෝජනාව ඉදිරිපත් කළාය.

උසස්‌ සේවිකාවගේ නම සඳහන් කළ තරුණ සේවිකාව මෙසේ කීවාය. අසවල් නෝනා සර් ගැන අදහසක්‌ ඇති කර ගෙන ඉන්නවා. ගම්පහ පැත්තේ හොඳට ඉඩ කඩම්, ගේ දොර ඒ නෝනාට තියෙනවා. හරි හොඳ නෝනා. ගති ගුණ අතින් හරි හොඳයි. ඇත්තටම සර්ට හොඳට ගැලපෙනවා.

මේ වචන ඇසෙත්ම මගේ ගත කිළිපොළා ගියේය. මගේ ජීවිතයේදී මෙවැනි යෝජනාවක්‌ මට ඉදිරිපත් වුණු ප්‍රථම වතාව මෙය විය. ඒ වන විට මගේ වයස අවුරුදු විසි පහක්‌ විය. ටික වේලාවක්‌ නිශ්ශබ්දව සිටි මම එම තරුණ සේවිකාවට මෙසේ කීවෙමි.

"මම දැන්ම විවාහ වෙන්න අදහසක්‌ නෑ. ඒ මොකද අපේ ගමේ ගෙදර තවම විවාහ නොවුණු බාල සහෝදරියක්‌ ඉන්නවා. එයාට තවම විස්‌සක්‌වත් නෑ. එයාගෙ කටයුතු කරන්න ඉන්නෙ මමයි. මල්ලි කෙනෙක්‌ තවම ඉගෙන ගනන්වා. අම්මා ගම ඉන්නවා. මාසයකට වරක්‌ ගමට ගිහින් ඒ ගොල්ලන්ගෙ දුක සැප බලන්න ඉන්නෙ මමයි." මෙසේ කී මම නැවතත් මෙවැනි අදහසක්‌ද ප්‍රකාශ කළෙමි.

ඇරත් මම රැකියාවක්‌ කරන කෙනෙක්‌ කසාද බඳින්න අදහසක්‌ නෑ. මුල ඉඳලාම මම හිතාගෙන ඉන්aනෙ එහෙමයි."

සේවිකාව නැවතත් දිනෙක කාර්යාලයට විත් මා තනියම සිටින වෙලාවක යෝජනාව අලුත් කළාය.

මේ නෝනාට හුඟක්‌ දේපළ තියෙනවා. කිසිම අඩුපාඩුවක්‌ නෑ. රස්‌සාවට ඇවිත් තියෙන්නෙ ගිලනුන්ට උපස්‌ථාන කිරීමේ ආශාවෙන්. සර්ගෙ කැමැත්ත දුන්නොත් තව අවුරුදු තුනක්‌ විතර උනත් බලා ඉන්න නෝනා සූදානම්."

"නෑ ඒක ගැන අමතක කරන්න කියන්න. මගේ අනිත් වගකීම් ඉෂ්ට කරලා ඉවර වෙලා තමයි මා ගැන හිතන්න ඕන. මේ අදහස්‌ ස්‌ථිරයි කියන්න."

මම ස්‌ථිර ලෙසම කීමි. මේ කතාව එම සේවිකාවන් දෙදෙනාටත් මටත් සීමා වූවක්‌ බව මට විශ්වාසය.

මා තුළ ඇති වූ ලඡ්ජා ගතියක්‌ නිසා මම එකී උසස්‌ සේවිකාවට මුහුණ නොදී සිටීමට හැම විටම උත්සාහ කළෙමි.

මාස කීපයක්‌ ගතවිය. එම ආයතනයේ වෙනත් සේවයේ නියුක්‌තව සිටි තරුණයෙක්‌ ඉහත කී උසස්‌ සේවිකාවට ඇල්මක්‌ දක්‌වන බව අසන්නට ලැබිණ. දිනක්‌ ඔහු මා සමග කතා කරමින් සිටින විටෙක කලින් සඳහන් කැරුණු උසස්‌ සේවිකාව අප ඉදිරියෙන් ගමන් කළාය.

මඳක්‌ කලබල වූ ඔහු ඇය කෙරේ සැලකිල්ලක්‌ දක්‌වන බව කියා පෑමට දෝ "හරි ලස්‌සන ගමන නේ? ඔය ගමනට නේද ඇත් ගමන කියන්නෙ?" යි මගෙන් ඇසීය. සැබවින්ම සම්පූර්ණ සුන්දර පෙනුමක්‌ ඇති ඇයගේ ගමනද "ඇත් ගමනට" සමාන කළාට වරදක්‌ නැත. මම ඔහුට වචන දෙකකින් පිළිතුරු දුනිමි.

"ඔබ හරි" යනු ඒ වචන දෙකයි. 

මේ නිලධාරියා තරුණයකු වශයෙන් හඳුන්වනු ලැබුවද ඔහු විවාහ වී ළමයින්ද තිදෙනකු සිටින පියකු බවට බොහෝ දෙනා දැන සිටියහ. ඔහු මුලින් හමුදාවට බැඳී සිටි කෙනෙකි. ඒ කාලයේ හමුදාවේ සිටින කෙනකු විවාහකයකු නම් ඔහුට වැඩි වැටුපක්‌ ලැබිණ. මේ නිසා ඔහු විවාහ වී මේ වන විට දරුවන් තිදෙනකුගේ පියකුව සිටියේය.

මේ ආයතනයේ කිසියම් රැකියාවක්‌ සඳහා පුවත්පත්වල පළ වූ දැන්වීමක්‌ දැක මේ තැනැත්තා අයදුම් පතක්‌ ඉදිරිපත් කර තිබුණි. සම්මුඛ පරීක්‌ෂණයෙන් මේ තැනැත්තා තෝaරා ගනු ලැබුයෙන් පුහුණුව සඳහා එංගලන්තයටද ගොස්‌ පැමිණියේය. එසේ ආපසු පැමිණි ඔහුට තනතුරේ උසස්‌ වීමක්‌ද ලැබුණි. මේ වන විට ඔහු අවිවාහකයකු සේ කාලය ගත කළේය. තම බිරිඳගේ හා ළමයින් තිදෙනා ගේ පැමිණීම ඔහු සම්පූර්ණයෙන් තහනම් කර තිබුණි.

වැඩි දිනක්‌ යන්නට පෙර "ඇත් ගමනින් යුත්" තරුණිය සමග මේ තැනැත්තා විවාහ විය. මේ තරුණයා විවාහකයකු බවද දරුවන් තිදෙනකුගේ පියකු බවද මේ තරුණියද දැන දැනම විවාහය සිදු වූ බවට සැක නැත.

ප්‍රථම බිරිඳට හා දරුවන් තිදෙනාටද දුක්‌ දීම සම්බන්ධයෙන් මෙම ආයතනයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ දිනක්‌ අපට මෙබඳු උපදෙසක්‌ දුන්නේය.

"ඕවා මෙලොවදිම සහගහන වැඩ. "නෙව මේක්‌ යුව බ්ලඩ් ටු සපර්." ඔබගේ ලේවලට කවදාවත් දුක්‌ විඳින්න සළස්‌වන්න එපා. උඹලා හොඳට මතක තියාගනිල්ලා. ඒ මහතා අප ඇමතුයේ උඹලා යනුවෙනි.

තමාට ජාතක වූ දරුවනට දුක්‌ විඳින්නට ඉඩ තැබීම තම ලේවලට දුක්‌ විඳින්නට සැළසීමක්‌ බවයි ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අපට පෙන්වා දුන්නේ.

මම ඒ අයතනයෙන් මාරු වී ගොස්‌ වෙනත් ආයතනයක සේවය කරන කාලයේ මට අසන්නට ලැබුණේ දුක්‌බර ආරංචියෙකි. මේ නව යුවල ක්‌ෂය රෝගය වැළඳී මියගිය බවයි ඒ ආරංචිය. එකල ක්‌ෂය රෝගය මාරාන්තික රෝගයක්‌ ලෙස සලකනු ලැබිණ.

ආනන්ද විජයවීර