හිනැහෙන්න දරුවා ජීවිතය සුන්දරයි

සාහිත්‍ය නිර්මාණය කියන්නේ හරිම පුදුම දෙයක්‌. ඒක නිකං ආවේශයක්‌ වගේ. ලියන්න හිතුන මිනිහ කොහේ හිටියත් ලියනවා. මේ ආකාසෙ යට කොහේ හරි. මාලිගාවයි මුඩුක්‌කුවයි කියල වෙනසක්‌ නෑ ඒ වෙලාවට.

ඒකට නැදුන්වලින් හදල වාර්නිස්‌ කරපු දිලිසෙන මේස හරි විල්ලුද ඇතිරූ පුටු ඕන නෑ. ගහක්‌ ගලක්‌ ළඟ ඉඳගෙන ලියනව. කෑම බීම සහ වෙනත් දේවල් එතනදී සුළු දේවල් වෙනව.

ඔබ කියවන්න යන මේ කතාවේ කතා නායිකාවත් ඒ වගේ කෙනෙක්‌. බ්‍රසීලයේ සා ඕ පාඋලෝ නුවර මුඩුක්‌කුවක ජීවත් වූ කැරොලිනා මරියා ද ජීසස්‌ ඒ. ඇයට ලියන්න කඩදාසි කැබැල්ලක්‌වත් තිබුණෙ නෑ. ඈ ඒවා හොයා ගත්තේ කුණු බක්‌කිවලින්. ලිව්වේ පුංචි පහනක එළියෙන්.

සාහිත්‍ය ගැන උනන්දුවක්‌ දක්‌වන කාටත් ඇගේ කතාව කියවල බලන්න වටිනව.

ඇගේ කතාව ඉවසිල්ලෙන් කියවන්න. එතකොට ඔබට තේරේවි ජීවිතේ කරදර කියල ඔබ අඬා වැලපෙන දේ මොනතරම් නිස්‌සාර නොවැදගත් දේද කියල. එහෙම තියෙද්දී හදිසියෙම ඈ පොළොව පලාගෙන මතු වූ බිම්මලක්‌ වගේ බැබලෙන්නට පටන් ගත්ත. ඒක වුණේ මෙහෙමයි.

එදා රාත්‍රී මම මගේ අම්මා අතහැර නගරයට පලා ගියේ ඇඳ හිටිය ගවුම පිටින්. මට මුළු ජීවිතයම එපා වෙලයි තිබුණේ. මං මුළු ලෝකයටම ඒ වෙලාවේ වෛර කරමිනුයි සිටියෙ. ඇත්තම කියනවා නම් ජීවිතය ගැන කතා කරන්න මට තවත් කිසි දෙයක්‌ ඉතුරු වෙලා තිබුණෙ නෑ.

හැම උදෑසනකම මම අවදි වුණේ කනස්‌සල්ලෙන්. ඒත් කන්න දෙයක්‌ නෑ. පොඩි පාන් කෑල්ලක්‌ විතරයි තිබුණෙ. මේ වගේ කාලකන්නි ජීවිතයක්‌ ගත කරන එකම පුද්ගලයා මමද කියල මට හිතුනා.

මම නගරයට ගියත් සා ඕ පා උලෝ ගැන එතරම් දැන සිටියෙ නෑ. මම අවුරුදු 17 ක්‌ම ඈත පිටිසර නිසරු ගොවි පොළක තණ කොළත් එළදෙන්නුත් අතර හිරවෙලා හිටිය මෝඩ කෙල්ලක්‌ විතරයි. මට තාත්ත කෙනෙක්‌ හිටියෙ නෑ. මං පුංචි කාලෙම එයා අම්මව දාල ගිහිල්ල. මට ආදරය ලැබුනෙ නෑ. මට අම්ම ගැන තියෙන්නෙ කියන්න බැරි තරම් දුකක්‌.

ඒත් සා ඕ පා උලෝ නගරයට ගිය පළමු දවසෙ මම අවුරුදු 17 ක්‌ තිස්‌සෙ ඉගෙන ගත්ත නැති දේවල් එක දවසින් ඉගෙන ගත්ත. මම නගරය මැද්දට ඇවිත් තිබුණ. මෙතැන උන් කන්නෙ උන්ට කන්න මොනව හරි තිබුණ වෙලාවට විතරයි. මං ගිය මුඩුක්‌කුවේ ඈයො මට කිව්වා.

මේ තමයි සා ඕ පා උලෝ හි ඌරු කොටුව. මෙතැන ජීවත් වෙන්න පුළුවන් ඌරන්ට විතරයි. ඉතින් මමත් ඊරියක්‌ වෙන්න තීරණය කළා. වෙන මොනව කරන්නද?

සල්ලාලයො මාව වට කර ගත්ත. උන්ගෙන් බේරෙන්න බැරිම තැනයි මම පෘතුගීසි නැවියෙක්‌ එක්‌ක යාළු වුණෙ. ඒත් මම රැවටුනා හැම ගෑනියක්‌ම රැවටෙනව වගේ. අන්තිමට මම දරු පැටියෙකුත් එක්‌ක තනිවුණා. ඔබට හිතා ගන්න පුළුවන් බොළඳ, මෝඩ කෙල්ලක වන මම විශාල බඩකුත් එක්‌ක කෑමට යමක්‌ සොයමින් වීථි දිගේ ඇවිද්ද හැටි. නගරය එහෙම පිටින්ම දුෂ්ටකමින් පිරිල තිබුණ. සෑම ලාම්පු කණුවක්‌ යටම සල්ලාලයෙක්‌ හිටිය.

මම දවස්‌ ගාණක්‌ නිරාහාරව සිටිය. බැරිම තැන හෝටලවල කුණු බක්‌කි අවුස්‌සල කෑමට පුළුවන් හැම දෙයක්‌ම කෑව. බඩේ ඉන්න දරුවට හැම ගෑනියෙක්‌ම ආදරය කරනව වගේ මගේ හිතත් ඒ හැඟීමෙන් පිරිල තිබුණ. මොන පුදුමයක්‌ද මන්ද ඒ වගේ හැඟීම් පවා ඇතිවෙන්නෙ අප වගේ ගෑනුන්ගෙ කරුමෙටයි කියල මට හිතෙන්නෙ.

මම තැන තැන ඇවිදල පරණ කඩදාසි එකතු කරල විකුණුව. ඒ අස්‌සෙ පරණ තහඩු කෑලි ගහල පැලකුත් අටව ගත්ත. මගේ කුළුඳුල් දරුව ඉපදුනේ ඒ පැල ඇතුළෙදී. ඒ වෙලාවෙ මට උදව්වට හිටියෙ ඇඟ කකියවන තරම් සීතල සුළඟ විතරයි.

දරුව උපන්නට පස්‌සෙ මගේ ජීවිතය බෙහෙවින් කටුක බවට හැරුණ. කුණු බාල්දිවල හැමදාම කෑම තිබුණෙ නැහැ. මට අකමැත්තෙන් වුණත් තීරණයක්‌ ගන්න වුණා. මිනිහෙක්‌ එක්‌ක නිදා ගෙන ඉඳල ආවම මම මටම සාප කර ගත්ත. ඇඬුව, නිරාහාරව හිටිය. ඒත් මගේ දරුවගෙ බඩගින්න වෙනුවෙන් මම ඊළඟ රාත්තිරියෙත් මිනිහෙක්‌ ගාවට ගියා.

මගේ ඊළඟ දුවත් උපන්නෙ ඔය විදිහට. මම කොයිතරම් ප්‍රවේසම් වුණත් සමහර සල්ලාලයෝ මට ඒකට ඉඩ දුන්නෙ නැහැ. මගේ ජීවිතය කඳුළුවලින් වැහෙන්න පටන් ගත්ත. ඒත් කොහොම හරි දරු පැටව් රැක ගන්න ඕන කියල මම තීරණය කර ගෙන හිටිය.

පැල්පත්වල වාසය කරන අප කෑමට යමක්‌ සොයන හින්ද උන් කුණු බාල්දිවලට භූමිතෙල් වත්කරල තිබුණ. මනුස්‌සකමක්‌ නැති පාහරයො. උදේට මම හැමදාම ඇවිද්දෙ බඩගින්න නිසා හැදුන කලාන්ත ගතියෙන්. මගේ මුළු ඇඟම වෙව්ලනව වගේ මට දැනුන. ආහාර පොදක්‌වත් නැතිව බඩ හුළං වලින් පුරවා ගැනීමේ දරුණුකම මට වැටහෙන්න පටන් ගත්ත.

මට හුඟාක්‌ දුක්‌ සහිත දවසක්‌ ගැන කියන්න ඕන. ඒ කියන්නෙ ජූලි මාසේ 15 වැනිදා. මගේ දුව වීරා ඉසෙනිප් ගේ උපන් දිනය. අම්ම කෙනෙක්‌ හැටියට මං එයාට මොනව හරි එදාට දෙන්න ඕන නේද කියල මට හිතුණ. ඒත් ඒක මම කොහොම කරන්නද? මගේ පපුව පැලෙන්න වගේ ආව.

ඒත් ඊට ඉස්‌සෙල්ල දවසෙ මම සපත්තු කම්මලක්‌ ළඟින් ඇවිද ගෙන යන කොට හදිසියේම මම ඒක දැක්‌ක. පුංචි සපත්තු දෙකක්‌ කුණු ගොඩේ තිබුණ. මම ඒක ගෙනවිත් සෝදා ඉරුණු තැන් මහල දුවට තෑග්ගට දුන්න. ඊට වඩා මම මොනව කරන්නද?

තවත් දෙයක්‌ කියන්නට ඕන. මේ තරම් පාතාල ලෝකයක සිටියත් මට එක්‌ පුරුද්දක්‌ තිබුණ. මේක මගේ ජීවිතේ නොසිතූ පරිදි වෙනස්‌ කළා. මම ඒ කාලෙ මොනව හරි ලිව්වා. ජීවත් වුණු හැටි, ලෝකෙ හැටි, මිනිස්‌සු ගැන, මගේ දරු පැටව් ගැන මම ඒවා ලිව්වෙ රාත්‍රි පුංචි පහනක එළියෙන්. කඩදාසි හොයා ගත්තෙ කුණු ගොඩවලින්.

කොහොම වුණත් මුඩුක්‌කු ජීවිතය මගේ කවි සිත අවදි කළා. මම උදේ පාන්දර 4 ට අවදි වෙලාත් ලිව්ව. ඒ වෙන කොට කුරුල්ලන් උන්ගෙ සංගීතය පටන් අරන්. උන්ගෙ ලෝකය අපේ ලෝකයට වඩා හොඳ ඇති කියල මට හිතුන. ඒත් පුංචි කුරුල්ලෝ ප්‍රවේසම් වෙයන්, බළලුන්ට බඩගිනි වුණාම උන්ට කූඩුවල ඉන්න උඹලා මතක්‌ වෙනවා.

අහස දම් පාටයි. ගස්‌වල උස රිකිලි සෙලවෙනවා. දුප්පත් වුණත් මම මගේ රටට ආදරෙයි. කෑ සෙම්රෝ ඩී ආබ්‍රො කියන බ්‍රසීල ජාතික කවියාගේ කවියක පදයක්‌ මට සිහිවුණා.

"හිනහෙන්න දරුවා ජීවිතය සුන්දරයි"

මම ලියූ ඒවා මම කාටවත් දුන්නේ නැහැ. අවසානයේ මම බලාපොරොත්තු නොවූ දෙයක්‌ සිද්ද වුණා. දවස්‌ උදේ පාන්දර මම දොර අරින කොටම වැදගත් පෙනුමක්‌ තියන මහත්තයෙක්‌ මගේ පැල්පත ඉස්‌සරහ හිටිය. මම හිතුව ඒ මගේ තවත් ගනුදෙනු කාරයෙක්‌ කියල. මම ඔහුට ආපසු යන්න කියන්න හදන කොටම ඔහු හිනා වෙලා මෙහෙම ඇහුව.

"ඔබද කැරොලිනා මරියා ද ජීසස්‌ කියන්නේ?

"ඔව්. ඒත් ඔබ බලාපොරොත්තු වන දේ දැන් මගෙන් ලැබෙන්නේ නෑ. කියලා මම දොර වහන්න හැදුවා.

නෑ, නෑ, මට ඕනෑ ඔබ ලියන දින පොත. මිනිස්‌සු කියනවා ඔබ නිතරම ලියන කෙනෙක්‌ කියලා.

මම හිටිවනම නැවතුනා. මේ මොන පුදුමයක්‌ද? මට කොයින්ද දින පොතක්‌. ඒක ලියා ද තිබුණෙ පිළිවෙළක්‌ නැති කිළිටි කඩදාසිවල. මම කැමැති වුණෙ නෑ ඒවා දෙන්න. ඒත් ඔහු බලකරල ඉල්ලා සිටිය. ඔහු වාර්තාකාරයෙක්‌. මිනිහගෙ නම ඇඩා ලියෝ ඩාන්තාප්, "ඕක්‌රුක්‍ෂයරෝ" සඟරාවෙ වැඩ කරන්නෙ.

ටික දවසක්‌ යන කොට මට අපූරු ආරංචියක්‌ ආව. මගේ ලියවිලි, පොතක්‌ හැටියට මුද්‍රණය කරන්න යනවාලු. ඒක ලොකු දෙයක්‌. ඒත් එක දෙයක්‌ වේවි. පොත එළියට ආවහම හුඟ දෙනෙක්‌ මා එක්‌ක නොරොක්‌ වේවි.

ඊට පස්‌සෙ මගේ ජීවිතය බලා ඉන්දෙද්දී වෙනස්‌ වෙන්න පටන් ගත්ත. මගේ දින පොත (Child of the dark) කොටස්‌ වශයෙන් ඕක්‌රුක්‍ෂයරෝ (Ocruczioro) සඟරාවේ පළ වෙන්න පටන් ගත්ත. ඊට පස්‌සෙ මගේ පොත මුද්‍රණය වුණා. පොත දොරට වඩම්මන දිනයේ මම මගේ පොත් 600 කට මගේ අත්සන තිබ්බ. දින තුනක්‌ ඇතුළත පොත් 10,000 ක්‌ සා ඕ පා උලෝ නගරයේම අලෙවි වුණා. මගේ පොත බ්‍රසීල විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව කරන සිසුන්ගේ අත්පොතක්‌ වුණා. මට නීති විද්‍යාලයේ සාමාජිකත්වය දීමෙන් ඒ ගොල්ල මට ගරු කළා. පුදුම වෙන්න එපා ඒක තමයි ඉරණම කියන්නෙ. සෑම පොත් ගුලකම මගේ නම ලියෑවී තිබුණ. මගේ ඇස්‌ මටම අදහා ගන්න බැරි වුණා. මම අර කුණු බක්‌කිවල කෑම අහුලා ගෙන කාපු ගෑනිද කියල මට හිතුන.

දවසක්‌ මම ඉහළ පෙළේ අවන්හලක භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින් සිටියා. එක්‌ ඡායාරූප ශිල්පියෙක්‌ මගේ ඡායාරූපයක්‌ අරගෙන මගේ ළඟට ඇවිත් මෙහෙම ඇහුව.

මැඩම් මේ ඡායාරූපය යටින් මොනවද ලියන්න ඕන?

මගේ ඇස්‌වලට කඳුළු උනාගෙන ආව. මුළු ජීවිතයම ආපස්‌සට කැරකැවිල මගේ පාමුල ළඟට ලෝකයම ගෙනැල්ල කියල මට හිතුනා. එහෙත් හැඟීම් මැඩගෙන මම මෙහෙම කිව්වා.

ලියන්න මෙහෙම, කුණු බාල්දිවලින් සොයා ගත් ආහාර වැළඳු කැරොලිනා දැන් නවීන පන්නයේ අවන්හලකින් බොජුන් වළඳයි. දැන් ඈ කසළ ගොඩේ සිට මිනිස්‌ වාසය වෙත පා තබා ඇත. එහෙම හොඳයි නේද?

මම සිනාසෙමින් ඔහුට කිව්වා.

පසුගිය දිවයින ඉරිදා සංග්‍රහයේ 21 වන පිටුවේ පළ වූ මැක්‌සිම් ගෝර්කි පිළිබඳ ලිපිය ලියන ලද්දේ ලීලානන්ද වික්‍රමසිංහ විසිනි. ප්‍රමාද දෝෂයකින් එහි නම පළවී නොමැත.

ලීලානන්ද වික්‍රමසිංහ