ලංකාවේ අඩුම වයසින් බී. ඒ. පාස්‌ කළ තරුණයා

මම නිතරම පාහේ මේ තීරුවෙන් ලියන්නේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු කතන්දර නිසා මේ සුමානේ මට හිතුණා, විශේෂයෙන් ම ලොකු කුඩා පාසල් සිසුන්ට සුදුසු කතාවක්‌ ලියන්න ඕනෑ කියලා.

පසුගිය දවසක මට කියවන්නට ලැබුණා අපේ ගමේම උපත ලබා විසූ, පසුව මුළු ලොව පුරාම ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයකු පිළිබඳව ලියෑවුණු ආත්මාවදාන සටහනක්‌. ඒ පුද්ගලයා තමයි මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර. එතුමාගේ ආත්මාවදාන සටහන පෙළ ගස්‌සවා තිබෙන්නේ මාත් එක්‌ක පානදුර ශ්‍රී සුමංගල විදුහලේම උගෙනුම ලැබූ ගුණපාල මලලසේකර සූරින්ගේ ඥාති පුත්‍රයකු වන ආචාර්ය මහින්ද පී. මලලසේකර විසින්.

ඒ සටහන්වලට අනුව මහාචාර්ය මලලසේකර සූරීන්ගේ මුල් නම වී තිබෙන්නේ ජෝර්- පීරිස්‌ මලලසේකර.

මේ දරුවාට වයස අවුරුදු නවයේදී දිනක්‌ අනගාරික ධර්මපාලතුමා මුණගැසී තිබෙනවා. එහිදී ධර්මපාලතුමා ඔහුට කියා තිබෙනවා, ඔබ වැනි බුද්ධිමත් සිංහල දරුවෙකුට ජෝර්- පීරිස්‌ වැනි පෘතුගීසි නමක්‌ ගැලපෙන්නේ නැහැ. කරුණාකර තාත්තාට දන්වලා සිංහල නමක්‌ දමා ගන්න කියලා. ඊට පස්‌සේ තමයි මේ ළමයා ගුණපාල පියසේන මලලසේකර වුණේ.

ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගුණපාල ළමයා වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ (ඉංග්‍රීසි අධ්‍යාපනය) පානදුරේ ශාන්ත ජෝන් විදුහලෙන්. දැන් ඒ විදුහලේ නම සිරිල් ජෑන්ස්‌ විදුහල.

ගුණපාල ළමයාගේ පියාණන් වූ වෙද ආරච්චිට වුවමනා වුණේ ශාන්ත ජෝන් විදුහලේත් පහළ බාලාංශයටම ළමයා ඇතුළත් කරන්නට. ඒත් මේ ළමයා සමඟ කතා බස්‌ කළ විදුහල්පති සිරිල් ජෑන්ස්‌ මහතා ළමයාගේ පියාට කියා තිබෙන්නේ, මේ ළමයා පහළ බාලාංශ පන්තියට ඇතුළු කරගන්න බැහැ කියලා. මේක අහපු වෙද රාළහාමි හොඳටම කලබල වෙලා, විදුහල්පතිතුමාගෙන් ඇසුවාලු "ඒ ඇයි විදුහල්පතිතුමනි?" කියලා.

එවිට විදුහල්පතිතුමා කිව්වලු "මේ ළමයා පහළ බාලාංශයට හොඳ වැඩියි... ඒකයි මම කිව්වේ පහළ බාලාංශයට ඇතුළත් කරගන්න බැහැ කියලා. මම මේ ළමයා තුන්වැනි පන්තියට ගන්නම්" කිව්වාලු.

ශාන්ත ජෝන් විදුහලේ අධ්‍යාපනය ලැබීම පටන් ගත්තේ ඒ විදියට.

ඒ ආත්මාවදාන සටහනේ එක්‌ තැනක මෙහෙම තියෙනවා.

"මාලමුල්ලේ අපේ නිවෙසේ සිට ශාන්ත ජෝන් විදුහලට සැතපුම් තුනක්‌ පමණ දුර තියෙනව. කුඩා කාලයේ මගේ පියාණන් තමන්ගේ බක්‌කි කරත්තෙන් මා විදුහල වෙත ගෙන ගියා. තරමක්‌ ලොකු වූ පසු ඒ දුර පයින් යන්නට මා ප්‍රිය කළා. උදේම නැගිට කොට කලිසම, කමිසය ඇඳගෙන, මේස්‌, සපත්තු දමා ගන්නා මා දෙමාපින්ට වැඳ පොත් බෑගය රැගෙන ගෙදරින් පිට වෙනවා. තරමක්‌ දුර ගියාට පස්‌සේ සපත්තු මේස්‌ ගලවා පත්තර කොළයක ඔතාගෙන එක පිම්මේ දුවගෙන යනවා. විදුහල පෙනෙන තෙක්‌ මානයට ගියාට පසුවයි මා එම පත්තරෙන් කකුල් දෙක පිසදමාගෙන සපත්තු මේස්‌ පැළඳ ගන්නේ. මෙහෙම මා විදුහල කරා දුව ගෙන යන නිසා සෙසු සිසුන් මට 'අස්‌සයා' යනුවෙන් නමක්‌ පට බැඳ තිබුණා. මම ඒ කටයුත්ත කළේ කරුණු දෙකක්‌ බලාගෙනයි. එකක්‌ සපත්තුවේ ගෙවීම අඩු වෙනවා. අනිත් එක නිරාවරණ දෙපයින් යුතු ව ඇවිදින එක ශරීර සෞඛ්‍යයටත් හොඳයි කියලා මා අසා තිබුණා.

බලන්න මේ ළමයා පුංචි ළමයින්ට කොතරම් හොඳ ආදර්ශයක්‌ද කියලා.

මේ විදියට අධ්‍යාපනය ලැබූ ගුණපාල පියසේන මලලසේකර අඩු වයසින් ම බී. ඒ. විභාගය සමත් වූ ශ්‍රී ලංකාවේ පළමුවැනියා ලෙසත් වාර්තාවක්‌ පිහිටුවා ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ කාලේ වෙද්දී කොළඹ ආනන්ද මහ විදුහලේ විදුහල්පති වුණේ පී. ද ඇස්‌. කුලරත්න මහතා

දිනක්‌ ගුණපාල තරුණයා සොයා ගෙන පැමිණි පී. ද ඇස්‌. කුලරත්න මහතා 'බාල කාලෙම බී. ඒ. පාස්‌ කරලා නිකම් ඉන්න ඕනෑ නැහැ. ඇවිත් ආනන්දයේ උගන්වන්න"Êකියලා ඔහුට ආරාධනා කළා.

දැන් ගුණපාල පියසේන මලලසේකර ගුරුවරයෙක්‌. ඔහු ආනන්දයේ උගන්වද්දී ආනන්දයේ අලුත් ගොඩනැඟිල්ලක්‌ හදන්නට මුදල් එකතු කිරීම සඳහා කොඩි දිනයක්‌ පැවැත්වුවා. එක කොඩියක්‌ සත දහයයි. ඒ කාලේ සත දහයක්‌ කියන්නේ ලොකු ගණනක්‌. මට හිතෙන හැටියට සත දහයකින් මිනිහෙකුට කෑම වේලක්‌ කන්නත් පුළුවන්. පානදුරේ ආතර් වී. දියෙස්‌ නොහොත් 'කොස්‌ මාමා' ජීවත්වෙලා තියෙන්නේත් මේ කාලේ. කොස්‌ මාමා කිව්වලු ආනන්දයේ ගොඩනැඟිලි අරමුදලට විකුණන කොඩියක්‌ සත දහයක්‌ දීලා මිලට ගන්න කෙනකුට ''අපි කොස්‌ ඇටයක්‌ දෙමු'' කියලා. කොස්‌ ඇටේ පැළ කර ගත්තොත් ලොකු ගසක්‌ හැදෙනවානේ.

දැන් කොඩි දිනයත් එළැඹුනා. ළමයි, ගුරුවරු, වැඩිහිටියෝ කොඩි විකුණනවා. මේ අතර එක්‌ හිඟන්නෙකුත් ඇවිත් 'අනේ ළමයෝ මටත් කොඩියක්‌ දෙන්න" කියලා සත දහයක්‌ දුන්නාලු. ඊට පස්‌සේ ඒ සිsඟන්නා කොඩියක්‌ ගත්තම සිඟන්නාටත් ගුණපාල සර් කොස්‌ ඇටයක්‌ දීලා. සිඟන්නා කොස්‌ ඇටය ආපසු දීලා කිව්වාලු..

"මට ඔය කොස්‌ ඇටේ හිටවන්න තැනක්‌ නැහැ. ඔය කොස්‌ ඇටෙත් අරන් ගිහින් ආනන්ද විදුහල් භූමියේම හිටවන්න" කියලා.

ඒ කොස්‌ ගහ තවමත් ආනන්ද විදුහල් බිමේ තිබෙනවා කියලා ආරංචියි.

මෙරිල් පෙරේරා
0777-70-100-9
දිනපතා දිවයින ප්‍රධාන කර්තෘ

Post a Comment

0 Comments