පරාජය ලැබීමට අපි කිසිවකු කැමැති නොවෙමු. ජයග්‍රහණයම අපේක්ෂාවෙන් සියලු කටයුතු කිරීමට පෙළඹෙන වග නොරහසකි. ජෝතීර් විද්‍යාවට අනුව ජය පරාජය තෝරා බේරා දැන ගැනීමට "පංච පක්ෂි" ක්‍රමය ප්‍රයෝජනවත් වේ. තත්කාල ශාස්ත්‍රයෙන් තමාගේ උත්සාහයන් මල්ඵල දරයිද? විභාග සම්මුඛ පරීක්ෂණ, රැකියා, විවාහ, ගමන්, බිමන් වැනි කාරණා කටයුතුවලදී පංච පක්ෂි ක්‍රමය තුළින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි වන්නේය.
මෙහිදී තමාගේ උපන් නැකතට හිමි පක්ෂියා තෝරාගත යුතු වන්නේය. උපන් නැකත නොදන්නේ නම් තමුන් භාවිත කරන නමේ මුල් ස්වරය අනුවද පක්ෂියා තෝරා ගත හැකිය. පංච පක්ෂීන් මෙසේය. භේරුණ්ඩ (රාජාලියා) පිංගල (බකමූණ) කාක (කපුටා) කුක්කුට (කුකුළා) මයුර (මොණරා)
ඔබේ උපන් නැකත, අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරිස යන නැකත් 05 න් එකකට අයත් නම් ඔබට හිමි පක්ෂියා රාජාලියා (භේරුණ්ඩ) වේ. අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් යන නැකත් 06 න් එකක් වී නම් ඊට අයත් පක්ෂියා පිංගල නොහොත් බකමූණ වේ. උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකත් 05 න් එකක් වී නම් පක්ෂියා වන්නේ කාක නොහොත් කපුටාය, අනුර, දෙට, මුල, පුවසල උත්‍රසල, සුවණ යන නැකත් 06 න් එකක් වූයේ නම් අදාළ පක්ෂියා කුක්කුට නොහොත් කුකුළා වේ. දෙනට සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන නැකත් 05 න් උපන් අයට මයුර නොහොත් මොණරා අයත් වෙයි.
තමන්ගේ උපන් නැකත තමා නොදන්නේ නම්, භාවිත කරන නමේ මුල් ස්වර - අ-ආවලට හිමි පක්ෂියා වන්නේ භේරුණ්ඩයි. ඉ. ඊ. ස්වරවලට පිංගල පක්ෂියා අයත් වේ. උ-ඌ දෙකට කාක අයත් වෙයි. ඒ. ඒ. ස්වරවලට කුකුළා අයත් වේ. මයුර නොහොත් මොණරා අයත් වන්නේ ඔ ඕ. ස්වර වලටයි.
මෙම පංච පක්ෂීන්ගේ අවස්ථා පහකි. ඒ අවස්ථා 05 මෙසේය. රජ, භෝජන, ගමන, නිදි සහ මරණ වෙයි. පක්ෂියා රජ, භෝජන, ගමන, අවස්ථාවල යෙදීමේදී ශුභඵල ඇති කරයි. ගමන අවස්ථාව මධ්‍යම ශුභඵල අත්කර දෙයි. වඩාත් යෝග්‍ය වන්නේ පක්ෂියා "රජ" වී සිටින අවස්ථාවයි.
පක්ෂියාගේ අවස්ථා පිළිබඳ පුර පක්ෂය හා අවපක්ෂය මෙන්ම දවාලට හා රාත්‍රියට යෙදෙන ක්‍රම ගැන කරුණු සොයා බැලීම වටී. ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිතේ ඒ බව සටහන් කර තිබේ. මෙහිදී සූක්ෂම සහ අති සූක්ෂම අවස්ථා ගැන ද දැනුවත් වීම වටී.
පක්ෂියා රජ හෝ භෝජන අවස්ථාවට පිවිසි විට, සම්මුඛ පරීක්ෂණ, අධිකරණ කටයුතු (නඩුහබ) විවාහ කටයුතු, ගෘහාරම්භ, හා ප්‍රවේශය, රැකියා සඳහා පිටත්වීම වැනි ගමන් බිමන්වලට යෝග්‍ය වේ. පක්ෂියා මර - නෝ නිදි අවස්ථාවලදී ශුභ කටයුත්තකට එළැඹීම නුසුදුසුය.
ආර්. ඇම්. ටී. බී. රත්නායක