සතුන් මරා බිලි දීමෙන් දෙවියන්ගෙන් හෝ යක්‌ෂයන්ගෙන් හෝ තමන්ට ආශිර්වාද හෝ ආරක්‌ෂාව ලබාගත හැකිය යන අභිචාර විධි හෝ පූජා විධික්‍රමය ක්‍රියාත්මක කිරීම වර්තමානයේ මුන්නේස්‌වරම් දේවාලයේ කෙරෙන ආකාරයට පුරාණ ඉන්දියාවේ බ්‍රාහ්මණ ආගමේත් පසුව හිංදු ආගමේත් සමාරම්භයේ සිටම පැවැතිණි. පුරාණයේ ලංකාවට පැමිණි බ්‍රාහ්මණයන් හා හින්දු භක්‌තිකයන් ද මෙසේ සතුන් බිලි පූජාවට ලක්‌කිරීමේ ක්‍රමය මෙරටද ද ක්‍රියාත්මක කළ බවට ශිලාලේඛන මෙන්ම සාහිත්‍ය මූලාශ්‍රය සාක්‌ෂි දක්‌නට ලැබේ. එහෙත් මෙරට බෞද්ධ ජනතාව එම ක්‍රියාව පිළිකුල් කළ බවටත් එසේම ප්‍රතික්‌ෂේප කරමින් විරෝධය පෑ බවටත් සාක්‌ෂ්‍ය ද හමුවේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සමයේ දී වීදාගම මහතෙරිඳු විසින් රචිත බුදුගුණාලංකාරයේ මෙම සතුන් බිලිදීම මහත් උපහාසයට ලක්‌කරමින් එහි පෙන්වා දී තිබේ.
මෙසේ හින්දූන් විසින් අනුරාධපුර යුගයේ දී ද මාන්තෙයි වරාය ළඟ තිබූ දේවාලයක දී එළුවන් බිලිදීමක් දිගින් දිගට ම කර ඇති බවට ශිලාලිපි සාක්‌ෂ්‍ය හමුවේ. විශේෂයෙන් ම ඒ මුහුදු ගමන්වල දී දේවාරක්‌ෂාව ලබාගැනීම උදෙසාය. මාන්තෙයි යනු පුරාණ ලංකාවේ විදේශ වෙළෙ¹ම ඉතා සාර්ථක ව සිදු කෙරුණ ප්‍රධාන වරායක් විය. මහාතිත්ථ. මාතොට මහවුටිය හා දෙමළෙන් මාතෝඩ්ඩම් ආදී නම්වලින් මෙය හැඳින්වී ඇත. මෝසම් සුළං ආධාරයෙන් බොහෝ කාලයක් මහ සයුරේ ගතකරමින් වෙරළ වෙත ළඟා වූ වෙළෙඳුන්ට තිරියාය මෙන්ම වැලිගම කුෂ්ටරාජගල යන ස්‌ථානවල අවලෝකිතේශ්වර බෝසත් රූප හමුවී ඇත්තේ පුරාණයේ එසේ නැවියන්ගේ පුද පූජාවට අවලෝකිතේශ්වර ලක්‌වීම නිසාය. එහෙත් මාතොටට පැමිණි ඉන්දියානු වෙළෙඳුන් තමන් මහ සාගරයේ දී ආරක්‌ෂාව ලබාදීම වෙනුවෙන් තම තමන්ගේ ආගම් අනුව තමන් මහ සයුරේ දී ආරක්‌ෂා කිරීම හා නිරුපද්‍රිතව වෙරළට ළඟා කරවීම වෙනුවෙන් දෙවිදේවතාවුන්ට පුද පූජා පවත්වන ලදී.
මේ අනුව හින්දු වෙළෙඳුන් දෙවියන් වෙනුවෙන් එළුවන් බිලිදීම කළ අතර බෞද්ධ රටවලින් පැමිණි වෙළෙඳුන් විශේෂයෙන් මහායාන විශ්වාසයන් අනුව අවලෝකිතේශ්වර බෝසතුන් පිදුවෝය. ඒ උන්වහන්සේ ඔවුනට මුහුදේ දී ආරක්‌ෂාව සළසන ලැබීය යන විශ්වාසය මතය. එහෙත් මාතොටට පැමිණෙන ඉන්දියානු වෙළෙඳුන් තමන් මහ සයුර තරණය කරද්දී සැලසූ ආරක්‌ෂාව වෙනුවෙන් මහාතිත්ථ වරායට ගොඩ බැස්‌ස පසු ඒ අසල තිබූ හින්දු කෝවිලට ගොස් එළුවන් මරා බිලිපූජා කොට දෙවියන්ට කෘතගුණ සළකා ඇත. ක්‍රි.ව. 8-10 සියවස්‌වලට අයත් ශිලාලිපිවල මහාතිත්ථයේ එළුවන් මැරීම පිළිබඳ ව මුJදා ලක්‌දිව වැසියන් අතර ප්‍රසිද්ධියක් තිබූ බවත් එය බෞද්ධයන් විසින් මහත් පාපයක් කොට සැළකූ බවටත් සාක්‌ෂි ඇත. බෞද්ධ විහාරයන්ට කිසියම් ප්‍රදානයක් කිරීමෙන් පසු කිසිවෙකු විසින් ඒවා අනිසි ලෙස පරිහරණය කිරීම හෝ විනාශ කිරීම හෝ වැනි යමක් සිදු කරන්නේ නම් එය වැළැක්‌වීම සඳහා ශාප කිරීමේ සම්ප්‍රදායක් තිබූ බව පැරැණි ශිලාලිපිවලින් පෙනේ. එවැනි එක් ශාපයක් වන්නේ මහාතිත්ථයේ එළුවන් මරණ පාපය ඔවුන්ට අයත් විය යුතු බවය. උදාහරණ වශයෙන් අනුරාධපුර ඇතුළු නුවරින් හමුවූ ශිලාලිපියකත් කතරගම පුවරු ලිපියකත් එසේ සඳහන් ව තිබීම දැක්‌විය හැකිය.
මේ ශිලාලිපි ක්‍රි.ව. 10 වන සියවසට අයත්ය. මෙම ලිපිවල සඳහන් මහවුටියේ (මහාතිත්ථයේ) පුරාණයේ ඉතා සුප්‍රසිද්ධ හින්දු දේවාලයක් තිබූ බවට දැනට තොරතුරු සොයාගෙන ඇත. එය ඒ අසල වූ පලාවි ගංගා නිම්නයේ පිහිටි බවට සාක්‌ෂ්‍ය ඇති නමුත් අද එය එතැන දක්‌නට නැත්තේ එම ගංගාව පසු කාලයේ හරස් කිරීම නිසා බව කියෑවේ. එහෙත් 1887 වර්ෂයේ දී ඩබ්ලිව්. ඡේ. එස්. බෝර්ක් විසින් පලාවි කලපුව සහිතව ම මෙහි සැළැස්‌මක් ඇඳ ඉදිරිපත් කොට තිබේ. මෙම දේවාලය කේතීශ්වරම් හෝ තිරු කේතීශ්වරම් යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබී ඇති අතර එහි අවසන් පදය වන ඊශ්වර යන්නෙහි අර්ථය ගනිමින් මෙය පැහැදිලිව ම ශිව දේවාලයක් බව ඉන්දියානු පඩිවරයෙකු වන මහාචාර්ය නීලකණ්‌ඨ ශාස්‌ත්‍රී මහතා පෙන්වා දී තිබේ. එකල්හි මෙම දේවාලය කෙතරම් ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ද යත් එය දක්‌ෂිණ කෛලාස නමින් ප්‍රකට වූවා පමණක් නොව ඒ ආශ්‍රයෙන් දක්‌ෂිණ කෛලාස පුරාණම් නමැති ග්‍රන්ථය රචනා වී ඇත. මේ නිසා ම සුප්‍රසිද්ධ හින්දු මුණිවරුන් වන ඥන සම්බන්දන් ස්‌වාමි කි.ව. 7 වන සිය වසේ ද සුන්දර මූර්ති ස්‌වාමි ක්‍රි.ව. 9 වන සියවසේද මෙහි පැමිණ ගීත ප්‍රබන්ධ කර ඇති බව වාර්තා වේ. පුරාණයේ මෙවැනිම හින්දු දේවාල ගෝකර්ණ තීර්ථ නමින් හැඳින් වූ ත්‍රිකුණාමලයේත්, මුන්සේශ්වරමේත් තිබිණි. මේ ස්‌ථාන නාවිකයන් හා වෙළෙන්දන් පැමිණෙන සථාන විය.
රජරට ශිෂ්ටාචාරය අභාවයට යැමත් සමගම නිරිතදිග ශිෂ්ටාචාර සමයේ නිරිතදිග හා දකුණු මුහුදට ආශ්‍රිතව විදේශ වෙළෙ¹ම දියුණු වී ගියේය. මේ අතරින් පැරැණි සම්ප්‍රදාය අනුව තව දුරටත් සතුන් බිලිදී දෙවියන්ට පූජා පවත්වන ස්‌ථානයක් වශයෙන් මුන්නේශ්වරම පැවැතියේ ය. මුන්සේශ්වරම් දේවාලය ක්‍රි.ව. 15 වැනි සියවසේ දී මහත් හාස්‌කම් ඇති ස්‌ථානයක් වශයෙන් බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව තිබී ඇත. එහෙයින්ම සවැනි පැරකුම්බා රජතුමා ද මෙම දේවාලයට ඉඩකඩම් පරිත්‍යාග කළ බවට සන්නස් ඇත.
අනුෂී තිසාරා කාරියවසම්