පොළොන්නරු ගල්විහාරයේ හිටි පිළිමයෙන් නිරූපණය වන්නේ බුදුරදුන්ගේ ආයුසංස්‌කාරය හැරීමේ අවස්‌ථාවද?

ඓතිහාසික පොළොන්නරු රාජධානි සමයේ ඉදිවූ වෙහෙර විහාර අතරින් ගල්විහාර සංකීර්ණයට හිමිවන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. පැරැණි ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ප්‍රතිභාපූර්ණ කලා කෞෂල්‍යය අනුරපුර යුගයේ ඉදිවසෙන් කලා නිර්මාණ සමග සැසඳීමේ දී ගල් විහාරයේ ප්‍රතිමා විශේෂයෙන්ම ඊටම අවේණික වූ දේශීයත්වය පිළිබිඹු වන ආරයකින් නිර්මාණය වී තිබීම එයට ප්‍රධාන හේතුවයි.

ඓතිහාසික මූලාශ්‍ර අනුව ක්‍රි.ව. 12 වැනි සියවසේදී රාජ්‍යපදප්‍රාප්ත වූ පොළොන්නරු රාජධානියේ ශ්‍රේෂ්ඨතම රජු ලෙස විරුදාවලී ලත් පළමුවන පරාක්‍රමබාහු රජදවස මෙම විහාරය ඉදිකර ඇත. තෝරාගත් හුදෙකලා ගල් පර්වතයක බුද්ධ චරිතයේ විශේෂ අවස්‌ථා කිහිපයක්‌ සුවිශේෂ අරමුණක්‌ ඉටුකර ගැනීම සඳහා කැටයම් කිරීම මෙහි තේමාව වන්නට ඇත.

එහි මුලින්ම දක්‌නට ඇති ප්‍රතිමාව සම්බුද්ධත්වය නිරූපණය කරන අතර විද්‍යාධර ගුහාවේ වැඩ සිටින ප්‍රතිමාව තුළින් පන්සාළිස්‌ වසක්‌ පුරා දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ආදී සියලු සත්වයන් වෙත මහා කරුණාවෙන් සිදුකළ උදාර සේවය නිරූපණය වෙයි. මෙම ගල් ලෙන තුළ ශේෂව ඇති සිතුවම්වලින් ඒ බව තහවුරු වේ.

ඉන් පසුව ඇත්තේ පෙළොන්නරු ගල් විහාර සෙල් ලිපියයි. මෙයින් අනාවරණය වන්නේ භික්‌ෂුන් වහන්සේගේ විනයානුකූල පැවැත්මෙන් සංඝ සාමාග්‍රියේත් ඇති වටිනාකමයි. ගල් විහාර පුවරු ලිපියට පසුව ඇත්තේ හිටි පිළිමයයි. උගතුන් අතර වඩාත් මතභේදයට තුඩුදුන් පිළිමයවන්නේද එයයි. අවසාන වශයෙන් නිර්මාණය කර ඇත්තේ සම්බුද්ධ පරිවර්වාණය පිළිබිඹු කෙරෙන පිළිම වහන්සේයි.

සමස්‌ත විහාර සංකීර්ණයම එක්‌වර අධ්‍යයනය කිරීමේදී සම්බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්‌වා ගමන් ගන්නා බුද්ධ චරිතය මෙ මගින් නිරූපණය කරයි. මෙම නිර්මාණයේ තේමාව කෙසේ වෙතත් කාලීන අවශ්‍යතාවක්‌ වූ සංඝ සාමග්‍රිය ආරක්‌ෂා කිරීමත් ශාසන ශෝධනයෙන් පසු පවිත්‍ර මහාවිහාර සම්ප්‍රදාය ආරක්‌ෂා කිරීම තුළින් යළිත් පිරිසිදු ථෙරවාදී සම්ප්‍රදාය ශ්‍රී ලංකාව තුළ ස්‌ථාපිත කිරීමත් අරමුණක්‌ වන්නට ඇත.

පොළොන්නරු රාජධානිය වඩාත් ශක්‌තිමත් කර රට එක්‌සේසත් කළ පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් දිඹුලාගල මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙස්‌ පරිදි, විදේශ ආක්‍රමණත්, දේශපාලන අස්‌ථාවරත්වයත් නිසා පරිහානියට පත් බෞද්ධ ආගමික සම්ප්‍රදාය යළි නගා සිටුවීමට කටයුතු කරන ලදී. ඒ සඳහා ශාසන සංශෝධනයක අවශ්‍යතාව දැඩි ලෙස දැනෙන්නට විය.

ශාසන සංශෝධනයේදී ගල්විහාර පුවරු ලිපියේ සඳහන් සංඝ සාමග්‍රිය සහ විනයානුකූල පැවැත්ම ස්‌ථාපිත කිරීමේ බොහෝ කරුණු මහා පරිනිබ්බාන සූත්‍රයේද සඳහන් වේ. සංඝ සාමග්‍රිය සහ විනයනුකූල පැවැත්ම ස්‌ථාපිත වන තුරු සම්බුද්ධ පරිනිර්වාණය සිදුනොවන බව පිරිනිවීමට සුදුසු කාලය එළැඹ ඇතැයි මාරයා කළ ප්‍රකාශයට බුදුරදුන් දුන් පිළිතුරින් පැහැදිලි වේ. එහි අන්තර්ගත වූ අපරිහානීය ධර්ම කරුණු මෙන්ම ශාසනයෙහි චිර පැවැත්ම සඳහා හේතුවන කරුණු ගල්විහාර පුවරුවේ අන්තර්ගතයට සෘජුවම හෝ වක්‍රව බලපාන්නට ඇත.

එසේ නම් ශාසනයේ චිර පැවැත්ම සඳහා එහි භාරධුර වගකීම පැවැරෙන නවක භික්‌ෂුන්ට තම ශාසනික කාර්යභාරය කුමක්‌විය යුතුද යන්නත් ශාස්‌තෘන් වහන්සේ කෙරෙහි ධර්ම ගෞරවය දනවනු වස්‌ තථාගතයන් වහන්සේ ආයු සංස්‌කාරය හැරීමේ තීරණාත්මක මොහොතක්‌ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණ මොහොතත් නිරූපණය කරන්නට උත්සාහ ගන්නට ඇත.

පුවරු ලිපියෙන් පසු නිමවා ඇති හිටි පිළිමය (අඩි 22 ක්‌ අඟල් 9 උසැති) පද්මාසනයක්‌ මත වැඩ සිටින ප්‍රතිමාවේ විශේෂත්වය නම් දෙ අත් පපුව මත තබාගෙන තරමක ශෝකී ස්‌වරූපයෙන් නිරුපණය වීමයි. බුදුන්වහන්සේ කිසි දෙයකටත් අකම්පිත වන හෙයින් එයින් නිරූපණය වන්නේ ෙශෘaකී ස්‌වරූපයක්‌ද යන්න ප්‍රශ්නාර්ථයකි.

මේ නිසාම සම්බුද්ධ පරිනිර්වාණය නිසා ශෝකී භාවයෙන් සිටින ආනන්ද හිමියන්ගේ පිළිරුව එය යෑයි මුලින් සඳහන් වී තිබුණ ද ඒ මතය සහමුලින්ම ඉවත්කර හිටි පිළිමය තුළින් බුද්ධ ප්‍රතිමාවම නිර්මාණය වී ඇති බවට එකඟතාව පළකර ඇත.

එහෙත් පිළිමයේ ඇති විශේෂිත ඉරියව් නිසාම එය බුද්ධ චරිතයේ කවර අවස්‌ථාවක්‌ නිරූපණය වේද යන්න පිළිබඳව උගතුන් අතර එකඟතාවක්‌ නොමැත. මහාචාර්ය පරණවිතාන සූරීන් විසින් එම ප්‍රතිමාවෙන් පරදුක්‌ඛ මුද්‍රdව නිරූපණය වන බව සඳහන්කර ඇත. තවත් අදහසක්‌ වන්නේ බුද්ධත්වයෙන් දෙවැනි සතියේ අනිමිස ලෝචන පූජාව නිරූපණය කරන වගයි. විහාර නිර්මාණය අධ්‍යයනය කිරීමේදී හදිසියේ එවන් පිළිමයක්‌ නිර්මාණය කිරීමට පැහැදිලි හේතුවක්‌ නොමැත.

ශාසන සංශේධනයෙන් පසු ශාසනයට පිවිසි නව භික්‌ෂුන් වහන්සේලාට ධර්ම සංවේගය පහළ කරවනු වස්‌ ශාස්‌තෘන් වහන්සේ ආයු සංස්‌කාර හැරීමේ මොහොත මෙමගින් නිර්මාණය වන්නට ඇත.

මහා පරිනි¨ර්වාණ සූත්‍රයේ සඳහන් පරිදි මාරයාගේ නිරන්තර ඇවිටිලි මත චාපාල චෛත්‍යයේදී තථාගතයන් ආයු සංස්‌කාරය හැරීමට තීරණය කළ පසු ඇතිවූ සිද්ධි මාලාව පහත දැක්‌වේ.

මෙහිදී මාරයා වෙත 'තින්නං මාසානං අච්චයෙන තථාගතස්‌ස පරිනිබ්බායිස්‌සතීති' - තුන් මාසයක්‌ ඇවෑමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාරන්නේ යෑයි ප්‍රකාශ විය.

'අථඛො භගවා චාපාල ෙච්තියෙ සතො සම්පජානො ආයුසංඛාරං ඔස්‌සජි' සිහියෙන් යුක්‌තව නුවණින් පිරිසිඳ දැනම ආයු සංස්‌කාරය හැර වදාළ සේක.

'ඔස්‌සට්‌ඨෙච භගවතා ආයුසංඛාරෙ මහාභූමිචොලො අහොසි. භිංසනකො ලොමහංසො දෙවJදුභියොච ඵලිංසු' - භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුසංස්‌කාරය හැර වදාළ කල්හී මහත්වූ පෘථිවි චලනයක්‌ වූයේය. දිව්‍ය භේරිහුද චලිත වූවාහුය.

දෙ අත් පපුව මත තබාගෙන අතීත සංසාර ගමන ආවර්ජනය කරමින් සිහි නුවණින් යුක්‌තව නුවණින් පිරිසිඳ දැන ආයුසංස්‌කාරය හැර වදාරණ මොහොත මෙහි නිරූපණය කරයි. දැඩි අධිෂ්ඨානයත්, ආවර්ජනීය ස්‌වරූපයත්, තීරණාත්මක මොහොතක දැකිය හැකි සියලු දේහ ලක්‌ෂණත් නිරූපණය වන පරිදි කලාකරුවා මෙම නිර්මාණය කරන්නට ඇත. පරිණත කලාකරුවකු වෙතින් නිමවූ දුර්ලභ ගණයේ ප්‍රතිමාවක්‌ ලෙස මෙම පිළිමය නම් කළ හැකිය.

මෙය සනාථ කිරීමට ඇති පැහැදිලි සාධකයක්‌ වන්නේ මහ පොළොව කම්පා වූ ආකාරය නිරූපණය කිරීමට හිටි පිළිම වහන්සේ මුහුණ දී ඇති විශාල ගල් තලාව මත දෙපළු කළ ගල් පර්වත දෙකක්‌ දිස්‌වන්නට සලසා තිබීමයි. එසේ නොවන්නට අතිශය විශාල වූ දෙකඩ වූ ගල් පර්වත දෙකක්‌ පිලිරුව ඉදිරියේ දිස්‌වන්නට සැලැස්‌වීමට ඇති හේතුවක්‌ද දක්‌නට නොමැත. එසේම හිටි පිළිමයට දකුණු පසින් ඇති ගල් පර්වතයේද දෙදරා ගිය කන්දක ස්‌වරූපය නිරූපණය වීමෙන් ඒ බව සනාථ වේ.

ඉන් අනතුරුව ඇත්තේ තෙමසක්‌ ඇවෑමෙන් පරිනිර්වාණයට පත් බුද්ධ ශරීරයයි. තම ශාස්‌තෘන් වහන්සේගේ අවසන් මොහොත මේ ලෙස නිරූපණය කරමින් ධර්ම සංවේගය පළකරනු වස්‌ නිමවූ මෙම විහාර සංකීර්ණය අනුරාධපුර යුගයේ පරිහානියට පත්ව මහා විහාර සම්ප්‍රදාය යළිත් නොපිරිහෙන ලෙසට ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රතිෂ්ඨාපනය කිරීම සංකේතවත් කරයි.

ආචාර්ය රඹුකේවෙල ඤාණසීහ හිමි,
සිංගප්පූරුවේ සමාධි විහාරය, මහනුවර වට්‌ටාරන්තැන්න සමාධි සංස්‌කෘතික කේන්ද්‍රය, අනුරාධපුර තලත්තෑව සමාධි විහාරය, නිර්මාතෘ

Post a Comment

0 Comments