මොළය පෑදීමට ඩෙංගු මරණ කීයක්‌ අවශ්‍යද?

නැවත වතාවක්‌ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තාවන ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව පිළිබඳ පුවත්පත් සිරස්‌තල සකස්‌වන කාල වකවානුවක්‌ පැමිණ ඇති බව පෙනේ. වසරකට වරක්‌ හෝ දෙකක්‌ මේ ඝෝෂාව විවිධ තීව්‍රතාවලින් අසන්නට සහ දකින්නට ලැබේ. ඊට සාපේක්‍ෂව සෞඛ්‍ය බලධාරීන් ද "එම තත්ත්වය පාලනය කිරීම" සඳහා ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වන බව තමන්ගේ මාධ්‍ය ප්‍රකාශ වලින් පෙන්නුම් කරයි. නමුත් ප්‍රශ්නය වන්නේ සෞඛ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම් වල ප්‍රථිඵලදායකත්වය පරිපාලන ක්‍රියාදාමයන් තුළ හෝ අවසාන ප්‍රථිපලය තුළ පෙන්නුම් නොකිරීමයි.

මේ තත්ත්වය පිළිබඳව මෙම ලියුම්කරු විසින් මීට පෙරද "දිවයින ඉරිදා සංග්‍රහය" මගින් ප්‍රශ්න කර තිබුණද සුපුරුදු ලෙස එම චෝදනාවලට සෞඛ්‍ය බලධාරීන් නෑසූ කනින් පිළිතුරු දෙනු දක්‌නට ලැබුණි. අපේ වසංගත රෝග විශේඥවරුන් සහ වරියන් තමන්ගේ මේසය මතට ලැබෙන මෙම දත්ත විශ්ලේෂණය කොට පවතින තත්ත්වය ඉතා දක්‍ෂ ලෙස විග්‍රහ කරන බවද පෙනේ. ඔවුනට අනුව මෙවර ගතවූ මාස 07 ක කාලය තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 150 කි. ඊට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්‌ වීමට පෙර වාර්තා වී තිබෙන බැවින් පවතින තත්ත්වයක්‌ නොවේ. එසේම රෝගීන් සංඛ්‍යාව වැඩි වන විට මරණ සංඛ්‍යාවද වැඩිවන බව ඔවුහු ඉතා ගැඹුරින් තේරුම් කර දෙති. එමෙන්ම මරණ සංඛ්‍යාව වැඩි වීමට රෝහල්වල පහසුකම් මදකමද හේතුවිය හැකි බව ඔවුහු ඉතා මධ්‍යස්‌ථව පෙන්වා දෙති.

තවත් සමහර දේශපාලනමය මත පලකරන විද්වතුන්ට අනුව බී. ටී. බැක්‌ටීරියාව ගෙන ආවොත් ඩෙංගු අසුරු සැණින් වඳකර දැමිය හැකිය. ප්‍රශ්නය ඇත්තේ රජය එසේ කිරීමට උනන්දුවක්‌ දක්‌වන්නේ නැතිකම තුළය. දැන් රජය ක්‍රියාත්මකව ඇති බැවින් බී. ටී. බැක්‌ටීරියාව ලැබුණු විගස ගෙවතුවල තිබෙන මදුරුවන් බෝවන ස්‌ථාන ඉවත් කිරීම හෝ නැතිකිරීම වෙනුවට බී. ටී. ස්‌ඵටික සතියට වරක්‌ එම ස්‌ථාන වලට දැමිය හැක. එය පොඩි ළමයින්ට විනෝදජනක ක්‍රියාවක්‌ ද වනු ඇත. එම බැක්‌ටීරියාව වෙනත් රටවල යොදාගන්නා ආකාරය සහ අවස්‌ථා පිළිබඳ අප අධ්‍යනය කළ යුතු නැත. ගුවන් මගින් ජාත්‍යන්තරයටද ආදර්ශයක්‌ ලබා දියහැක. අපේ රටේ මිනිසුන්ගේ සංස්‌කෘතිය හා ආකල්ප අනුව බීමට ගන්නා ජලයට බී. ටී. බැක්‌ටීරියාව දැමීම හෝ මුසුවීම නිසා මතුවිය හැකි ගැටලු පිළිබඳව අප සැලකිලිමත් විය යුතු නැත. කියුබානුවන් කරනවා නම් අපට එය කළ නොහැකි වන්නේ කෙසේද? අනෙක්‌ කාරණය කාර්ය සාධක බලඇණි සහ පොලිස්‌ විශේෂ කාර්ය බලඇණි ආදී මෙකී නොකී බලකායන් වැඩට බැස්‌ස විට ඕවත් වැඩද?

මේ සෙල්ලම් කරන්නේ මිනිස්‌ ජීවිත සමඟය. මේ විහිළු නවතා දැන්වත් අප ප්‍රශ්ණයේ මුලට පැමිණිය යුතුය. ඒ සඳහා ඇති තරම් ඇත්දැකීම් අප රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්වතුන් සතුව ඇත. අවශ්‍ය වන්නේ උගුරට හොරා බෙහෙත් බීමට උත්සහා නොකර ඇත්ත පිළිගැනීමයි. අප රට මැලේරියා මර්දනය අතින් ලෝකයේ ඉහළම අත්දැකීම් ඇති රටක්‌ ලෙස පිළිගැනේ. එසේ නම් නිවැරදි උපායමාර්ගික ප්‍රවේශයක්‌ ගන්නේ නම් අපේ මිනිසුන්ට ඩෙංගු මර්දනය පිළිබඳව ලෝක වාර්තා තැබීම අමාරු කාරියක්‌ නොවේ.

එදා මැලේරියා මර්දන ව්‍යාපාරය "සිරස්‌ ව්‍යාපෘතියක්‌" එසේ නැතහොත් තනි එක්‌ ව්‍යාපෘතියක්‌ ලෙස ක්‍රියාත්මක වූ අතර එහිදී ත්‍රිත්ව උපායමාර්ගික ප්‍රවේශයක්‌ ගන්නා ලදී. ඒ තුළ වාහකයා හෙවත් මදුරුවා පාලනයට අවශ්‍ය ක්‍රියාකාරකම් සහ පරපෝෂිතයා පාලනය හෙවත් රෝගියාට ප්‍රථිපලදායක ලෙස ප්‍රතිකාර කිරීමට අදාළ ක්‍රියාකාරකම් සමබරව ඉතා හොඳින් ඒකාබද්ද කෙරිණි. තුන්වැනි උපායමාර්ගය වූ මහජන සෞඛ්‍ය අධ්‍යාපනයද ඊට සමගාමීව ස්‌ථානගත කෙරිණි. එම අධ්‍යාපන වැඩසටහන් වලදී නිසි ප්‍රතිකාර ලබා ගැනීමේ වැදගත්කම මෙන්ම මනුෂ්‍යයා සහ මදුරුවා අතර සම්බන්ධය අවම කිරීම සඳහා පුද්ගලිකව සහ සමාජයක්‌ ලෙස කළයුතු දේ අවධාරණය කෙරිණි. එම ක්‍රියාවලිය තුළ කීට විද්‍යා දැනුම උපරිමයෙන් යොදාගත් අතර වාහකයා පාලනය සහ වාහක - මිනිස්‌ සම්බන්ධය පාලනයේදී කීට විද්‍යාඥයන්ට විශාල තාක්‍ෂණික භූමිකාවක්‌ ලැබිණි. සමස්‌ත ව්‍යාපෘතිය තුලින් මෙන්ම විශේෂ පර්යේෂණ ව්‍යාපෘති තුලින්ද වාහකයාගේ හැසිරීම් සහ පරපෝෂිතයාගේ වෙනස්‌වීම් පිළිබඳ විශාල දැනුම් පද්ධතියක්‌ ගොඩ නැගුණි. අවසානයේ මැලේරියා මර්දනය සාර්ථක ව්‍යාපෘතියක්‌ බවට පත් වන්නේ එම දැනුම් පද්ධතිය ප්‍රායෝගිකව රෝග පාලනයට යොදා ගත් නිසාය.

ඩෙංගු මර්දනයේදීද මෙම ත්‍රිත්ව උපායමාර්ගික ප්‍රවේශය ඉතා වැදගත් වෙයි. ඒත් එහිදී මැලේරියා පරපෝෂිතයා මෙන් ඩෙංගු වෛරසය ඖෂධ මගින් විනාශ කළ නොහැක. ඒ නිසා ප්‍රතිකාර සේවා වලින් වසංගතය පාලනය කිරීම සඳහා උපායමාර්ගික වැදගත්කමක්‌ ඇති බව නොපෙනේ. නමුත් සත්‍ය ඊට වඩා වෙනස්‌ය. ඩෙංගු රෝග පාලනයට අදාළ සෞඛ්‍ය අධ්‍යාපනයේදී අවධාරණය කෙරෙන්නේ මදුරුවන් බෝවීම වැළැක්‌වීම සහ මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ගය. නමුත් රෝග පාලනයේදී වෛරසය ශරීරගත වී ඇති රෝගීන් සහ වැඩිහිටි මදුරුවන් අතර සම්බන්ධ අවම කිරීම උපායමාර්ගිකව ඉතා වැදගත් වේ. ඊට අදාළ මිනිස්‌ හැසිරීම වෙනස්‌ විය යුත්තේ මදුරුවන් අතර සම්බන්ධ අවම කිරීම උපායමාර්ගිකව ඉතා වැදගත් වේ. ඊට අදාළ මිනිස්‌ හැසිරීම වෙනස්‌ විය යුත්තේ මදුරුවාගේ හැසිරීමට සාපේක්‍ෂවය. ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් තුළ කීට විද්‍යා දැනුම සහ නායකත්වය නොසලකා ඇති තත්ත්වයක්‌ යටතේ මදුරුවාගේ හැසිරීමේ සිදුවන වෙනස්‌කම් සැලකිල්ලට ගැනෙන්නේ නැත. මදුරුවාගේ නොදන්නා හැසිරීම් පසෙක තිබියේවා. අඩු තරමේ දන්නා හැසිරීමට අදාළවත් සෞඛ්‍ය අධ්‍යාපන පණිවිඩ සකස්‌ වන්නේ නැත. එසේ වනවා නම් ඩෙංගු වසංගතයක්‌ පැතිරී යන කාලයකදී කිසිදු උණ රෝගියකු මදුරු දැලක්‌ නොමැතිව රෝහල් ඇඳක වැතිරී සිටිය නොහැක. මැලේරියා මදුරුවා මෙන් නොව වෛරසය සහිත ඩෙංගු මදුරුවකුට රෝගීන් දස දෙනකුට වුවත් දෂ්ඨ කිරීමේ හැකියාව ඇත. ඒ නිසා වැඩිහිටි මදුරුවා පාලනය කිරීමටද ඉතා විශාල වටිනාකමක්‌ දිය යුතුව ඇත. නමුත් වාහක පාලනය විධිමත්ව සහ සංයුක්‌තව සිදු නොවන තාක්‌ කල් අදාළ දැනුම එකතු වීමක්‌ හෝ බෙදාහැරීමක්‌ විධිමත්ව සිදුවේ යෑයි බලාපොරොත්තු විය නොහැක.

අද කාර්ය සාධක බල ඇණි තුළින් ඉහළ මට්‌ටමේ පරිපාලන කමිටු පිහිටුවා ඇතත් සංයුක්‌ත වාහක (මදුරු) පාලන වැඩසටහනක්‌ ක්‍රියාත්මක වන්නේ නැත. බරවා, මැලේරියා, ඩෙංගු ආදී වශයෙන් වන විවිධ වෛද්‍ය කළමනාකරුවන් යටතේ පවතින වැඩසටහන් මගින් වෙන් වෙන්ව වාහක පාලන ක්‍රියාකාරකම් යම් පමණකට සිදුවේ. ඒවා ජාතික මට්‌ටමේ ඒකබද්ධ වාහක පාලන වැඩසටහනක්‌ බවට පත්කර ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් මේ වන තුරුත් අපොහොසත් වී ඇත. ඉතා පැහැදිලිව මීට අවුරුදු 10 කට පෙර තිබූ දැනුමට වඩා ඩෙංගු වාහක මදුරුවාගේ හැසිරීම පිළිබඳ නව දැනුම එකතු වී ඇත. නමුත් ඉහත කී අඩු පාඩු එනම් මධ්‍යගත වාහක පාලන වැඩසටහනක්‌ ජාතික මට්‌ටමින් ක්‍රියාත්මක නොවීම තුළ එම දැනුම වාහක පාලනයේදී ප්‍රථිපලදායක ලෙස යොදා නොගැනේ. ඒ නිසාම බිම් මට්‌ටමේ රාජ්‍ය නිලධාරීන් වන ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරිනී, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආදීන් ආශ්‍රිතව

මොළය පෑදීමට

පවතින දැවැන්ත මහජන ක්‍රියාකාරී ජාලයද වාහක පාලනය සඳහා ප්‍රථිපලදායක ලෙස යොදා ගැනීමට නොහැකි වී ඇත. මහ ජනයාද නීති වලට බියේ හෝ මරණ වලට බියේ යම් ක්‍රියාකාරකම්වලට සහභාගි වුවද මහා දැවැන්ත ජාතික ව්‍යාපාරයක දීර්ඝ කාලීනව ක්‍රියාකාරීවන මහජන ඒකක බවට පත් වන්නේ නැත.

ඒ ආකාරයට සංයුක්‌ත වාහක පාලන වැඩසටහනක්‌ තිබේ නම් ඩෙංගු මදුරුවා පැතිරී යන සිතියම නිරන්තරයෙන් පරීක්‍ෂාවට ලක්‌ වේ. එහිදී කීට ගහණය මෙන්ම වැඩිහිටි මදුරු ගහනය වෙනස්‌ වීම පිළිබඳ දත්ත නිවැරදිව කාලීනව එකතුවන බැවින් රෝගය පැතිරී යාමේ අවදානම සහිත ප්‍රදේශ පිළිබඳ අනාවැකි පල කිරීමට හැකිවේ. ඒ තුළින් එම ප්‍රදේශවලට "පෙර ක්‍රියා" දියත් කිරීමේ හැකියාව ලැබේ. නමුත් දැන් සෞඛ්‍ය පද්ධතිය දැනුවත් වන්නේ රෝගීන්ගේ පැමිණීම සහ මරණ පිළිබඳ දත්ත වසංගත රෝග විශේෂඥයන්ගේ මේසය මතට පැමිණි පසුය. සමහර විට එම දත්ත ලැබුණු පසුවද අනතුරු ඇඟවීම් කරන්නේ මහජනයාට මිස තමාට හෝ තමාද ඇතුළත් සෞඛ්‍ය පද්ධතියට නොවේ. ඒ නිසාම සෑම විටම ඔවුන් ක්‍රියාත්මක වන්නේ වසංගතයේ වලිගය කොටසේදීය.

එපමණක්‌ නොවේ. මේ බලධාරීන්ගේ හෘද සාක්‍ෂිය පිළිබඳව මහජනයාට ප්‍රශ්න කිරීමට සිදුවන්නේ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර සේවාවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා ගතයුතු අවම ක්‍රියාමාර්ග පවා නොසලකා හැරීම නිසාය. ඒ ඒ රෝහල්වල වෛද්‍යවරු තම නැණ පමණින් සහ හෘද සාක්‍ෂියේ පමණින් තමාට කළ හැකි දේ කරති. නමුත් එම ප්‍රතිකාර විධික්‍රම මධ්‍යගතව විමර්ශනය කිරීම සඳහා ප්‍රමිතීන් සහ උපදෙස්‌ සහිත "ප්‍රොටෝකෝල්" ලේඛනයක්‌ මේ වන තුරුද සකස්‌ කොට නැත. ඔවුන්ගේ ඊනියා චක්‍රලේඛන වලට වඩා විධිමත් "ප්‍රොටෝකෝල්" ලේඛනයක්‌ තිබේනම් එය මේ පුවත් පතේ පළකරන ලෙස අභියෝග කළ යුතුව ඇත. මේ තත්ත්වය වෙනස්‌ විය යුතුය. කාර්ය සාධක බල ඇණි හෝ වෙනත් කුමන ආකාරයේ දේශපාලන මල්වෙඩි සංදර්ශන පැවැත්වූවාට කමක්‌ නැත. නමුත් ඇත්තටම කළ යුතු දේ අවංකව කිරීමට නම් සෞඛ්‍ය බලධාරීන් තම හෘද සාක්‍ෂිය විමසා බැලිය යුතුය. ඔවුන් ඉතා හොඳින්ම දන්නා දේ නොකර සිටින්නේ තම වෘත්තිය ආධිපත්‍ය අත් නොහැර සිටීම ඩෙංගු මරණ වලට හෝ තමාගේම ආත්ම ගරුත්වයට වඩා වටිනවා යෑයි සිතන නිසාද? මොවුන් ජාතික මට්‌ටමින් පුළුල් වාහක පාලන වැඩසටහනක්‌ ක්‍රියාත්මක නොකරන්නේ එහි නායකත්වය කීට විද්‍යාඥයන්ට දීමට සිදුවන නිසාය.

මෑත කාලීනව මැලේරියා මර්දන වැඩසටහන් තුළ වාහක පාලනය පිළිබඳ විශාල පර්යේෂණමය දායකත්වයක්‌ සැපයූ ආචාර්ය කොඩිසිංහ වැන්නවුන් රටහැර යන්නේ ඔවුන්ට දැක්‌වූ කුඩම්මාගේ සැලකිල්ල නිසාය. දියුණු වාහක පාලන වැඩසටහනක්‌ ස්‌ථාපිත කොට එය සෞඛ්‍ය පද්ධතිය තුළ කාර්ක්‍ෂමව ඒකාබද්aධ කිරීම සඳහා අවශ්‍ය දැනුම සහිත කීට විද්‍යාඥයන් රට තුළ ඕනෑ තරම් ඇත. නිහතමානීව ඉල්ලීම් කරන්නේ නම් විදේශගතව සිටින රටට ආදරය කරන විද්වතුන්ගේ සේවය නොමිලයේ ලබාගැනීමේ අපහසුවක්‌ද නැත. ඒ සියල්ල කළ හැක්‌කේ එසේ කළ යුතු යෑයි හෘද සාක්‍ෂියට අනුව පිළිගන්නා සෞඛ්‍ය බලධාරීන් සිටිනවා නම් පමණි. එවැන්නන් අප රටේ බොහෝ සිටියහ. දැන් ඔවුන් වඳවී යන සත්ත්ව කොට්‌ඨාසයක්‌ බවට පත්වී ඇතත් තවත් අතළොස්‌සක්‌ හෝ සිටින බව රහසක්‌ නොවේ. ඔවුන් සැඟවී නොසිට ඇත්ත කථා කළ යුතුය.

මේ සරල සත්‍ය පිටුදකිමින් බී. ටී. බැක්‌ටීරියා ටොන් ගණනක්‌ ආනයනය කර බෙදා හැරියත් මාරක ඩෙංගු වසංගතය පාලනය කළ නොහැකි බව ඉතා දැඩි විශ්වාසයෙන් යුතුව මෙසේ ලියා තබමි. මේවා පිළිබඳ මීට පෙරද වීණා වාදනය කොට ඇත්තේ බිහිරි අලින් දශමයකින් හෝ සංවේදී වූයේ නැත. මින් පසුව "දිවයින" පුවත් පතේ වටිනා පිටු නාස්‌ති නොකොට අලි වෙඩි පත්තු කරන නැක්‌සලයිට්‌ ක්‍රමයක්‌ හෝ සොයාගත යුතුව ඇතැයි කල්පනා කරන බවද අවසාන වශයෙන් ලියා තබමි.

වෛද්‍ය වසන්ත බණ්‌ඩාර
දිවයින පුවත්පත

Post a Comment

0 Comments