කවුද මේ සැමුවෙල් බේකර්

මොහු බ්‍රිතාන්‍ය යටත් විජිත සේවකයෙකි. උගත්, නිර්භීත, කෘතහස්‌ථ, නිර්මාණශීලී ඉංග්‍රීසි ජාතිකයෙකි. මොහුගේ සම්පූර්ණ නම සර් සැමුවෙල් වයිට්‌ බේකර්ය. වයිට්‌ පාෂා නමින් මිතුරු නමකින්ද කතා කෙරේ. 1847-1855 අතර කාලයේ අවුරුදු 8 ක්‌ පමණ ලංකාවේ සේවය කර ඇත.

වර්ෂ 1821 ජුනි 28 දා මහා බ්‍රිතාන්‍යයේ ඩෙමොන්හි සැන්සිෆොaර්ඩ් නගරයේ ඉපදී ඇත. අවුරුදු 17 දී බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සොල්දාදුවෙක්‌ හැටියට සේවයට බැඳී ඇත. ඒ වන විට ඔහු දක්‍ෂ වෙඩික්‌කාරයෙකි. 1847 දී ලංකාවට පැමිණ අවුරුද්දක්‌ රැඳී සිට නැවත එංගලන්තයට ගියත් ඔහු ගේ සිත රුඳුණේ ලංකාවේය. ඔහු කියන පරිදි (සිලොන්) ලංකාව සුන්දර දිවයිනකි. ස්‌වාභාවික සම්පත් බහුලය. ඉක්‌මනින් දියුණු කළ හැකි යටත් විජිතයකි. නැවත ඔහු 1848-49 කාලයේ දිවයිනට පැමිණෙන්නේ ස්‌ථීර පදිංචියක්‌ සඳහා සැලසුමක්‌ ඇතුවය.

මොහු වෘත්තියෙන් හමුදා නිලධරයෙකි. ඊට අමතරව දේශ ගවේෂකයෙකි. කුසලකා පූර්ණ ඉංජිනේරුවෙකි, පරිසරවේදියෙකි, කෘෂි විද්වතෙකි, ලොව ප්‍රසිද්ධ දඩයම් කරුවෙකි. දක්‍ෂ ප්‍රසිද්ධ ලේඛකයෙකි. මේ අනුව මොහු බොහෝ ශිල්පීය කුසලතාවන් ගෙන් පරිපූර්ණ වූ අසමසම පුරුෂයෙකි.

එසේ වුවද ඔහු විසින් ලංකාව පිළිබඳ ලියන ලද Rifle and the Hounds in Ceylon (රයිෆල් හා දඩබල්ලො) පොත - 1892 කියවූ මෙරට සිංහල බෞද්ධයන් ඔහු මහා පාපතරයෙක්‌ ලෙස සලකා ප්‍රතික්‍ෂේප කරයි. ඔහු විසින් ලංකාවේ අලි, කුළු මීහරක්‌, ගෝනුන්, මුවන්, වල්ඌරන් ආදී වන සතුන් ක්‍රීඩාවක්‌ හැටියට දඩයම් කළ ආකාරය විස්‌තරාත්මකව එම පොතේ සඳහන් කර ඇත. මරණ ලද ඒ සතුන්ගේ ප්‍රමාණයද සංඛ්‍යාත්මකව ඉදිරිපත් කර ඇත. පොත වරක්‌ කියවූ බෞද්ධයෙක්‌ නැවත කියවන්නේ නැත. දඩයම ඒ තරමට ජුගුප්සා ජනකය. සමහරු පොත කියවීම අතරමගදී නවතා දමයි. මෙම පොත සිංහලට පරිවර්තනය කරද නැත. පරිවර්තනයක්‌ කිරීමට ඉදිරිපත්වන කෙනෙකුද නැත.

කරුණු කාරණා එසේ වුවත් සැමුවෙල් බේකර් බොහෝ සේ "සිලොන්" දිවයිනට අවංකවම ආදරය කළ යටත් විජිත නිලධරයෙකි. දිවයිනේ ස්‌වාභාවික භෞතික ගුණත් සුන්දරත්වයක්‌, ඓතිහාසික ශ්‍රී විභූතිය ගැනත් නිතර නිතර මේ පොතේ සඳහන් කරයි.

වර්ෂ, 1847-48, "50-"53 කාල වකවානු වල දඩයම පිණිස වන වැදුනු ඔහුට වනාන්තරයෙන් වැසී පැවතුන අනුරාධපුර, පොළොන්නරු, මාගම්පුර ප්‍රදේශවල වාස්‌තු නටබුන්, ශෛලමය මූර්ති, දාගැබ්, වැව්, පොකුණු, ඇල මාර්ග, චිත්‍ර දක්‌නට ලැබිණි. මේ නටබුන් දුටු ඔහු විශ්මයට පත්වී ඇත. ඔහුගේ මනසට පැන නැඟුණු පළමු ප්‍රශ්නය වූයේ මෙහි ජීවත්වූ මිනිසුන්ට මොකද වුණේ? යන්නයි. ඉතා දියුණු වූ මිනිස්‌ වර්ගයක්‌ මේ පෙදෙස්‌ වල ජීවත්ව සිට ඇති බව ඔහු සඳහන් කරයි. වැව්, දාගැබ්, ගල්කණු, ශෛලමය මූර්ති ගැන ඔහු මහත් ගෞරවයෙන් කථා කරයි. එකල මෙහි සිටි මිනිස්‌ වර්ගයා ශක්‌තිමත් මිනිස්‌ වර්ගයක්‌ විය හැකි බවත් ඔහු අනුමාන කරයි. එම මිනිස්‌ වර්ගයා එම ඓතිහාසික යුගත් සමග අවසන් වී ඇති බවත් දැන් සිටින මිනිස්‌ වර්ගයා ඔවුන්ගෙන් පැවතෙන්නන් නොවන බවත් සටහන් කරයි. විශාල ජනගහනයක්‌ එම වකවානු වල ජීවත් වන්නට ඇති බවත් ....... ' A powerful nation having once, existed..... this country must at one time having been densley populated සටහන් කර ඇත. මේ රාජධානි වල විනාශයට හේතුව විශාල ජනගහනයක්‌ සමග ඇතිවූ වසංගත Pestilence රෝගයක්‌ විය. භැකි යෑයිද ඔහු අනුමාන කරයි. ඔහු මේ නිගමන වලට පැමිණෙන්නේ තමා දුටු, දර්ශනය කරගත් වාර්තා වලට අනුවය.

දැන් සිටින ජනයා (1850 ගණන්වල) උදාසීන, පිරිසිදු කමක්‌ නැති. දියුණුවක්‌ ගැන සිතා නොබලන පිරිසක්‌ හැටියට ඔහු සඳහන් කරයි. එම නිසා මේ රට දියුණු කිරීමට නම් චීනයෙන් මිනිසුන් ගෙන ආ යුතු යෑයි ඔහු ආණ්‌ඩුකාරවරයාට උපදෙස්‌ දී ඇත. ඒ අනුව චීනයෙන්ද, ඉන්දියාවේ මලබාර්, කොචින් වැනි ප්‍රදේශ වලින්ද මිනිසුන් (කම්කරුවන්) ගෙන්වා ගෙන ඇත. මොවුනට පැවරුණු වැඩ වූයේ වැවිලි සඳහා කැලෑ එළිකිරීම, පාරවල් කැපීම, ලී වැඩ, ප්‍රවාහනය ආදී කටයුතුයි.

නුවරඑළිය නගරයේ නිර්මාතෘවරයා ඔහුය. නුවරඑළියට ඉංග්‍රීසි එළවලු පළමු වරට හඳුන්වා දුන්නේ සැමුවෙල් බේකර්ය. නුවරඑළිය කෘෂි ජනාවාස පිහිට වූයේ ඔහුය. මෙයට අදාළ තොරතුරු Eight Years in Ceylon ලංකාවේ අවුරුදු අටක්‌ නම් ඔහුගේ පොතේ පැහැදිලිව විස්‌තරාත්මකව සටහන් කර ඇත.

වර්ෂ 1855 දී පමණ ඔහු රටින් පිටව යන්නේ ආණ්‌ඩුකාරවරයාට, මෙරට සංවර්ධනය කළ යුත්තේ කෙසේද, කුමන ආකාරයෙන්ද පාලනය කෙසේ විය යුතුද කියා ආදර්ශ ව්‍යාපෘති කිහිපයක්‌ හඳුන්වා දීමෙන්ය.

ඔහුට නව පත්වීමක්‌ ලැබෙයි. තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයේ කොන්ස්‌ටන්ට්‌ නෝපල් නගරයට පැමිණෙයි. තුර්කියේ ඩොබ්රුජා නගරයේ සිට ඩැනියුබ් හරහා කළු මුහුද දක්‌වා සාදන දුම්රිය මාර්ගයේ කටයුතු අධීක්‍ෂණය කිරීම සැමුවෙල් බේකර්ට ලැබෙන නව රාජකාරියයි. ඔහු ඉංජිනේරුවෙකි. අවුරුදු 06 ක පමණ එම වෘත්තියෙ කටයුතු කර සේවය අවසන් කර 1861 දී පමණ නයිල් ගඟ ගවේෂණ කටයුතු ආරම්භ කරයි. නයිල් ගඟේ ඝෝෂක කලාපය සොයා ගැනීම සඳහා - Grant & Speke ග්‍රාන්ට්‌ හා ස්‌පෙකි මහතුන් දෙදෙනාගේ සහායත් ලබාගෙන ගවේෂණය ආරම්භ කරයි. වර්ෂ 1864 මාර්තු 14 දා අල්බර්ට්‌ න්‍යාය. විල් ඔහුට සොයා ගැනීමට හැකි වෙයි. ඒ එක්‌ පෝෂක කලාපයකි. ගවේෂණය හා අල්බර්ට්‌ විල සොයා ගැනීම පිළිබඳ වාර්තාවක්‌ Royal Geographical Society රෝයල් ජොග්‍රිෆිකල් සසයිට්‌ වෙත ඉදිරිපත් කර තිබේ.

සැමුවෙල් බේකර්ට හොඳින් අරාබි බස කතා කිරීමට හැකිය. 1865 දී සුඩානයේ පළමු ආණ්‌ඩුකාරයා හැටියට නව පත්වීමක්‌ ලැබෙයි. ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ මේජර් ජෙනරාල් තනතුරද හිමි වෙයි. ඔහුගේ දක්‍ෂතා එවක ජාත්‍යන්තරය පිළිගත් ආකාරය මේ තනතුරු වලින් පෙන්නුම් කරයි.

නයිල් නදියේ equatorial Region සමක කලාප ප්‍රදේශයේ (වර්තමාන උගන්ඩා, කිනිය, දකුණු සෝමාලියාව ප්‍රදේශය) ජයට කෙරීගෙන යමින් තිබුණු නීති විරෝධී වහල් වෙළ¹ම පාලනය කිරීමට හා අධීක්‍ෂණයක්‌ කරන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටියි. 1700 ක පමණ ඊජිප්තු සේනාවකුත් සමග ඔහු කයිරෝවෙන් පිටත් වෙයි. අප්‍රිකානු නිලධරයන්ගෙන් හා අවශේෂ සේවකයන්ගෙන් නොලැබුණු සහයෝගය නිසා කාර්යය අසාර්ථක වූ බව ඔහු ප්‍රකාශ කරයි.

1874 දී ඔහු තම රාජකාරි සියල්ල චාර්ල්ස්‌ ගෝඩ්න් නම් වූ හමුදා නිලධරයාට භාර කර මවු රට බලා පිටත් වී ඇත.

දකුණු එංගලන්තයේ ඩෙවොන් සැන්ස්‌ෆොර්ඩ් හි තම උපන් නගරයේ නව නිවසක්‌ තනා ගෙන පදිංචි වී තම අත්දැකීම් පදනම් කරගෙන පොත පත ලිවීම ආරම්භ කළේය. අවුරුදු 20 කට පමණ පසු ලංකාව පිළිබඳ තොරතුරු සොයන්නට පටන් ගත්තේය. සර් එඩ්වර්ඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාරවරයා විශාල සේවයක්‌, සංවර්ධන ව්‍යාපෘති රාශියක්‌ ආරම්භ කර ඇති බව දැනගෙන ඔහු මහත් සතුටට පත්වෙයි. තමා දඩයම් කළ කැලෑවක්‌ නිල්ගල දිඹුල්දෙන, කොන්ඩුවට්‌ටුවාන්, බිබිල (oomano) උහන ආදී පෙදෙස්‌ එළිකර අක්‌කර 25,600 පමණ වී ගොවිතැන ආරම්භ කර ඇති බව ඔහුට දැන ගන්නට ලැබෙයි. ඒ පිළිබඳ මහත් සතුටට පත්වූ බව අවුරුදු 8 ක්‌ ශ්‍රී ලංකාවේ Eight Years in Ceylon පොතේ සඳහන් කර ඇත.

විශ්‍රාම සුවයෙන් සිටිමින් ඔහු ලියන ලද පොතපත බොහෝයි. ඒ පොත්පත් අතර එයිටි ඉයර්ස්‌ ඉන් සිලොන්, ග්‍රේට්‌ බේසින් ඔෆ් ද නයිල්, නයිල් ටි්‍රබියුටරීස්‌ ඔෆ් ඇබිසිනියා, ඉස්‌මාලියා, රයිෆල් ඇන්ඩ් ද හවුන්ඩ්ස්‌ ඉන් සිලොන්, සයිප්‍රස්‌ ඈස්‌ අයි සො ඉට්‌, වයිල්ඩ් බීස්‌ට්‌ ඇන්ඩ් දෙයාර් වර්ල්ඩ් වැනි පොත් ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වූ ප්‍රසිද්ධ නිර්මාණයන්ය. මේ ග්‍රන්ථ පාඨකයාට ආනන්දයද ප්‍රඥවද එක සමානව ලබාදෙන අසාමාන්‍ය නිර්මාණයෝය.

මේ ආකාරයෙන් මානව වර්ගයාට කළ සේවාව වෙනුවෙන් ඔහුව ජාත්‍යන්තරව සම්මානයට ලක්‌විය. රාජකීය භූගෝල විද්‍යා සංගමය විසින් Royal Gographic Society රජත සම්මානයකින් පුදනු ලැබීය.

ප්‍රංශයේ පැරිස්‌ භූගෝල විද්‍යා සංගමය Paris Grand Geographic Society විසින් ද රජත සම්මානයකින් පුදනු ලැබීය. එංගලන්තයේ VII එඩ්වර්ඩ් රජතුමා විසින් ඔහුව නයිට්‌ නම්බු නාමයෙන් පුදන ලැබීය.

ඔටෝමන් තුර්කි අධිරාජ්‍යා විසින්ද ඔහුව පාෂා වරයකු ලෙස නම්බු නාමයෙන් පුදනු ලැබ තිබිණ.

කේ. ඩබ්ලිව්. චන්ද්‍රරත්න