තාරුණ්‍යයේ අභියෝග දිනන්නට නම්...

ජීවිතයේ අභියෝගාත්මක සමය තමයි තාරුණ්‍යය. ඕනෑම විටක අභියෝග කිරීමට, අභියෝග භාර ගැනීමට අභියෝග ජය ගැනීමට අවැසි තත්ත්වය තාරුණ්‍යය සතුයි. තාරුණ්‍යයේ සිහින සහ අරමුණු ගැන පසුගිය සතිවලදී "සිහින සිතිජය" තුළින් අප අද කතා කරන්නේ තාරුණ්‍යයේ අභියෝග ජය ගන්නා ආකාරය ගැනයි.

ලුහුබඳින අභියෝග

පසුගිය සතිවලදී අප සාකච්ඡා කළේ අරමුණු සහ සිහින ගැනයි. ඔබ අරමුණු සහ සිහින ලුහුබඳින විට ඔබ පසුපස අභියෝග ලුහුබැඳ එනවා. ඒ තරමටම අරමුණු සහ සිහින සමග අභියෝගවල සමීප බැඳීමක්‌ පවතී. අභියෝගවලට සාර්ථකව මුහුණදී මිස කිසි දිනක ඔබට අරමුණු හෝ සිහින දිනා ගන්නට නම් බැහැ.

වෙස්‌ වලාගත් අභියෝග

ජීවිතයට අභියෝග පැමිණෙන්නේ විවිධ ස්‌වරූපයෙනි. විටෙක ආර්ථික දුෂ්කරතාවක්‌ අහිමිවීමක්‌. ශාරීරික අපහසුතාවක්‌. අවමානයක්‌. බාධකයක්‌ වැළැක්‌වීමක්‌ හෝ පසුපසට ඇදීමක්‌ ආදී විවිධ ස්‌වරූප ලෙස ජීවිතයට අභියෝග පැමිණේ. විටෙක සිත් රිදවන සුළු විටක ආත්ම ශක්‌තිය බිඳ දමන සුළු නැතහොත් ඔබව දුර්වලකරන සුළු කුමන ආකාරයක පීඩනයක ස්‌වරූපයෙන් ආවක්‌ මිස අභියෝගයක්‌ ලෙස හඳුනාගත් විට එයට මුහුණ දීමට අවැසි ශක්‌තිය ඔබ තුළ නිරායාසයෙන්ම ගොඩනැගේ.

ආශීර්වාදාත්මක අභියෝග

සෑම අභියෝගයක්‌ම පැමිණෙන්නේ ආශිර්වාදයක්‌ ද එකතු කරගෙනයි. පළමුවරට අභියෝගයට මුහුණ දෙන විට ඔබට ඇතිවන්නේ මානසික පීඩාවක්‌. එය ඔබට දකින්නට ලැබෙන්නේ එහි මතුපිට ස්‌වරූපයෙන් පමනි. නමුත් අභියෝගයකට මුහුණදීමේදී එය ක්‍රමයෙන් ඔබව ශක්‌තිමත් කරනවා. ඔබ තුළ දරා ගැනීමේ ශක්‌තිය වර්ධනය කරනවා. ඉවසීම වැඩි කරනවා. ඉන් සතුට බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඔබ තුළ වර්ධනය කරනවා. ආත්ම ශක්‌තිය සහ ආත්ම විශ්වාසය ඉහළ නංවනවා. ඔබේ පෞරුෂය ශක්‌තිමත් කරනවා. අවසානයේදී අභියෝග වෙත ලබාදුන් ශක්‌තිය කෙතරම් දැයි ඔබ මවිත වේවි. ඒ නිසා සෑම විටම අභියෝග ආශිර්වාදයක්‌ ලෙස සැලකීමට ඔබ පුරුදු විය යුතුයි.

ආනන්දනීය අභියෝග

ජීවිතයේදී වැඩි වැඩියෙන් අභියෝගවලට මුහුණ දුන් තරමට ජීවිතයේ වටිනාකම් ඉහළ යනවා. එය ජීවිතයට නව රිද්මයක්‌. තව තව එකතු කරනවා. නීරස ඒකාකාර දිවිය වඩා රසවත් වීමට හා විවිධත්වයට අභියෝග අත්‍යවශ්‍යයි. ජීවිතයේ අභියෝගවලට මුහුණ දී ජයගත් විට ඔබට දැනෙන ආනන්දය රිදී හැන්දක්‌ මුව තබා උපන්නෙකුට කිසිදා ලැබෙන්නේ නැහැ. ඔබ අභියෝග මග හැරියහොත් ජීවිතය විඳින්නට තිබෙන අවස්‌ථාවක්‌ ඔබට මග හැරේවී.

අරුණට පෙර අඳුරුතම හෝරාව

අරුණාලෝකය වැටෙන්නට පෙර අඳුරතම හෝරාව වගේ තමයි අභියෝග. ඔබේ සිහින සැබෑවීමට මොහොතකට පෙර එළැඹෙන මායාමය අඳුරයි. අභියෝග හැමදේම නැවතී වැසී ගියා සේ දැණුනත් කලබල විය යුතු නැහැ. ඔබේ අරමුණුවලට ආලෝකයක්‌ අභියෝග තුළ සැකසී තිබෙනවා.

අභියෝගවලට අභියෝග කරන්න

තරුණ ලින්කන් හමුවේ අභියෝග රැසක්‌ පැවතුණා. පළමුවෙන්ම දුගී බව, දෙවැන්න ඔහුගේ බිරිඳ පවා ප්‍රසිද්ධියේ විවේචනය කළ උස නැවුණ සිරුරක්‌ සමග ඈ විසින් පවසන ලද පරිදි විකාර රූපී පෙනුම. රදළයකු වී නොඉපදීම තෙවැන්නයි. තරුණ ලින්කන් මේ සියල්ලටම අභියෝග කළා. අවසානයේ ඇමරිකා එක්‌සත් ජනපදයේ පහළ වූ හොඳම ජනාධිපතිවරයා ලෙස ඒබ්‍රහම් ලින්කන් අනුස්‌මරණීය චරිතයක්‌ බවට පත්විය.

ෆෝඩ් රියේ නිර්මාපකයා වූ හෙන්රි ෆෝඩ්ට අභියෝගයක්‌ වූයේ ඔහුගේ අධ්‍යාපනයේ මද බවයි. "වරක්‌ ඔහුගේ නූගත් කම" එරට උසාවියකදී පවා අභියෝගයට ලක්‌වුණා. එහිදී ඔහු තම අධ්‍යාපනයේ මද බව අභිබවා තමන් බුද්ධිමතකු බව ඔප්පු කළේ විනිසුරුවන් පවා මවිත කරවමිනි.

ඩිහේවන්ට වූ අභියෝගය වූයේ සදාකාලික බිහිරි බවයි. එයට අභියෝග කොට සප්ත ස්‌වර මගින් දිව්‍යමය සංගීතයක්‌ මවන්නට ඩිහේවන්ට හැකිවිය.

තම අර්ධ බිහිරි භාවයට අභියෝග කළ තෝමස්‌ අල්වා එඩිසන් ලොව මවිත කළ නව නිපැයුම් ගණනාවක නිර්මාපකයා බවට පත් වුණා.

තම ආබාධිත බවට අභියෝග කළ ලාන්ස්‌ කෝප්‍රල් ප්‍රදීප් සංජය පසුගිය දිනක ප්‍රථම වතාවට පැරා ඔලිම්පික්‌ පදක්‌කමක්‌ ශ්‍රී ලංකාවට ගෙන ඒමට සමත් විය.

ඔබේ අභියෝගවලට අභියෝග කරන්න එවිට අභියෝග අතුරුදන් වේ.

විශ්වීය නීතියක්‌

වඩාත් සාර්ථක, වඩාත් ශක්‌තිමත් විශිෂ්ටයකු තනන්නට විශ්වයට අවැසි වූ විට ඔහු වෙත වඩ වඩාත් අභියෝග එල්ල කරයි. එබැවින් ඔබ ජීවිතයේ වඩාත් අභියෝගවලට ලක්‌ වන්නේ නම් දුකින් කර බා නොවන්න. ඔබ තුළ විශිෂ්ටයකු තනන්නට විශ්වයට අවැසි වී ඇත.

අවැසිවූ විට උදව් ලබාගන්න

ඔබ මුහුණදුන් අභියෝගවල ස්‌වරූපය එකිනෙකට වෙනස්‌ය. ඇතැම් අභියෝගවලට ඔබට තනිවම මුහුණදිය හැක. නමුත් තවත් අවස්‌ථාවක ඔබට උදව් අවශ්‍ය විය හැක. ඇතැම් විශේෂ ක්‍රමවේද භාවිතා කිරීමෙන් ඔබේ ආකල්පමය වෙනසක්‌ පෞරුෂයේ දුබලතා ඉවත් කර ගැනීම තුළින් ඔබට වඩා හොඳින් අභියෝගවලට මුහුණදීමට ඔබට හැකිවනු ඇත. ඇතැම් මොහොතක අභියෝගවලට මුහුණදීමට ප්‍රමාණවත් අධ්‍යාත්මක ශක්‌තියක්‌ ඔබට අවශ්‍යව ඇත. අභියෝග හමුවේ ආවේගශීලී නොවී උපක්‍රමශීලී වීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි. ඒ නිසා අභියෝග අතර අතරමං නොවීමට අවශ්‍ය මොහොතේදී උදව් ලබාගත යුතුයි. එය ජීවිත උපදේශකයක්‌ සපයන පොතක්‌ විය හැක. ශ්‍රව්‍ය තැටියක්‌ විය හැක. පුහුණුකරුවකු විය හැක. කුමක්‌ හෝ වේවා සුදුසු උදව්ව නිසි අවස්‌ථාවේ ලබා ගැනීමෙන් ඔබ දිනනු ඇත.

පුද්ගල සංවර්ධන පුහුණු ආශ්‍රමයේ අධ්‍යක්‍ෂිකා -
සමන්ති දේශප්‍රිය
සටහන -ශාලිකා තිලක්ෂණි
දිවයින පුවත්පත

Post a Comment

0 Comments