කළු ඇමරිකානුවන්ගේ උරුමය හෙළි කළ රූට්‌ස්‌

ඇලෙක්‌ස්‌ හේලි විසින් ලියන ලද කළු අමරිකානුවන් පිළිබඳ ලේ කඳුළු කතාව එනම් "රූට්‌ස්‌" නවකතාව ඇමෙරිකාවේ ඇති කළේ සුළුපටු ආන්දෝලනයක්‌ නොවේ.

ඇමරිකානු සම්භාව්‍ය සාහිත්‍යයටද එකතු වූ මේ පොත කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් මුල් පිටපත් සංඛ්‍යාව විකුණුනේ උණු කැවුම් මෙනි. දස ලක්‍ෂ 130 ක්‌ ඇමරිකානුවෝ කොටස්‌ 12 කින් යුතුව විකාශනය වූ රූට්‌ස්‌ ටෙලි නාට්‍යය ඉවසීමක්‌ නැතිව නිති පතා නැරඹුවෝය. (මීට වසර කීපයකට ඉහත ශ්‍රී ලංකා රූපවාහිනියෙන්ද රූස්‌ට්‌ විකාශනය විය) දොළොස්‌ අවුරුද්දක්‌ තිස්‌සේ එම පොත ලිවීමට එහි කර්තෘ ඇලෙන්ස්‌ටෝලී ගත් කටුක වෙහෙසත් ඉන් ඔහු ලත් ප්‍රතිචාරත් විශ්මය දන්වන සුළු විය. මේ එම නිර්මාණය ගැන ඇලෙක්‌ස්‌ හේලි කියන කතාවය.


මගේ ආත්තම්මා කියන අන්දමට ඔවුන්ගේ නිජ බිම අප්‍රිකාවය. එක්‌ සන්ධ්‍යාවක ඇගේ ඒ අපූරු කතාන්තරය අපට කීවේ ගෙනන්හි පිහිටි ඇගේ නිවසේ ආලින්දයේ පැද්දෙන පුටුවේ ඉඳ ගෙනය.

අප සියලු දෙනාම ඈ වටා රොක්‌ වී සිටියා. මගේ නෑනා ජෝපියා, පෝල් නැන්දා, ලිසා නැන්දා, අපි සේරම, අප්‍රිකාවේ සිට කැප්ලිස්‌ කියන නැවෙන් ගෙනවිත් ඔවුන් වහලුන් ලෙස වර්ජිනියාවේ දී විකුණා දැමූ අන්දම ඇය කියන විට අපට ඇති වූයේ මහත් භීතියක්‌. ඒ වගේම සංවේගයක්‌.

එසේ එනු ලැබූ එක්‌ වහල් මිනිසෙකු ළඟ සිටි කුඩා කෙල්ලක ගැන ඕ සඳහන් කළා. ආත්තම්මා කියූ පරිදි ඇගේ නම "කිසි බව මට මතකයි. ඇගේ පියාට ඔහුගේ හාම්පුතා විසින් දෙන ලද නම "ටොබි" එහෙත් එයාගේ සැබෑ නම වූයේ "කීන්වේ.

මේ සෙනෙහෙවන්ත තාත්තා වහලෙකු වුවත් තම පුංචි දුව තනි කළේ නැහැ. පියාගෙන් ඇයට උරුම වූයේ වහල් කම පමණක්‌ නොවේ. ඔහු තමා වැටී සිටි ආගාධය ගැන සිතුවේ නෑ. දුවට තමාගේ උරුමය කියා දුන්නා. තමාගේ මව් භාෂාව හා එහි අපූරු යෙදුම් ඔහු තම දුවට ඉගෙන්නුවා. ගිටාරයෙන් අප්‍රිකානු ගැමි වාදන නංවන අයුරු කියා දුන්නා.

රාත්‍රි කාලයේ තම කුටියේදී තමා දත් අප්‍රිකානු ගැමි කතා ඔහු තම දුවට කිව්වා.

එපමණක්‌ නොවේ. බෙර සෑදීම සඳහා "චොපින්" ලී කැපීමට වනයට ගිය විට තමා වහලෙකු ලෙස අල්ලා ගත් දුක්‌බර කතාන්තරයද අකුරක්‌ නෑර ඔහු තම දුවට කියා දුන්නා. කිසි ක්‍රමයෙන් වැඩි වියට පත් වුණා. මේ සියලු පුවත් තම දුවට කීවා. ඇගේ දරුවන් තම මුතුන් මිත්තන්ගේ එම කතාව කටින් කට ගෙන ගියා. කිසිගේ මිණිබිරිය වූ අපේ ආත්තම්මා දැන් ඒ කතාව අපට කියනවා.

ඒ අනුවේදනීය කතාන්තරය මගේ සවනත වැතෙත්ම, කපු හා දුම්කොළ වගාවත් සිවිල් යුද්ධය හා නිදහසත් තුළින් පණ ගසා මතු වූ කළු මිනිසුන් වූ අපගේ ලේ, දහඩිය හා කඳුළු මුසුවූ ඒ අකාරුණික පුවත මගේ සදාදරණීය නිජ බිම වූ අප්‍රිකාවේ සිට පැවත ආ අපගේ පරපුරේ වෘතාන්තය සටහන් කිරීමට ඝෝෂා කරමින් මා පෙළඹවන බව මට දැනුණා.

දෙවන ලෝක යුද්ධ කාලේ මට මතකයි. ඒ කාලේ මගේ වයස යාන්තම් අවුරුදු දාහතක්‌. එකල දකුණු පැසිපික්‌ සාගරයේ වූ නැවක මා සේවකයෙකු වශයෙන් වැඩ කරමින් සිටියේ. ස්‌වෝත්සාහයෙන්ම ලේඛකයෙකු වීමේ පරම අදිටනින් සිටි මා වැඩ අවසන් වූ සෑම රාත්‍රියකම එකල පැවතුණු යුද්ධය ගැන මොනවා හෝ ලිව්වා. ඉන් පස්‌සේ මම හමුදාවට බැදුණා. ඒත් මා වැඩි කලක්‌ යන්නට මත්තෙන් එයින් ඉවත් වුණා. එහෙම කළේ පූර්ණ කාලීන ලේඛකයෙකු ලෙස කටයුතුවල යෙදෙන්නයි.

මගේ පවුලේ උදවිය පිළිබඳ මා ඇසූ දුටු දේ නිරන්තරයෙන් මගේ හද තුළ තෙරපෙමින් තිබුණා. මේ තොරතුරු වඩාත් තහවුරු කර ගැනීමට මට අවශ්‍ය වුණා. මම ඒ සඳහා නොයෙක්‌ වාර්තා සොයා බැලුවා. වැවිලි වාර්තා, ජනසංඝනන වාර්තා, ආදී නොයෙකුත් ඒවා. කැන්සාස්‌ නගරයේ මා නොගිය තැනක්‌ නෑ. වොෂින්ටන් නුවර සෑම පුස්‌තකාලයකටම යන්නට ඇති.

1967 වන විට අඩු තරමින් පරම්පරා හතක්‌ අතීතයට ඇදී ගොස්‌ ඇති බව මට වැටහුණා. එහෙත් ඒවායේ ඇතැම් ගැටලු තැන් තවමත් නොවිසදී ඉතිරිවී තිබුණා. ඇතැම් අප්‍රිකානු නම් ගම් හා ශබ්ද උච්චාරණ ක්‍රම ගැන ගැටලු පැවතුණා. "කීන්වේ" යනු එවැනි වචනයක්‌. කීන්වේ යනු අප්‍රිකානු ගෝත්‍රික වාසගමක කොටසක්‌ බව මගේ මිත්‍ර අප්‍රිකානු භාෂා විශේෂඥයෙක්‌ මට පැහැදිලි කර දුන්නා.

අප්‍රිකාවේ මන්සිකා ප්‍රදේශයේ ගැම්බියා නදිය අසල පිහිටි කැම්බි බොලොන්ගෝ ප්‍රදේශයට මා ගියා. පාරම්පරික ගැම්බියාවරු රාශියන් මට එහිදී මුණ ගැසුනා. ඔවුන් කළු ජාතිකයින්. ස්‌වදේශිකයන් ඔවුන්ගෙ මැටි පැල්පත්වලින් එළියට අවුත් අප වටා රැස්‌වුණා. ඒ අතර තරමක්‌ කුඩා සිරුරක්‌ ඇති මිනිසෙකු සිටියා. ඔහු මා දෙස බලා මැන්සින්නා භාෂාවෙන් කතා කළා. මා භාෂා පරිවර්තකයෙකු සමගයි ගොස්‌ සිටියෙ. එය මට පහසුවක්‌ වුණා.

ඔහු පැවසුවේ "ඔමරෝස්‌" ගෝත්‍රික මිනිසුන් සිව් දෙනෙකු චෝප් දැව කපා ගැනීම සඳහා කැලයට ගිය ද ඉන්පසු ඔවුන් ගැන කිසිදු තොරතුරක්‌ නොලැබුණ බවයි.

ඔවුන් ගෙන ගොස්‌ ඇත්තේ රඡ්ජුරුවන්ගේ සොල්දාදුවන් බවයි ඔහුගේ අදහස වූයේ. ඔහුගේ වචන මට මගේ ආත්තම්මා සිහිපත් කළා. ආත්තම්මාගේ කතාව මේ කතාව හා අපූරුවට ගැලපුණා. මේ අවස්‌ථාවේ පිරිස අතර සිටි එක්‌ කළු ගැහැණියක්‌ තම ළදරුවා වඩා ගෙන මා වෙත ආවා. අනතුරුව තම දරුවා මා වෙත තුරුලු කළා. ඉන්පසු එකවිටම ආපසු උදුරා ගත්තා. මා මවිත වී බලා සිටිද්දී තවත් ගැහැනියක්‌ පැමිණ ඒ දෙසම කළා. ඊළඟ ගැහැණියත් කළේ ඒ දෙයමයි.

මේ ගැන පසුව සොයා බැලූ විට දැන ගන්නට ලැබුණේ එය "අපේකම" පෙන්වන ඉතා පැරණි ආචාර ක්‍රමයක්‌ බවයි. ඔබ අපේය අප ඔබේය වැනි හෘදයාංගම අදහසක්‌ ඒ තුළ ගැබ්වී තිබුණා. ඒ ගම පසු කරත්ම අපට ඇසුණේ කිසියම් බෙර හඬක්‌. එම ගම්දොරදී සිය ගණන් ස්‌වදේශිකයන් අත් වනමින් ප්‍රීති ඝෝෂා කරමින් අප වෙත ආවා. "මිස්‌ට කීන්වේ" මිස්‌ට නීතිවෙ" යයි කියමින් ඔවුන් කෑගැසුවා. අතීතයේදී සයුරෙන් එතෙර ගිය සිය සම්භාවනීය මුතුන් මිත්තන් පිළිබඳ භක්‌තිවන්ත හැඟêම්වලින් ඔවුන් පිරී සිටියා. මේ තරම් උද්වේගකර හැඟêම් සහිත උණුසුම් අවස්‌ථාවකට මා මෙතෙක්‌ කිසි දාක මුහුණ පා තිබුණේ නැත. මගේ දෑසට පවා කඳුළු නැඟුණේ ඒ නිසා විය හැකිය.

එක්‌ ස්‌වදේශික නායකයෙකු සඳහන් කළ රඡ්ජුරුවන්ගේ සොල්දාදුවන් කවුරුන්දැයි මා සොයා බැලුවා. 1767 දී ගැම්බියා නදී තිරය මුර කිරීමට පේම්ස්‌ වරාය වෙත යවන ලද සන්නද්ධ හමුදාවක්‌ බව මට වැටහුණා. මා ඊළඟට කළේ ලන්ඩන්හි ලොයිඩ් කෞතුකාගාරයේ ඇති නාවික වාර්තා ගවේෂණය කිරීමයි. දින ගණන් පරිශ්‍රමයෙන් පසුව මට අවශ්‍ය දේ සොයා ගත්තා. 1767 දී "ලෝඩ් ලිගොනියර්" නෞකාව ගැම්බියාහි සිට ඇමරිකාවේ නේපල්ස්‌ නුවර දක්‌වා සැප්තැම්බර් 29 දා ගමන් කර ඇති බව එහි සටහන් කර තිබුණා.

එහෙමනම් මීට හරියටම අවුරුදු 200 කට පමණ ඉහත යාත්‍රා කළ මේ නෞකාවේ දම්වැල් වලින් බැඳ දමා සිටි කළු අප්‍රිකානුවන් අතර මගේ ශ්‍රේෂ්ඨතම ඥාතියා වන මගේ මී මුත්තා ද වූ බවට කිසිම සැකයක්‌ නැත. නාවික වාර්තා කියන අන්දමට ඒ සතියේ ඊළඟ බදාදා එම නිරෝගී කළු මිනිසුන් ප්‍රසිද්ධ වෙන්දේසියේ වහලුන් ලෙස විකුණනු ලැබුවා.

එතැන් පටන් පුස්‌තකාල පණහක්‌ හැටක්‌ පමණ පරිහරණය කරමින් මේ කරුණු වඩාත් තහවුරු කර ගැනීමට මා වෑයම් කළා. විවිධ ලියකියවිලි ඇසුරු කරමින් මා අවුරුද්දක්‌ පුරා ගැම්බියාවරුන්ගේ ගති පැවතුම් සිරිත් විරිත් හා සංස්‌කෘතිය හැදෑරුවා. මා එයින් සෑහීමට පත් වුණේ නැහැ.

මා ගුවනින් අප්‍රිකාවට ගොස්‌ එහි සිට "අප්‍රිකා ස්‌ටාර්" නමැති නැවට නැඟê තද සීත හා අන්ධකාරය මැද මගේ යට ඇඳුම පිටින් එහි වූ ලෑලි තට්‌ටුව මත වැතිරී හුදකලාව රාත්‍රි දහයක්‌ තිස්‌සේ ගමන් කළා. එහෙත් මට හැඟි ගියේ මා එදා ලැබූ දුක්‌ පීඩා, මීට අවුරුදු 200 කට ඉහත මෙවැනි අප්‍රිකානු අමෙරිකානු ගමනකදී මගේ ඒ ශ්‍රේෂ්ඨ ඥාතීන් දින 60 ක්‌ 70 ක්‌ තිස්‌සේ දම්වැල්වලින් බඳිනු ලැබ, පහර දී නින්දා කරනු ලැබ පෙතත් බරිත නිරුවත් සිරුරුවලින් යුතුව අපිරිසිදු නැව් තට්‌ටුවේ වැතිරී සිටින විට ලැබූ කටුක අතෝරයන් හා අලගු තැබීමටවත් නොවටනා බවය.

මා මේ පොත අවුරුදු 12 ක්‌ තිස්‌සේ ලිව්වා. මා එයට රූට්‌ස්‌ Rදදඑs යනුවෙන් නම් කළේ ඇයිදැයි බොහෝ දෙනා අසනවා. ඒ මක්‌නිසාද කියා කියනවා නම් මේ වූ කලී මගේ පවුලේ කතාන්තරය පමණක්‌ නොව ලක්‍ෂ සංඛ්‍යාත අහිංසක කළු ඇමැරිකානුවන්ගේ දුක්‌ කඳුළු මිශ්‍ර වූ භක්‌තිවන්ත වූ ඓතිහාසික කතාන්තරයද වන නිසාය.

එපමණක්‌ නොව මගේ ජීවිත කාලයෙන් අවුරුදු 12 ක්‌ මේ සඳහා යෙදීම ගැනත් බොහෝ දෙනා මවිතය පළ කරනවා. එහෙත් මේ පොත සැබෑ උරුමයක්‌ සොයා ගත නොහැකිව ගැරහීමට පාත්‍රව සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට මං පෙත් එළිකිරීමට උදව් වීමට එම අවුරුදු 12 ආපසු මට තෑගී ලැබුණු බව සිතීම වඩාත් නිවැරදියි මට සිතෙනවා.

එමෙන්ම අප සියලු දෙනාම දෙවියන් වහන්සේ එක සමානවම මැව්වාය යන සත්‍යය ලොව හමුවේ තබන්නට මට අවශ්‍ය වුණා. එපමණක්‌ නොවේ මගේ ආත්තම්මා කියන ලෙස දෙවියන් අපට ඕනෑ වෙලාවට අප වෙත නොඑන නමුත් සුදුසු අවස්‌ථාවේදී දෙවියන් අප වෙත එන නිසා, කළු සුදු අරගලයේ කටුක තුවාල ක්‍රමයෙන් සුව වෙමින් පවතින මේ යුගයේ එහි යථාර්ථය ලොවට කියා පානු පිණිස මගේ පොත නියම වෙලාවට පැමිණ සිටිනවා යයි මට සිතෙනවා.

මගේ මේ නිර්මාණය මා වෙත ගෙන එන ලද සුහද ප්‍රතිචාරයන් නිසා මා තුළ හට ගත් උණුසුම් හැඟêම් මෙතෙක්‌ මාගේ ජීවිතයේ කිසිදාක ඇති වී නෑ. ලොස්‌ ඇන්ජලීස්‌ නුවර 3000 කට අධික කළු සුදු ජනතාව මේ පොතින් පිටපතක්‌ ලබා ගැනීම සඳහා පැය ගණන් පෝලිමකටවී සිටීමම මොනතරම් උදාර දෙයක්‌ දැයි සිතනු මැනවි.

එමෙන්ම මගේ පාඨකයන් මා වෙත ලියා එවා ඇති දේත් සිත කම්පනයට පත් කරවන සුළුයි. කැලිපෝනියාවේ එක්‌ කාන්තාවක්‌ මෙසේ ලියා එවා තිබුණා.

ඔබ විසින් ඔබේ උරුමය පිළිබඳ අප වෙත ගෙනෙන ලද නව දැනුම ඔබේ අප්‍රිකානු ජනතාවගේ හැඩරුව, අභිමානය, සම්ප්‍රදාdයයන් හා ශක්‌තීන් මා තුළ ඇති කළේ ගෞරවයක්‌. කුෂ්ටා කින්වේ හා ඔහුගේ රට පිළිබඳව අප තුළ ඇති කළ ඒ හැඟêම් සැබෑම මනුෂ්‍යත්වය අප හද තුළ ජනිත කළා.

බොහෝ සුදු ජාතිකයන්ද මාවෙත ලියුම් එවා තිබුණා මේ ඉන් එකක්‌.

අපට විරෝධයක්‌ පාන්නට ඔබ උත්සාහ ගත් බවක්‌ අපට හැඟෙන්නේ නෑ. අප වැරදිකාරයන්ය යන හැඟීම අප තුළ ඇති කරන්නට ඔබ උත්සාහ කරන්නේත් නෑ. එහෙත් ඉතා සංයමයෙන් යුතුව ඒ සිදුවීම්..... අපට කියා දී ඇති අයුරු ප්‍රශංසනීයය........"

මෙය පොතක්‌ නොව මගේ ජීවන ඉතිහාසයයි. යනුවෙන් එක්‌ කළු ගැහැණියක්‌ ලීවාය. තවත් එක්‌ කළු ජාතික ගැබිණි මවක්‌ පොතින් පිටපත් දෙකක්‌ මිල දී ගෙන මා අතට දෙමින් එහි අත්සන තබන ලෙස ඉල්ලා සිටියාය. පොත් දෙකක්‌ කාටදැයි මා ඇසූවිට ඕ සිනාසුණා.

ඒකක්‌ මට....... එකක්‌ මෙයාට ඕ ඇගේ විශාල උදරය දක්‌වමින් අනතුරුව කීවා. කොහොම වුණත් දේශයක්‌ ජන්මයක්‌ නැතුව අවමානයට පාත්‍රව සිටි මිනිස්‌ කොට්‌ඨාශයකට යා යුතු මං පෙත් හෙළි පෙහෙළි කිරීමේ භාග්‍ය ලැබීම තරම් එම වර්ගයට අයත් මිනිසෙකුට ලැබිය හැකි තවත් ආශිර්වාදයක්‌ මෙලොව තිබේද?

ලීලානන්ද වික්‍රමසිංහ