අප ඉදිරියේ ඇති අභියෝග

අප විවිධ දේශපාලන දර්ශනයන් ඔස්‌සේ ආර්ථිකය ගොඩනඟන්නට ගත් තැත අසාර්ථක වී ඇත. වෙනසක්‌ අවශ්‍යව ඇතැයි යන මතය ඉස්‌මතුව ආවේ මෙම අසාර්ථකත්වය හේතුවෙනි. අප ඉදිරියේ ඇති අභියෝගය කුමක්‌ ද යන්න පළමුව පාලකයන් හා මතු පාලනය කරන්නට බලාපොරොත්තුව සිටින්නන් අවබෝධ කර ගත යුතුය. සිත් ගන්නා නම්‍ය සංඛ්‍යානයන් (Pliable statistics) ඉදිරිපත් කිරීමත් විමර්ශන කොමිසම් ස්‌ථාපිත කිරීමත් ජනතාවගේ මූලික අපේක්‍ෂාවන්ට පිළිතුරු නොවේ. බස හැසිරවීමේ අලංකාරෝත්තියට (rhetoric) කන් අයා සිටීමෙන් අපි හෙම්බත් වී සිටිමු. නව සාර්ථක ආර්ථික වැඩපිළිවෙලකට යොමු වීමේ සැබෑ ප්‍රායෝගික මගකට පිය තැබීම හෝ ඒ ගැන අඩු ගණනේ සිතීමටවත් පාලකයන් නොඑළැඹීම අපේ අභාග්‍යය වේ. 

අප ඉදිරියේ ඇති ප්‍රධාන ගැටලුව අන් කිසිවක්‌ නොව සමස්‌ත ලාංකීය ජනතාවම (වරප්‍රසාද ලත් කිහිප දෙනෙක්‌ හැරෙන්නට) මුහුණපා ඇති අතේ මිටේ මුදල් නැතිකමයි. දිළිඳුකමයි. 

විරැකියාව හා තරුණ අසහනය මත උද්ගත කරවන ලද රාජ්‍ය විරෝධී බිහිසුණු විප්ලවවාදී කැරළි දෙකකට අපි මුහුණපා සිටින්නෙමු.

දිළිඳුකම නැති කිරීමට ඉන්දියානු පාලකයෝ මහත්සේ උත්සාහ කරති. ඔවුන් ජාතික ආර්ථික සැලැස්‌මක්‌ ඇතිකරගෙන ඇත. රජයන් වෙනස්‌ වුවද ජාතික ආර්ථික සැලැස්‌මේ වෙනසක්‌ සිදු නොවේ. වසා දැමූ ආර්ථික ප්‍රතිපත්තියෙහි ගේට්‌ටු හැර දමා තිබේ. 'ගොනා මාර්ක්‌' මෝටර්රථ නිපදවූ ඔවුන් ලෝකයේ ඕනෑම වෙළෙඳපොළක්‌ හා තරග කළ හැකි මෝටර්රථ නිෂ්පාදන කම්හල් පිහිටුවා ඇත. අපේ රටේ ත්‍රීවීලරයක්‌ තබා අල්පෙනෙත්තක්‌ වත් නිපදවන කම්හල් ඇද්ද? කැපවීමෙන් වැඩ කිරීමට කැමති හොඳ මොළ ඇති යෞවනයන්ගේ ශ්‍රමය හා කාලය අප තවදුරටත් අපතේ යෑවිය යුතුද? දිවි පරදුවට තබා විදේශගත වීමට ඔවුන් යත්න දරන්නේ ඇයි? විදේශවල ඇති රැකියා අවස්‌ථා ඇයි අපට මෙහි ඇති කළ නොහැක්‌කේ? දේශපාලකයන් සිය මැති ඇමැති පට්‌ටම් රැක ගැනීමට නොකරන ජඩ වැඩක්‌නැත. පුද්ගලාභිවාදනය ඉස්‌මතු කිරීමේ අභිප්‍රායෙන් විවිධ බළකායන් ඇති කොට පසුගිය රජය සමහර සෙප්පඩ වි-ජාකාරයන් නැටූ නාඩගම් පස්‌සේ තව දුරටත්අපේ යෞවනයන් දිවිය යුතුද?

ලාංකික තරුණ පරපුර මෙලෙස වල්මත් වීමට හේතුකිම? අවිනිශ්චිත අනාගතය හා බැඳී ඇති විරැකියාවයි. ඒ සඳහා අප කළ යුත්තේ කුමක්‌ද?

ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක්‌ව පැවති කල ඔවුන් රටේ ආර්ථිකය පාලනය කරන ලද්දේ ඔවුනට ඕනෑ ආකාරයටය. එයට ඔවුනට දොස්‌ පැවරිය නොහැක. දොස්‌ පැවරිය යුත්තේ නිදහසෙන් පසුව අප පාලනය කළ ක්‍රොම්ප්‍රදොරු පැලැන්තියටය. අපට සරිලන නිවහල් ආර්ථිකයක්‌ සකසා ගැනීමට ඔවුනට උවමනාවක්‌ නොතිබිණ. සුද්දා ගිය පාරේම කණවැල අල්ලාගෙන අපිදු ගියෙමු. තව දුරටත් මෙසේ ගමන් කිරීමට ගියහොත් විශාල ව්‍යසනයකට නොබෝ දිනකින් අපට මුහුණ දෙන්නට සිදුවේ. වහ වහා අප යන ගමන් මඟ වෙනස්‌ කළ යුතුය.

අප රට පිහිටීම, එනම් පෙරදිග හා අපරදිග අතර ඉන්දියන් සාගරයේ අපූරු තැනක පිහිටා ඇත. එහෙත් මෙතෙක්‌ අප වටහා නොගත් ඵල ප්‍රයෝජන නොගත් පිහිටීමකි එය. ආසියාවට ඇතුළු වීමට ඇති දොරටුව ත්‍රිකුණාමල වරාය බව නැපෝලියන් වරක පවසා ඇත. පස්‌වන සියවසෙහි ලොව අටවැනි පුදුමය වන සීගිරිය ගොඩනැඟීමට කාශ්‍යප රජු මුදල් සොයා ගත්තේ අපේ වරායවලට ආ නැව් සමග වෙළහෙළදාම් කිරීමෙනි.

ලොව හොඳම වෙළෙඳ කේන්ද්‍රස්‌ථානය ශ්‍රී ලංකාව වේ. නිදහස්‌ වෙළෙඳකලාප බිහිකොට මෙය ඇරඹීමට ජයවර්ධන මහතා ඉදිරිපත් වුවද එය කිරීමට එතුමාට නොහැකි වූයේ එම ගමන් මග වැළැක්‌වීමට සිතාමතාම අටවන ලද ත්‍රස්‌තවාදය විසිනි. J.A.L. ගුවන් යානා පවා එදා අපේ ගුවන් තොටුපළවලට පිවිසෙද්දී එය බලා සිටීමට නොහැකි පිරිස්‌ නැති ජාතිවාදයක්‌ ඇති කොට හොඳම වෙළෙඳ කේන්ද්‍රස්‌ථානය වන්නට ගිය අපේ ගමන සිහිනයක්‌ බවට පත් කළහ. වසර 30 ක්‌ පමණ අපි ඒ කුරිරු යුද්ධයට මුහුණ දුන්නෙමු. ඉන්පසුවද මෙම ගමන වළක්‌වාලීමට අටවන ලද උගුල්වලට අපි හසුවීමු. අද ද අපි ඒ උගුල් වටහාගෙන නැත.

ඒ සඳහා අප කළ යුත්තේ කුමක්‌ද?

අපට කළ හැකි බොහෝ දේ ඇත. එහෙත් ඉක්‌මන්ම ක්‍රමය නම් වෙන් වෙන්ව නිදහස්‌ වෙළෙඳ කලාප බිහිකරනු වෙනුවට මුළු රටම එකම වෙළෙඳ කලාපයක්‌ කොට සෑම නැව් තොටක්‌ම සෑම ගුවන්තොටුපළක්‌ම ආදායම් තීරු බදුවලින් තොර කිරීමයි. මෙහිදී අප සැළකිල්ලට ගතයුතු කරුණු කිහිපයක්‌ ඇත. අද ලොව ඇති රේගු බදු නැති කළ ප්‍රධාන රටවල් වන හොංකොං ඩුබායි හා සිංගප්පුරුව හා අප අතර වෙනසක්‌ ඇත. මෙම රටවල් තුනේම කෘෂිකාර්මික ආර්ථිකයක්‌ නැත. එහෙත් අප රට කෘෂි ආර්ථික රටක්‌ බැවින් කෘෂි නිෂ්පාදන අපනයනය හා ආනයනයට රේගු බදු අයකළ යුතුය යන්නයි. මෙරට ආයෝජනයට එන විදේශ සමාගම් වලින් ලබා ගන්නා ආදායම් බදු මනා කළමනාකරණයකට ලක්‌ කළ යුතුය. පසුගිය රජය විසින් යටිතල පහසුකම් ඇති කිරීම හා නගර අලංකාරවන්ට තැබීම අප අගය කළ යුත්තකි. මන්ද විදේශ ව්‍යාපාරිකයන් එවැනි දැ අපේක්‍ෂා කරන බැවිනි. මාස කිහිපයක්‌ ඇතුළත විදේශ ආයෝජකයන් (B.O.I.) ආරාධනා නොමැතිවම මෙහි එනු ඇත. මෙරට පිහිටුවනු ලබන කර්මාන්ත ශාලාවල අපේ තරුණයන්ට රැකියා සැපයීම කළ හැක. කෙල්ලන්ට ගාර්මන්ට්‌ කොල්ලන්ට පේමන්ට්‌ ආර්ථිකයෙන් අප වහා ඈත්විය යුතුය.

නොබෙල් ත්‍යාගය දිනාගත් විශිෂ්ට ඇමෙරිකානු මහැදුරු Joseph E. Stieglitz පැවසුවේ "Development is about transforming the lives of people, not just transforming economies" යනුවෙනි. සංවර්ධනය ලබාගත හැක්‌කේ මිනිසුන්ගේ ජීවන රටාව වෙනස්‌ කරන (පරිණාමනය) ආර්ථික සැලසුම්වල වෙනසකිනි. එය හුදු ආර්ථික රටා වෙනසක්‌ නොව පවත්නා දිළිඳු ජීවන තත්ත්වය ඉහළ ඔසවා තැබිය හැකි ආර්ථික සැළසුම් වල වෙනසකි.

2013 ලෝක ප්‍රමොද වාර්තාවට (World Happiness Report) අනුව 156 ක්‌ රටවල්වල ශ්‍රී ලංකාව අයත් වන්නේ 137 වන සමාජ මට්‌ටමටයි. එය මෙලොව ඉතා අසතුටින් දිවි ගෙවන ජාතීන් අතර ප්‍රමුඛස්‌ථානයකි. මෙය බරපතළ තත්ත්වයකි. රැකියා සැලසුම් දෙස නැවත හැරෙමු. 'වරාය නගරය' නිම කළ හොත් ඉන් අපේ තරුණ තරුණියන්ට බොහෝ රැකියා අවස්‌ථා සලසා ගත හැක. පෙරලියෙන් පසු අතර මග ඇණහිටි මේ ව්‍යාපෘතිය දැන් පරිසර ආරක්‍ෂිත වාර්තා සඳහා යොමුකර ඇත. මෙය නිම කළ විට ඉන්දියන් සාගරයේ මාළු, බිත්තර නොදමනු ඇතැයි සමහර පරිසරවේදීන් පවසති. පසුගිය රජයේ ආර්ථිකයට කණ කොකා හැඩුවේ මෙවන් බකපණ්‌ඩිත ආර්ථික සැළසුම්කරුවන්ගේ උපදෙස්‌ මත කටයුතු කිරීමට යැමෙනි. මෙයට කදිම නිදසුනක්‌ 'කොම්පෝස්‌ට්‌ පොහොර' භාවිතය ගැන බකපණ්‌ඩිතයන්ගේ අදහස්‌ උදහස්‌ දෙස බැලීමෙන් වටහා ගත හැක. රසායනික පොහොර භාවිතය විධිමත්ව හා ක්‍රමානුකූලව කළ යුත්තකි. වී ගොවිතැන දෙස හැරෙමු. බතලගොඩ වැනි පර්යේෂණ ආයතන වල වැඩි Nitrogen ප්‍රමාණයකට ඔරොත්තු දෙන ඒ වර්ග නිපදවයි. ඒ ඇවැසි N ප්‍රමාණය නොලැබුණ විට අපේක්‍ෂිත අස්‌වැන්න නොලැබේ. සාමාන්‍ය කොම්පෝස්‌ට්‌ මිශ්‍රනයක ඇති N ප්‍රමාණය ඉහළ අස්‌වැන්නක්‌ සඳහා තෝරාගත් වීවර්ගයට කිසිසේත්ම සරිලන්නේ නැත. උදාහරණයක්‌ වශයෙන් ඇමරිකාවේ වගා කරන තිරිඟුවලට කොම්පෝස්‌ට්‌ පොහොර පමණක්‌ යොදන්නේ නම් මුළු අප්‍රිකාවේ වනාන්තර ඒ සඳහා කපා දැමිය යුතුවේ. අනික භ පොහොර භාවිතය කළ යුත්තේ ගස වැඩෙන සමයේ මද වශයෙන් කිහිපවරක්‌ ගසට ලැබෙන අයුරිනි. ජපන් ගොවියෝ යූරියා බිත්තර (පොලිතින් ආවරණයක්‌ සහිත) කුඹුරෙහි යට පසෙහි ඇති අඩු අම්ලකර තට්‌ටු (reducing layers) වට එබීමෙන් සෑහෙන කාලයක්‌ පුරා ගසට N ලබාගත හැකිසේ රසායනික පොහොර භාවිතා කිරීමේ ක්‍රමවේදයට අපේ ගොවීන් දැනුවත් කළ යුතුය. එසේ නැතිව කොට එළදෙන පස්‌සේ අනිත් හරකුන් දුවන්නාසේ කොම්පෝස්‌ට්‌ භාවිතය මත්තේම රැඳීමෙන් වැඩි අස්‌වනු බලාපොරොත්තු නොවිය යුතුය. එසේනම් බතලගොඩ වී පර්යේෂණාගාර වසා දමා පරණ පුරුදු සම්ප්‍රදායික වී වර්ග වගා කිරීම යෙහෙකි. 

අපේ තරුණ තරුණියන්ට පමණක්‌ නොව මැදි වියේ රැකියා නැති ඇත්තන්ට රැකියා ලබාදීමට සැලසුම් කිරීම අපේ රජය හා එහි පාලන ක්‍රියාවලිය (modus operardi) භාරව සිටින පුද්ගලයන්ගේ ප්‍රධාන යොමුව විය යුතුය. රෑට හාමතේ නින්දට යන දහස්‌ ගණනක්‌ මිනිසුන්ගේ දුක්‌ සුසුම් අපේ ඇත්තනට නොවැටහෙන්නේ ඇයි.

රටෙහි ආරක්‍ෂාව - හා බැඳුණු සංවර්ධනය - අපේ තරුණයන් දිවි පරදුවට තබා දිනාගත් යුද්ධය හා අප සන්නද්ධ වී ඇති අවි ආයුධ හා නැව්, ගුවන් යානා වල අනාගත සුරක්‌ෂිතභාවය ගැන වගකීම අප තවදුරටත් රැකගත යුතුය. අසල්වැසි ඉන්දියාව ආරක්‍ෂාව සඳහා බොහෝ මුදල් වැය කරයි. පසුගියදා Shinmaywa us zi amphibions ගුවන් යානා ජපානයෙන් මිලදී ගැනීමට ඉන්දියාව කටයුතු කරගෙන යන බව සැලයි. මේ එක්‌ යානාවක්‌ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 මුදලක්‌ වැය කිරීමට යයි. මෙවන් යානා 5 ක්‌ සඳහා ඉන්දියාව විශාල මුදලක්‌ වැය කරන්නේ ඇයි. ඔවුන්ගේ ආරක්‍ෂාව තවදුරටත් සුරක්‍ෂිත කර ගැනීම සඳහායි. යුද්ධය අවසන් වීමෙන් පසු අප රට මෙවන් ආරක්‍ෂිත පියවරවල් සඳහා කිසිදු මුදලක්‌ වැයකොට ඇද්ද?

ඕනෑම අවස්‌ථාවක වහා සටනට සූදානම් කරන ලද සොල්දාදුවන් (Combat ready soldiers) 30 ක්‌ සමග මුහුදේ සිට හෝ ගොඩබිම සිට ගුවන්ගත වීමට මෙම යානාවලට හැකියාව ඇත.

ආරක්‍ෂාව ගැන කියන විට අප රට පාලනය කළ 5 වැනි මිහිදු රජුගේ සමය මතකයට එයි. ඔහු ඉතා දුර්වල රජෙකි. සොලීන් මෙරටට විත් ඔහු ජීවග්‍රහයෙන් අල්ලාගෙන ගියෝය. එනිසා නව ආර්ථික ප්‍රවේශයකට යද්දී පැන නඟින අභියෝගයන්ට මුහුණ දීමේ අයෝමය නායකත්වයක්‌ අප වෙත තිබිය යුතුය. මඩේ ඉන්දන ලද ඉන්නක්‌ සේ තීන්දු තීරණ ගන්නා නායකත්වයකින් අපට පලක්‌ නැත. සිංගප්පූරුවේ ලී ක්‌වන් යූ එවැනි පුද්ගලයෙකි. දහසක්‌ ප්‍රශ්න මැද්දේ මූල ධනය හෝ සම්පත් කිසිවක්‌ නැති රටක්‌ ඔහු ආසියාවේ ප්‍රබල ආර්ථික මධ්‍යස්‌ථානය බවට හැරවිය. ඔහු සතුව තිබූ එකම සම්පත වූයේ සිංගප්පූරුවේ පිහිටීම වේ. 

අප රට පිහිටීම සිංගප්පූරුවට වඩා දස දහස්‌ ගුණයකින් වාසිදායක පිහිටීමකි. ස්‌වාභාවික වරාය මේ රට වටාම ඇත. කලින් කීවාක්‌මෙන් මේවා තීරු බදු වලින් නිදහස්‌ කළ විට පිටරැටියෝ ආයෝජකයෝ කිසිදු කැඳවීමකින් තොරව මෙරට ඔවුන්ගේ ආයෝජනයන් කිරීමට සුදුසු තෝතැන්නක්‌ කරගනු ඇත. මීයක්‌ කඩන්නේ අත ලෙවකන්නට නොවේ. ඔවුන් මෙහි එන්නේ ඔවුනට ද යමක්‌ කමක්‌ උපයා ගැනීමේ අභිප්‍රායෙනි. එහෙත් ඒ සඳහා එන සමාගම්වලට අපේ අභ්‍යන්තර පාලනයට කිසිදු බලපෑම් කිරීමට ඉඩ නොතැබිය යුතුය. විශේෂයෙන්ම අපේ ආගමික හා සංස්‌කෘතික අනන්‍යතාවය නැති නොවන විමර්ශනශීලී පියවරවල් ගත යුතුය. එහෙත් එය තලියෙහි කිඹුලන් දකින විමර්ශනයකින් නොව සෑම විටම ආර්ථිකයේ අපේ වාසිය ගැන සිතන විමර්ශනයක්‌ විය යුතුය. මේ ලිපිය අවසන් කිරීමට මත්තෙන් 56 බණ්‌ඩාරනායක රජය බලයට පත්වූ පසු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියන ලද 'බමුනු කුලයක බිඳ වැටීම' යන ලිපියට ඔබේ අවධානය යොමු කරපු යෙහෙකි. එතුමා අද ජීවතුන් අතර සිටියා නම් ඔහු පළකරන ලිපියේ සිරස්‌ තලය කුමක්‌ වනු ඇද්දැයි සිතීමට මම ඔබට භාර කරමි. 

ඡේ. විඡේසේකර
දිවයින