කහට කෝප්පයේ පොඟවා ගිලින්නට පාන් කෑල්ලක්‌ ගන්න බැරුව ගමේ එවුන් හූල්ලද්දී වරප්‍රසාද සහිත පන්තිවල එවුන්ට ඇස්‌ටන් මාටින් වර්ගයේ සුපිරි වාහන අහසින් පාත් වෙන රටකි මේ. හෙටක්‌ නැති, අරමුණක්‌ නැති වඳ පීදුණු අධ්‍යාපනයක්‌ උදෙසා අන්තිම පිච්චියත් වියදම් කර දේශපාලන උත්තමයන්ගේ නර්මාලාප වැස්‌සට තෙමෙන, එහෙත් රස්‌සා නැති උපාධිධාරීන්ට කඳුළු ගෑස්‌වලින් උත්තමාචාර දක්‌වන රටකි මේ. කල්ගිය රෙදි වැරලි හැඳ මතු වැඩ සඳහා උගත මනා ශිල්පයෙන් ඇඟට වැටුණු උපාධි ලෝගුව දුම්මැස්‌සේ එල්ලා වඩු බාස්‌ කෙනකුගේ අත් උදව්වට ගොස්‌ පරම්පරාවටම කඳුළක්‌ නොව කඳුළු සාගරයක්‌ ඉතිරි කර අකාලයේ පරවී ගිය යොවුන් කුසුමක ශෝකාන්තයක්‌ අපි මෙසේ සටහන් කරමු.

ඔහුගේ නම රුවන් ශාන්තය. උප්පැන්න සහතිකයේ එන ආකාරයටම කීවොත් ඩබ්ලිව්. එම්. රුවන් ශාන්තය. මාතර දියගහ ඔහුගේ උපන් ගමය. වයස අවුරුදු 27 කි. රුහුණ සරසවියෙන් කලා උපාධිය දිනාගත් රුවන් ශාන්තටද යෞවනයේ යහපත් අරමුණු කීපයක්‌ම තිබිණි. පළමුවැන්න රැකියාවය. ඔහු මුළින්ම කළේ සාමාන්‍යයෙන් හැම උපාධිධාරියෙක්‌ම පුරුද්දට කරන රැකියා අයදුම්පත් දැමීමය.

දේශපාලන හයියක්‌ හෝ පන්ති වරමක්‌ හෝ නොමැති රුවන් ශාන්තලාගේ කලා උපාධිය නිකම්ම නිකං කඩදාසියක්‌ පමණක්‌ බව අර්ථපතීහු දනිති. ඉතින් මොන රස්‌සාද? රුවන් ශාන්ත ඒ යථාර්ථය හොඳින්ම දැන සිටියෙකි.

ජීවිතය යනු අත්හැර දැමිය නොහැකි අභියෝගයක්‌ බව ඉතා නිවැරැදිව තේරුම් ගෙන තිබිණි. කුමක්‌ හෝ කළ යුතුය. කොතැනකින් හෝ පටන් ගත යුතුය. යන අධිෂ්ඨානය ඔහු තුළ දැඩි විය. ජීවිත වසන්තයේ දොරකඩ සුපිපි ආදරයේ මල් පොකුර සුරතින් ගත් ඇයද ඔහු වෙනුවෙන් බලා සිටියාය.

රුවන් ශාන්තගේ බාප්පා වඩු කාර්මිකයෙකි. දවසේ කුලියට තමන් ළඟට එන සහෝදරයාගේ පුතාට එපා කියන්නේ කොහොමද? රුවන් බාප්පාගේ සහායට එයි. බාප්පා ළඟට එන පුතෙක්‌ ගැන අම්මා කෙනෙක්‌ මොනවා හිතන්නද? සුසුමක්‌ හෙලූ අම්මා ඇසට නැඟුණු කඳුළ වසා ගත්තාය. දරු තිදෙනකු සමඟ ජීවිත තක්‌සලාවේ තනිවූ රුවන්ගේ අම්මාද පියා නැතත් දරුවන්ට පුළුවන් විදිහට ජීවිතය දුන් දිරිය මවකි.

රුවන්ගේ වැඩ බිම වූයේ ලහි ලහියේ ඉදිවන මහල් ගොඩනැඟිල්ලකි. ඒ රුවන් මෙලොව සිටින අන්තම දවස්‌ දෙකින් එකක්‌ බව දැන සිටියේ මාරයා පමණි. හරියටම දෙසැම්බර් 04 වැනිදා සිය මිතුරන් කීප දෙනකුද සමග ඒ ගොඩනැඟිල්ලේ මුදුනට යැම සඳහා රුවන් සෝපානයට ගොඩ විය. එයද හරියටම වැඩ අවසන් නොවී එහෙත් ප්‍රයෝජනයට ගත් සෝපානයකි.

හදිසි අනතුරු යනු වේලාසනින් දැනුම් දී එන දේවල් නොවේ. ඔවුන් ගමන් කළ සෝපානයද අක්‍රිය වී බිමට කඩා වැටුණේ ඒ අනුවය. අඩි හැටක පමණ උසකින් බිමට වැටෙන කෙනකුගේ ජීවිතයක්‌ ගැන කිව හැක්‌කේ කුමක්‌ද? සියලු දෙනාම මාතර රෝහලට රැගෙන යනු ලැබිණි. රුවන් ශාන්තගේ තත්ත්වය වඩාත් බරපතල විය. ඔහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළත් ඔහුට ජීවිතය දෙන්නට නොහැකි විය.

විදුලි සෝපානය කඩා වැටීමෙන් සිදුවූ හදිසි අනතුරකින් රුවන් ශාන්ත මිය ගිය බව සැබෑය. එහෙත් ඒ මරණය නොකියා කියන දේවල් කොතරම්ද? සිය පුතුගේ වියෝගය දරා ගත නොහැකිව සිටින අම්මාට සිය පුතුට රැකියාවක්‌ ලැබී තිබෙන බවට ලැබුණු පුවත තවත් වේදනාවක්‌ පමණි.

කුලී වැඩට යන්න කලින් ඒ පත්වීම ලැබුණා නම් මොනතරම් අපූරුදැයි ඔබට ද සිතෙන්නට පිළිවන. ඇත්තටම එහෙනම් මොන තරම් සුන්දරද? එහෙත් අප ජීවත්වන්නේ මොන තරම් විකෘතිවලින් අසමානකම්වලින් උතුරා යන සමාජයකද? සාහිත්‍ය කලාව දේශපාලනය, ආර්ථිකය හෝ එබඳු දේවල් ඉගෙන ගෙන කුලී වැඩ කරන්නට සිදුවන සමාජ වටපිටාවකද?

ආර්ථිකයේ වර්ධනය ගැන ඉලක්‌කම් හරඹ ඇසෙයි. සාක්‌ෂරතාව ඉහළම රටක්‌ ලෙස ශ්‍රී ලංකාව වාර්තා පොත්වලටද යෑවෙයි. කෝප වුණත් රජමැතිඳුන් ගත නොහෙනා උගත මනා ශිල්පය ගැන රූපවාහිනිවල සංවාද මණ්‌ඩපවලින් ඇසෙයි. තවත් සුපිරි තරුවක්‌ අභිෂේක කරන්නට අසවල් අංකයට කෙටි පණිවුඩයක්‌ එවන්නැයි නිමක්‌ නැති ආයාචනාවන්ද කෙරෙයි. එහෙත් ජීවිතය යනු ඒ කිසිම තැනක නැති සෝක විඳවීමක්‌ නම් අපට හිනැහිය හැකිද?

- සුමිත්‍ර