ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රිකට් තරග පැවැත්වෙන අවස්‌ථාවන්හිදී තරගය හැරුණු විට විස්‌තර විචාරකයන්ගේ වැඩි අවධානයක් යොමුවනුයේ ගාලු ඓතිහාසික කොටු පවුර වෙතය.
සැබැවින්ම විස්‌මිත නිර්මාණයක් වන ගාලු කොටුවේ ඉදිකිරීම දෙස කතා කරද්දී එම විචාරකයන් ගාලු කොටු පවුරේ ඔරලෝසු කණුවේ වේලාව අක්‍රිය තත්ත්වයේ පවතින බැව් මුළු ලොවටම පෙන්වූයේ වරක් දෙවරක් නොවේ.
දශකයකට ආසන්න කාලයක් ගාලු කොටුවේ ඓතිහාසික ඔරලෝසු කණුවේ වෙලාව ක්‍රියාත්මක වූයේ නැත. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින ක්‍රිකට් විචාරකයන් හා කැමරා ශිල්පීන් මෙම ඔරලෝසු කණුව උපුටා දක්‌වද්දී එය ජාත්‍යන්තරය වෙත යැම නගරයක් ලෙස මෙන්ම රටක් ලෙස ද අවමානයට කරුණක්‌ව පැවැතිණි.
වෛද්‍ය අන්තෝනිස් මහතා
නමුත් අද වන විට ගාලු කොටු පවුරේ හෝරාමානය නැවතත් පණගැන්වී ඇත්තේ එහි පවත්නා පුරාවිද්‍යාත්මක වටිනාකමට අංශුමාත්‍රික හෝ හානියක් නොවන පරිද්දෙනි.
ඒ ගාල්ල දක්‍ෂිණ නාවික කඳවුරේ ඉංජිනේරු ශිල්පීන් අතිනි. එපමණක් නොව, රාත්‍රි කාලයේදී ද වේලාව බලා ගත හැකි ලෙස පවත්නා එකම ඓතිහාසික ඔරලෝසු කණුව ලෙසද ගාලු කොටු පවුරේ ඔරලෝසු කණුව නාවික හමුදාවේ ඉංජිනේරු ශිල්පීන් විසින් වැඩි දියුණු කරනු ලැබ ඇත.
ගාලු කොටු පවුරේ ඔරලෝසු කණුව ඉදිකිරීමේ කටයුතු මුලින්ම ආරම්භ වන්නේ 1882 වසරේදීය.
එවකට ගාල්ල නගර සභාවේ සභිකයකු වූ එංගලන්ත වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන පී. ඩී. අන්තෝනිස් මහතා (1822-1903) වෙනුවෙන් ඉදිකරනු ලැබ ඇත්තේ කොස්‌ගොඩ පදිංචිව සිටි මුදලිවරයකු වන සැම්සන් ඩී. ආබෲ රාජපක්‍ෂ මහතා විසින් බැව් ඉතිහාසයේ සඳහන් වේ.
සැම්සන් ඩී. ආබෲ මුදලිවරයා වෙත වැළඳී තිබූ රෝගයක් සුවපත් කිරීම හේතුවෙන් සතුටට පත් මුදලිවරයා තමා වෙත ප්‍රතිකාර කරනු ලැබූ අන්තෝනිස් වෛද්‍යවරයා සිහිවීම පිණිස මෙම ඔරලෝසු කණුවේ වැඩ අරඹන ලද්දේ 1882 වසරේදීය.
මෙකී ඔරලෝසු කණුව තිබූ ස්‌ථානයේ ක්‍රි.ව. 1882 වසරට ප්‍රථම ලන්දේසීන් ඉදිකළ ඝණ්‌ඨාර කුළුණක් තිබී ඇති අතර එකී ඝණ්‌ඨාර කුළුණ එම ස්‌ථානයෙන් ඉවත් කොට ඔරලෝසු කණුවට පදනම දමා ඇත.
මෙකී ඔරලෝසුවේ මුහුණත හා 1822 දී ලන්ඩනයේ මොරිසන් ඇන්ඩ් සන්ස් නමැති සමාගම මගින් නිපදවනු ලබා ඇති අතර සීනුව නිපදවා ඇත්තේ 1882 කාඩිෆ් එස් විල්ස් නමැති සමාගම මගිනි. මෙසේ ඉදිකරනු ලැබූ ඔරලෝසු කණුවේ වේලාව ප්‍රදර්ශනය කිරීම ඇරඹී ඇත්තේ 1907 වර්ෂයේදීය.
කෙසේ වෙතත් එතැන් සිට අසූව දශකයේ අගභාගය දක්‌වාම මෙකී ඔරලෝසුවේ වේලාව නොකඩවා ප්‍රදර්ශනය කරනු ලැබිණ.
නමුත් අසූව දශකයේ අග භාගය වන විට මෙම ඔරලෝසු කණුවේ වෙලාව සටහන් වීම අක්‍රිය තත්ත්වයට පත්විණි.
ඒ පිළිබඳව සිදු වූ අපූරු කතාන්දරයක් අප සමඟ කීවේ ගාලු උරුමය සභාපති පරාක්‍රම දහනායක මහතායි.
ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ එතුමා ගාල්ල සංචාරයක නිරත වුණා. මෙම සංචාරය වෙලාවෙ ගාලු කොටුවේ ඔරලෝසුව අක්‍රියව පැවැතීම ගැටලුවක් වුණා. නමුත් හදිසියේ ඔරලෝසු කණුව හදන්න එදා නගර සභාවට පුළුවන්කමක් තිබුණෙත් නෑ.
මේ නිසා එදා නගර සභාවේ ඇය කළේ සේවකයකු යොදා ජනාධිපතිතුමන් ඇවිත් ආපසු යනකම් ඔරලෝසුවේ වේලාව සඳහන් කටු අතින් කැරකැවීමට සැලැස්‌වීමයි. දහනායක මහතා පැවැසීය. ගාලු කොටුවේ ඔරලෝසුවේ තාක්‍ෂණය අනුව ගෙවී ගිය කොටස් අලුත්වැඩියා කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.
නමුත් හිටපු නගරාධිපතිවරයකු වන වත්මන් නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතාහට ද ගාලු ඔරලෝසු කණුව ක්‍රියාත්මක කරවීමේ දැඩි වුවමනාවක් විණි.
පැරණි ඔරලෝසුව ක්‍රියාත්මක කරවීමට තාක්‍ෂණය නොමැතිවීම හේතුවෙන් පැරණි යන්ත්‍රය එසේම තිබියදී නව යන්ත්‍රයක් යොදාගෙන ගාලු කොටුවේ ඔරලෝසුව නැවත පණගැන්වීමට ලයනල් ප්‍රේමසිරි නගරාධිපතිවරයාගේ යුගයේ පියවර ගැනුණි. ලයනල් ප්‍රේමසිරි පාලන යුගය අවසන් වීමත් සමඟම ගාල්ලේ කොටුව ඔරලෝසුවේ ද කටු නතර විණි.
කලක් ගෙවී ගියේය. ගාලු කොටුවේ ඔරලෝසුව මෙසේ අක්‍රියව පැවැතීම ගාලු උරුමය පදනමට, නගර සභාවට, පුරාවිද්‍යා අංශවලට දැඩි හිසරදයක්‌ව පැවැතිණි.
නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතා ද ගාල්ල නගරාධිපතිවරයා වෙත මෙම ඔරලෝසුව නැවත අලුත්වැඩියා කළයුතු බැව් පෙන්වා දී තිබුණි.
මේ අතරවාරයේ මෙකී කටයුත්ත භාර ගැනීමට ගාල්ල දක්‍ෂිණ නාවික කඳවුරේ නිලධාරීන් ඉදිරිපත්ව සිටියහ.
ඒ සඳහා ගාලු උරුමය පදනම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ගාල්ල නගර සභාව ඇතුළු අදාළ ආයතනවල පූර්ණ සහාය ද ලැබී තිබුණි.
තමන් රට රැකුමට මෙන්ම අනෙකුත් අංශවලට ද සුරුවිරුකම් ඇත්තන් බව පසක් කරමන් කොමදෝරු එස්. ඒ. එස්. අමරසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ලුතිනන් බී. ඒ. ගොඩකන්ද, ලුතිනන් එම්. එන්. එච්. බී. දිනේෂ්, එච්. ඒ. එස්. ශාන්ත, පී. එන්. රූපසිංහ, ඒ. චමත් කුමාර, ඊ. එම්. එන්. ප්‍රියදර්ශන, එස්. ඩබ්. ඡේ. එස්. කුමාර, කේ. එම්. ඒ. එන්. සී. බණ්‌ඩාර, කේ. ඒ. එම්. චානක යන නිලධාරීන් එක්‌ව වසර ගණනක් අක්‍රියව පැවැති ගාලු කොටුවේ ඉපැරණි ඔරලෝසුව සක්‍රිය කරනු ලැබිණි. එපමණක් නොව පැයෙන් පැය හෝරා ගෙවෙන අයුරු දැක්‌වෙන ඉපැරණි සීනුවද නාද වන ලෙස සැකසීමට නාවික හමුදා තාක්‍ෂණික ශිල්පීන් සමත්ව තිබිණි. අප සමඟ අදහස් පැවැසූ මෙම නාවික හමුදා තාක්‍ෂණික ශිල්පීන් සඳහන් කර සිටියේ තමන්ට මෙකී ඔරලෝසුව අලුත්වැඩියා කිරීම සඳහා දැති රෝද පැරණි අමතර කොටස් රැසක් තම යන්ත්‍රාගාරවල නිපදවීමට සිදු වූ බවයි.
කෙසේ වෙතත් ගාලු කොටුවේ ඔරලෝසුව නඩත්තු කිරීමට තමන් වෙත පවරන්නේ නම් එය අඛණ්‌ඩව නඩත්තු කිරීමට නාවික හමුදාවට හැකියාව ඇති බව ද ඔවුහු පවසති.
මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ගාල්ල නගර සභාවේ වැඩ අධිකාරී සුනිල් පියසේන මහතා ඇතුළු නගර සභාවේ වඩු කාර්මිකයන්ගේ සහාය ද ලැබී තිබිණි.
කෙසේ වෙතත් මේ වන විට ගාල්ල කොටුවේ ඔරලෝසු කණුව නිවැරදිව වේලාව දැක්‌වීමට සමත්ව ඇත. එපමණක් නොව රාත්‍රියට වේලාව දක්‌වන දිවයිනේ එකම ඔරලෝසු කණුව ලෙස එය තවදුරටත් වඩා වර්ධනය වී ඇත.
අවි අත දරා සටනට පමණක් නොව අනෙකුත් අංශ සඳහා ද තමන් සුරුවිරුකුම් දක්‌වන බැව් නාවික හමුදාව නැවතත් ඔප්පු කරනු ලැබ ඇත.
නැවතත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ට ගාලු කොටුවේ ඔරලෝසු කණුව අක්‍රියව ඇතැයි ලොවට හුවාදක්‌වමින් කොටුවේ පවත්නා පෞරාණික වටිනාකම හෑල්ලුවට ලක්‌කිරීමට තවදුරටත් හැකියාවක් නැත.
ඓතිහාසික ගාලු කොටු පවුරේ අභිමානය සුරැකීමට ඔරලෝසු කණුව පණගැන්වූ ගාල්ල දක්‍ෂිණ නාවික කඳවුරේ නිලධාරීන් වෙත අපගේ ගෞරවාන්විත උපහාරය හිමිවිය යුතුව ඇත.
එස්. කේ. කළුආරච්චි