ළමා තරබාරුවට මුල අධිකව ආහාර ගැනීම නොව ආහාර වේල් මගහැරීම බව දන්නවාද?

අධික තරබාරු බව අද වන විට ජාතික ව්‍යාසනයක් වන තරමේ සෞඛ්‍යමය ගැටලු ගණනාවකට හේතු වෙමින් පවතී. මෙහි ඇති වඩාත්ම ඛිෙදජනක තත්ත්වය වන්නේ සුරතල් වයසේ කුඩා දූ දරුවන් පවා මෙම ඉරණමට ගොදුරු වී සිටීමය. සෙල්ලම් වයසේ පසුවන දූ දරුවන්ට හිතුමතේ දුව පැන ඇවිද සෙල්ලම් කරන්නට බැරි තරමට මෙම ළමා ස්ථුලභාවය ගැටලුවක්ව තිබේ. තවත් පැත්තකින් අන් දරුවන්ගේ උසුළු විසුළුවලට ලක්වන තරමට තරබාරුව මානසික වදයක් වූ දරුවෝද කොතෙකුත් සිටිති.

කොතරම් ආහාර ගත්ත ද දරුවෝ තරබාරු නොවෙති.
එදා තුන් වේලම බත් කමින්, ඒ අතර තවත් අතිරේක වේල් දෙකක් පමණ අල, බතල, මඤ්ඤොක්කා නැතිනම් රොටියක් අග්ගලා ගෙඩියක් වැනි දෙයක් ද කුසට එකතු කරගනිමින් කොයි වේලෙත් පිරුණු කුසින් සිටි දරු පිරිසක් සිටියහ. සමහරවිට අද මැදිවිය ද ඉක්මවමින් සිටින එදා ඒ දරු පරපුර ඔවුන් එදා ආහාර ගත් ආකාරය අද පරපුරට පවසනු ඇසේ.එදා ඔවුන් තුන් වේලක් නොව ඊටත් වැඩි වාර ගණනක් ආහාර ගත්ත ද ඉතා නිරෝගී දරුවන් ලෙස දුව පැන ඇවිදිමින් ක්‍රීඩා කළ, අවශ්‍ය නිසි බර ඉක්මවා නොගිය දරු පිරිසක් විය. එහෙත් වර්තමාන දරු පරපුර පස් වේලක් තබා තුන් වේලවත් නිසි පරිදි සප්පායම් වන ආකාරයක් දකින්නට නැත. තත්ත්වය එසේ තිබියදීත් වර්තමාන දරු පරපුරෙන් සැලකිය යුතු පිරිසක් තරබාරු බවින් පීඩා විඳින්නේ කෙසේද?

වර්තමාන දරු පරපුරේ අධික තරබාරු බවට හේතු

* උදෑසන ආහාර වේල මගහැරීම උදේ ආහාරය මගහැරීම හෝ ඉතා සුළු ආහාරයක් ගැනීම තරබාරුවට හේතු වන්නේ කෙසේදැයි ඔබට සිතෙන්නට පිළිවන. එහෙත් ඇත්ත තත්ත්වය එයයි.එදා දරු පරපුර අකුරු කරන්නට ළඟම පාසලට පිටත් වූයේ පාසල පටන් ගන්නට පැය භාගයකට පෙරය. එවිට ඔවුනට නිවී සැනසිල්‍ලේ උදෑසන ආහාරය ගැනීමට කාලය තිබිණ. එහෙත්, අද දුර ඈත පාසලට යාමට වෑන් රථයට දරුවා නගින්නේ උදෑසන පහමාරට හෝ හයටය. කෑම කටක් දෙකක් හෝ එයවත් නොගෙන පාසලට යන දරුවෝ කොතෙකුත් සිටිති. රාත්‍රී ආහාරයට පසුව නිරාහාරව පැය ගණනාවක් ගතව මුලින්ම කුසට වැටෙන්නේ උදෑසන ආහාරයකි. එම ආහාරය ‍පෝෂණයෙන් පිරි සමබල ආහාරයක් විය යුතුය. එහෙත් අද බොහෝ දරුවන්ගේ උදේ ආහාරය මගහැරීම හෝ ඉතා සුළු ආහාරයක් ගැනීම නිසා සිරුරේ මේදය තැන්පත් වීම වඩා වැඩිපුර සිදුවේ.

රාත්‍රියක් නිරාහාරව සිටිමින් උදෑසන ආහාරය ලෙස තෙල් අධික රෝල්ස්, පැටිස් වැනි කෙටි ආහාරයක් හෝ පිෂ්ඨය අධික බනිස් වැනි ආහාරයක් ගත් විට එය සිරුරට අවශෝෂණය වීම ඉතා වේගවත්ව සිදු වේ. උදෑසන ආහාරය මගහැරීම හෝ කෙටි ආහාරයකට සීමා වීම ස්ථුල භාවයට හේතු වන්නේ එසේය. බොහෝ අය සිතන පරිදි නිතර නිතර ආහාර ගැනීම තරබාරු වීමට හේතුවක් නොවූවත් ආහාර වේල් මගහැරීම තරබාරු බවට හේතුවකි.

අතුරු ආහාර කෙටි කෑම බිස්කට් වැනි දේ වීම එදා දරු පරපුර අතුරු ආහාර ලෙස ගත්තේ පලතුරක්. අල, බතල මඤ්ඤාෙක්කා හෝ නිවසේ පිළියෙළ කරන අග්ගලා වැනි කෑමකි. මෙවැනි ආහාර කිහිප වාරයක් කෑමට ගත්ත ද සිරුර මහත් වන්නේ නැත. එහෙත් අද දරු පරපුර කුසගින්නේ දැනුණු විට බිස්කට්, රෝල්ස්, පැටිස්, කේක් වැනි කෙටි ආහාර ගැනීමට පුරුදු වී සිටිති. දරුවන්ගේ අධික තරබාරු බවට ඊළඟ හේතුව වන්නේ මෙයයි.

ක්‍රීඩාවන්හි නියැළීමට කාලයක් නැතිවීම එදා දරු පරපුර පාසල ඇරී නිවසට ආ පසුව දිවා ආහාරයෙන් පසුව ගත කළේ කෙලි සෙල්ලම්වලින් පිරි සවස් වරුවකි. එහෙත්, වර්තමාන දරු පරපුරට ක්‍රීඩා කරන්නට කාලයක් නැත. දිවා ආහාර කටක් දෙකක් ගිල දමා අමතර පන්තිවලට යෑමට සිදු වේ. එතැන් පටන් මුළු හවස් කාලයම ගත වන්නේ පුටුවකට බර වී එකම ඉරියව්වකය.

එදා දරුවන් වේල් හතරක් පහක් ආහාර ගත්තද දුව පැන සෙල්ලම් කරමින් ක්‍රියාශීලීව ජීවිත ගත කරද්දී සෑහෙන කැලරි ප්‍රමාණයක් දහනය වීම ද නිතැතින් සිදු විය.රස විඳිමින් ආහාර ගැනීමක් සිදු නොවීම ආහාරයක රස විඳිමින් හිමිහිට ආහාර ගැනීම අත්‍යවශ්‍ය වුවත් අද දරු පරපුර ආහාරයේ රස විඳින්නේ නැත. රූපවාහිනිය, පරිගණකය දෙස බලාගෙන කටට ඔබන දෙය මොනවාදැයි නොදැන ගිල දමන දරුවෝ කොතෙකුත් සිටිති. තමන් අනුභව කරන ආහාරය පිළිබඳ අවධානයෙන් යුතුව නිවී සැනසිල්‍ලේ හිමිහිට ගන්නා ආහාරය පිළිබඳව පණිවුඩය මොළයට යන්නට ගත වන කාලය වඩා වැඩිය. එහෙත් කඩිමුඩියේ ගන්නා ආහාරයට සීමාවක් නැත. නිසි අවධානයෙන් සහ කල්වේලා ගනිමින් ගන්නා ආහාරය තරබාරු බවට හේතු නොවන බව තහවුරු කරගෙන තිබේ.

රාත්‍රී ආහාරය කල්තියා නොගැනීම වර්තමාන දරු පරපුර ද කාර්යබහුලය. නොයෙක් හේතූන් මත රාත්‍රී ආහාරය ගන්නේ බොහෝ රෑ ගත වූ පසුවය. එසේත් නැතිනම් රාත්‍රී ආහාරය ද නොගෙනම නින්දට යති. මෙම හේතූන් දෙකම දරුවන්ගේ අධික තරබාරු බවට හේතු වේ. බොහෝ ලෙඩ රෝගවලට අත වනන දරුවන්ගේ අධික තරබාරු බව මැඩලීමට දරුවන්ගේ උදෑසන ආහාරය පිළිබඳව මව්වරු මීට වඩා සැලකිලිමත් විය යුතුය.

කඩයකින් මිලට ගෙන කෑම පෙට්ටියට ඔබන බනිස් ගෙඩියකට රෝල් එකකට හෝ වෙනත් කෙටි කෑමකට වඩා ‍පොල් සම්බෝලයක් සමග බත් වේලක් ‍පෝෂණයෙන් පිරි ආහාරයකි. දරුවන්ගේ ආහාර රටාව පිළිබඳව මව්වරුන් මීට වඩා සැලකිලිමත් වනවා නම් දරුවන්ගේ අධික තරබාරු බව මැඩලීම අසීරු නොවන බව අවධාරණය කළ යුතු වේ.

උපදෙස් මහනුවර මහ රෝහ‍ලේ ‍පෝෂණවේදිනී ප්‍රියංගනී එදිරිසිංහ

සටහන උත්පලා සුභාෂිණී ජයසේකර
ලක්බිම පුවත්පත

Post a Comment

0 Comments