ඉපැරණි ඉතිහාසයට හිමිකම් කියන කොළඹ පුරවරයේ මුදුන් මල්කඩ බඳු ඓතිහාසික කෝට්‌ටේ රජමහා විහාරයේ ශ්‍රී දළදා පෙරහැර හෙළ සංස්‌කෘතික කලා මංගල්‍යයක් ලෙස එදා සේ අදත් ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධන පුර කෝට්‌ටේ අගනුවරදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. අපේ රටේ සංස්‌කෘතික දායාදයක් වන මෙය දේශීය උරුමය මොනවට කියා පාන්නා වූ විශේෂාංග රැසකින් යුක්‌තය. මෙහි ඉතිහාසය ක්‍රිස්‌තුවර්ෂ 1415 ත් 1467 අතර කාලය දක්‌වා ඈතට දිව යැමෙන් අපට පසක් කරනුයේ මෙහි ඇති ඓතිහාසික වටිනාකම යි.
ක්‍රිස්‌තු වර්ෂ 1415 සිට 1467 දක්‌වා වූ කාලය අතරතුර ශ්‍රී ලංකාවේ රජ කළ හයවැනි පැරකුම්බා රජතුමා විසින් සිය රාජධානිය ලෙස කෝට්‌ටේ ශ්‍රී ජයවර්ධනපුර තෝරාගෙන සිය මාලිගයට ආසන්නව තම ආගමික කටයුතු ඉටුකර ගැනීමට හා වන්දනාමාන කිරීම සඳහා කෝට්‌ටේ රජමහා විහාරය ඉදිකොට මහා සංඝරත්නය වඩා හිඳුවා සිව්පසයෙන් සංග්‍රහ කරමින් ඇප උපස්‌ථාන කළ බව ඉතිහාසයේ සඳහන්ය.
සිංහල සාහිත්‍යයට ඉමහත් සේවයක් සිදුවූ යුගය ලෙස හැඳින්වෙන්නේද කෝට්‌ටේ යුගයයි. එදවස විහාරස්‌ථානයේ තනවන ලද විශේෂිත අලංකාර තෙමහල් මන්දිරයක දළදා සමිඳුන් වැඩ සිටි බැවින් ඉපැරණි ඉතිහාසයකට හිමිකම් කියන විහාරස්‌ථානයක් ලෙස කෝට්‌ටේ රජමහා විහාරය හැඳින්වේ.
ක්‍රිස්‌තු වර්ෂ 1505 යුගයේදී ලංකාවට පෘතුගීසීන් පැමිණීමෙන් පසු සයවැනි පරාක්‍රමබාහු රජුට අයත්ව තිබූ කෝට්‌ටේ රාජධානියට ඉතා අශුභ කාලයක් උදාවී ඇති අතර වර්ෂ 1550 සිට 1597 දක්‌වා රජ කළ දොන් ජුවන් ධර්මපාල රජුගේ පාලන සමයේදී මෙම රාජධානිය මුළුමනින්ම විනාශයට පත්ව ඇත. රජතුමාගේ අදක්‍ෂ දුර්වල පාලනය අතකොලුවක් කරගත් පෘතුගීසීහු ඔවුනගේ සිතැඟි පරිදි මේ රාජධානියේ පාලනය ගෙනගිය අතර බලවත් පෙළඹවීම මත රජතුමාට රෝමානු කතෝලික ආගම වැළඳගන්නට සලස්‌වා දොන් ජුවන් පෙරිය බණ්‌ඩාර නමින් බෞතිස්‌ම කරවා එමගින් කෝට්‌ටේ රාජධානියට අයත්ව තිබූ බෞද්ධ වෙහෙර විහාර හා සඟසතු සියලු දේපළ කතෝලික පල්ලිය භාරයට ගෙන ඇත.
අනතුරුව ඓතිහාසික කෝට්‌ටේ රාජධානියට අයත්ව තිබූ වටිනා පෞරාණික ගොඩනැගිලි හා පූජනීය ස්‌ථාන විනාශ කරමින් ඔවුන්ගේ ප්‍රධාන ආගමික ස්‌ථාන වන පල්ලි ඉදිකරගෙන ඇත.
පෘතුගීසි ආක්‍රමණයෙන් පසු අභාවයට පත් කෝට්‌ටේ රාජධානියට අයත්ව තිබූ ඓතිහාසික රාජමහා විහාරය.
ක්‍රිස්‌තුවර්ෂ 1813 දී පිලානේ ධර්ම කීර්ති ශ්‍රී බුද්ධ රක්ත නම් නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුල්කෝට්‌ටේ නගරයට පැමිණ ගම්වාසීන්ගේ සහයත් මගපෙන්වීමත් මත කැලෑව කපමින් පැමිණ කැලෑවෙන් වැසී නටඹුන්ව තිබූ චෛත්‍යය සොයා ගෙන වර්ෂ 1813 - 1817 කාලය තුළ සියලු විහාරාරාංග වලින් සමන්විතව නැවත විහාරස්‌ථානය ගොඩනැගීමට අනුපමේය දායකත්වයක් ලබාදී ඇති බැවින් කෝට්‌ටේ රජමහා විහාරය නැවත සොයාගැනීමේ ගෞරවය පිලානේ බුද්ධරක්ත නාහිමියන්ට හිමිවිය යුතුමය.
උන්වහන්සේගෙන් පසුව පූජ්‍ය මලිගස්‌පේ මංගල නායක ස්‌වාමීන් වහන්සේ (1831 - 1872) පූජ්‍ය ඇඹුල්ගම විමලතිස්‌ස නායක ස්‌වාමින්වහන්සේ (1897 - 1917) පූජ්‍ය ගලපාත දේව රක්ත නායක ස්‌වාමින්වහන්සේ (1917 - 1955) පූජ්‍ය වග ශ්‍රී ඥානානන්ද නායක ස්‌වාමීන්වහන්සේ (1955 - 1984) පූජ්‍ය බටුගම්පල ඉන්ද්‍රසිරි නායක ස්‌වාමින් වහන්සේ (1984 - 1993) සහ එතැන් පටන් මේ දක්‌වා පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නායක ස්‌වාමින් වහන්සේද ඓතිහාසික රජමහා වෙහෙරේ දියුණුවට දිවිහිමියෙන් කැපවෙමින් එදා රජ දවස සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍ර පුදසිරිත් හා විහාරස්‌ථානය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන උපසම්පදා විනයකර්මය ඇසළ පෙරහැර මංගල්‍යය, කඨින පූජෝත්සවය ආදී පුණ්‍ය කර්මයන් ඒ ආකාරයෙන්ම සිදු කරයි.
හයවන පරාක්‍රමබාහු රජතුමාගේ බිසව වූ උඩුකුලේ දේවියට දරුවන් නොලැබීම නිසා රජතුමා පුත් කුමරකුගේ දෙමව්පියන් වීමට තමනට අවස්‌ථාව ලදහොත් වර්ෂයක් පාසා ඇසළ මහා පූජෝපහාර පෙරහැර පවත්වන බවට වුන බාරය ඉෂ්ඨවීමෙන් රජතුමාට හා දේවියට සපුමල් බණ්‌ඩාර නමින් කුමරකු ඉපදී ඇත. අදටත් පෙරහැර කාලය තුළ විහාරස්‌ථානයේ සපුමල් බණ්‌ඩාර දෙවොල වෙත එන දරුවන් නොමැති මවුවරු දරුවන් පතා එයට බාරවෙති. පුත් කුමරකු වෙනුවෙන් වූ බාරයක් ඔප්පුකිරීමට පටන්ගත් පෙරහැරක් බැවින් ඒ සඳහා කාන්තා පක්‍ෂය සහභාගි කර නොගැනීමද මෙම ඓතිහාසික දළදා පෙරහැරේ විශේෂත්වයකි.
කෝට්‌ටේ ඓතිහාසික රජමහා විහාරස්‌ථ වාර්ෂික ඇසළ පෙරහැර වර්ෂ 1415 දී හයවැනි පැරකුම්බා රජතුමා විසින් අලි ඇතුන් 500 ක් යොදා උඩරට පහතරට නැටුම්කරුවන් විශාල පිරිසක් සහභාගි කරගනිමින් ඉතා අලංකාරව පවත්වා ඇති අතර වර්තමාන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය වර්ෂ 1901 දී පූජ්‍ය ඇඹුල්ගම විමලතිස්‌ස නායක ස්‌වාමීන් වහන්සේ විසින් ආරම්භ කර මේ දක්‌වා එදා සිට පැවති පුදසිරිත්වලට මූලිකත්වය දෙමින් සංස්‌කෘතික වටිනාකමින් නොඅඩුව අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබයි.
සෑම වර්ෂයක අගෝස්‌තු - සැප්තැම්බර් යන මාස දෙක ඇතුළත පැරණි චාරිත්‍රවලට අනුකූලව යොදා ගන්නා ශුභ නැකැත්වලට අනුව යෙදෙන විශේෂ කෙම්මුර දිනයක කප්සිටුවා තේවාවන් සිදු කෙරේ. ඉන්පසු එළඹෙන ප්‍රථම කෙම්මුර දිනයේ (සෙනසුරාදා දිනක) පෙරහැර මංගල්‍ය සඳහා අවශ්‍ය වන නැවුම් වළං එදා සිට චාරිත්‍ර ඉටුකරන කුඹල් පරම්පරාවට අයත් නිවසින් ගෙන එන අතර එය කුඹල් පෙරහැර නමින් හැඳින්වේ.
ඉන්පසු යෙදෙන ඉරිදා, සඳුදා අඟහරුවාදා යන තෙදින තුළ විහාරස්‌ථානය ඇතුළත පමණක් ගමන් කරන බුද්ධ පූජා කටයුතු හා දේවාලවලට පහන් තැබීමේ තේවාව ඉටුකරන විශේෂ මල් පෙරහැර 3 ක් පැවැත්වේ. නැවත උදාවන පළමුවෙනි කෙම්මුර දිනය වන බදාදා දිනයෙහි දේව ආභරණ පාවඩ මතින් ගමන් කරන පාවඩ පෙරහැර විහාරස්‌ථානයෙන් පිටතට ගමන් කරන ප්‍රථම පෙරහැර වන අතර බ්‍රහස්‌පතින්දා දිනයෙහි වීථි පෙරහැර සිකුරාදා දින රන්දෝලි පෙරහැරද පවත්වා හත්වන දිනය වන සෙනසුරාදා (කෙම්මුර දින) ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැරද පැවැත්වේ.
මෙම පෙරහැර පැවැත්වෙන දින නවය තුළ දින වෙනස් වුවද දවස් වෙනස් නොවේ.
අවසාන අංගය ලෙස ඉරිදා ඇතුල්කෝට්‌ටේ දියවන්නා ඔයේදී සිදු කෙරෙන දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු ඇතුල්කෝට්‌ටේ පැරකුම්බා පිරිවෙනට පැමිණ දායක සභාව හා ප්‍රදේශවාසීන් විසින් සම්ප්‍රදායානුකූලව පිළිගන්වනු ලබන දේව දානය පිළිගැනීමෙන් පසු නැවත රජමහා විහාරයට පෙරහැරින් පැමිණ සධාතුක කරඬුව හා දියකැපීමේදී ලබාගත් විශේෂිත පැන් කළය දළදා මාලිගාවේ තැන්පත් කරනු ලැබෙන අතර දේව ආභරණ ඒවා අයත් දේවාලවල තැන්පත් කොට නැටුම් ඉදිරිපත් කර යාතිකා පවත්වා රටවාසී සැමට සෙත් ප්‍රාර්ථනා කරනු ලැබේ.
එදිනම සවස පැමිණෙන සියලු දෙනාට දේව දානය පිළිගැන්වීමෙන් පසු ගම්වාසී සියලු දෙනාට ප්‍රදේශයට රටට සෙත්පතා පැවැත්වෙන ගරා යක් ශාන්තිකර්ම පුදසිරිත් පැවැත්වීමේ කටයුත්තෙන් ඇසළ පෙරහැරේ සියලු කටයුතු නිමාවට පත්වේ.
මෙම වර්ෂයේද 110 වන වරට මෙම ඓතිහාසික ඇසළ පෙරහැර පැවැත්වීමට විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහැර ප්‍රධාන සංවිධායක දයානන්ද සිල්වා මහතා විසින් සියලු කටයුතු සංවිධානය කර ඇත.
ධම්මික හේවාවසම්