කෘෂිකර්මය දියුණු කිරීමේ දර්ශනය

වැව් දහස්‌ ගණනක්‌ රජවරුන් හදා දී තිබියදී, අප ජාතිය පුරන් කුඹුරු මැද හාමතේ නන්නත්තාර වුයේ ඇයි? ආහාර නිෂ්පාදනයේ පිරිවැය ඉහළගොස්‌, වෙළෙඳ පොළ මිල ඉහළ යැම සහ ගබඩා කිරීමේ සහ මිලදී ගැනීමේ ක්‍රමවේදය අසාර්ථක වීම නිසා මෙරට කෘෂිකර්මය කර්මාන්තයක්‌ ලෙස අසාර්ථක වී ඇත. එසේ නම් පිළියම් යෙදිය යුත්තේද රෝග නිධානය වූ නිෂ්පාදන පිරිවැය ඉහළ යැමටය. යම් සේ නිෂ්පාදන පිරිවැය අවම කරගෙන, ගබඩා කිරීමේ සහ බෙදාහැරීම විධිමත් කළ හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක්‌ සකස්‌ කළහොත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය කර්මාන්තයක්‌ ලෙස සාර්ථක වනු ඇත.

අප ඉතිහාසයේ කොටසකි - ඉතිහාසය අපේ කොටසකි. එසේම අප අනාගතයේද කොටසක්‌ වනු ඇත. මියගිය පරම්පරාව අපට පවරාදුන් සියල්ල නුපන් පරපුරට සුරැකිව ලබාදීම හුදෙක්‌ යුතුකමක්‌ පමණක්‌ නොව, අප උරමත පටවා ඇති බරපතල වගකීමකි. එම නිසා කෘෂිකර්මය දියුණු කිරීමට අතීතයෙන් ගනුලබන ආදර්ශ නූතනය තුළ ඵලදායී ලෙස ගැලපීමක්‌ද යුතුය. ලංකාව වැනි වසර තුන්දහසකට වඩා ඈත අතීතයේ සිට කෘෂිකර්මයේ නිරත රටක අනාගතය වෙනුවෙන් කෘෂිකර්මය දියුණු කිරීමේ සැළසුමක්‌ සකස්‌ කරත්දී අප අතීතය හැකිතාක්‌ හැදෑරිය යුතුය. අපගේ මුතුන් මිත්තන්ගේ පළල් අත්දැකීම් පරාසය නූතන ලෝකයට ගැලපීම තුළින් වඩාත් ඵලදායී අනාගතයක්‌ සකස්‌ කර ගත හැකි විය යුතුය. අතීසාරයට අමුඩ ගැසීම වෙනුවට වටකුරු ලෙස කරුණු විග්‍රහ කර හානිකරවිය හැකි අතුරු අන්තරාවන් හඳුනාගෙන ප්‍රතිපත්ති සකස්‌ කිරීම වඩාත් ඵලදායී වනු ඇත. එම නිසා ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමේදී කෘෂි නිෂ්පාදනයට අදාළ සියලු අංශ සැලකිල්ලට ගත යුතුය.

වැරදි ආහාර පරිභෝජන රටාව නිසා ඇති වු ගැටළු

අඩු පිරිවැයකින් ආහාර නිෂ්පාදනය සඳහා ක්‍රම වේදයක්‌ සකස්‌ කළ යුත්තේ ඇයි? ආහාර යනු බෙහෙත්ය. ආහාර හොඳ වූ විට ජාතියම නිරෝගී සම්පන්න වෙයි. ඕනෑම භූගෝලීය කලාපයක ජිවත් වන මිනිසුන්ට වඩාත් ගැලපෙන්නේ ඔවුන් ජීවත් වන භූගෝලීය කලාපයේ ස්‌වභාවිකව වැවෙන භෝග මිස වෙනත් කලාපවලින් ආනයන කරනු ලබන භෝග නොවේ. ආනයනය කරනු ලබන භෝග මත යෑපෙන අපට ඇත්තේ අස්‌වාභාවික ආහාර වට්‌ටෝරුවකි. අප පුරුදු වී සිටින එම වැරදි ආහාර පරිභෝජන රටාව හේතුවෙන් ජාතියටම ගැටලු 3 ක්‌ ඇති කර අවසන්ය.

1. ආනයනය කරනු ලබන විදේශීය ආහාර හේතුවෙන් ජාතික ආර්ථිකයෙන් විශාල ධනයක්‌ වැයවීම.

2. අන් කවර කාලයකවත් නොතිබුණු ලෙඩ රෝග ඇතිවී අමතරවද ජාතික ආර්ථිකයෙන් විශාල කොටසක්‌ ඖෂධ වෙනුවෙන් වැය වෙයි.

3. වැඩ කරන ජනයා අසනීප වීම නිසා ශ්‍රම බලකාය අකාර්යක්‍ෂම වීම සහ ළමා පරපුර අසනීප වීම නිසා අනාගත ශ්‍රම බලකාය අකාර්යක්‍ෂම වීමේ අවදානම.

ඉහත කරුණු නිසා දේශීය ආහාර පරිභෝජනයට ජාතියම හුරු කළ යුතුය. මෙතැන ඇති ප්‍රබලතම ගැටලුව වන්නේ දේශීය ආහාර සඳහා ඉල්ලුමක්‌ සහ සැපයුමක්‌ ඇති කිරීමට ඇති නොහැකියාවයි. මෙය පිරිවැය පිළිබඳ ප්‍රශ්නයකි. මෙකී ගැටළු විසඳා ගැනීම මත දේශීය කෘෂි ආර්ථිකයක අනාගතය රැඳී පවතිනු ඇත. මේ නිසා මුළු දේශීය කෘෂි ආර්ථිකයක අනාගතයම රැඳී ඇත්තේ අඩු පිරිවැයකින් ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව මත බව අප තේරුම් ගත යුතුය. අඩු පිරිවැයකින් ආහාර නිෂ්පාදනය සඳහා ක්‍රම වේදයක්‌ සකස්‌ කළ යුතුය.

අඩු පිරිවැයකින් ආහාර නිෂ්පාදන ක්‍රම වේදයක්‌

ආහාර නිෂ්පාදනයේදී පිරිවැය විශාල වශයෙන් වැය වන්නේ මොනවාටද? කරුණු කීපයක්‌ නිසා ආහාර නිෂ්පාදනයේ පිරිවැය ඉහළ යයි.

1. ශ්‍රමය

2 පොහොර සහ කෘමිනාශක

3. යන්ත්‍ර සූත්‍ර

4 ගබඩා කිරීම සහ මිලදී ගැනීම

මේවා අතරින් යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් මූලික ප්‍රාග්ධනයක්‌ වැය කළ පසු ඒ සම්පත් දිගින් දිගට කාලාන්තරයක්‌ භාවිතා කළ හැකිය. නමුත් ශ්‍රමය, පොහොර සහ කෘමිනාශක වෙනුවෙන් සෑම කන්නයකම නැවත නැවත අති විශාල අමතර පිරිවැයක්‌ දැරීමට සිදුවෙයි. නමුත් අපට ආහාර නිෂ්පාදනයේදී පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව ඇත්තේද මෙකී ශ්‍රමය සහ පොහොර නමැති සාධක දෙකට පිළියම් යෙදීම මතය. ගබඩා කිරීම, මිලදී ගැනීමේ පිරිවැය සහ යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් වැය වන පිරිවැය මූලික ආයෝජනයෙන් පසුව නඩත්තු කරමින් පවත්වා ගත හැකිය. මේ නිසා ගබඩා කිරීම, මිලදී ගැනීමේ පිරිවැය සහ යන්ත්‍ර සූත්‍ර සඳහා රාජ්‍ය මූලික පිරිවැය සම්පාදනයක්‌ද, ශ්‍රමය පොහොර සහ කෘමිනාශක වෙනුවෙන් වැය වන පිරිවැය අඩු කිරීමේ ක්‍රමවේදයක්‌ද එකවර යෙදුව හොත්, අඩු පිරිවැයකින් ආහාර නිෂ්පාදනය කළ හැකිය.

1. ශ්‍රමය

අතීත ලක්‌දිව ජීවන ක්‍රමය සහ වගා ක්‍රම ගැඹුරින් පරීක්‍ෂා කළහොත් මේ සඳහා අනගි විසඳුමක්‌ හමුවෙයි. පැරැණ්‌නන්ට වගා කිරීම රැකියාවට වඩා දැහැමි විනෝදාස්‌වාදයකි. ජීවිතයද එයම විය. එදා කමතේ ඇසුන මිහිරි ගොයම් කවි හඬ සහ අද ඇසෙන කඨෝර ට්‍රැක්‌ටර් හඬ අතර වෙනස එයයි. පැරණි ගොවිතැනට ශ්‍රමය සැපයු ප්‍රධාන ක්‍රම තුනකි.

1. අත්තම් ක්‍රමය

2. උදව් වීම

3. ගොවි පවුලම වැඩ කිරීම (පවුලේ දායකත්වය) යන ප්‍රධාන ක්‍රම තුනකි.

මෙතැන ඇති වැදගත්ම දෙය වන්නේ සිංහලයා ශ්‍රමයදානයක්‌ ලෙස පින් සලකා වැඩ කළද කිසිවිටෙක කුලීකරුවෙකු නොවීමයි. කුලීකරුවෙක්‌ වීමට සිංහලයාගේ අකමැත්ත කොතෙක්‌ද යත් වතු වගා වෙනුවෙන් දකුණු ඉන්දීය කුලීකරුවන් ගෙන්වීමට පවා යටත් විජිත හිමියන්ට සිදුවිය. අපේ ස්‌වයංපෝෂිත බවේ ප්‍රධාන රහස වුයේ ශ්‍රමය අලෙවි නොකිරීමයි. ශ්‍රමය අලෙවි නොකිරීම හේතුවෙන් නිෂ්පාදන මිල අවම කර ගැනීමේ වාසිය ලැබුණි. ශ්‍රමය අලෙවි නොකිරීම බුදුදහමින් සකස්‌ වූ සාම්ප්‍රදායක්‌ මිස කිසිවෙකු හෝ හිතාමතා සකස්‌ කළ අර්ථ ක්‍රමයක්‌ නොවේ. මේ ක්‍රමය නූතන ලංකාවට යළි ආදේශ කළ නොහැකිද? වත්මන් කෘෂි ආර්ථික පවත්වා ගැනීමට ඇති ප්‍රධාන බාධාව වන්නේ ශ්‍රමය සඳහා විශාල පිරිවැයක්‌ වැයවීමේ අවදානමයි. අත්තම් ක්‍රමය යනු ශ්‍රමිකයන් කීපදෙනෙකු මාරුවෙන් මාරුවට එකිනෙකාගේ වැඩ කටයුතු සඳහා උපකාර කර ගැනීමයි. එහි වැදගත්ම දෙය වන්නේ පුහුණු සහ විශේෂඥ ශ්‍රමය නොමිලේ ලැබීමය. උදව් වීම ලෙස අදහස්‌ කරන්නේ ගමේ වෙද මහතා වැනි විශේෂ පුද්ගලයන් සඳහා නොමිලේ කැමැත්තෙන් සේවය කිරීමයි. අතීතයේ පැවැති අනෙක්‌ ශ්‍රමය සැපයීමේ ක්‍රමය වන්නේ පවුලේ දායකත්වයයි. මෙය පැය විසිහතරේ සේවයකි. මෙහි වාසිය වගාව පිළිබඳව පරම්පරා දැනුම ප්‍රායෝගිකව පියාගෙන් පුතාට පැවරීමයි. මේ නිසා ගොවිතැනට නිබඳවම පුහුණු ශ්‍රමය ලැබුණි. වල් මර්දනය හා කෘමි මර්දනය හා වගාව රැකබලා ගැනීම නිසිලෙස සිදු වීම නිසා ගොවිතැනට සකසුරුවම් කලාව එකතු වුයේ පවුලේ දායකත්වයයි. මේ තුන් ආකාර වූ ශ්‍රම දායකත්වය නූතන යුගයට ගැලපීමට නම් ගොවියාට උසස්‌ සමාජ තත්ත්වයක්‌ ලබාදීමට සළස්‌වා ගොවියා පිළිබඳ ආකල්ප සුභදායී ලෙස වෙනස්‌ කළ යුතුය. අත්තම් ක්‍රමය, උදව් වීම, පවුලේ දායකත්වය වන තුන් වැදෑරුම් ක්‍රම උපයෝගී යොදවා, කුලීකරුවා වගා භූමියෙන් ඉවත් කළ හොත් විශාල පිරිවැයක්‌ ඉතිරි කර ගත හැකිය. එය නිෂ්පාදන මිල අඩු වී වෙළෙඳ පොළ මිල පහළ යැමට හේතු වෙයි.

පොහොර සහ කෘමිනාශක

තාක්‍ෂණය භාවිතා කරන පරපුරට සුවදායක බව ලැබුණද, එහි අතුරු ප්‍රතිඵල විඳින පරම්පරාව අවාසනාවන්ත පිරිසක්‌ වනු ඇත. ගමේ එක්‌සත් බව නැති වී පස නිසරු කළ ප්‍රධාන සාධකය වුයේ අත්ට්‍රැක්‌ටරය සහ ගොයම් මඬින මැෂිමයි. අතීතයේ පාදයෙන් ගොයම් මැඩීම නිසා බිත්තර වී ගොවියාම සකස්‌ කරගත්තේය. ගොයම් මඩින මැෂිම නිසා ධාන්‍ය අධික ලෙස රත්වීම නිසා බීජ පැලවීමේ හැකියාව හීන වී කවදාවත් අත්නොවිඳි බිත්තර වී ආනයනකටද ජාතික ධනය වැය වීමට සිදු විය. කෙටි කාලීනව වැඩි අස්‌වැන්නක්‌ දුන් එම අස්‌වාභාවික විදේශීය වී වර්ග පාරම්පරික වී වර්ග අභාවයට යෑවීය. මේ නිසා මුළු වී වගාවම බිත්තර වී ආනයනය කරන්නන්ගේ පාලනයට ගොදුරු වීමේ අවදානමේ පවතී. සහනය පතා තාක්‍ෂණය භාවිතා කර ජාතියම අවදානමක වැටුණි. එය වළක්‌වා ගතහොත් නිෂ්පාදන මිලද අඩු කරගත හැකිය. සාම්ප්‍රදාdයික තාක්‍ෂණයේ සහ නූතන තාක්‍ෂණයේ දීර්ඝ කාලීන ප්‍රතිලාභ කෙරේ ගොවියා දැනුවත් කළ යුතු අතර අවශ්‍ය නීතිද සම්පාදනය කළ යුතුය.

මීට පෙර පැරණි යුගවල කාර්යක්‍ෂම නොවුනද ඒ සඳහා යොදා ගත්තේ මී ගවයාය. මී ගවයා යොදා වගා කිරීම නිසා වසර පුරා කුඹුරුවල පසට කාබනික ද්‍රව්‍ය එකතු වී පස සාරවත් විය. අමතරව මී කිරි ලැබුණි. අත් ට්‍රැක්‌ටරය ගෙන ඒමට පෙර පොහොර ආනයනය කළේද නැත. ට්‍රැක්‌ටරය නිසා ජලයට මිශ්‍රවන කාබනික ද්‍රව්‍ය ඉවතට ගලා යයි. පසද නිසරු වෙයි. සීසෑමට මී ගවයන් යොදා ගත්විට කාබනික ද්‍රව්‍යද එකතු වෙයි. මී ගවයන් කෝටි ගණනක්‌ සිටින ඉන්දියාවේ මහා පරිමාණයෙන් පොහොර යොදන්නේ නැත. පොහොර යෙදීමට පුරුදු වු විට පස පොහොරට ඇබ්බැහි වුවා මිස සෑහීමට පත් වුයේ නැත. නිරන්තර පොහොර යෙදීම නිසා වගාවට හිතකර ජීවීන්ද විනාශ වෙයි. මෙහි ප්‍රතිඵලය වුයේ සාම්ප්‍රදායික කෙම් ක්‍රමවලින් කෘමි සහ වල් මර්දනය කිරීමට තවදුරටත් කළ නොහැකි වීමයි. එම නිසා කෘමි සහ වල් මර්දනය කිරීමටත් අමතර මුදලක්‌ අවශ්‍ය වීමයි. මෙලෙස ජාතික ආර්ථිකයෙන් විශාල පිරිවැයක්‌ යොදවා දෙනු ලබන පොහොර සහනාධාරය ඇත්ත වශයෙන්ම පස නිසරු කිරීම පවත්වාගෙන යැමයි. එසේ නම් ලංකාවේ ගොවිතැන විනාශ කළේ පොහොර, කුලී ශ්‍රමිකයන් සහ අත්ට්‍රැක්‌ටරය නොවේද?

මී ගවයන් සියලුම ගොවිපළවල් සඳහා රජය විසින් නොමිලයේ ලබාදිය යුතුය. පසේ කාබනික ගුණය වැඩි කිරීම සඳහා ගොවිපළ කොටස්‌ හතරකට බෙදා කොටස්‌ තුනක්‌ වී වගා කළ යුතුය. කොටස්‌ දෙකක්‌ වී සහ අනෙක්‌ ධාන්‍ය සඳහා ද තවත් කොටසක්‌ එළවළු සහ පලා වර්ග සඳහාය. අනෙක්‌ කොටස සත්ත්ව පාලනයටය. සත්ත්ව පාලනයට වෙන් කළ කොටසේ මී ගවයන්ද ඇති කළ යුතුය. කන්නය අවසන් වන විට මී ගවයන් ඇති කළ කොටස කාබනික පොහොරවලින් සාරවත් වනු ඇත. ඊළග කන්නයේ දී සත්ත්ව පාලනයට වෙන් කළ කොටස වගාවට යොදා ගෙන, වෙනත් කොටසකට සත්ත්ව පාලනය මාරු කළ යුතුය. මෙලෙස, සත්ත්ව පාලනයට වෙන් කරනු ලබන කොටස වරින් වර මාරු කරමින් වට කීපයක්‌ යන විට ක්‍රමයෙන් පොහොර අඩු කර වසර තුනකදී රසායනික පොහොර යෙදීම සම්පූර්ණයෙන් නවතා දැමිය හැකි තත්ත්වයකට පත් වනු ඇත. මෙලෙස සත්ත්ව පාලනයට යොදා ගන්නා කොටස වරින් වර මාරු කළ විට වසර ගණනකදී මුළු ගොවිබිමම පොහොර අවශ්‍ය නැති සරු බිමක්‌ වනු ඇත. මේ නිසා අතිවිශාල අමතර මුදලක්‌ ඉතිරි වෙයි. සුළු ප්‍රාග්ධනයකින් වගාව කරගත හැකිවීම නිසා ගොවියා සහනාධාර මත යෑපෙන්නෙක්‌ නොවේ. පොහොර ගෙන්වීමට වැය වන ජාතික ධනය ඉතිරිවෙයි. එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙයි.

නාස්‌තිය අවම කිරීම 

ශ්‍රමය අලෙවි නොකිරීම මත පදනම් වූ නව කෘෂි ආර්ථික සම්ප්‍රදායක්‌ ඇති කර නිෂ්පාදන වියදම අවම කර ගත හැකිය. ග්‍රාමීය ඉඩම් කැබලිවී තිබීම නිසා ඵලදායීතාව අඩු වී විශාල ලෙස ආහාර නිෂ්පාදනය අඩාල වී ඇත. එකම හෙක්‌ටයාරය පස්‌ දෙනෙකු අතර බෙදුණහොත් වෙන වෙනම කම්කරුවන් අවශ්‍ය වෙයි. එසේම එකම වැඩය වෙන වෙනම වාර පහක්‌ කරයි. සමහර කොටස්‌ වගා නොකරයි. කුඩා ඉඩම් කැබලි වී තිබීම නිසා විශාල අමතර ශ්‍රමයක්‌ කුඩා භූමියක්‌ සඳහා වැය වන නිසා නිෂ්පාදන මිලද ඉහළ යයි. අනෙක්‌ අතට පොහොර, කෘමිනාශක සහ යන්ත්‍ර සූත්‍ර සඳහාද වෙන වෙනම වැය කළ යුතු නිසා අමතරව වැය වෙන මුදල් ප්‍රමාණය ප්‍රතිඵලදායක නැත. නාස්‌තිය මිස ඵලදායීතාවය දැකිය නොහැකිය. මෙහි ප්‍රතිඵලය වැඩි ප්‍රාග්ධනයක්‌ යොදවා කුඩා ඉඩමක්‌ වගා කර අඩු අස්‌වැන්නක්‌ ලබා ගැනීමට සිදුවීමයි. මෙය වැළැක්‌විය යුතුය. ඒ සඳහා, ඉඩම්වල පාරම්පරික අයිතීන් වෙනස්‌ නොවන ලෙස ගම්වල සියලු වගා ඉඩම් එකතු කර සමුහ ගොවිපළ ක්‍රමයක්‌ ඇති කළ හොත් නාස්‌තිය අඩුකර සුළු ප්‍රාග්ධනයක්‌ වැය කර ඵලදායීතාවය වැඩි කරගත හැකි වනු ඇත. මෙය කරවීමට හැකි හොඳම ක්‍රමය වන්නේ රාජ්‍ය මුලික අධීක්‍ෂණය සහ පුද්ගලික අංශය යටතේ වගා කරවීමට යාන්ත්‍රණයක්‌ සකස්‌ කිරීමයි. පුද්ගලික අංශය මෙහෙයවනු ලබන සමූහ ගොවිපළ ක්‍රමයක්‌ වඩාත් ඵලදායීතාවයකින් යුත් නිෂ්පාදනයක්‌ ඇති කරනු ඇත. මන්ද උග්‍ර රාජ්‍ය මූලික ආයතනික ක්‍රමයකින් සමූහ ගොවිපළ ක්‍රමයක්‌ කළහොත් කාලයක්‌ සමග නිලධාරීවාදය ඇති වී ඵලදායීතාවය නැති වනු ඇත. නමුත් වගා කර ගැනීම මත ගම්වැසියාටම ලාභ ගැනීමට හැකි ක්‍රමයක්‌ සකස්‌ කළහොත් අභිප්‍රේරණය ගොවියාගේ අවශ්‍යතාවයක්‌ වනු ඇත.

වගා කරවීම සඳහා ඉඩම් හිමියන්ගෙන් සහ ගොවියන්ගෙන් සැදුම්ලත් සමූහ ගොවිපළේ පාලන මණ්‌ඩලයක්‌ ඇති කළ යුතුය. රජය සහනාධාර ලබාදිය යුත්තේ එම සමුහ ගොවිපළේ පාලන මණ්‌ඩලයටයි. පොහොර, කෘමිනාශක, ට්‍රැක්‌ටර් සහ කෘෂි මෙවලම්ද ඇඹරුම්හලක්‌, ගබඩාවක්‌, බෙදාහැරීමේ සමුපාකාර ගොඩනැඟිල්ලක්‌ ගමකට රජය ලබා දිය යුතුය. මේ නිසා නව රැකියා අවස්‌ථාද ගම තුළ ඇති වෙයි. එළ හරක්‌, මී ගවයන් සහ එළුවන් වෙනත් සතුන් සහිත සත්ත්ව පාලනයටද වගා භූමියෙන් හතරෙන් පංගුවක්‌ යොදාගත යුතුය. ගව ඝාතනය තහනම් කළ යුතුය. ගමේ සියලු ගවයන් සමූහ ගොවිපළට ගෙන ඇති කළ යුතුය. එවිට ගමට අවශ්‍ය කිරි ගමේම නිපදවා ගත හැකිය. දියර කිරි අලෙවි කිරීමෙන් අමතර ආදායමක්‌ද සමූහ ගොවිපළට ලැබෙයි. වසර කීපයකින් පිටිකිරි භාවිතය නවතා විශාල විදේශ විනිමයක්‌ ඉතිරි කළ හැකිය. මුදවන ලද කිරිද අලෙවි කළ හැකිය. නව රැකියා අවස්‌ථා බිහිවෙයි. ගමට අතිරික්‌ත වන කිරි, සහල්, එළවළු, නගරයට අලෙවි කළ හැකිය.

සමූහ ගොවිපළේ ලාභය ඉඩම් හිමියන් සහ ගොවියන් අතර බෙදිය යුතුය. සමූහ ගොවිපළ පොහොර, කෘමිනාශක භාවිතය ක්‍රමයෙන් අඩු කළ යුතුය. පොහොර, කෘමිනාශකවල රසායනික දේවල් ආහාර වශයෙන් ශරීරවලට ඇතුල්වීම නිසා මුළු මහත් ජාතියම විවිධ රෝගාබාධවලට ලක්‌වෙයි. මේ නිසා ජාතික ධනයෙන් විශාල මුදලක්‌ බෙහෙත් ගෙන්වීමට වැය වෙයි. අනෙක්‌ අතට ජාතිය නිරෝගී නොවීම නිසා ශ්‍රමිකයන් දුර්වල වී නිෂ්පාදනවල ප්‍රමාණය සහ ගුණාත්මකභාවය අඩුවෙයි. මේ නිසා නිරෝගී ජාතියක්‌ බිහිකිරීම සඳහා පිරිසිදු ආහාර ගමට සහ නගරයට ලබාදීම සමූහ ගොවිපළේ අරමුණකි.

නාගරික සහ ග්‍රාමීය අවන්හල්වල ඇත්තේ තනිකරම පාහේ තිරිඟු පිටිවලින් සකස්‌ කරන ලද ආහාර පමණි. ඒවා ඉහළ මිලකට විශාල වශයෙන් අලෙවි වෙයි. මෙම ආහාර පරිභෝජන රටාව වෙනස්‌ කර එතැනටද දේශීය ආහාර ආදේශ කළ යුතුය. තිරිඟු පිටිවලින් සකස්‌ කරන වෙළෙඳ පොළේ ඇති ආහාර මෙන් අලෙවි කළ හැකි නව ආහාර වර්ග සහල් සහ දේශීය ධාන්‍යවලින් සකස්‌ කිරීමට පර්යේෂණ කළ යුතුය. තිරිඟු පිටිවලින් සකස්‌ කරන ලද ආහාර වර්ග සකස්‌ කළහොත් ධනයත් ඉතිරි කළ හැකිය. තිරිඟු පිටි නිසා ඇති වන පෝෂණ ඌණතා නැතිවීමේ අමතර වාසියක්‌ ලැබෙයි. අනෙක්‌ අතට නව කර්මාන්ත ඇති වීම නිසා රැකියා අවස්‌ථාද ඇති වෙයි. 

ලලීන්ද්‍ර සන්නස්‌ගම