රියෑලිටිවල අතරමංවූ තාරුණ්‍යය

පසුගිය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ තරුණ නායකයන් පුහුණු කිරීමේ පරමාර්ථයෙන් දේශපාලන තක්‌සලාවක්‌ ආරම්භ කෙරිණි. මෙය කාලෝචිතවූත්, දූරදර්ශීවූත්, තීරණයක්‌ බව මාගේ හැ`ගීමයි. ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නායකයන්ගේ මැදිහත් වීමෙන් ඇරඹි මෙවැනි දේශපාලන විද්‍යාගාර ලංකාවේ සෙසු දේශපාලන පක්‍ෂ සඳහා ද මහත් ආදර්ශයක්‌ වනු ඇත. අනෙක්‌ අතට මෙම තක්‌සලාවේ අධ්‍යාපන අවස්‌ථා දේශපාලන භේදයකින් තොරව සියලු දේශපාලන පක්‍ෂ සාමාජිකයන්ට සහභාගි විය හැකි මට්‌ටමට පුළුල් කිරීමට හැකි නම් එය යහපත් දේශපාලන සංස්‌කෘතියක පුරෝගාමී ලක්‍ෂණයක්‌ වනු ඇත.

පාලක පාලිත දෙපාර්ශවයම සම්බන්ධ වන උසස්‌ දේශපාලන සංස්‌කෘතියක්‌ මෙරට නිර්මාණය වනු දැකීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ උත්තුංග වූ බලාපොරොත්තුවකි. නමුත් වර්තමානය වන විට තමාට නායකත්වය සපයන දේශපාලනඥයා පිළිබ`ද මෙරට ප්‍රජාවට 'ශත පහක' විශ්වාසයක්‌ නැත. දේශපාලන ක්‌ෂේත්‍රය පුරා 'ගුථභාණින්' පිරී ඇත. ගුථභාණියා යනු, සිය ලාභ, වරප්‍රසාද රැකගැනීම පිණිස තමා දුටු දෙය නොදුටුවා යෑයි කියන නොදුටු දෙය දුටුවා යෑයි කියන තැනැත්තෙකි. ඔහු දැන දැන මුසා බස්‌ පවසන්නේ සිය වරප්‍රසාද, තනතුරු රැකගැනීම සඳහා ය. මෙලෙස අවස්‌ථාවාදී ලෙස දැන දැනම මුසාබස්‌ පවසන තැනැත්තා සමාජය වෙතින් බැහැර කළ යුතු බව බුද්ධ දේශනාවයි.

රටක ප්‍රජාව තමාට නායකත්වය සපයන දේශපාලනඥයා, ඔහුගේ ප්‍රතිපත්ති හෝ දේශපාලන පක්‍ෂ ක්‍රමය විශ්වාස නොකිරීම, ඒ පිළිබඳව සැකසංකා ඇති කර ගැනීම, දේශපාලකයාගේ ක්‍රියාකලාපය හාස්‍යයට ලක්‌ කිරීම උසස්‌ දේශපාලන සංස්‌කෘතියක ලක්‌ෂණ නොවේ. මෙම තත්ත්වය රටේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් සුබවාදී ප්‍රවණතාවක්‌ නොවනු ඇත.

පාලකයා සහ පාලිතයා පවතින අන්තර් සබඳතාවෙහි පරිහානිය පිළිබිඹු කෙරෙන ආසන්නතම සිදුවීම පසුගිය දා දක්‌නට ලැබුණි. ඒ මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක්‌ විසින් 'ලාංකික තරුණයාගේ දස්‌කම් විස්‌කම් හඳුනා ගැනීමේ හා ඔප් නැංවීමේ පරමාර්ථයෙන් පවත්වන ලද රියෑලිටි වැඩසටහනක තරග ප්‍රතිඵල ඇසුරෙනි. මෙරට දහස්‌ සංඛ්‍යාත තරුණ නිර්මාණකරුවන්ගේ දක්‌ෂතා අතරින් ප්‍රජාවගේ මෙන් ම, විනිශ්චය මණ්‌ඩලයේ වැඩි මනාපය හිමි වූයේ දේශපාලන නායකයන් හා රටේ විවිධ ක්‌ෂේත්‍ර නියෝජනය කරන අය අනුකරණය කරමින් තරගයට ඉදිරිපත් වූ තරුණයන් දෙදෙනකුට ය.

මෙම රියෑලිටි තරගයේ ප්‍රතිඵලය අපට ප්‍රවේශ කිහිපයක්‌ යටතේ විග්‍රහ කරගැනීමට පිළිවන. ඉන් පළමුවැන්න වන්නේ, මෙරට දේශපාලන නායකයන් තරුණයන්ට ජෝකර්ලා වී ඇති බවයි.

මෙම වැඩසටහනේදී අනුකරණයට හා හාස්‍යයට ලක්‌වූ දේශපාලනඥයන් හා නිලධාරීන් කවුරුන්ද යන්න දන්නෝ දනිති. මට හැ`ගී ගිය ආකාරයට නම් අගමැතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, මැතිවරණ කොමසාරිස්‌ ප්‍රමුඛ මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයකගේ ක්‍රියා කලාපය අනුකරණයටත්, හාස්‍යයටත් ලක්‌ විය. ඒ අනුව මෙයින් පෙනී යන්නේ මෙරට වගකිව යුතු දේශපාලන චරිත තාරුණ්‍යයේ උපහාසයටත් අවිශ්වාසයටත් පත්ව ඇති ආකාරය නොවේද? 

රටේ තරුණයා ජාතික නායකයන් අනුකරණය කිරීමත්, එමගින් හාස්‍ය උත්පාදනයත්, ඒ දෙස බලා සිටින රූපවාහිනි ප්‍රේක්‍ෂකයා බඩ අල්ලාගෙන සිනාසීමත් මෙරට දේශපාලන ක්‌ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රජාව තුළ පවතින හාස්‍ය ජනක බව ප්‍රදර්ශනය කරවන්නකි. නමුත් බඩ අල්ලා සිනාසෙන කිසිවකුට මේ සිනාසෙන්නේ තමාටම යෑයි වැටහීමක්‌ නැත. ඒතරමට මෙම වැඩසටහන් ආකර්ෂණීයව ඉදිරිපත් කරයි. ඒ ආකර්ෂණීය බව මගින් තමන් ලබන ක්‍ෂණික වින්දනය තුළ මෙරට රූපවාහිනි ප්‍රේක්‍ෂකයා මංමුළා වන බව ඔහු නොදනී. රේටින් මෆියාවට මුළා වී මෙරට රූපවාහිනි නාලිකාවන් සිදු කරන මෙවැනි වැඩසටහන් සදහා ඉදිරිපත් වන තරුණයාට කුමන සෙතක්‌ සැලසෙන්නේද? එමෙන් ම මෙම වැඩසටහන් නරඹන ප්‍රේක්‍ෂකයා ආනන්දයට පත් වී ප්‍රඥාවේ කුමන ඉසව්වකට ගමන් කරන්නේද? අන් ලෙසකින් පවසන්නේ නම් මෙවැනි වැඩසටහන් නැරඹීමෙන් ප්‍රේක්‍ෂකයාට අත්වන ඉලව්වක්‌ නැත.

මාඕ සේතුං, පිදෙල් කස්‌ත්‍රොa, මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ ලොව බිහි වූ විශිෂ්ට නායකයන්ගේ ක්‍රියාකලාපය පදනම් කරගෙන බොහෝ නිර්මාණ බිහි වී ඇත. මෙම නායකයන්ගේ චරිත ස්‌වභාවයන් ලෝකයේ සෑම ශිල්පායතනයකම අධ්‍යයනය කරමින් සිටියි. බාල ලෙස ඔවුන්ගේ චර්යා අනුකරණය කරනවා වෙනුවට ඔවුන්ගේ නායකත්වයේ ලක්‍ෂණ හා උත්තුංග මානවීය ගුණාංග අනුගමනය කරන අනුගාමිකයන් ලොව පුරා සිටියි. අප රටට අවශ්‍ය වන්නේ ද හාස්‍යයට ලක්‌වන නායකයන් වෙනුවට විශිෂ්ට මානව ධර්මතාවලින් පිරිපුන් ජාතික නායකයන් ය. එමෙන් ම තරුණයාගේ වගකීම වන්නේ ද මෙරට බිහි වූ විශිෂ්ට නායකයන්ගේ ධර්මතා අනුකරණය කරනවා වෙනුවට ඒවා අනුගමනය කිරීමට පෙළඹීමයි. මෙය මෙරට රූපවාහිනී රියෑලිටි වැඩසටහන් ඔස්‌සේ සිය නිර්මාණවල බංකොලොත් බව ප්‍රදර්ශනය කරන තරුණ්‍යයට කෘතහස්‌ත නිර්මාණ පිළිබද අවබෝධය ලබා ගැනීමේ ආරම්භය වනු ඇත. එසේම මෙරට ආරම්භ වූ ප්‍රථම දේශපාලන විද්‍යාගාරය උසස්‌ දේශපාලන සංස්‌කෘතියක්‌ ගොඩනැංවීමේ ප්‍රමුඛ කාර්යභාරය ඉටු කරනු ඇති බව සුවහසක්‌ ජනතාවගේ විශ්වාසය යි.

Post a Comment

0 Comments