පුරස්‌ථි ග්‍රන්ථය ඉදිමෙන්නේ ඇයි?


ප්‍රශ්නය - පුරස්‌ථි ග්‍රන්ථිය ඉදිමීම නැත්නම් විශාල වීම (Prostate Enlargement Benign Prostatic Hyperplasia) මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වුණා. මොකක්‌ද මේ රෝග තත්ත්වය.

වෛද්‍ය පුෂ්පකුමාර - පුරස්‌ථි ග්‍රන්ථිය ඉදිමීමත් එය පිළිකා තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය නොවීමත් තමයි මේ රෝගය මගින් සිදුවන්නේ. පිරිමි ළමයකු වැඩිමහලු මනුෂ්‍යයකුගේ තත්ත්වයට පත් වන කාල සීමාව තුළදී පුරස්‌ථි ග්‍රන්ථිය වර්ධනය වන අවස්‌ථා දෙකක්‌ තිබෙනවා. මෙයින් පළමු අවස්‌ථාවේදී එනම් පිරිමි ළමයකු වැඩිවිය පත්වීමට පෙර පුරස්‌ථි ග්‍රන්ථිය ප්‍රමාණයෙන් දෙගුණ වෙනවා. දෙවැනි වර්ධනය අවුරුදු 25 දී පමණ ආරම්භ වන අතර, ඉතිරි ජීවිත කාලය පුරාම වර්ධනය වෙමින් පවතිනවා. පුරස්‌ථි ග්‍රන්ථිය ඉදිමීම සිදුවන්නේ මෙන්න මේ දෙවැනි අවස්‌ථාවේදී. මෙසේ ඉදිමීමේදී මුත්‍රවාහිනිය පීඩනයකට, තෙරපීමකට ලක්‌ වෙනවා. මුත්‍රා බොක්‌ක ඝන තත්ත්වයට පත් වෙනවා. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මුත්‍රා බොක්‌ක දුර්වල වන අතර මුත්‍රා කිරීමේදී එහි පිරී පවතින සම්පූර්ණ මුත්‍රා ප්‍රමාණය බැහැර කර ගැනීමට බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා කිසියම් මුත්‍රා ප්‍රමාණයක්‌ නිතරම එහි ඉතිරි වනවා. පීඩනය නිසා මුත්‍රා මාර්ගය අවහිර වීම, මුත්‍රා බොක්‌ක සම්පූර්ණ වශයෙන් හිස්‌ නොවීම යන කාරණා තමයි පුරස්‌ථි ඉදිමුම නිසා ඇතිවන ප්‍රධාන ගැටලු.

ප්‍රශ්නය - පුරස්‌ථිතිය කියන්නේ මොකක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර - මෙය පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත් කොටසක්‌. මෙහි ප්‍රධානතම කාර්යය වන්නේ ශුක්‍රාණු අඩංගු ශුක්‍ර තරලය නිෂ්පාදනය කිරීමයි. පිරිමියකුගේ සරුභාවයට බලපාන ප්‍රධානතම අංගයක්‌ ලෙස පුරස්‌ථිති ශ්‍රාවය හෙවත් තරලය සැලකිය හැකියි. මුත්‍රා බොක්‌ක මුල, මුත්‍රවාහිනිය අසල තමයි මෙය පිහිටා තිබෙන්නේ. පුරස්‌ථිති ග්‍රන්ථියට කොටස්‌ දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ තිබෙනවා. මුත්‍ර වාහිනියේ පහළ කොටසට අයත් ග්‍රන්ථි දෙකක්‌ ලෙස මුත්‍රා බොක්‌ක සහ පුරස්‌ථිතිය හඳුන්වන්න පුළුවන්.

ප්‍රශ්නය - පුරස්‌ථිති ග්‍රන්ථිය ඉදිමෙන්නේ ඇයි?

වෛද්‍ය පුෂ්පකුමාර - මෙය හරියටම අර්ථකථනය කර ගැනීමට බැරි තත්ත්වයක්‌. එහෙත් මෙය වැඩිපුරම හටගන්නේ වයසින් වැඩි පුද්ගලයන් තුළයි. යොවුන් වියට එළඹීමට පෙර විවිධ හේතු මත වෘෂණ කෝෂ ඉවත් කරන්නට සිදුවන පිරිමින්ට මේ රෝගය හටගන්නේ නැහැ. ඒ අනුව පර්යේෂකයන් කියන්නේ පුරස්‌ථිති ඉදිමුම සහ වෘෂණ කෝෂ අතර සම්බන්ධයක්‌ තිබෙන බවයි. ඒ අතර මහලු විය ද මේ රෝගයට හේතුවක්‌ වන බව ඔවුන් කියනවා.

පිරිමියකුගේ ශරීරය තුළ පිරිමි හෝමෝනයක්‌ වන ටෙස්‌ටොස්‌ටෙරෝන් සහ ස්‌ත්‍රී හෝමෝනයක්‌ වන ඊස්‌ට්‍රජන් ස්‌වල්පයක්‌ නිෂ්පාදනය වෙනවා. කෙනෙකු ක්‍රමයෙන් වියපත් වන විට රුධිරයේ තිබෙන ටෙස්‌ටොස්‌ටෙරෝන් හෝමෝන ප්‍රමාණය පහළ බහිනවා. මෙවිට රුධිරයේ තිබෙන ඊස්‌ට්‍රජන් හෝමෝන ප්‍රමාණය ඉහළ යනවා. පර්යේෂකයන්ගේ මතයට අනුව ඊස්‌ට්‍රජන් හෝමෝන වර්ධනයත් සමඟම පුරස්‌ථිති ග්‍රන්ථියේ සෛල වර්ධනය වෙනවා. ඒවා ඉදිමීමට හේතුවක්‌ ලෙසත් ඔවුන් මෙම තත්ත්වය දකිනවා. ඒ සමඟම DHT නමැති පිරිමි හෝමෝනයේ වර්ධනය ද මෙම ඉදිමුමට බලපාන බව පර්යේෂකයන් කියනවා.

ප්‍රශ්නය - පුරස්‌ථිති ඉදිමුම වැඩි වශයෙන් ඇතිවන්නේ කා තුළද?

වෛද්‍ය පුෂ්පකුමාර - වයස 40 සිට ඉහළට යන වයස්‌ කාණ්‌ඩවල අයටත් මේ රෝගය පවුලේ සෙසු පිරිමින්ට තිබෙන අයටත්, දියවැඩියාව, ස්‌ථුලභාවය වැනි තත්ත්වයන් තිබෙන අයටත්, ව්‍යායාම නොකරන අයටත්, ලිංගික අප්‍රාණිකත්වය ඇති අයටත් මේ රෝග හටගැනීමේ අවදානම වැඩියි.

ලබන සතියේ මෙහි රෝග ලක්‍ෂණ විමසමු.

නොමිලේ විස්‌තර සඳහා 0766739977, 011-5288055

Post a Comment

0 Comments