ආයුර්වේදය; ඉතිහාසය වර්තමානය සහ අනාගත අභියෝගය

ආයුර්වේදය යනු ආයුෂය පිළිබඳ ඉගෙනගන්නා විද්‍යාවයි. නොඑසේනම් පරමායුෂය පිළිබඳ හිත අහිත දෙක සහ රෝගයන්ගේ හේතුව හා එය වැළැක්‌වීමට උපකාරී වන විද්‍යාවයි.

"ආයුෂොවෙදඃ ආයුර්වේදඃ"

යනුවෙන් ද කෙනෙක්‌ දක්‌වයි. මේ පිළිබඳ ඉතා කෙටියෙන් සඳහන් කරනවා නම් ආයුෂය පිළිබඳ දැන ගැනීමයි. රෝග වළක්‌වා ගැනීමෙන් සහ රෝග සුව කිරීමෙන් ශාරීරිකව හා මානසිකව යහපත් ජීවිතයක්‌ පවත්වා ගැනීමට උපදෙස්‌ සහ ආයුෂය පිළිබඳ ඥනය ලබා දෙන විද්‍යාවයි.

බුද්ධ කාලයට (ක්‍රි. පූ. 6 වැනි ශතවර්ෂයට) පෙර පැවති සෘෂි යුගයේදී එතෙක්‌ පැවත ආ උපදෙස්‌ එක්‌ තැන් කිරීමෙන් ආයුර්වේදය පිළියෙල වූ බවද ඇතැම් උගතුන්ගේ පිළිගැනීමයි. නමුත් භාරතීය වෛද්‍ය ක්‍රමය වෛද්‍ය කලාවක්‌ වශයෙන් ඉදිරිපත් කිරීමට එහි උත්පාදක සෘෂිවරුන් කැමති වුණේ නැහැ. වෛද්‍ය ශාස්‌ත්‍රය පරමාර්ථය සෞඛ්‍ය සංරක්‌ෂණය හා රෝග විමර්ශනය යන දෙක වුවත්, ආයුර්වේදය මගින් මීට වඩා පුළුල් පරමාර්ථයන් එනම් ධර්ම, අර්ථ, කාම යන පුරුෂාර්ථයන් සිදුවන සේ පෙර කී පරමාර්ථ දෙක සලසා දීම සිදුවෙනවා.

ඈත අතීතයේ භාරතයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉතා උසස්‌ දියුණු තත්ත්වයක පැවතුණා. ජීවක වෛද්‍යවරයා බුදුන් වහන්සේගේ මෙන්ම බිම්බිසාර රජතුමාගේද වෛද්‍යවරයා වුණා. ජීවක වෛද්‍යවරයා විසින් බුදුන් වහන්සේට බෙහෙත් ගැල්වූ මානෙල් මල් තුනක්‌ ආඝ්‍රාණය කරවා විරේචනය කරවූ වග බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. විනය පිටකයේ මහා වග්ග පාලියේ මුල් කොටසේ වැඩි ප්‍රමාණයක්‌ භික්‌ෂූන්ගේ ඒ ඒ ලෙඩ සඳහා බුදුන් වහන්සේ අනුදත් බෙහෙත් වලටත්, උපදෙස්‌වලටත් වෙන් වෙලා තියෙනවා. පංජාබයේ පැළලුප් නුවර ආක්‍රමණය කළ අවස්‌ථාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අයත් යම් යම් දේ තම රටට ගිය බවත් සඳහන් වෙනවා.

නමුත් පසු කාලයේ දඹදිව එක්‌ එක්‌ රාජ්‍යයන් අතර ඇති වූ ගැටුම් හා විප්ලව ආදී හේතූන් නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වේගවත් ගමන ඇනහිටියා. විදෙස්‌ ආධිපත්‍ය හේතුවෙන් නාලන්දා විශ්වවිද්‍යාලය වැනි විද්‍යා පිඨ වලින් ආයුර්වේද විද්‍යාව තුරන්ව ගියා. එමෙන්ම ශ්‍රී ලංකාවට ඇති වූ විදෙස්‌ ආක්‍රමණ හේතුවෙන් ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටද බාධා එල්ල වුණා. රාජ්‍ය අනුග්‍රහය හා රාජ්‍ය ගෞරවයෙන් ඈත් වීම නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශීඝ්‍ර දියුණුව නැවතුනා. 16 වැනි ශතවර්ෂයේදී ඕලන්ද ජාතිකයන් විසින් පෙරදිග වෛද්‍ය විද්‍යාව අපේ රටට ගෙන ඒමත් එය ව්‍යාප්ත කිරීමත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ව්‍යාප්තියට එල්ල වුණු තවත් බාධාවක්‌. එහෙත් ශ්‍රී ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශ වල වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තමන්ගේ පාරම්පරික උරුමයක්‌ ලෙසට රැක ගත්තා. ඒ හේතුවෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලංකාවෙන් තුරන් වුණේ නැහැ.

20 වැනි ශතවර්ෂයේ මුල හරියේදී ඉන්දියාවේ හා ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගුරු කුලයන් වෙතට සීමා වී පැවැතුනා. එහිදී උගැන්වීම සිදු කරනු ලැබුවේ පොත මුල් කරගෙනයි. බෙහෙත් සෑදීම සහ ආචාර්යවරයා යටතේ වෙදකම් කිරීමේ පුහුණුව ලැබීම එම අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් වුණා.

විදෙස්‌ ආධිපත්‍යයෙන් හෙම්බත් වී සිටි, වහල් භාවයෙන් නිදහස්‌ වීම අපේක්‌ෂා කළ වෙද පරපුරක අප්‍රතිහත ධෛර්යයයේ ප්‍රතිඵලයක්‌ ලෙසට 1916 පෙබරවාරි 10 දින කල්කටාවේ ෆරියාපුකූර් වීදියේ සිසුන් දොළොස්‌ දෙනෙකුගෙන් ඉන්දියාවේ ප්‍රථම ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය ආරම්භ වුණා. එම ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය ආදර්ශයට ගනිමින් 1929 ජුලි මාසයේදී කොළඹ දේශීSය වෛද්‍ය විද්‍යාලයත්, ගම්පහ ශ්‍රී ලංකා සිද්ධායුර්වේ වෛද්‍ය විද්‍යාලයත් ආරම්භ වුණා. ඒ තුළින් පොත ප්‍රධාන කොට ගත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව විෂය ප්‍රධාන කොට ගත් අධ්‍යාපන ක්‍රමයක්‌ බවට පරිවර්තනය වුණා.

වෛද්‍යවරයා, රෝගියා, උපස්‌ථායකයා සහ ඖෂධ යන සතර පාදය රෝග සුවයට අතිශයින්ම ප්‍රශස්‌ත වන බව චරක නම් ආචාර්යවරයා සඳහන් කර තිබෙනවා. අපගේ පැරැන්නන්ගේ ඉතිරි වී ඇති ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ වට්‌ටෝරු දෙස බලන විට ඔවුන් ඒ බව මනාව වටහා ගත් බව පැහැදිලි වෙනවා. ඒ අනුව එකම ඖෂධයේ නොයෙක්‌ සංයෝග, ඒවා පිළියෙල කිරීමේ වෙනස්‌ වූ ක්‍රම, රෝගියා අනුව වෙන වෙනම අනන්‍ය වූ ප්‍රතිකාර ක්‍රම පවත්වා ගෙන යැම පිළිබඳ ඔවුන් සැලකිලිමත් වී තිබෙනවා. වර්තමාන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී බොහෝවිට සිදු නොවන්නේත් මෙම අනන්‍ය වූ ප්‍රතිකාර ශිල්ප ක්‍රමයයි. ඇත්තෙන්ම එනම් අනන්‍ය වූ ප්‍රතිකාර ශිල්ප ක්‍රමයන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අවශ්‍යම වෙනවා. ඒක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ලාක්‌ෂණික වූ දෙයක්‌.

ඇඹරීම, කෙටීම, ගලගෑම, කුඩු කිරීම, තැම්බීම ආදී වශයෙන් ඖෂධ සකස්‌ කිරීමේ ආයුර්වේදයට අනන්‍ය වූ ක්‍රමෝපායයන් බොහෝ රාශියක්‌ වෙනවා. මුදල මුල්වූ සමාජ රටාව තුළදී මේ ආකාරයට විවිධාකාර වූ ක්‍රමෝපායන් හරහා එකම ඖෂධය ඒ ඒ රෝගයන්ට වෙන වෙනම නිෂ්පාදනය කරනවාද යන්නත් ගැටලූවකි. අප විසින් එය නිවැරැදි කළ හැක්‌කේ කෙසේද? එම අවබෝධය හා නිවැරැදි කිරීම හරහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වඩා ක්‍රියාකාරී ප්‍රායෝගික තලයට ගෙන යා හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරැදි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මගින් ප්‍රතිකාර කිරීමයි.

වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් ආයුර්වේද වෛද්‍යවරයා නොයෙකුත් ශල්‍යකර්ම ආදිය සිදුකිරීම සඳහා ද නිපුනයකු බවට පත් කර තිබෙනවා. එමෙන්ම වර්තමාන ආයුර්වේද වෛද්‍යවරයා විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය හා ශල්‍ය වෛද්‍යවේදී උපාධිධාරියෙක්‌.

සාමානයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී සිදුකරනුයේ ශෝධනශමන ප්‍රතිකාර ක්‍රමයයි. එනම් රෝගය රෝගියා තුළින් අනාවරණය කර ගනිමින්, රෝගය රෝගියා තුළ වැඩෙන්නට සලස්‌වමින් එහි නිධානය සොයා එයට ප්‍රතිකාර කිරීමේ ක්‍රම වේදයයි. මේ සඳහා වැඩි කාලයක්‌ වැය කළ යුතුව අතර සුව වීමට පෙර රෝගී තත්ත්වය තරමක වැඩි වීමක්‌ද පෙන්නුම් කරනවා. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලදී සුව වීමට පෙර රෝගය උත්සන්න වන බවට ඇති මතයට හේතුව මෙම කාරණයයි. මෙය ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ වුවත් වර්තමානයේ ඉතා වේගයෙන් ජීවන රටාවට හුරු වී සිටින මිනිසුන්ට අවශ්‍ය වනුයේ ක්‍ෂණික නොඑසේ නම් ඉතාම ඉක්‌මනට තමාගේ දෛනික ක්‍රියාකාරකම් වලට බාධාවක්‌ නොවන අයුරින් තම රෝග තත්ත්වය සුවකර ගැනීමයි. වේගවත් වූ ක්‍රියාකාරකම් හුරු වූ සමාජයට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ප්‍රශස්‌ත ලෙස සමාරෝපණය නොවීමට හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සමාජය තුළ වේගයෙන් ප්‍රචලිත නොවීමට බලපාන ප්‍රධාන කාරණය ලෙස මම දකින්නේ මෙම කාරණයයි.

මිනිසා ස්‌වාභාවික පරිසරයට අයත් සත්වයෙක්‌. ප්‍රකෘතික සමාජයේ ජීවත් වූ පුර්වජ මානවයා අනෙකුත් සතුනට වඩා වෙනස්‌ මඟක්‌ අනුගමනය කරමින් ස්‌වභාව ධර්මයට එරෙහිව කරනු ලද අරගලයන් හරහා පරිණාමය වුණා. නමුත් ඹහුගේ අක්‌මුල් ඇත්තේත් ස්‌වභාදහම තුළයි. බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හරහා සිදුවන ප්‍රතිකාර වලදී නොයෙක්‌ අසාත්මිකතා ඔබ දැක ඇතත්, නිවැරැදි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හරහා එවැනි අසාත්මික රෝගීන් ඔබ දැක තිබේද? අප පළමුවෙන් තේරුම් ගතයුත්තේ එම යථාර්ථයයි. එනම් මනුෂ්‍යා යනු කවරෙක්‌ද? ඔහුගේ ශරීරය සෑදී ඇත්තේ කෙසේද? එම ශරීරයට ඇති වන රෝගාබාධ මොනවාද? ඒවා ඇති වන්නේ කෙසේද? එම ඇතිවීමේ හේතු ශමනය කළ හැක්‌කේ කෙසේද යන කාරණයයි.

දෙවනුව වර්තමාන සමාජයේ වේගවත් ධාවන රටාවන් අනුව රෝගියාගේ රෝගය උත්සන්න නොකොට එහි නිධානයට ප්‍රතිකාර කිරීමේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදයක්‌ සමාජයට ඉදිරිපත් කිරීමේ වගකීම ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරයාටයි. ඔහු එම අභියෝගයට මුහුqණ දෙන්නේද? නොඑසේ නම් එයින් පලා යන්නේද? යන්න මත ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හමාජයට කොතරම් දුරට වඩාත් ආරෝපණය වන්නේ ද යන්න තීරණය වෙයි.

එය අද දවසේ ආයුර්වේද වෛද්‍යවරයා වෙත ඇති සාමාජීය අභියෝගයකි. එය ජයගත හැකිය. අවශ්‍ය වන්නේ නව විචාරක්‍ෂයකින් බලා අයුර්වේද වෛද්‍ය ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට බඳුන් කිරීමයි. මේ සඳහා අවශ්‍ය වන්නේ තමන් දරන තනතුර පාරම්පරික උරුමයන් සේ සිතමින් තවදුරටත් ඒවායේ එල්ලී සිටීමට උත්සා ගන්නා, ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ක්‍රියාකාරී දායකත්වයක්‌ නොසපයන නිලධාරීන් වෙතින් වැඩක්‌ කිරීමට අවශ්‍යයෙන්ම හැකියාව හා උනන්දුව ඇති පිරිසක්‌ වෙතට ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත්‍රය පත්කිරීමයි. කෙනෙකුගේ වයස අනුව නොව කුසලතාව හා හැකියාව මත එය සිදු කළ යුතුය. තවද ඒ ඒ ආයුර්වේද රෝහල් වැඩි දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රජයට බරක්‌ නොවී රෝහල තුළදීම ලබා ගැනීමේ වැඩ පිළිවෙළ ඉදිරිපත් කිරීමට හැකි නිලධාරීන් පත් කළ යුතුය. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පොහොසත් බවද කිවයුතුය. බොහෝ ආයුර්වේද රෝහල්වල සෑහෙන තරම් ඖෂධ වර්ග හා පහසුකම් ඇතත් ඒවා මිනිසුන්ගෙන් දුරස්‌තව පවතිනු පෙනෙන්නේ ක්‍රියාත්මක වැඩ පිළිවෙළේ ඇති නොපෑහෙන බවක්‌ නිසාය.

වසර 30 ක කාලයක්‌ තිස්‌සේ පැවැතුනු රටට ශාපයක්‌ වූ, යුද්ධය දිනා දුන් නායකයා සිටින රටේ, දැවැන්ත සංවර්ධන ක්‍රම හරහා වරායවල් ඉදිකරමින් ලංකාවේ සිතියම පවා වෙනස්‌ කර නිවැරැදි තීන්දු තීරණ ගන්නා නායකයා සිටින රටේ, දේශීය වෛද්‍ය ඇමැතිතුමාට දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වඩ වඩාත් ජනතාව වෙත සමීප කරවීමේ උනන්දුව අවශ්‍යතාව සහ හැකියාව ඕනෑවටත් වඩා ඇතැයි මම විශ්වාස කරමි.

වෛද්‍ය සජානි වාසනා
BAMS (කැලණිය විශ්වවිද්‍යාලය)