අපාරවූ මේ සංසාරේ නිසාර වූ මග අත්හල ඕ!

හමා ආ සිසිල් මදනල බෝපත් අතර සිළි සිළි හඬ නංවමින් පරිසරයේ නිහඬ බවට සුළු විරාමයක්‌ තැබිණි. වැලි මළුවේ දහසකුත් එකක්‌ පිය සටහන් අතර දෙපා තබමින් ඇය හෙමිහිට ඉදිරියට ඇදුනා ය. මම ඇය අනුගමනය කළෙමි.

භික්‍ෂූණීන් වහන්සේ මුණ ගැසෙන්නයි මං ආවේ......." ඇය සන්සුන් සක්‌මන මොහොතකට නවතා මදෙස බලා සිටියාය. මම ළං වී නමස්‌කාර කළෙමි.

"තෙරුවන් සරණයි" ඒ දයා ලු හඬ මා සවන් තුළින් ගලා යයි කසාවතින් දිලෙන ඒ කරුණාබර මුව මඬල මා හදනිවයි.

අනුරාධා සුධම්මිකා භික්‍ෂුණිය බෝ මළුවේ කෙළවරක පිහිටි කුඩා බැම්මක ඉතා ම සන්සුන් ලෙස වාඩි වූවාය. අනතුරුව නෙතින් සංඥා කළේ මටය. ඇය අසලම මම හිඳ ගතිමි. මගේ අසුන වූයේ වැලි ඇතිරු බිමය.

ඉකුත් 17 වැනි සෙනසුරාදා රංගිරි දඹුල්ල සංඝ සභා සීමා මාලකයේ පැවැති ශ්‍රී ලංකා භික්‍ෂුණී ශාසන බල මණ්‌ඩලයේ උපසම්පදා පුණ්‍යකර්මය ඔබට මතකද? ශ්‍රී ලංකා භික්‍ෂූණී ශාසන බල මණ්‌ඩලයේ සභාපති ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි, සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නාහිමියන් හා එහි ලේඛකාධිකාරී දානියගම ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උපසම්පදා, පුණ්‍ය කර්මයේ දී සාමණේර භික්‍ෂුණීන් වහන්සේලා 31 නමක්‌ උපසම්පදා ලැබූවග ඔබ දන්නෙහිද? ඒ අතර මහාචාර්යවරියක්‌ සහ කථිකාචාර්යවරියක්‌ වෙතියි දැනගත් වේලේ සිටම මගේ සිතට බොහෝ පැන නැගුණි. මගේ මේ ගමන එහි එක්‌ පලයක්‌ බව කියමි. මා අබියස සිටින මෙම කථිකාචාර්යවරිය එදා එහිදී උපසම්පදාව ලද්දීය. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදනය අධ්‍යයන අංශයේ සේවය කරන්නී. නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්‍ෂුණීන් වහන්සේය. මේ කතා බහට පාදක වන්නී එම භික්‍ෂූණීන් වහන්සේය.

සාමණේර තත්ත්වයේ සිටින මෙහෙණින් වහන්සේ නමක්‌ සීලයෙන් ඔසවා තැබීම නැතහොත් කය හා වචනය වඩාත් සංවර කර ගැනීමේ තත්ත්වයට පත් කරවීම උපසම්පදාව ලෙස අර්ථ දැක්‌විය හැකිය. කය හා වචනය සංවර වන්නාවූ තැන්හි සිත සංවර වීම නිරායාසයෙන් සිදු වන්නකි. මෙවැනි තැනැත්තියකගේ ආධ්‍යාත්මික අරමුණ නිර්වාණය නම් උපසම්පදා තත්ත්වය එකී අරමුණ කරා යැම තවදුරටත් පහසු කරවන්නක්‌ බව අනුරාධා භික්‍ෂූණීන් වහන්සේගේ අදහසය.

"සාමණේර භික්‍ෂුණියක්‌ උපසම්පදා කරන්න පෙර විභාගයකට මුහුණ දිය යුතුයි. භික්‍ෂුණී ප්‍රාතිමෝක්‍ෂය, සාමණේර බණ දහම් පොත, පිරිත් පොත් වහන්සේ, භික්‍ෂුණී ඛන්දකය, ධම්ම පදය, විශ්ෂ සූත්‍ර හා ශාසන ඉතිහාසය ආදී විෂයය කරුණු පිළිබඳ වන පොත් කරවීම (කට පාඩම් කිරීම) හා ලිත මෙන්ම වාචික පරීක්‍ෂණයකින් ලබා ගන්නා ලකුණු මට්‌ටම් පිළිවෙළින් උපසම්පදා කිරීම සිදු කෙරෙනවා. ඉතා කුඩා වරදකින් පවා මිදීමට කැපවීම උපසම්පදා සීලයේ වැදගත්ම ලක්‍ෂණයයි. ඒ කියන්නේ උපසම්පදා වූ භික්‍ෂුණියක්‌ ඉතා කුඩා හෝ වරදක්‌ සිදු නොකළ යුතුයි. මේ තත්ත්වයට පත් වෙන්න ලොකු අධිෂ්ඨානයක්‌ තිබුණා. ඉතාම කැපවීමෙන් පාඩම් කටයුතු කළා. ඒ වගේම පිළිවෙත් රැක්‌කා. මේ තත්ත්වයට පත් වෙන්න පහසු නැහැ. ඇත්තටම දුෂ්කර ක්‍රියාවක්‌ වගෙයි. නමුත් උනන්දුව හා කැපවීම මේ තත්ත්වයට පත්වීමට ඉවහල් වුණා."

උපසම්පදාව ලැබූ මෙහෙණින් වහන්සේ නමකට අප ආමන්ත්‍රණය කළ යුත්තේ "භික්‍ෂුණිය" නැතහොත් භික්‍ෂුණීන් වහන්සේ යනුවෙනි. ඊට පෙර සාමණේර අවදියේදී නම් මෙහෙණින් වහන්සේ යනුවෙන් ඇමතීම වඩාත් සුදුසුය. එහෙත් සමාජයේ වැඩි භාවිතය සිල් මෑණියෝ යන්නයි.

"පොළොන්නරුව යුගයේ සිට මහනුවර යුගය දක්‌වා කාලයේදී භික්‍ෂුණී ශාසනයක්‌ තිබුණෙ නෑ. පසුව කැතරින් අල්විස්‌ මෙනෙවිය බුරුමයට ගිහින් පැවිදි බවට පත්වෙලා. 1905 දී ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග නැවත භික්‍ෂූණී ශාසනය ඇතිවුණා. ඒ කාලයේ කිතුණු බලපෑම මේ රටේ දැඩි ලෙස තිබුණා. බෞද්ධ මෙහෙණිවරු දකින්න හිටියේ නැහැ. නමුත් කිතුණු පල්ලිවල මදර්ලා, සිස්‌ටර්ලා හිටියා. ඒ නමට අනුව මෑණියෝ කියන වචනය භාවිත කරන්න ඇති. නමුත් ඒ වචනය සුදුසුයි. කියා මං හිතන්නේ නැහැ. උපසම්පදාව ලැබු කෙනෙකුට නම් භික්‍ෂූණීන් වහන්සේ කියා ඇමතීම වඩාත් සුදුසුයි.

භික්‍ෂුණිය යන වචනයක්‌ සමග තවත් ගැටලුවක්‌ මතු විය. ඒ ඇතැම් අවස්‌ථාවල අප සවන් වැකෙන යම් යම් දේ හේතු කොට ගෙනය. එනම් බුදුන් ජීවමාන කාලයේදී ඇරඹූ භික්‍ෂුණී ශාසනය යම් හේතුවකින් නැතිවී ගියහොත් එය නැවත ඇති කිරීමට නොහැකි බවයි.

"ඔය ප්‍රකාශය මමත් අසා තිබෙනවා. නමුත් චුල්ලවග්ගපාලියේ භික්‍ෂුණී ඛන්ධකයේ 475 වන පිටුවේ අවසන් ඡේදයේ අවසන් පේළියේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

අනුජානාමි භික්‌ඛවේ
භික්‌ඛුහි භික්‌ඛුණියෝ
උපසම්පාදේතුං

මෙයින් අදහස්‌ වන්නේ භික්‍ෂූණීන් උපසම්පදා කරන්න භික්‍ෂූන්ට අනුදනිමි යන්නයි. ඒ කියන්නේ භික්‍ෂුණීන්ව උපසම්පදා කරන්න භික්‍ෂූන් වහන්සේලාට අවස්‌ථාව තිබෙනවා. ඒ වෙනුවෙන් කැපවුණු භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මේ රටේ වැඩ ඉන්නවා. වර්තමානයේ බොහෝ වියතුන් සඳහන් කරන්නේ භික්‍ෂූණීන් නැහැ කියනවාට වඩා භික්‍ෂුණී ප්‍රතිපත්ති සුරක්‍ෂිත කිරීමට හෝ මෙම උපම්පදා විනය කර්මය ඉතා වැදගත් බවයි."

උපසම්පදා විනය කර්මය මේ කතා බහට මහඟු ප්‍රවිශ්ඨයක්‌ වුවත් අනුරාධා සුධම්මිකා භික්‍ෂුණිය පිළිබඳව තවදුරටත් කතාබහ කළ යුතු දෑ බොහෝ ය. ඒ කතාබහ උපසම්පදා විනය කර්මයට වඩා බෙහෙවින් සංවේදී වුවකි.

බුද්ධාගම පොතේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ පිළිබඳ පාඩම අනුරාධා සුධම්මිකා භික්‍ෂූණියගේ ජීවිතය උඩු යටිකුරු කරන්නට සමත් වූ වගත් ඕ කීවාය. අනේ මටත් සංඝමිත්තා රහත් මෙහෙණිය වාගේ වෙන්නට ඇත්නම් යෑයි ධම්මිකා වික්‍රමආරච්චි සිඟිති දියණියට සිතුනාද? කුමක්‌ වුවත් ඇය එතැන් සිට සිහින මැව්වේ මෙහෙණියක වීමටය. හිස මුඩු කර කසාවත ඇඳ බෝ මළුවේ සක්‌මන් කරන්නට ඇය පෙරුම් පිරුවාය. සංඝමිත්තා මෙහෙණියගේ කතාවෙන් පසු ඉගැන්වූ කිසිවක්‌ ඇයගේ මතකයේ නැත. පන්තියට පැමිණෙන ගණිතය ගුරුවරයා වුවද සංඝමිත්තා කතාව උගන්වන්නා සේ ඇයට හැඟෙන්නට විය. ඇය ගෙදරදී මේ පිළිබඳ සිය මවට කීවාය. එහෙත් මව එයට අනුබල නොදුන්නාය. මව ඒ බව ගණනකට නොගත්තා සේ හැසුරුණාය. එහෙත් කිසියම් ඉවක්‌ තම දෙවැනි දියණි පිළිබඳව මවගේ යටි සිතෙහි හටගත් නිසා දෝ මග තොට රැකවල් පුළුල් කරන්නට ඇය අදිටන් කර ගන්නීය. මෙහෙණි සස්‌නට ඇතුළුවීමට අවශ්‍ය බව මවට පැවසූ දවසේ සිට ඇයව පන්සලට රැගෙන යාමෙන් පවා මව්පියෝ වැළකී සිටියහ. බණ දහම් අසන්නට ඇයට ඉඩ නොලැබුණේද ආදරය නිසාමය. තනිවම කිසිම කෙනෙකුගේ නිවසකට යැමට හෝ අඩුම තරමේ තනිවම පාසල් යැමටද ඇයට එතැන් පටන් තහංචි වැටුණි. වැඩිමල් සොහොයුරන් තිදෙනෙකු, වැඩිමල් සොහොයුරියක හා බාල සොහොයුරෙකු ඇයට සිටි අතර මේ සියලු දෙනා සන්නද්ධ බළකායක්‌ සේ ඇයට ආරක්‍ෂාව සැපයුවේ දෙමව්පියන්ගේ අනුදැනුම ඇතිවය. එහෙත් මේ ඇය ආත්ම ගණනක්‌ පෙරුම් පුරා පැමිණි ඉරණමේ ගමනකි. ඒ සියලු රැකවල් බිඳ තම අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට ඇයගේ පාරමිතාව බලවත් විය. සුපුරුදු පරිදි තවත් දිනයක ඇය සුදු ඇඳුමින් සැරසී, පොත් බෑගයද රැගෙන සහෝදර සහෝදරියන්ගේ රැකවල් මධ්‍යයේ පාසලට ගියාය. පාසල නිමවන්නට සුළු වේලාවකට පෙර ඇය විදුහල්පතිනියගේ කාමරයට ඇතුළු වූවාය."

මැඩම්.මම ආරාමයට යනවා. මේ ලියුම ගෙදරින් කවුරුහරි ආවොත් දෙන්න. මට මේ ගමනට අවසරයි. ඇය විදුහල්පතිනියගේ දෙපා වැඳ සමුගත්තාය. සිය යෙහෙළියන් සමග පාසල නිමවී එක පොදියට දුවගෙන ගොස්‌ ඇය බසයකට ගොඩ වූවාය. පාසල් ගේට්‌ටුව අසල තම සොහොයුරිය එනතුරු රැකවල්ලා සිටි කිසිවෙක්‌ සිය නැගණිය බසයට ගොඩ වන අයුරු නොදුටුහ.

"මගේ පංතියේ යාළුවන්ගෙන් මම අහගෙන තිබුණා මෙහෙණි ආරාමයක්‌ කොහෙද තියෙන්නේ කියලා. ඒ අය මට නාවලපිටිය උත්පලවණ්‌නා මෙහෙණි ආරාමය ගැන කියලා තිබුණා. ඒකෙ මෙහෙණිවරු මල් ගස්‌වලට වතුර දානවා. ඒ ආරාමයට කුරුල්ලෝ එනවා. හරිම ලස්‌සනයි. මෙහෙණින් වහන්සේලා හරිම කරුණාවයි වගේ දේවල් යාළුවෝ මට කිව්වාම මගේ හිතේ ආරාමගත වෙන්න තිබුණු බලාපොරොත්තුව තවත් පෝෂණය වුණා. එදා යාළුවෝ එක්‌ක බස්‌ එකේ නැගලා ගියා. ආරාමයට යන පාර යාළුවෝ මට පෙන්නුවා. මම බස්‌ එකෙන් බැහැලා තනියම පාර දිගේ ගොඩක්‌ දුර පයින්ම ගියා. මට ආරාමය හමුවුණා. ඒ කාලේ ආරාමයේ දෙවැනි මෙහෙණින් වහන්සේ ලෙස කටයුතු කළේ ගිනිගත්හේනේ සුසිලා ශෝභනී මෙහෙණින් වහන්සේයි. (දැන් භික්‍ෂුණියකි) ඒ මෙහෙණින් වහන්සේ හරිම කරුණාවෙන් මට කතා කළා. ඇය මට ඇමතූ විලාසය අදටත් මට මතකයි"

ඇයි දරුවෝ.........?

මට මහණ වෙන්න ඕනේ.......

ඉතිං මොකද තනියම ආවේ..........?

ගෙදර අය මම මහණ වෙනවාට අකැමතියි. මම විදුහල්පතිතුමියට කියලයි ආවේ.

සුසිලා මෙහෙණින් වහන්සේ මෙම පුංචි පාසල් දැරිය ආරාමයට කැඳවාගෙන ගියහ. සබන් කැටයක්‌ හා ඇඳුමක්‌ ගෙනැවිත් දී මූණ සෝදාගෙන එන ලෙස කාරුණිකව පැවසූහ. මේ පුංචි දියණිය ඇයට කීකරු වූවාය. පසුව මුළුතැන්ගෙට රැගෙන ගොස්‌ පාන් පෙති තුනක්‌, සම්බෝල හා කිරි හොඳි සමග මේ දැරියට ආහාර පිණිස ලබා දුන්නෝය. කෙමෙන් රාත්‍රිය උදාවිය. ආරාමය අසල නිවසක සිටි තවත් දියණියක කැඳවාගත් මෙහෙණියෝ බිම පැදුරක්‌ එළා ධම්මිකා දියණියත් සමග නිදා ගන්නා ලෙස අසල්වැසි දියණියට පැවසූහ. අසල්වැසි දියණිය ද ධම්මිකා අධ්‍යාපනය ලැබූ නාවලපිටිය ශාන්ත අන්දෲගේ බාලිකා මහා විද්‍යාලයේම ශිෂ්‍යාවකි. ඇය පසුදින පාසලට ගියේ සුසිලා මෙහෙණින් වහන්සේ විසින් ලබා දෙන ලද ලිපියක්‌ද රැගෙනය. එම ලිපිය විදුහල්පති ඩබ්ලිව්. පලිපාන මහත්මිය අත පත් කෙරිණි. ධම්මිකා වික්‍රමආරච්චි නමැති දරුවා ආරක්‍ෂා සහිතව අපගේ ආරාමයේ සිටිනවා යෑයි එම ලිපියේ සඳහන්ව තිබිණි.

"පහුවදාම අම්මයි, තාත්තයි, අක්‌කයි, අය්යලා තුන්දෙනයි. මල්ලියි එක්‌ක පාසලේ විදුහල්පතිතුමියයි තවත් ගුරුවරු දොළොස්‌ දෙනෙකුයි ආරාමයට ආවා. අක්‌කා මාව බදාගෙන අඬන්න පටන් ගත්තා. අය්යලා අම්මා තාත්තා ඒ හැමෝම හොඳටම ඇඬුවා. ගෙදර යමු මේකට ඉඩදෙන්න බැහැ කිව්වා. මමත් අඬ අඬා කිව්වා මට මහණ වෙන්න ඉඩ දෙන්න කියලා. අන්තිමට තාත්තා කිව්වා දරුවා කැමති දේ කරන්න ඉඩ දෙන්න කියලා. අපේ තාත්තා පියසේන වික්‍රමආරච්චි. ඔහු අපට උගන්වන්න ගොඩාක්‌ උත්සාහ කළා. තාත්තාට ඉඩකඩම් තිබුණා. වගා කටයුතු කළා. අපේ තාත්තාට ගණන් හදන්න පුදුම හැකියාවක්‌ තිබුණා. පාලි, සංස්‌කෘත හොඳට පුළුවන්. ශ්ලෝක කටපාඩම් අපට හරියට කතන්දර කියලා දුන්නා. අපේ තාත්තා බටනලා වාදනය කරනවා අහගෙන ඉන්න මම හරිම කැමතියි.

ඒ වාදනයට සවන් දෙන කාලය මට දැනෙන්නේ මම භාවනාවක නිරතව ඉන්නවා කියලයි. දැන් තාත්තා ගොඩක්‌ වයසයි. තාත්තාට මම ගොඩක්‌ සමීපව හිටියා. ගෙදර අපි හැමෝම පුදුම බැඳීමකින්, ආදරයෙන් ජීවත් වුණා. අම්මා මට ගොඩාක්‌ ආදරය කළ නිසා තමයි මම මහණ වෙයි කියන බයට රැකවල් දැම්මේ. අපි අතර කොතරම් ලොකු බැඳීමක්‌ තිබුණත් මහණ වෙන්න මගේ හිතේ තිබුණු කැමැත්ත ඊට වඩා බලවත් වුණා. ගෙදර හැමෝම මාව බදාගෙන ඇඬුවත් මම ගෙදර යන්න කැමති වුණේ නැහැ. ජීවිතයේ පළමු වතාවටයි මම එහෙම පිට තැනක නැවතුණේ. අද ඒ ගැන කල්පනා කරද්දී මම එහෙම කළාද කියලා පුදුම හිතෙනවා. මගේ හිතට ඒ ධෛර්යය ලැබුණේ මීට ආත්ම ගණනකට පෙර සිට විය හැකියි කියා මට හිතෙනවා."

සමස්‌ත ලංකා සිල් මාතා සංගමයේ වාර්ෂික රැස්‌වීම හා සංඝමිත්තා අනුස්‌මරණ දිනය 1986 දෙසැම්බර් 15 දා අනුරාධපුරයේ දී පැවැත්විණි. ඊට රාජ්‍ය අනුග්‍රහය ද ලැබිණි. ඊට සහභාගි වීම සඳහා දිවයිනේ නන්දෙසින් මෙහෙණින් වන්සේලා තුන්දහසක්‌ පමණ පැමිණ තිබිණි. සංඝමිත්තා අනුස්‌මරණයත්, උඳුවප් පොහොයත් මුල් කර ගනිමින් එදින තවත් සුවිශේෂී යමක්‌ සිදු කෙරිණි. ඒ කුළ දැරියන් සියයක්‌ පැවිදි කරවීමයි. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ එදින පැවිදි බිමට පිවිසි මෙම සිය නමට අනුරාධා නම සමග තවත් නමක්‌ එක්‌ කෙරිණි. ඒ අනුව නාවලපිටියේ ධම්මිකා වික්‍රමආරච්චි දැරිය ද එදින නාවලපිටියේ අනුරාධා සුධම්මිකා නමින් මෙහෙණියක බවට පත්වූවාය. කඳුළු පිරි දෙනෙතින් යුතුව ඥාතීහු එදින ඇයගේ දෙපා වැන්දෝය.

එතැන් සිට අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ කාලසටහන් තුනකට අනුව දින චර්යාව ගත කළාය. ධර්මය කටපාඩම් කිරීම, පාඩම් දීම දින චර්යාව වූ අතර සතියේ කාලසටහන අනුව දින හතට පොත් හතක්‌ පාඩම් දීමට සිදුවිය. මාසික කාල සටහනට අනුව සතියකට වරක්‌ මල් ආසන, ගිලන්පස බඳුන් ඇතුළු සියල්ල විශේෂයෙන් පිරිසිදු කිරීම ඇයට පැවරී තිබිණි. තෙළඹුගල නිග්‍රෝධ ඛෙත්ත පිරිවෙණ, කටුකැලේ ලේඬිබ්ලේක්‌ ආරාමය, මහනුවර තල්වත්ත විවේකාරාමය, මහනුවර සුධර්මාරාමය, අස්‌ගිරි මහා විහාර පිරිවෙණ ආදිය පාසල් ජීවිතයෙන් දුරස්‌වු ඇයගේ අධ්‍යාපන මං පෙත පුළුල් කරන්නට ඉවහල් විය.

උසස්‌ පෙළ විභාගයෙන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ සුධම්මිකා මෙහෙණින් වහන්සේගේ දෑස්‌ අභියස තාරුණ්‍යය දර්ශනය වෙද්දී ඒ සියල්ල උපේක්‍ෂාවෙන් ඉවත හෙලුහ. කසාවත. ඇඳ හිස මුඩු කර සිටියත් ඇයගේ ශාන්ත පියකරු පෙනුම ඇතැම් දෙනෙකුගේ දෑස්‌ ඈ වෙතට ම නැඹුරු කරවන්නට හේතු විය. රාමනාදන් නේවාසිකාගාරයේ 175 වන කාමරය මෙහෙණින් වහන්සේලා වෙනුවෙන්ම වෙන් කර තිබිණි. එහි හුදෙකලාව ඇයට පාඩම් කටයුතු පහසු කරවීය. මෙහෙණියක වුවත් මිතුරු මිතුරියන් රැසක්‌ ඇය වටා රොක්‌වූහ. ඇතැම් බැඳීම් අදටත් දුරස්‌වී නැත. විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දරත්වය ඇයගේ ජීවිතයෙන්ද දුරස්‌ වූයේ නැත. එහෙත් ගිහි තරුණ තරුණියන් සරසවි දිවියේ මිහිර අත්විඳි ආකාරයට වඩා ඇය ගෙවූ සරසවි දිවිය බොහෝ සෙයින් වෙනස්‌ වූවකි. විෂයයන් දෙකකට වැඩිම ලකුණු සමග ප්‍රථම පංති සාමාර්ථයක්‌ හිමිකරගත්තත් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්‌ඩලයට ඇය බඳවා නොගත්තේ ගිහියෙකු නොවන නිසාය.

"ඒ වනතුරු මම කවදාවත් රැකියාවක්‌ ගැන හිතලා තිබුණේ නැහැ. පුංචි කාලේ කවුරුහරි ඇහුවොත් ලොකුවුණාම කවුරු වෙනවාද කියලා මම ඒ හැමෝටම කිව්වේ මහණ වෙනවා කියලයි. විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලයට මාව බඳවා නොගැනීමත් සමග කථිකාචාර්යවරියක්‌ වීමේ අධිෂ්ඨානය සිත තුළ උපන්නා. ඒ අනුව පළමුව කැලණිය විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්ය වුණා. එවකට පීඨාධිපතිව සිටියේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතායි. සිංහල අංශාධිපති මහාචාර්ය ගුණවර්ධන නානායක්‌කාර මහතායි. සම්මුඛ පරීක්‍ෂණයකින් සමත් වීමෙන් පසුව 2005 ජනවාරි 17 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්‌ථීර කථිකාචාර්යවරියක්‌ ලෙස වැඩභාර ගත්තා. එවකට ජ"පුර සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශාධිපති ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා යි."

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම දර්ශනපති උපාධිය ද ලැබූ සුධම්මිකා භික්‍ෂුණිය. ඉංග්‍රීසී පරිවර්තනය පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා ජ පුර ලේඛත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද සාර්ථකව නිම කර තිබේ. පැරණි විනයසිඛ හා වත්මන් තරුණ භික්‍ෂුව කෘතිය මෙන්ම සිංහල සාහිත්‍යාගත සුරලොව, බඹලොව හා අපාය කෘතිය ද ඇයගේ පර්යේෂණයන්හි ප්‍රතිඵලයි. මීට අමතරව ඇය ශාස්‌ත්‍රීය සඟරාවලට ද ලිපි සපයා තිබේ. සිරි දළඳා දහම් පාසලේ භක්‌ති ගීත රැසක්‌ ඇයගේ අතින් රචනාවී ඇත. සුදු පියුම හා සම්බුදු පියුම පද රචනා එකතුව ඉදිරියේදී මුද්‍රණය කිරීම ඇයගේ අපේක්‍ෂාවයි. ලේවැල්ලේ ධම්ම විවේකාරාමය මෙම සසර ගමනේ එක්‌ නවාතැන් පළක්‌ වන අතර ජපුර නේවාසිකාගාරය ද ඇයගේ නිවුණු සිතට සැනසීමක්‌ ම වනු ඇත.

සසුන්ගත වීම එකම අරමුණ කොට ගනිමින් ජීවන බැඳීම් සියල්ලෙන් ඈත් වූ සුධම්මිකා භික්‍ෂූණීන් වහන්සේගේ සිතේ තවත් එක්‌ උතුම් ප්‍රාර්ථනයක්‌ ඉතිරිවී තිබේ. ඒ රහත් බව ලබා ගැනීමයි. පුංචි සන්දියේ කසාවත පොරාවාගත් ඇය මෙහෙණි ආරාමයේ බෝමළුව වටේ ඉතාම ශාන්ත බවක්‌ ආරූඪකරගනිමින් පොත්පත්වල දක්‌වා තිබූ රහත් මෙහෙණියකගේ ගමන් විලාසය අනුකරණය කරන්නට වු බවත්, එය වැඩිහිටි මෙහෙණියකගේ නෙත ගැටීමෙන් පසු ලඡ්ජාසහගත හැඟීමක්‌ උපන් බවත් මෙහෙණියෝ පැවසූහ. එහෙත් මෙහෙණියක වු දා පටන් රහත්වීමේ බලාපොරොත්තුව තිබෙන බව උන්වහන්සේ පැවසුවෝය. ආත්ම ගණනක ප්‍රාර්ථනයක්‌ මේ භවයේදී ඉටු වූවාක්‌ මෙන් එකී පැතුම මතු අත් භවයේදී හෝ ඉටුවේවා යි අපි පතමු.

තුෂාරී කළුබෝවිල

Post a Comment

0 Comments