ආත්‍රයිටිස්‌ වේදනාව නසන කොහොඹ තෙල් ආලේපය


ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය එහි පීඩාකාරී ස්‌වරූපය, එය හට ගැනීමට හේතුවන කාරණා සහ එයට ඖෂධ වශයෙන් යොදා ගත හැකි දේ ගැන පසුගිය දිනවල අප ඔබ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අද අප ඔබෙන් මුලින්ම විමසන්නට අපේක්‍ෂා කරන්නේ යෝග ශාස්‌ත්‍රයෙන් ආත්‍රයිටිස්‌වලට සහනයක්‌ ලබා ගත හැකිද යන්නයි.

වෛද්‍ය වසන්ත උදයජීව - යෝග අභ්‍යාස සහ ආයුර්වේද ප්‍රතිකාර සමාන්තරව කරනවා නම් විශාල සහනයක්‌ ලබා ගැනීමට හැකියි. එහෙත් වැඩි දෙනා ඉතාම අලසයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ වැඩි වෙහෙසක්‌ නැතිව ලබන ප්‍රතිකාර මගින් ලෙඩ සනීප කර ගන්නයි. ආත්‍රයිටිස්‌ තිබෙන විට යෝග නොවන සාමාන්‍ය ව්‍යායාම කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මොකද බර ව්‍යායාමයක්‌ ඇඟට වැටුණොත් හානි වී තිබෙන සන්ධි තවදුරටත් විනාශයට පත් වන්නට පුළුවන්. ඒ නිසා අප ව්‍යායාමයක්‌ කරනවා නම් එය සන්ධිවලට උපකාරයක්‌ වන පරිදි මාංශ පේශීන් සකස්‌ කර ගත හැකි ව්‍යායාමයක්‌ විය යුතුයි.

ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම සහ වෙනත් ව්‍යායාම්වලට හොඳම විකල්පය තමයි යෝග ව්‍යායාම. යෝග ව්‍යායාම්වලින් ඔබේ ශරීරයේ බර සැහැල්ලු කරන අතර එය සෞඛ්‍ය සම්පන්න මට්‌ටමක්‌ කරා ගෙන ඒම සිදු වෙනවා. යෝග කියන්නේ නිකම්ම නිකම් අත් පා අඹරමින් කරන ව්‍යායාමයක්‌ නොවෙයි. එමගින් හරියට හුස්‌ම ගන්නා ආකාරය පවා උගන්වනවා.

හැබැයි වැදගත් දෙය තමයි යෝග ව්‍යායාම කිරීමේදී සුදුසුකම් ලත් උපදේශකයකු වෙතින් උපදෙස්‌ ලබාගැනීම.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ වේදනාව නැති කර ගැනීම සඳහා යොදා ගත හැකි ශාකසාර ඖෂධ ගැන පසුගිය සතියේ පාඨකයන් අපෙන් විමසා තිබුණා.

වෛද්‍ය වසන්ත උදයජීව - පළමුවෙන් ම කිව යුතුයි ආත්‍රයිටිස්‌ රෝගය සඳහා ඖෂධ වර්ග දහස්‌ ගණනක්‌ තිබෙනවා. මේවා අතුරින් ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන්නේ ස්‌වල්පයක්‌ විතරයි. මෙයින් එක ඖෂධයක්‌ තමයි කහ, කෝමාරිකා සහ කොහොඹ තෙල්වලින් හදන ආලේපය. මේ සඳහා කෝමාරිකා ග්‍රෑම් 250 ක්‌, කහ ග්‍රෑම් 50 ක්‌ සහ තල තෙල් මි. ලී.200 ක්‌ අවශ්‍යයි. මුලින්ම කෝමාරිකා තලතෙල් සහ කහ කුඩු බ්ලෙන්ඩරයක දමා හොඳින් ගසා ගන්න. ඊළඟට මේ මිශ්‍රණය ලිප මත තබා මඳ ගින්නේ පැය භාගයක්‌ පමණ කකාරා ගන්න. රිදුම් දෙන සන්ධිවල මෙය දිනකට තුන්වරක්‌ ආලේප කළ යුතුයි. එසේ කරන අතර වෙනිවැල්ගැට වැඩිපුර දමා උතුරුවා නිවාගත් පස්‌ පංගුව දිනකට දෙවරක්‌ කෝප්පය බැගින් දවස්‌ පහක්‌ පානය කළ යුතුයි. සාදාගත් මිශ්‍රණය පදමට කකාරා ගත් විට නරක්‌ නොවී දිගු කලක්‌ තබා ගත හැකියි.

ඒ සමගම රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය වැළඳුණ කෙනෙකුගේ සන්ධි තැවීම සඳහා ඉතාම යෝග්‍ය බෙහෙත් අඩංගු තැවුම් පොට්‌ටනියක්‌ මෙසේ සාදා ගත හැකියි. මෙය ඉතා පැරැණි තැවුමක්‌. ආයුර්වේද හෝ පාරම්පරික වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත මෙය සාදා ගත හැකි නම් වඩාත් යෝග්‍යයි.

කුරුඳු පොතූ, මුරුංගා පොතු, ගස්‌ කදුරු පොතු, පොල්මල්, අබ, කහකුඩු, කපුඇට මද සම සමව ගෙන විනාකිරි එම පොට්‌ටනිවලට වක්‌කර වණ්‌ඩුවේ තම්බා ගත යුතුයි. ඉන් පසු අධික රස්‌නය පහව යන තුරු සිට තැවීම කළ යුතුයි. දිනකට දෙවරක්‌ මෙය කිරීම යෝග්‍යයි. මේ මගින් සන්ධි ඉදිමුම බැස යන අතර හයි වී තිබූ සන්ධි යථා තත්ත්වයට පත්වේ.

Post a Comment

0 Comments