දුරුතු උදාවයි මහියංගනයයි

මේ අසිරිමත්වූ සිරිපා වන්දනා සමයයි. වසරකට හය මාසයක්‌ සිංහල, දෙමළ, මුස්‌ලිම් භේදයකින් තොරව ලොව නන්දෙසින් පැමිණෙන බැතිමතුන් හා සංචාරකයන් එක්‌ව එකට හිඳ නමදින නරඹන සිරිපා වන්දනා සමය ගෙවී ගිය උඳුවප් පුන් පොහොයෙන් ඇරැඹිණි. අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව නව මසක්‌ ගෙවුණු දුරුතු පුන් පොහොය දින මතුමත්තේ ශ්‍රී සම්බුද්ධ ශාසනය පිහිටුවා බබළන්නාවූ දීපයක්‌ ලෙස දිවැසින් දැක බලා දැනගත්තහු ගංගානම් ගං තීරයෙන් (මහවැලි ගඟ) අසබඩවූ දිගින් තුන් යොදුනක්‌වූ හා පළලින් යොදුනක්‌ වූ තහනම් පෙදෙස එකල හෙළයේ විසූ යක්‍ෂ ගෝත්‍රික වංශිකයන්ගේ රණබිම වූයේය.

අනාගතයෙහි මහියංගනය ථූපය පිහිටුවන තැනට අහසින් වැඩහුන් බුදුරජාණන් වහන්සේ තම ප්‍රාතිහාර්ය භාව බලයෙන් අව්ව, වැස්‌ස දැඩි සුළඟ හා සීතලත් අන්ධකාරයත් මැවූහ.

අහසෙහි පළසක්‌ බැඳ සිටි උන්වහන්සේ වම ඇවිලුණු ගිනිදැල් ඔවුන් අතරටද වැදෙන්නට සළස්‌වා යක්‍ෂයෝ බියට පත් කළහ. ගිනිගෙන දැවෙන්නා වූ මෙම විශ්මයන් දැක යක්‍ෂයෝ තැතිගත්හ. පසුව ඔවුන් ගිරි දිවයින දක්‌වා පලවා හැරියෝය. මහා වංශය පළමුවන පරිච්ඡේදය විසිඅටවැනි හා තිස්‌වැනි ගාථා හෙළි කරයි.

එකල ලක්‌දිව යක්‍ෂ නාග හා දේවගෝත්‍රිකයෝ වූහ. යක්‍ෂයන් ගිsරි දිවයිනට පැන ගියායින් පසුව ඉතිරිවූ නාග හා දේවගෝත්‍රිකයන්ට බුදුන්වහන්සේ තමන් උගත් ධර්මය වදාළහ. එතැනට පැමිණි සමන්ත කූඨවාසී සුමන නම් ගමනායකයාද සදහම් බණ අසා සෝවාන් මගට පිළිපන් වූහ. පින්වත් එතුමෝ තමා ඇතුළු අනෙකුත් පින්වතුනට වැඳ පුදා ගැනීම සඳහා පාරිභෝගික වස්‌තුවක්‌ ඉල්ලා සිටියහ. කාරුණික වූ බුදුරදුන් අත දීමට කිසිවක්‌ නොවූයෙන් තම හිස පිරිමැද කේෂධාතු මිටක්‌ බුදුබණ අසා සෝවාන් ඵලයට පැමිණියාවූ පින්වත් සුමන සුරිඳුන්ට ප්‍රදානය කළ සේක.

අතිශය ගෞරව සම්ප්‍රයුක්‌තව කේෂධාතු ලබාගත් සුමන සූරින්දා අඩක්‌ තම සිරසෙහි වූ වූඩාමාණික්‍යයේ තැන්පත්කර ඉතිරි සිරස කේෂධාතුන් වහන්සේලා රන් කරඬුවක බහා බුදුරදුන් වැඩ සිටි තැන සත් රියනක්‌ උසට කරවූ චෛත්‍යයක තැන්පත කළහ. එම චෛත්‍ය රාජයා මියුගුණ සෑය නොහොත් මහියංගන චෛත්‍ය නමින් ප්‍රකට විය. ඉන්පසුව සරභූ මහරහතන් වහන්සේ නාලොවින් ගෙන ආ ගී්‍රවා ධාතූන් වහන්සේ මෙහි තැන්පත්කර දොළොස්‌ රියනක්‌ උසට චෛත්‍යය වැඩි දියුණු කරවන ලැබුයේය. ඉන්පසුව දේවානම්පියතිස්‌ස රජුගේ බාල සහෝදරයෙක්‌ වූ උද්ධ චූලාභය නම්වූ අය එම චෛත්‍යය වට කොට රියන් තිහක්‌ උසට චෛත්‍යය අලුත්වැඩියා කරනවන ලදී. ඉන්පසුව අනුරපුර විසූ සාසන විරෝධී දෙමළුන් නසා ලක්‌දිව එක්‌ සේසත් කළ දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ. 101-77) විසින් හැට හතර රියනක්‌ උසට එම චෛත්‍ය රාජයා වැඩිදියුණු කළ බව.

"චූලාභය මහනිනුපො අපරමිහි කාලේ
තං ඒව තිංසරණ නුච්ච මකාසි ථූපං
දූටඨාදි ගාමිණී නූපො දමිළෙ හණ නෙතා
කාරේස කඤ්චුක මථෝ චතුසට්‌ට හත්ථං

යනුවෙන් මහා වංශය පවසයි. එදා ඒ අවධිය වන විට ක්‍රි.පූ. 145-101 රජරට පාලනය කරමින් සිටි එළාර රජ සමග යුද වැදීමට රුහුණු මාගම්පුරයේ සිට මහවැලි ගඟෙන් මෙගොඩ සිට සේනා සංවිධානය කරමින් සිටි ගැමුණු කුමරු කඳවුරු බැඳ සේනාවට අවැසි ආහාරපාන හා ගොවිතැන් බත්ද කරවූහ. වැව් අමුණු ප්‍රතිසංස්‌කරණය කරවූහ. මේ අතර ඈත බැද්දේ සිට රජතුමාට අවැසි බත් බුලත් සැපයූ බුලතා නම්වූ ග්‍රාමනායකයා දිනපතා රජු හමුවීමට පැමිණේ. ඒ අතරවාරයේදී තමා යන එන වාරවලදී ගලින් ගල එක්‌රැස්‌ කොට වැව් බැම්ම බැඳ සොරබොර වැව කරවූ බව ජනප්‍රවාදයේ පවතී. බුලතා දුටු භූගෝලීය දැක්‌ම කෙසේද යත් දුටු දුටුවන් මවිත කරවන ගලින් තැනූ වැසි ජලය ගලා යන සොරොව්ව විශ්මය ජනකය.

බුදු පසේ බුදු මහරහරතන් වහන්සේලාගෙන් සපිරි උතුම් දහම් දිවයින වැඩියෝ පෙරදා වැව් කර්මාන්තය කරවීමේදී ඔවුන් කළ දස්‌කම් හා විස්‌කම් දුටු අපරදිග වැසියෝ අදත් සුසුම් හෙළති.

ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපතටත් පෙර මේ සා විශාල වූ ලොව මවිත කරවූ වැව් රාජ්‍යයක්‌ හිමිවූ අපට වැවත්, දාගැබත් පන්සලත් එක්‌ව අපේ සංස්‌කෘතිය මනාව ඔප් නැංවූ බවට සාධක ඇත.

බුදුහිමියන් පළමුවර සිරිලකට වැඩි ගමනේ පූජනීයත්වය ඔප් නැංවෙන මහියංගනය පුදබිම නමදින්නට, පුදන්නට යන බව සොරබොර වැවද නරඹන්නට යන්නේනම් අපේ පැරැණි මුතුන් මිත්තන්ගේ වැව් තාක්‍ෂණ විස්‌කම්ද දැක බලාගත හැක.

මෙම සංචාරයේදී ප්‍රවාහන පහසුකම් සැපයූ අලව්ව මල්දෙණිය විශ්‍රාමික පොලිස්‌ නිලධාරී පියරත්න මහතාට ස්‌තුතිය පුද කරමි.

www.divaina.com

Post a Comment

0 Comments