එසේ මාංශපේශී ඝන වීම නිසා මහත් වීම සෞඛ්‍යානුකූල මහත් වීමක් වුවද නූතන බටහිර ජීවන රටාවට ගොදුරු වී තිබෙන නරකම දේවල් කා කිසිත් වැඩක් නොකර සිටීමෙන් ශරීරයේ අධික ලෙස තෙල් තැන්පත් වීමෙන් සිදු වන මහත් වීම කිසිසේත්ම සෞඛ්‍යානුකූල මහත් වීමක් නොවේ. එය බරපතළ ලෙස රෝගී වීමකි. මේ දෙක පටලවා නොගත යුතුය. එම නිසා නූතන මහත්වීම කිසිසේත්ම හොඳ දෙයක් සේ නොසැලකිය යුතුය.
එය එසේ වුවත් අප ඉහතින්ද දැක්වූ පරිදි අපේ රටේ තරබාරු අයෙක් කෙට්ටු වූ විට ඔහුට හෝ ඇයට හමු වන නෑදෑ හිත මිතුරන්ගෙන් බේරිල්ලක් නැත්තේ මොකද මේ කෙට්ටු වෙලා අසනීපයෙන් හිටියද...? කියා නිසැක ලෙසම ප්‍රශ්න කරන නිසාය.ඔබට ඉදිරිපත් කරන්නට යන බර අඩු කර ගැනීමේ නිවැරදි වැඩසටහනෙන් මා කිලෝ ග්‍රෑම් 20ක් බර අඩු කර ගෙන ඇති නිසා මේ අත්දැකීමට මට දිනපතා මුහුණ දෙන්නට සිදු වෙයි. ඇතැම් දිනක හතර පස් දෙනෙක් මගෙන් එම ප්රශ්නය අසයි. එම ප්රශ්නය අසන අය අතර මගේ නෑදෑ හිත මිතුරන්ද, මගේ රෝගීන්ද, මගේ ගුරුවරුන්ද, මගේ අසල්වාසීන්ද පමණක් නොව වෛද්‍යවරුන්ද, විශේෂඥ වෛද්‍යවරුන්ද වෙති.
මට ඉතා කුළුපග ඇතැම් රෝගීන් මහත් වේදනාවෙන් අසන්නේ අනේ මහත්තයා කෙට්ටු වෙලා තියෙන තරම් ඇයි අසනීපයෙන් සිටියාද...? යනුවෙනි. මේ සියලුම දෙනාට මා කෙට්ටු වූයේ අසනීපයෙන් සිටි නිසාවත් ඉබේවත් නොව ඒ සඳහා වෙහෙස මහන්සි වීමෙන් බවත් මම මහතට සිටි කාලයට වඩා දැන් බොහෝ නිරෝගී බවත් පවසන්නට මට සිදු වෙයි.කී දෙනෙක් ප්‍රශ්න කළද එය කරදයක් සේ නොසලකා මා ඔවුන්ට ඒ බව පැහැදිලි කර දෙන්නේ එමගින් ඔවුන් යමක් ඉගෙන ගන්නා නිසාය. එසේ පවසන කෙනා ඇඟේ බර වැඩි කෙනෙක් නම් අපේ වැඩසටහනට සහභාගි වීමට ආරාධනා කිරීමටද අප කිසිවිටක අමතක කරන්නේ නැත.
පශ්චාත් වෛද්‍ය උපාධි පාඨමාලාවක් හදාරන වෛද්‍යවරියක් මට පැවසූවේ බර අඩු කර ගැනීම හොඳ දෙයක් වුවත් මා ඕනෑවටත් වඩා කෙට්ටු වී ඇති බවය. මා ඕනෑවට වඩා කෙට්ටු වී නොමැති බවත් මට නියමිත බර පරාසය රඳවාගැනීමට මා සමත් වී ඇති බවත් ගණන් හිල්ව් ඇතිව ඇයට පැහැදිලි කර දෙන්නට එවිට මට සිදුවිය. වෛද්‍යවරුන් පවා බර අඩු කර ගැනීම ගැන එසේ අසුබවාදීව සහ සෘණාත්මකව අදහස් පළ කිරීමෙන් පෙනී යන්නේ තරබාරු බවේ අවදානම නිසි බරෙන් අවබෝධ කර ගන්නට ඔවුන් තවමත් අසමත් වී ඇති බවයි.
කෙට්ටුවට හිටි කෙනෙක් අනවශ්‍ය තරමට මහත් වූ විට අපේ සමාජයේ අය පවසන්නේ එයා ඇඟ දැන් හොඳට සනීප වෙලා යනුවෙනි. කෙට්ටු අයට මහත්වීම සඳහා විවිධ කිරිපිටි වර්ග විවිධ ඖෂධ වර්ග ආදිය
නිෂ්පදානය කර විකුණන්නේ මෙම සනීපය ලබා ගැනීම සඳහා දඟලන ඕනෑම ගාණක් වියදම් කරන්නට සූදානම අය අප සමාජයේ ඕනෑ තරම් ඉන්නා නිසාය.
බර වැඩි කෙනක් කෙට්ටු වීම අසනීප වීම නොව සනීප වීම බවත් නියමිත බර ඇති කෙනෙක් මහත් වීම සනීප වීම නොව අසනීප වීම බවත් වටහා ගැනීමට දැන් කාලය එළැඹ ඇත. එම ආකල්පමය වෙනස ඇති කර ගැනීමම බර අඩු කර ගැනීමට ඇති ඉමහත් බාධාවක් ජය ගැනීමක් වෙයි.තරබාරු අය තමාගේ සෞඛ්‍යයට හානියක් නොවන මට්ටම දක්වා එනම් තමාගේ උසට සරිලන මට්ටම දක්වා බර අඩු කර ගැනීමෙන් සහ එය දීර්ඝ කාලීනව එම යහපත් තත්ත්වයේම පවත්වාගෙන යාමෙන් අප ඉහතින් සඳහන් කළ මරණයට පත් වීමේ අවදානමෙන්ද සියලුම ලෙඩ රෝග සඳහා ඇති දැඩි අවධානමෙන්ද නිරන්තරයෙන්ම ඔවුන් පෙළන, අපි ඉහතදී විස්තර කළ දැඩි කායික සහ මානසික විඳවීමෙන්ද සම්පූර්ණයෙන්ම මිදී සාමාන්‍ය කෙනෙකුගේ තත්ත්වයට පත් විය හැකිය.
තරබාරු අයට නියමිත ඉලක්කයට බර අඩු කර ගැනීම සඳහා තරමක කාලයක් ගත විය හැකි බැවින් සම්පූර්ණයෙන්ම බර අඩු කර ගන්නා තුරු තමන්ට යහපතක් අත් වන්නේ නැතැයි කිසිසේත්ම නොසිතිය යුතුය. ඔවුන් අඩු කර ගන්නා සෑම කිලෝ ග්‍රෑම් එකක් පාසාම ඔවුන් වෙත යහපතක්ම උදා වෙයි. පහත දැක්වෙන පැහැදිලි කිරිම මගින් එය ඔබට තවදුරටත් වටහා ගත හැකියි.කිලෝ ග්‍රෑම් 100ක් බර කෙනෙක් කිලෝ ග්‍රෑම් 10කින් බර අඩු කර ගැනීමෙන් ඔහුට හෝ ඇයට ලබා ගත හැකි යහපත් ප්‍රතිඵල මෙසේය. මරණයට භාජනය වීමේ අවදානම 20-25 ප්‍රතිශතයකින් අඩු වෙයි. දියවැඩියාව නිසා මරණයට භාජනය වීමේ අවදානම 30-40 ප්‍රතිශතයකින් අඩු වෙයි. තරබාරු බව නිසා ඇතිවන පිළිකා සෑදීමෙන් මරණයට භාජනය වීමට තිබෙන අවදානම 40-50 ප්‍රතිශතයකින් අඩු වෙයි.
රුධිර පීඩනය 10 ථථඩ්ඨ ප්‍රමාණයකින් අඩු වෙයි. දියවැඩියාව වැළඳීමේ අවදානම 50 කටත් වඩා අඩු වෙයි. නිරාහාර රුධිර සීනි මට්ටම 30-50 ප්‍රමාණයකින් පහත වැටෙයි. ග්ලූකෝස් බැඳී ඇති හිමොග්ලොබින් ප්‍රමාණය 15 කින් අඩු වෙයි.සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණය 10කින් අඩු වෙයි. ශරීරයට අහිතකර ඹ්ච්ඹ් කොලෙස්ටරෝල් ප්‍රමාණය 15කින් අඩු වෙයි. ට්‍රයි ඒසයිල් ග්ලිසරෝල් ප්‍රමාණය 30කින් අඩු වෙයි. ශරීරයට හිතකර කොලෙස්ටරෝල් ප්‍රභේදය වන ඩ්ච්ඹ් කොලෙස්ටරෝල් ප්‍රමාණය 8කින් ඉහළ නැංවෙයි.
අප ඉහතින් දැක්වූයේ වෛද්‍ය විද්‍යා පාඨග්රන්ථවල දැක්වෙන විශාල පුද්ගලයින් සංඛ්‍යාවක් යොදාගෙන කරන ලදපර්යේෂණවලින් ලද නිගමනයන්ය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරවීමෙන් අප ලබා තිබෙන ශ්‍රී ලාංකික අත්දැකීම්වලින් තහවුරු වී ඇත්තේ ඊටත් වඩා යහපත් ප්‍රතිඵල බර අඩු කරගැනීමෙන් ලබා ගත හැකි බවයි.
මැන බැලිය හැකි යහපත් තත්ත්වයන් එසේ වන විට කායික සහ මානසික විඳවීම අඩු වීමෙන් ඇති වන යහපතද එවැනිම ඉහළ මට්ටමක පවතියි. නිදසුනක් ලෙස ඔබ කිලෝ ග්‍රෑම් දහයක හාල් මුට්ටයක් වැනි අමතර බරක් ඔළුවේ හෝ කරේ තබාගෙන කන්දක් නගින ආකාරය මෙනෙහි කර ගන්න. එම බර අහකින් තැබූ විට ඔබට කොතරම් සැහැල්ලුවක් සහ සහනයක් දැනෙනවාද..? ඔබ ඇඟ ඇතුළේ ගබඩා කර ගෙන ඇති අමතර මේදයෙන් කිලෝ ග්‍රෑම් දහයක් අහකින් තැබූ විට හෙවත් අඩු කර ගත් විට ඔබට දැනෙන සැහැල්ලුව සහ සහනය ඊට වඩා බෙහෙවින් වැඩි බව අප පවසන්නේ අත්දැකීමෙන් මෙන්ම වගකීමෙනි.
ඔබේ ඇඟේ වැඩිපුර ඇති බර අඩු කර ගැනීමෙන් ඔබට ලැබෙන කායික, මානසික, ආධ්‍යාත්මික, ආර්ථික සහ සමාජයීය යහපත අති මහත් බව ඔබට දැන් ඉතා හොඳින් පැහැදිලිය. එසේ නම් පමා නොවී එම යහපත් තත්ත්වයන් උදා කර ගැනීම සඳහා අද අදම වැඩකටයුතු අරඹන්න. පමා වීම පසුතැවිල්ලට හේතු වන බව මෙනෙහි කර ගන්න.
කෙනෙක් ආහාර මගින් අමතර ශක්තිය කිලෝ කැලරි 9000ක් ශරීරයට එකතු කර ගත් විට ශරීරයේ බර කිලෝ ග්‍රෑම් එකකින් වැඩි වෙයි. මෙය කර ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඕනෑම තෙල් වර්ගයකින් හෝ තෙල් සහ මේදවලින් සාදන බටර් මාජරින් වැනි ආහාරයකින් කිලෝ ග්‍රෑම් එකක් ආහාරයට ගැනීමෙන් එය ඉටු කර ගත හැකිය.එසේ නොමැති නම් ඌරුමස් වැනි තෙල් අධික ආහාරයකින් කිලෝ ග්‍රෑම් එකකට වඩා මඳක් ආහාරයට ගැනීමෙන්ද එය ඉටුකර ගත හැකිය. කෙනෙකුට අවශ්‍ය නම් එසේ විනාඩි කීපයක් තුළදී ශරීරයේ බර කිලෝ ග්‍රෑම් එකකින් වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය ශක්ති ප්‍රමාණය ශරීරයට ලබා ගත හැකිය.
එහෙත් එසේ ඉතා පහසුවෙන් වැඩිකර ගත හැකි ශරීර බර අඩු කර ගැනීම නම් පණ යන තරම් අමාරු කටයුත්තකි. මක්නිසාද යත් ඉතා වෙහෙස මහන්සි වී බර වැඩෙහි යෙදෙන කෙනෙකුටත් දිනකට උපරිම වශයෙන් දවාලිය හැක්කේ ශක්තිය කිලෝ කැලරි 3500ක් පමණක් වන බැවිනි. එනම් විනාඩි කීපයක් තුළදී ආහාර මගින් වැඩිකර ගත හැකි ශරීර බර නැවත අඩුකර ගැනීමට නම් දින තුනකටත් වඩා බර වැඩ කළ යුතුය. එසේ නොමැති නම් පැය භාගයේ ව්‍යායාම සැසි අවම වශයෙන් 30ක්වත් කළ යුතුය.
එසේ නම් ඕනෑම බර අඩු කර ගැනීමේ වැඩසටහනක ඉතා වැදගත් අංගය වන්නේ කට බඩ පරිස්සම් කරගැනීම හෙවත් අප ඉදිරියේදි විස්තර කරන නිසි ආහාර පාලනය බව දැන් ඔබට ඉතාම පැහැදිලිය. බඩජාරිකම නිසා අප ඉහතින් සඳහන් කළ පරිදි ඉදිරියේදී සිදුවන විනාශය ගැන නොසලකා අහිතකර ආහාර වැඩිපුර අනුභව කළොත් ඔබට ඔබේ නිරෝගී බව අවදානමේ හෙළමින් විඳවන්නට සිදුවීම නියතය.
අප මෙහිදී බර අඩුකර ගැනීම පණ යන තරම් අමාරු කටයුත්තක් බව දැක්වූයේ කිසිසේත්ම ඔබව මන්දෝත්සාහී කිරීමට නම් නොවේ. අප එසේ කළේ ඔබ දුක් මහන්සියෙන් ලබාගන්නා ප්‍රතිඵලය භයානක ආහාර අනුභව කොට අහිමි කරගත යුතු නැති බව අවධාරණය කිරීමටය.
බර වැඩිවීමට හේතුව, බර අඩුකර ගත යුත්තේ ඇයි, බර අඩුකරගැනීමේ යහපත යන කරුණු ගැන මූලික අවබෝධය ලබාගෙන අපව මන්දෝත්සාහී කරන අයට දියයුතු නිවැරදි පිළිතුරුද ඉගෙන ගත් අපි “බර අඩුකර ගන්නේ කෙසේද?” යන වැදගත්ම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා දැන් යොමුවෙමු. එයට නිවැරදි පිළිතුරු සෙවීමේදී ද අප මතෛක් ඉගෙන ගත් මූලික කාරණාම ඒ සඳහා යොදාගත හැකිය.බර වැඩිවන්නේ කාලයක් තිස්සේ ආහාරවලින් ගන්නා අනවශ්‍ය ශක්තිය ශරීරයේ මේදය බවට පත්වී තැන්පත්වීමෙන් බව අපි ඉගෙන ගතිමු. එසේ නම් බර අඩුකර ගැනීමේදී ආහාරයෙන් අදින් පසුව කිසිසේත්ම අනවශ්‍ය ශක්ති ප්‍රමාණයක් ලබාගත නොහැකිය. එසේම බර අඩුකරගැනීමට නම් දැනටත් ශරීරයේ විශාල අතිරික්ත ශක්ති ප්‍රමාණයක් ගබඩා වී තිබෙන නිසා සිරුරට ශක්තිය ලබාගැනීම හැකිතරම් සීමා කළ යුතුය.
එසේ සීමා කළ විට අපේ ෙදෙනික ශක්ති අවශ්‍යතාව ආහාරවලින් නොලැබෙන නිසා ශරීරයේ තැන්පත්වී ඇති මේදය බිඳ දමා ශරීරය සිය අවශ්‍යතාව සපුරා ගනියි. අපේ සිරුරට ශක්තිය ලැබෙන්නේ ආහාරවලින් පමණක් වන බැවින් එසේ ශක්තිය හැකිතරම් සීමා කිරීමට නම් අප “ආහාර පාලනයක්” කළ යුතුය.
නමුත් ආහාර පාලනය කන වැකුණු ගමන්ම එසේ නැත්නම් ඇස ගැටුණු ගමන්ම සෑමදෙනාම එය වරදවා වටහා ගනී. ඔවුන් සිතන්නේ “ඔය නම් කියන්නෙ නොකා ඉන්න කියලයි. මට නම් බෑ ඕක කරන්න” මෙවැනි වැඩසටහන්වලට බොහෝ දෙනා යොමුනොවීමට ප්‍රධාන හේතුවද මෙවන් වැඩසටහන්වලදී නොකා සිටීමට ඔවුන්ට සිදුවෙතැයි සිතන වැරදි ආකල්පයයි.
නමුත් ඔබ එය එසේ නොසිතන්න. අප ඔබට කිසිවිටෙක නොකා ඉන්නට කියන්නේ නැත. ඔබට බඩ පුරවාගත හැකිය. රෑට කන්නට එපායැයි අප කිසිකෙනෙකුට නොකියන අතර මේ දක්වා රෑට කෑම නොගත් අයට අප කියන්නේ වහාම රෑට කෑම ගැනීම ආරම්භ කරන ලෙසටය.එසේම අප ඔබට පැය ගණන් එක දිගට නොකා බඩගින්නේ ඉන්නට කියන්නේද නැත. අපේ බර අඩුකරගැනීමේ මූලික අරමුණට බාධා නොවන පරිදි අපි ඔබට ඇතිවිය හැකි ඒ සියලුම ගැටලුවලට විසඳුම් සොයා දෙන්නෙමු. කෙසේ වෙතත් වැඩසටහනේ පළමු ප්‍රධාන කොටස වන්නේ ආහාර පාලනයයි.
අපි ආහාර පාලනයක් කළ පමණින්ම කෙටි කාලයක් තුළ සාර්ථකව බර අඩුකරගත නොහැකිය. එයට හේතුව අතිවිශාල ශක්ති ප්‍රමාණයක් බර වැඩි අයගේ සිරුරේ මේදය විදිහට තැන්පත් වී තිබිමයි. අපි මෙම තැන්පත්වී ඇති මේදය ශරීරයෙන් ඉවත් කිරීම සඳහා ඒවා උපරිමයෙන් වැය කළ යුතුය. ඒ සඳහා ව්‍යායාම, වැඩ සහ ශරීර ක්‍රියාකාරකම් හැකි උපරිමයෙන් වැඩි කළ යුතුය. එම කොටසට අපි ව්‍යායාම යන පොදු නම ව්‍යවහාර කරමු. එනම් වැඩසටහනේ දෙවන ප්‍රධාන කොටස වන්නේ ව්‍යායාමයි.
එසේ නම් අප වැඩසටහනේ ප්‍රධාන කොටස් දෙක මෙසේය. එනම්, ආහාර පාලනය සහ ව්‍යායාමය.
ඇත්ත වශයෙන්ම ඕනෑම බර අඩුකරගැනීමේ වැඩසටහනක ඉහත සඳහන් අංග දෙක දැකගත හැකිය. එහෙත් එම වැඩසටහන්වලින් ඒවාට සහභාගි වන අය ලබාගන්නේ ඉතාමත්ම අල්ප ප්‍රතිඵල බව පෙනී ගොස් ඇත. ඇතැම් අය තාවකාලිකව යම් ප්‍රතිඵලයක් ලබාගැනීමට සමත් වුවත් නැවතත් එම ලබා ගත් ප්‍රතිඵලය පවා අහිමි කරගෙන මුලින් තිබූ තත්ත්වයටම ශරීර බර වැඩි කර ගනියි. එයිනුත් ඇතැම් අයගේ තත්ත්වය වඩාත් කනගාටුදායක වෙමින් කලින් තිබුණාටත් වඩා වැඩි බර ප්‍රමාණයක් උරුම කර ගනී.
බොහෝ දෙනෙක් එම වැඩසටහන් ක්‍රියාත්මක කර ඒවායින් බලාපොරොත්තු වන නිසි ප්‍රතිඵල ලබා නොගන්නා නිසාම මෙම නිවැරදි බර අඩුකර ගැනීමේ වැඩසටහනට අපි අලුත් අංගයක් එකතු කරමු. එම නිසා අප ඔබට ඉදිරිපත්කරන බර අඩුකර ගැනීමේ වැඩසටහනේ පහත සඳහන් අංග තුන අඩංගුය.
ඒවා නම්,
1. ඉලක්කය තෝරාගැනීම සහ වීර්යය වැඩීම
2. ආහාර පාලනය සහ 3. ව්‍යායාම වශයෙනි.
අප මෙම වැඩසටහනේ ප්‍රධාන කොටස් තුන එසේ විස්තර කළද දහස් සංඛ්‍යාත පිරිසක් සමග වැඩසටහන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී අපට ඉතාම පැහැදිලිව ඔප්පු වී තිබෙන කාරණයක් වන්නේ වැඩසටහනෙන් නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් මනස සතුටෙන් හා සැහැල්ලුවෙන් තබාගැනීමද අත්‍යවශ්‍ය බවයි. එබැවින් එය 4 වන ප්‍රධාන අංගය ලෙස අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.
එබැවින් අප තවදුරටත් සංවර්ධනය කර ඇති වැඩසටහනේ ප්‍රධාන අංග 4 මෙසේය.
එනම්, 1. ඉලක්කය තෝරාගැනීම සහ වීර්යය වැඩීම 2. ආහාර පාලනය 3. ව්‍යායාම සහ 4. මනස සතුටෙන් හා සැහැල්ලුවෙන් තබාගැනීමය.
වෛද්‍ය පාලිත සමන් ජයකොඩිගේ හේතු දැක්වීමක්
ලක්බිම පුවත්පත