උසස්‌ පෙළින් පස්‌සේ ....


ශිෂ්‍යත්ව විභාගය පාස්‌ කරගෙන ජනප්‍රිය පාසලකට දානවා. ඊට පස්‌සේ අ.පො.ස. සා. පෙළ විභාගය විශිෂ්ට සාමාර්ථ සහිතව සමත් කර ගන්නවා. උසස්‌ පෙළ ජීව විද්‍යාව හෝ ගණිතය අංශයෙන් උගන්වා වෛද්‍යවරයෙක්‌ හෝ ඉංජිනේරුවෙක්‌ කරනවා.

දෙමාපියන්ගේ මෙම සිහින කන්දරාව කරපිට දරාගෙන අධ්‍යාපනය හදාරන දරුවාට පොත පත හැර වෙනත් බාහිර ක්‍රියාකාරකමක යෙදෙන්නට වේලාවක්‌ නැත.

බොහෝ දරු දැරියන්ට ක්‍රීඩා පිටිය තහනම්ය. මෙම අති තරගකාරී අධ්‍යාපන රටාව නිසා මේ වනවිට අප රටේ අනාගතය බරපතල අනතුරකට මුහුණපා ඇත.

මේ දිනවල අපි බ්‍රසීලයේ පැවැත්වෙන ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල නරඹන්නෙමු. මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වීමට අප රටෙන් සුදුසුකම් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව දස දෙනකුටත් අඩුය. එයත් පිහිනුම්, බර ඉසිලීම්, කෙටි දුර ධාවනය ආදී ක්‍රීඩා සඳහා පමණි. එසේ වී ඇත්තේ ක්‍රීඩාවට වඩා පොතට පතට දරුවන් සීමා කරවීමය. ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවාට දෙමාපියන් ඉන්පසු භාර දෙන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයයි. එම බර හිස මත තබා ගන්නා දරුවාට වෙනත් බාහිර ක්‍රියාකාරකම් ගැන සිතන්නට වරම් නැත. 

"උගන්වන්නට ම උපන් මම ඔබ සා. පෙළ විභාගයෙන් විශිෂ්ටයෙක්‌ බවට පත්කරවමි" පාසල් අසල දැන්වීම් පුවරු පුරා බිත්තිපුරා සමනල වර්ණයෙන් අලවා ඇති මෙම ටියුෂන් පංති ප්‍රචාරක දැන්වීම්වලින් සිහි මඳ වන දෙමාපියෝ තම දරුවන් විශ්වකර්මයන් බඳු යෑයි පවසන මෙම ටියුෂන් පංති වෙත රැගෙන යති.

මේ අතර විභාගයෙන් අසමත් වන දරුවන් සමත් කරවන්නටත් විශ්වකර්මයන් පිරිසක්‌ බිහිව සිටිති. පසුගියදා මහනුවර හන්තාන ප්‍රදේශයේදී මෙවැනි විශ්වකර්ම පාඨමාලාවක්‌ පැවැත්වූ පිරිසක්‌ ගැන අනාවරණය විය. අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වූ දරු දැරියන් 15 දෙනෙකුගෙන් යුත් මෙම නේවාසික කඳවුරේ සිටි දැරියන් රැසක්‌ අපයෝජනයට ලක්‌ව ඇතැයි අනාවරණය වෙමින් පවතී.

මේ සියල්ලටම හේතුවී ඇත්තේ අප තවම දිවයන්නේ අ.පො.ස. සාපෙළ හෝ උසස්‌ පෙළ සුදුසුකම් මත රැකියා ලබා ගැනීමේ අරමුණින් හෝ විශ්වවිද්‍යාලයට අධ්‍යාපන සුදුසුකම් මත රැකියාවක්‌ ලබා ගැනීමේ අරමුණින් වීමය.

නමුත් අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින ලක්‍ෂ තුනහමාරකට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්නේ විසිහත් දහසකට ආසන්න පිරිසකි. ඉතිරි අයට සිදුවන්නේ වෙනත් විකල්ප අධ්‍යාපන කටයුතු සඳහා යොමු වීමටය.

ගැටලුව මතුවන්නේ මෙතැන් පටන්ය. උසස්‌ පෙළ විභාගය අසමත් වන දරු දැරියනට ඇති විකල්ප අධ්‍යාපන විෂයන් මොනවාද? එම සුදුසුකම් සපුරා ගැනීම මගින් ලබාගත හැකි රැකියා අවස්‌ථා මොනවාද? වර්තමානයේ බොහෝ දෙමාපියන් සහ දරු දැරියන් අතර මෙම දැනුවත් බව නැත.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වන බොහෝ තරුණයන් අද ඉතා පහසුවෙන් යොමු වන රැකියාව වනුයේ කුලී ත්‍රිරෝද රථ ධාවනයයි.

තරුණියන් යොමුවන රැකියාව වනුයේ මනාලියන් හැඩ ගැන්වීම. රූපලාවන්‍ය ශිල්පිනියක්‌ වීමය.

මේ වනවිට මෙම රැකියා අංශයන් රට තුළ බහුල වීම නිසා එම රැකියාවන්හිද දැඩි තරගකාරී බවක්‌ පවතී.

ශ්‍රී ලංකාවේ සෑම දිස්‌ත්‍රික්‌කයක්‌ම ආවරණය වන පරිදි වෘත්තීය පුහුණු අධිකාරියට අයත් වෘත්තීය පුහුණු පාසල් 250 කට අධික සංඛ්‍යාවක්‌ ඇත. තාක්‍ෂණික විද්‍යාල ද විශාල ප්‍රමාණයක්‌ ඇත.

මෙම පාසල්හි නොමිලයේ වෘත්තීය පුහුණුව ලැබීම සඳහා වසරකට තරුණ තරුණියන් තිස්‌ දහසකට පහසුකම් තිබේ. නමුත් අවාසනාව වී ඇත්තේ මෙම පාසල්හි පුහුණුව ලැබීම සඳහා යොමුවන තරුණ තරුණියන් ගණන අල්ප වීමය. අ.පො.ස. සා. පෙළ විභාගය අසමත් තරුණ තරුණියන්ට එම විභාගයට සමාන සුදුසුකම් සහිත රජය විසින් පිළිගත් පාඨමාලා මෙම වෘත්තීය පුහුණු පාසල්හි හැදැරිය හැකිය.

අ.පො.ස. උසස්‌ පෙළ විභාගය හා සමාන සුදුසුකම්, ඩිප්ලෝමා, උසස්‌ ඩිප්ලෝමා සහ උපාධිය දක්‌වා වූ සුදුසුකම් ලබා ගැනීමට හැකි වෘත්තීය පුහුණු පාඨමාලා සහ එම සුදුසුකම්වලට සරිලන රැකියා මෙම වෘත්තීය පුහුණු පාසල්හි පාඨමාලා හැදෑරීම මගින් ලබාගත හැකිය. නමුත් එම පාසල් වෙත තරුණ තරුණියන් පැමිණීම පවතින්නේ ඉතා අවමවය.

මේ වනවිට අප රටේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සහ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ රැකියාවන් බොහෝ ඇත. නමුත් එම රැකියාවන් සඳහා වෘත්තීය සුදුසුකම් සහිත වූවන් නැත. ඒනිසා ඉදිකිරීමේ වැඩබිම්වල, කර්මාන්තශාලා ඉදිරිපිට "සේවක ඇබෑර්තු ඇත" යනුවෙන් වූ දැන්වීම් වසර පුරා දැකිය හැකිය.

එකම පංතියේ එකම විෂය හදාරමින් එකම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා එක්‌ ශිෂ්‍යයෙක්‌ විභාගය සමත් වනවිට තවත් ශිෂ්‍යයෙක්‌ විභාගය අසමත් වන්නේ දරුවාගේ නොසැලකිල්ල නිසා නොව එම දරුවාගේ බුද්ධි මට්‌ටම අනුවය. දරුවාගේ බුද්ධි මට්‌ටම තීරණය වන්නේ දරුවාට උරුම ජාන අනුව කුඩා කළ දරුවාගේ පැවැති නීරෝගී වර්ධනය අනුවය.

දරුවාට සිතන්නට කාලය අවශ්‍යය. දැනුම වර්ධනය කර ගැනීම සඳහා නිදහස සහ ඒ සඳහා පරිසරය තිබිය යුතුය. පොතට පතට ටියුෂන් පංතියට පමණක්‌ සීමා කිරීමෙන් දරුවකුගේ බුද්ධිය වර්ධනය කළ නොහැකිය.

ක්‍රීඩාව, සංගීතය, තාක්‍ෂණික අංශයන්ගෙන් පාසල් දරු දැරියන් ඉදිරියට යැම සීමාවී ඇති නිසා එම ක්‍ෂේත්‍රයන්හි දක්‍ෂයන් බිහිවීම අඩුවී ඇත. ඒ නිසා මෙම අංශයන් කඩාවැටීමට ලක්‌වෙමින් පවතී.

ශිෂ්‍යත්වය සමත්වූ සෑම දරුවකුම අපොස සාපෙළ විභාගය හෝ උසස්‌ පෙළ විභාය විශිෂ්ට ලෙස සමත් නොවෙති. එසේම ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ බොහෝ දරුවෝ සාපෙළ සහ උසස්‌ පෙළ විශිෂ්ට ලෙස සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබති.

ඒ නිසා දරුවාගේ හැකියාවන් හඳුනාගෙන ඒ ඔස්‌සේ දරුවාගේ අනාගතය සකස්‌ කිරීමට දෙමාපියන් අවධානය යොමු කළහොත් අධ්‍යාපනය තම මුදල් ඉපැයීමේ මාර්ගය බවට පත් කරගෙන සිටින පුද්ගලයන් සහ වංචාකරුවන්ට තම දරුවන් ගොදුරු වීම වළක්‌වා ගත හැකිය.

අපොස සාමාන්‍ය පෙළ උසස්‌ පෙළ අසමත් වූවන් තම හැකියාව තුළින් වෘත්තීය පාඨමාලාවක්‌ හදාරා උපාධියක්‌ ලබා ගෙන උසස්‌ රැකියාවක්‌ ලබාගතහැකි අවස්‌ථා මේ වනවිට අප රට තුළ ඕනෑ තරම් ඇත.

මෙම වෘත්තීන් කෙරෙහිද තම දරුවන් යොමු කරවීමට දෙමාපියන් උත්සාහ කළහොත් විභාග අසමත් වීම නිසා දිවි හානි කරගන්නා දරුවන් රැකියාවක්‌ නැතැයි කියා පසුතැවෙන තරුණ තරුණියන්ගේ ගණන අඩු කර ගත හැකිය.

Post a Comment

0 Comments