පරංගියා කෝට්‌ටෙ ගියා වගේ යෑයි සඳහන් ප්‍රස්‌තාව පිරුළු අපේ ජනවහරේ එන ප්‍රකට කියමනකි. කෙටි මගකින් යා හැකි මාර්ගයක් තිබියදී එම මාර්ගයේ ගමන් නොකොට දිගු මගකින් එය ඉටුකිරීම පරංගියා කෝට්‌ටෙ ගියා වගේ වැඩකි. 1505 දී මෙරටට ගොඩබට පරංගින් එවකට කෝට්‌ටේ රජ කළ ධර්ම පරාක්‍රමබාහු රජතුමා බැහැදැකීම සඳහා කොළඹ සිට කෝට්‌ටේ දක්‌වා ගිය ගමන නිසා මෙම ප්‍රස්‌තාව පිරුළු අපේ ජනවහරට එක්‌වී ඇත්තේය.
එහෙත් මේ අප කියන්නට යන්නේ පරංගියා කෝට්‌ටේ ගිය ගමන ගැන නම් නොවේ. එදා භූ ලක්‌ෂණ නියෝජනය වන පරිදි ලංකාවේ භූ සිතියමක් නිර්මාණය කොට තිබුණේ නම් පරංගීන් මෙවැනි අලි අමාරුවක නොවැටීමටද ඉඩ තිබුණි. ගමන් බිමන් යන්නන්ට හා සංචාරකයන්ට මාර්ග සොයා ගැනීමට මෙවැනි සිතියම් දැඩි පිටිවහලක් වන්නේය.
කෙසේ වුවද බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අපේ රට පාලනය කළ අවධියේදී මැනුම් කටයුතු සිදුකොට ඒවා සිතියම්ගත කිරීමට පියවර ගනු ලැබීය. විශේෂයෙන්ම ඔවුන්ගේ පාලන කාලයේදී වතු වගාව ව්‍යාප්ත වීමත් සමග එම වගාවන් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මැනුම් කටයුතු සිදුකොට එම මාර්ග සිතියම්ගත කරනු ලැබීය. එකල ඉඩම් මැනීමේ හා ඉඩම් නිරවුල් කිරීමේ කටයුතු විධිමත් අයුරින් සිදු කෙරුණේද නැත. මෙකී කටයුතු කාර්යක්‌ෂමව ඉටු කිරීම සඳහා බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවීමට පියවර ගනු ලැබීය. සුදු ජාතිකයන් විසින් එදා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබුවේ රාජ ආඥවකිනි. ඒ 1800 අගෝස්‌තු මස 02 වැනිදාය.
සුදු ජාතිකයන් විසින් ඉඩම් මැනීමේ හා ඉඩම් නිරවුල් කිරීමේ කටයුතු විධිමත් කිරීම සඳහා මිනුම්දෝරු දේපාර්තමේන්තුව පිහිටුවීමේදී පරංගියා කෝට්‌ටේ ගිය ගමනද එදා සුදු ජාතිකයන්ගේ මතකයට එන්නට ඇත. එදා සුදු මහත්වරු විසින් මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවා ප්‍රධාන මිනුම්දෝරුවන් පස්‌දෙනකු පත් කරනු ලැබීය. හලාවත සිට කැලණි ගඟ දක්‌වා එක් ප්‍රධාන මිනුම්දෝරුවෙකි. කැලණි ගඟේ සිට ගාලු ගඟ දක්‌වා තවත් මිනුම්දෝරුවෙකි. ගාලු ගඟේ සිට මාගම්පත්තුව දක්‌වා තවත් මිනුම්දෝරුවෙකි. මාගම්පත්තුවේ සිට මුලතිව් දක්‌වා මිනුම්දෝරුවෙකුද මුලතිව් සිට හලාවත දක්‌වා මිනුම්දෝරුවෙකු ප්‍රධාන මිනුම්දෝරුවන් පස්‌දෙනා එකල පත්කොට තිබුණේ ඒ අයුරිනි.
මේ ආකාරයට ආරම්භ වූ මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ පළමු සර්වේයර් ජනරාල්වරයා වන්නේ ජෝසප් පොනවිල් මහතාය. මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට මෙන්ම මැනුම් වෘත්තියටද, ඇත්තේ දිගු ඉතිහාසයකි. කොටින්ම කිවහොත් ලංකාවේ පැරණිතම වෘත්තියට දෙවැනි වන වෘත්තිය වන්නේ මිනුම්දෝරු වෘත්තියයි.
මිනුම්දෝරු වෘත්තියේ ඇති ඉපැරණි බව පෙන්වාදීම සඳහා පන්සිය පනස් ජාතකයේ එන කුරුධම්ම ජාතකය ගෙන හැර දක්‌වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මිනුම්දෝරු අධිකාරී කීර්ති දිසානායක මා දැනුවත් කළේය.
එම ජාතක කතා වස්‌තුවට අනුව අප බෝධි සත්වයන් වහන්සේ මානක නිලධාරියකු වශයෙන් එකල කටයුතු කළහ. රජතුමාට අයත් කුඹුරක හා වෙනත් පෞද්ගලික ඉඩමක මායිම් ගැටලුවක් නිර්ණය කිරීමේදී එම ඉඩමේ මායිම් කණුව හිටුවන්න වෙලා තිබුණේ කුඹුරේ තිබූ කංකුටු බෙනයක කංකුටු බෙනය මැද මේ මායිම් කණුව හිටවුවහොත් කංකුට්‌ටා මැරෙනවා කංකුට්‌ටා බේරුවොත් ඉඩම මැනීමේදී අසාධාරණයක් වෙනවා. මේ නිසා මානවකයා තීන්දු කළා. සර්ව සාධාරණ ලෙස මේ කටයුත්ත ඉටුකිරීම සඳහා කංකුටු බෙනය මැද මායිම් කණුව හිටුවන්න. හොඳ හිතින් තමයි එදා අප බෝධි සත්වයන් වහන්සේ මේ ක්‍රියාව කළේ.
මේ ජාතක කථාවස්‌තුවට අනුව අපිට හිතන්න පුළුවන් අද කාලයේ හැටියට මිනුම්දෝරුවකු ගැන තමයි මෙහි සඳහන් වන්නේ කීර්ති දිසානායක එසේ කීවේය.
සැබවින්ම මිනුම්දෝරුවන් හා මැනුම් සහායකයින් වටා ගෙතී ඇත්තේ හරි අපූරු කතාන්දරයන්ය. විටෙක එම සිද්ධීන් හරි සුන්දරය. තවත් විටෙක ඒවා ඉතා භයංකරය. අන් අය සාමාන්‍යයෙන් නොයන ප්‍රදේශවලට මෙන්ම විසල් වනාන්තරවලද මාස ගණනාවක් ගතකිරීමට මිනුම්දෝරුවන්ට මෙන්ම මැනුම් සහායකයන්ට සිදුවෙති. මීට වසර ගණනාවකට පෙර මොවුන් මැනුම් කටයුතු කරනු ලැබුවේ කැන්වස් රෙද්දෙන් ආවරණය කරන ලද කූඩාරමක නවාතැන් ගෙනය. විසල් වනාන්තරවල මැනුම් කටයුතු කිරීමේදී වන සතුන්ගෙන් හා ලෙඩ රෝගවලින් ආරක්‌ෂා වෙමින් නොයෙකුත් දුක් ගැහැටවලට ලක්‌වෙමින් මොවුන්ට මැනුම් කටයුතු කරගෙන යැමට සිදුවිණි.
1910 සිට 1949 දක්‌වා මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ සුදු ජාතිකයකු වන ආර්. එල්. බ්‍රොaහියර් බ්‍රොaහියර් හඳුනාගත් ලංකාව නමැති කෘතියේ ඔහු මිනුම් කටයුතු කිරීමේදී මුහුණ දුන් අත්දැකීම් එක්‌තැනක මෙසේ සඳහන් කොට තිබිණි.
1923 වසරේදී මිනුම් සැලසුම්වලදී මට පැවරී තිබූ කාර්යය වූයේ හලාවත සිට මන්නාරම දක්‌වා මුහුදු තීරයේ වෙරළේ සිට සැතපුම් පණහක් රට ඇතුළට යනතුරු මිනුම් කටයුතු සංවිධානය කිරීමත් ඒ සඳහා යෙදී සිටි භූ ලක්‌ෂණ සටහන් කරමින් මිනුම් කටයුතුවල යෙදුණු කණ්‌ඩායම් අධික්‍ෂණය කිරීමත්ය. මේ මිනුමට අයත් වූ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 2400 ක් විය.
මෙයින් හතරෙන් තුනක්‌ම පුත්තලමෙන් උතුරට පිහිටි අතර ඒ ප්‍රදේශය මිනිස් පුළුටක් නැති මාර්ග පහසුකම් කිසිවක් නොමැති පාලු වනාන්තරයක් වීය. මේ පාලු කැලෑ ප්‍රදේශයේ ඈත අතීතයේ වාසය කළා වූ මිනිසුන් විසින් බොහෝ කුතුහලය දනවන මෙන්ම වැදගත් වූ දෑද ශේෂ කොට ගොස් තිබිණි. ඉපැරණි කාලයේ ඉතා දියුණු නගර සහ ගම්මාන තිබූ මේ ප්‍රදේශය අද වල් අලියාගේද කුළු හරකාගේද අනෙක් කුඩා වන සතුන්ගේද පාරාදීසයක් බවට පත්ව ඇත.
අක්‌මීමන තල්ගස්‌යායේ පදිංචි පී. ඒ. ගුණපාල (68) මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට එක්‌වූයේ 1966 වසරේදීය. ඒ මිනුම් සහායකවරයකු වශයෙනි. පසුව ඔහු ප්‍රධාන කම්කරු කංකානම බවටද පත්විය. සිය රාජකරි දිවියේ ඔහු සතු අත්දැකීම්ද බොහෝය.
මිනුම් කටයුතු කිරීමේදී එක් කණ්‌ඩායමකට දහදෙනෙක් ඉන්නවා. මිනුම්දෝරු මහත්තයාට වෙනම ගෝලයෙක් ඉන්නවා. කැලෑබද ප්‍රදේශවල මිනුම් කිරීමේදී පළමුව කංකානම ගිහින් කූඩාරම ගහන්න සුදුසු ස්‌ථානයක් බලාගෙන එනවා. බොහෝ විට කූඩාරම ගහන්නේ වැවක් ආසන්නයේ. මිනුම්දෝරු මහත්තයාට වෙනම කූඩාරමක් ගහනවා. නිදාගන්න රැගෙන යන්නේ බූරු ඇඳන්. වන සතුන්ගෙන් ආරක්‌ෂාවීම සඳහා පළපුරුදු වෙඩික්‌කාරයෙක්‌ද රැගෙන යනවා. රාත්‍රියට පත්තු කිරීමට ලැන්තෑරුම් දෙකක් හා පෙට්‍රල් මැක්‌ස් එකක්‌ද ඒ කාලයේ අපි ගෙන ගියා.
ගුණපාල අතීත සිද්ධීන් සිහිපත් කරමින් එසේ පවසන්නෙ මිනුම් කටයුතු කිරීමේදී එක් වැඩබිමක මාස තුන හතරක් ගතකිරීමට මොවුන්ට සිදුවෙති. ඒ කාලයේදී මොවුන් කැලෑවෙන් එළියට එන්නේ මාස තුන හතරකට පමණ සැරයකි. ගුණපාල ත්‍රිකුණාමලය, කන්තලේ, පුත්තලම, පොළොන්නරුව, මඩකලපුව, අඹගස්‌වැව වඩමුණේ තොප්පිගල ආදී ප්‍රදේශවල සේවය කළේය.
මාසයකට විතර සෑහෙන්න හාල් තුන පහ රැගෙන යනවා. තම්බපු හාලේ බත් තමයි තුන් වේලටම කෑවේ. දඩමසුත් ඉඳහිට කන්න හැකිවුණා. ඒ කාලයේ මදුරු දැල්වත් තිබුණේ නැහැ. කැලයේ දාගෙන යන්න සපත්තු ගත්තෙත් අපේ අතේ සල්ලිවලින්. අපි කෝටු මැස්‌සෙත් රාත්‍රියට නිදා ගත්තා. මට මැලේරියා උණ දහ සැරයක් විතර හැදිලා තිබෙනවා. උණට මැලේරියා පෙති තමයි බීවේ. දැන් වගේ නෙවෙයි ඒ කාලයේ මිනුම් කටයුතු කිරීමේදී මිනුම්දෝරු මහත්වරු මෙන්ම කම්කරුවන්ද නොයෙකුත් දුක් ගැහැටවලට ලක්‌වුණා. ගුණපාල මා සමග කීවේය.
ගුණපාල දැන් විශ්‍රාමිකයෙකි. ඔහුගේ විශ්‍රාම වැටුප සකස්‌කොට ඇත්තේ ප්‍රධාන කංකානම් තනතුරේ වැටුප් තලය අනුව නොවන බවද ඔහු පවසයි. තම දහඩිය ශ්‍රමය වගුරුවමින් මිනුම්දෝරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් සේවය කළ ගුණපාලට හැබෑවටම වී ඇත්තේ බලවත් අසාධාරණයකි. ඒ ගැන මිනුම් දෙපාර්තමේන්තුවේ ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.
මිනුම් කටයුතු කිරීමේදී මායිමකට දමන මායිම් ගල ගැනද නිරන්තරයෙන් කතාබහට ලක්‌වෙයි. ගමේ ගොඩේ කොයි කවුරුත් මෙකී මායිම්ගලට කියන්නේ කුකුල් අඩිය කියාය. මායිම්ගලක් හමුවූ විට ඒ ගැන සඳහන් කරන්නේ අන්න කුකුල් අඩියක් හමුවී ඇති බවය. මක්‌නිසාද යත් මායිම්ගලේ හැඩය කුකුල් අඩිය හැඩයකින් යුත් නිසාය. මෙකී මායිම්ගල් යොදා ගත්තේ රජයේ හා පෞද්ගලික ඉඩම් වෙන් කිරීමේදී මායිමට දැමීමටය. මෙකී මායිම්ගල් දැමුවේ සුද්දාගේ පාලන කාලයේදීය.
ඇත්තටම මායිම්ගල කුකුල් අඩියක් නොවෙයි. ඒක රජයේ ලාංඡනයක්. සුද්දාගේ කාලයේ රජයේ ලාංඡනය වුණේ ඔටුන්න. සරලව ඔටුන්නේ හැඩය තමයි මේ මායිම්ගල් මගින් දැක්‌වෙන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මිනුම්දෝරු, අධිකාරි කීර්ති දිසානායක මා සමග කීවේය. කීර්ති දිසානායක මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට එක්‌වී ඇත්තේ 1972 වසරේදී, මිනුම්දෝරුවකු වශයෙනි.
පොළොන්නරුවේ මනම්පිටියේ දලුකාන වැව අසල කඳවුරු බැඳගෙන අප මිනුම් කටයුතු කළා. හරියටම 1978 නොවැම්බර් 23 වැනි දින එදා තමයි සුළි සුළඟ හැමුවේ. මා ඒ අවස්‌ථාවේ හිටියේ මගේ කූඩාරමේ. මායිම් අනිත් කූඩාරමේ හිටපු කංකානම ඇවිත් කීවා ඔවුන් සිටින කූඩාරමට එන්න කියා. මා ඒ කූඩාරමට ගියා. අප කූඩාරම සුළඟට යන්න නොදී එල්ලී සිටියා. මා සිටි කූඩාරමට ගහක් වැටිලා කැඩිලා ගියා.
වන සතුන්ගෙන් ආරක්‌ෂා වීමට රාත්‍රියේදී කූඩාරම අසල ගිනිමැලයක් ගහනවා. ඇත්තටම ඒ කාලයේ අප නෑවේ වැවේ වළවල් හාරලා. එම වළවල්වලින් ලබාගත් වතුරෙන් බීමට වතුර ගන්න විශේෂ ෆිල්ටර් බෝතලයක් හඳුන්වාදී තිබුණා. කීර්ති දිසානායක එම අතීත සිද්ධීන් සිහිපත් කරන්නේය. මිනුම් කටයුතුවලදී හමුවෙන මීට පෙර වාර්තාගත නොවූ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්‌ථාන භූ සිතියමේ සලකුණු කිරීමද මිනුම්දෝරුවන්ගේ වගකීමකි.
ඒ මහා වනාන්තරයේ සැඟවී තිබූ බොහෝ වටිනා පුරාවිද්‍යා ස්‌ථාන සොයාගෙන මගේ අවධානයට ලක්‌කිරීමට මිනුම්දෝරුවන් පටන්ගත්ත. එතෙක් කිසිවකු විසින් අසාවත් නොතිබූ බොහෝ ස්‌ථාන සොයා ගැනිණ. බ්‍රොaහියර් තම කෘතියේ එක්‌තැනක පුරාවිද්‍යා ස්‌ථාන සොයාගත් ආකාරය විස්‌තර කොට තිබුණේ ඒ අයුරිනි.
එමෙන්ම මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා තිබුණේ කොළඹ කොටුවේ චැතැම් වීදියේය. ඒ 1875 වසරේදීය. ඒ කාලයේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැයවී ඇත්තේ රුපියල් 65993/- කි. ගාල්ල ජ්‍යෙෂ්ඨ මිනුම්දෝරු අධිකාරි එස්. කොඩිකාර මහතා පවසන්නේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ මුල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල පිහිටා තිබුණේ ගාල්ල කොටුවේ චර්ච් වීදියේ බවය.
මුල්ම කාර්යාලය පිහිටි ස්‌ථානය හඳුනා ගැනීමේ ගැටලුවක් තිබුණා. මේ ගැන සොයාබැලීමේදී මුල්ම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ ඡායා පිටපතක් හමුවුණා. පැරණිතම සිතියමක ඒ ගැන සටහන් වී තිබෙනවා. එම ගොඩනැගිල්ල පසුව අප සොයා ගත්තා කොඩිකාර මහතා එසේ පවසන්නේය.
ලංකාවේ පළමුවැනි හිමිකම් පිඹුරු පත නිකුත් කොට ඇත්තේ 1800 වසරේදී ඒ. ජී. ෂෙනින්ඩර් විසිනි. ලංකාවම ආවරණය වන පරිදි සිතියමක් සකස් කළේ 1821 වසරේදීය, එය හඳුන්වන්නේ ජෝන් ඩෙවිස්‌ගේ සිතියම වශයෙනි. 1857 වසරේදී ප්‍රධාන ත්‍රිකෝණමිතික ජාලය අනුව මිනුම් කටයුතු කරනු ලැබීය. කොළඹ බේස්‌ලයින් මාර්ගය හා මඩකලපුව පාදක රේඛාව කර ගනිමින් මිනුම් කටයුතු කරනු ලැබුවේ 1875 වසරේදීය. මිනුම් කටයුතු කිරීමෙන් ලබාගන්නා දත්ත පදනම් කරගෙන ඒවා සිතියම්ගත කරයි. නෙයින් බලන කල භූ සිතියම් නිර්මාණය කිරීමේදී මිනුම්දෝරුවන්ගෙන් සිදුවන්නේ සුවිශේෂී වූ කාර්ය භාරයකි.
නූතන සිතියම් මගින් ප්‍රධාන අරමුණු දෙකක් ඉටුකරයි. ඒ ගමන් බිමන් යන්නට හෝ සංචාරකයන්ට මාර්ග සොයා ගැනීමට මෙන්ම රජයට සහ පරිපාලකයනට තම සැලසුම් සකස් කිරීමට උපකාර වීමත්ය. ගල්ඔය මින්නේරිය යන ගොවිජන ව්‍යාපාරවලදී මෙන්ම මහවැලි ව්‍යාපාරය වැනි සංවර්ධන ව්‍යාපෘතිවලදී මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදු වූයේ සුවිශේෂී වූ කාර්යභාරයකි.
කෙසේ වුවද භූ ලක්‌ෂණ නියෝජනය වන පරිදි ලංකාවේ භූ සිතියමක් නිර්මාණය කිරීම 1897 වසර වනතුරුද සත්‍ය වශයෙන්ම සිදුනොවීය. 1924 වසරේදී දිවයිනේ සමෝච්ච භූ විෂමතා සිතියම සම්පූර්ණ කිරීම ලංකා සිතියම් නිර්මාණයේ වැදගත් ස්‌ථානයක් විය. කොටි බලකොටු බිඳ දැමීම සඳහා මෙම භූ සිතියම් අපේ වීරෝදාර රණවිරුවන්ටද දැඩි ලෙස උපකාර විය.
මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට මිනුම් කටයුතු කිරීම සඳහා 1980 වසරේ සිට කාන්තාවන්ද මිනුම්දෝරු වෘත්තියට බඳවා ගනු ලැබීය. දැන් කාන්තා මිනුම්දෝරුවරියන්ද අපේ මිනුම්දෝරුවන් සමග හරි හරියට මිනුම් කටයුතුවලට එක්‌වෙති. මෙහිදී මිනුම් සහායකයන්ගෙන්ද සිදුවන්නේ විශේෂිත වූ කාර්යභාරයකි. ඔවුන්ගේ වෘත්තියට අද නිසි තැනක් ලැබී ඇත. ඇත්තටම හිටපු ඉඩම් ඇමැතිවරයකු වන පෝල් පෙරේරා මහතා තමයි මිනුම් සහායකයින්ට නිසි තැනක් ලබා දුන්නේ. කාලයක් මිනුම් සහායකයින් මිනුම්දෝරුවන්ගේ අතවැසියන් බවට පත්ව සිටියා. දැන් එම තත්ත්වය නැත. මිනුම් සහායකයින් ලංකාවේ 4000 ක් පමණ ඉන්නවා. අපේ වැටුප් තලයෙ විෂමතාවක් තියෙනවා. එම ගැටලුව නිරාකරණය කරදෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ. රජයේ මිනුම් සහායකයන්ගේ සංගමයේ ලේකම් කුමාර උදයරත්න මහතා එසේ කීවේය.
මිනුම්දෝරු දෙපාර්තමේන්තුව ආරම්භ කොට දැන් වසර 210 ක් පමණ වේ. කෙසේ වුවද ඉඩම් තොරතුරු සැපයීමේ සදා ප්‍රමුඛයා වන්නේ මේ දෙපාර්තමේන්තුව බව සඳහන් කළ යුතුය.
ලලිත් චාමින්ද ගාල්ල විශේෂ