සයිබර් අවකාශයේ ලියැවෙන හෙට දවසේ සාහිත්‍යය

ඉරිදා ලක්බිමේ මංජුසාව කවදත් නවතාක්ෂණයට අවස්තාවක් ලබා දෙන බව සිහිපත් කරන්නේ මීට වසර දහයකට පමණ පෙරත් ඊ-‍පොත් සහ විද්‍යුත් නිර්මාණ ගැන ලියන්නට අවස්ථාවක් මට ලැබුණ නිසාය.සිංහල සාහිත්‍යයේ එක් හැරවුම් ලක්ෂයක් වන්නට තිබුණේ 2003 දී බිහිවූ ‘වෙස්සන් නොවූ වෙදුන්’ ප්‍රථම සිංහල නවකතාවය. එහෙත් එකල පාඨකයන් ඉල්ලා සිටියේ මුද්‍රිත ‍පොතක් ම වීය. අපේ රටේ ඉංග්‍රීසි පාඨකයන් අතරත් 1998 පළවු ආසියාවේ ප්‍රථම ඊ-නවකතාව වූ ‘ද සාධු ටෙස්ටමන්ට්’  පසුව සාධු(ඩොට්)කොම් ඵචචඤඩභ.ජධථ ලෙසින් මුද්‍රණය කරන්නට සිදු වූයේත් ඒ මුද්‍රිත ‍පොතට ඉල්ලුමක් වූ නිසාය. එදා පාඨකයන් ඒ ‍පොත ඉල්ලා සිටියේ ‘සාදු කොම්’ ලෙසය. එසේම පුස්තකාල සහ ප්‍ර‍ලේඛන සේවා ආයතනයෙන්  ඉඕව් ලබාදුන්නත් ‍ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අද වන තුරුත් ඊ ‍පොතක් බාර දීමට පහසුකම් නැත. ඊ - ‍පොත් සහ ඊ-සඟරා සඳහා තවමත් අපේ පිළිගැනීමක් නැත.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා හෝ, ගොඩගේ සහ විදුදය සම්මාන සඳහා හෝ තවමත් ඊ-‍පොත් සලකා බැලීමක් සිදුවන්නේ නැත.අද තරුණ පරපුරේ ව්‍යාපෘතියක් වන “ඊ-සංකලණි” සිංහල සාහිත්‍යයේ හැරවුම් ලක්ෂයක කර ගැනීම ඒ නිසා ඉතා වැදගත් වේ. අපේ රටේ තවමත් ඊ-‍පොත් ගැන බියක් හෝ අකමැත්තක් ඇත්තේ ඒ ගැන නිසි අවබෝධයක් නැති නිසා විය යුතුය. පරිගණකය ගැන පවා අකමැත්තක් අවිශ්වාසයක් ඇති විද්වතුන් පවා අප අතර තවමත් සිටින්නේ ඒ නිසාය. සමහරු වෙනස්වීමට කැමති නැත. ඔවුන් තවමත් කැමති වෙල අයිනේ කුඹුක් ගහ යට වතුර උතුරා යන ලිඳෙන් නෑමටය. මැටි වළඳක පැය ගණනාවක් සම්ප්‍රදායික ක්‍රමයට පිසන ‍පොලොස් මාලුවකටය. උදෑසන සුවපහසු පුටුවක වාඩිවී තේ කෝප්පයක් රස විඳිනා අතර දවසේ පුවත් පත කියවීමටය.

එහෙත් අපට සමහර දේ අත්හැරීමටත් ඒ වෙනුවට අලුත් දේ භාවිතයට හුරුවීමටත් සිදුවීම වැළැක්විය නොහැකිය. එදා ඊ-සංකලණි ජාලගත කළ දා මහාචාර්ය ඇතුගල සඳහන් කළ විතැන්වීමට මුහුණ දිය යුතුය. ඒ විතැන්වීම ඇරඹෙන්නේ අද ඊයේ නොවේ. මහ වනයක ගල්ගුහාවක හෝ අතු පැලක සිට මහා නගරයක අහස් උසට ඉදිවූ තට්ටු නිවසකට විතැන්වීම විවිධ අවස්ථා හරහා සිදුවිය.

එසේම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර එදින පැවසූ ලෙසට මුද්‍රිත ‍පොතක්, සඟරාවක්, පුවත් පතක් කියවීමට හැමදෙනාටම අයිතියක් ඇත. ඒ අවස්ථාව ඔවුන් කෙරෙන් කිසි දිනක මග හැරෙන්නේද නැත. තව අවුරුදු ගණනාවක් මුද්‍රිත ප්‍රකාශන බිහිවනවා ඇත. එහෙත් ඒ ඉතා සීමිත ප්‍රමාණයකින් වනු ඇත. එයට එක් උදාහරණයක් ලෙස ගත හැකි වන්නේ නිව්ස්වීක් සඟරාවයි. 2012 දෙසැම්බරයේ මුද්‍රිත සඟරාව නැවැත්වීමට ප්‍රකාශකයන් තීරණය කළේ ඉල්ලුම අඩුවීම සහ නිෂ්පාදන වියදම වැඩිවීම නිසාය. එහෙත්   පසුව ඊ-සඟරාවට අමතරව මුද්‍රිත සඟරාවත් යළිත් මුද්‍රණය කර ඉහළ මිලකට අලෙවි කිරීමට සිදුවූයේ පවතින සීමිත ඉල්ලුමට කන් දීම සඳහාය.

එසේම ඊ-ප්‍රකාශන වල ගමන නැවැත්විය හැකි වන්නේ යම් දිනයක ශ්‍රව්‍ය ප්‍රකාශන ජනප්‍රිය වූ විටය. දැනටමත් ‍පොතක් කියවීමට වෙහෙස වන්නේ නැතුව ඒ ‍පොත අසා සිටීමට පහසුකම් අප වෙත ඇත. ඒ සඳහා අප ඇබ්බැහි වූ විට අපට කියවීමේ අවශ්‍යතාවය නැතුව යන්නේය. ලිවීමේ අවශ්‍යතාවද නැතිව යන්නේ අප විසින් ලියාතැබිය යුතු හෝ සටහන් කළ යුතු දේ පරිගණකයට හෝ දුරකතනයට කියවීමෙන් පමණක් එය සටහන් කර ගත හැකි නිසාත්, ඒ සටහන කියවීමක් නැතිව පෙරළා අසා සිටිය හැකි නිසාත්ය. අද ශ්‍රව්‍යාබාධිත අය ‍පොත් ලිවීම සහ කියවීම කරනා අන්දමට අප සියලු දෙනාටම ලිවීම සහ කියවීම කළ හැකි දිනය ළඟදීම උදා වනවා ඇත.

එවිට අපට අකුරු ලිවීම හෝ කියවීම අවශ්‍ය නොවන නිසා, දැනටමත් ගණන් සෑදීම අපට නුහුරු වී ඇති ලෙසින්ම ලිවීම කියවීම නුහුරු වී අප සියලු දෙනාම මළ ‍පොතේ අකුරක් වත් නොදන්නා සමාජයක් බවට පත්වනවා ඇත. එවැනි දවසක මේ ඊ-සංකලණි වුවත් අපට අසා සිටිය හැකි වනු ඇත. ලක්බිම පුවත්පතද අසා සිටින්නට හැකි වනවා මෙන්ම මෙවැනි ලිපියක් ශ්‍රව්‍ය මාධ්‍යයෙන් පුවත් පතට ලබාදී එහි පළ විමද සිදු වනවා ඇත.

එතෙක් අපට මේ විද්‍යුත් සඟරාව හරහා සයිබර් අවකාශයට පිවිසිය හැකිය. නව නිර්මාණකරුවන්ට අද මුහුණ දෙන්නට සිදුවී ඇති විශාලතම බාධකය වන්නේ ඒ නිර්මාණ පළ කර ගැනීමය. ‍පොත් පත් වෙළඳ භාණ්ඩ වූ පසු ප්‍රකාශකයා ඉල්ලන්නේ ඔහුට අලෙවි කර ගත හැකි දේ මිස සැබෑ කලා නිර්මාණ නොවේ. මිනිසුන් කිහිප දෙනෙකු විසින් මුලු මිනිස් සංහතියම පාලනය කිරීම ඇරඹි දා සිටම ලොව කිසි තැනක අදහස් ප්‍රකාශනයට සහ නිර්මාණකරණයට නිදහසක් තිබුණේ නැත. එහෙත් ඒ නිදහස දැන් සයිබර්අවකාශය හරහා බිහිවී ඇත. “මාකට්” කිරීමක් අනවශ්‍ය නිසා ප්‍රකාශන නිදහසට බාධාවක් නැත. එහෙත් ඒ නිදහස “වල්බූරු නිදහසක්” වන්නේ නැත. පාඨකයා හෝ රසිකයා කියවන්නේත්, පිළිගන්නේත් රසවිඳිය හැකි නිර්මාණ පමණක් වූ විට ඉතිරි නොවැදගත් නිර්මාණ දින කිහිපයකින් බොඳවී යනු ඇත.       

ඊ-සංකලණි බිහිවූයේ 2014 අගෝස්තු 21 වන දින ෆේස්බුක් කණ්ඩායමක් ලෙස බිහිවූ ඊ ‍ලේඛකයන්ගේ අවකාශය හරහාය. පසුගිය මාස හත තුළ සාමාජිකයන් 3697 දෙනෙක් දක්වා වර්ධනය වීමේ අපේ රටේ ‍ලේඛනයටත්, ඒ සඳහා නවතාක්ෂණය යොදා ගැනීමට ඇති උනන්දුවත් පෙන්වා දෙයි. මේ සාමාජිකයන් සියලු දෙනාම ‍ලේඛකයන් නොවූවත් ‍ලේඛනයට කැමති, කියවීමට කැමති අය බව නිසැකය. ‍පොත් කියවන අය නමින් බිහිවූ කණ්ඩායමේ අද වන විට සාමාජාකයන් 57,000 ඉක්මවා ඇති බව වාර්තා වේ. ෆේස්බුක් වැනි සමාජ ජාල දෙස සුභවාදීව, ධනාත්මකව බැලිය යුත්තේ මේ නිසාය. සමාජ ජාල සමග ගැවසෙන වැඩිදෙනෙක් ඉන් යහපත් දෙයක් බලා‍පොරොත්තු වන බවත්, ඔවුන්ගෙන් යහපතක් සමාජයට ලබාදීමට උනන්දුවක් ඇති බවත් මගේ විශ්වාසයයි.

අපි සයිබර් අවකාශයේ අපේ නිර්මාණ බදාගෙන නොඉඳ බෙදාගනිමු. ඊ-සංකලණි ඉදිරියට ගෙනයමු. ඊළඟ පියවර ලෙස ඊ-නවකතා, ඊ-කෙටිකතා, ඊ-කවි ‍පොත් බිහි කරමුූ. මනුෂ්‍යත්වය උදෙසා ‍ලේඛකයන් ලෙස කැපවෙමු.

දයා දිසානායක
ලක්බිම පුවත්පත