පුංචි සිරිපාදේ සොබාසිරි සොයා


ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් බොහෝමයක්‌ උඩරට දුම්රිය මඟේ සංචාරය කිරීමට අමතක නොකරති. එම ගමනේදී බොහෝ සංචාරකයින්ගේ නවාතැන්පොළක්‌ වනුයේ ඇල්ල දුම්රිය ස්‌ථානය වන අතර එය ඇල්ල නම් සොඳුරු පියස වේ. අවුරුද්දේ ඕනෑම දිනයක ඕනෑම වේලාවක විදේශිකයන් දැකිය හැකි හොඳම ස්‌ථානය ඇල්ල වේ. කොළඹ සිට කිලොමීටර් 220 ක්‌ පමණ දුරින් පිහිටි ඇල්ල යනු උඩරට කඳුකරයේ නැගෙනහිර හා දකුණට බෑවුම් වන කොටසේ කෙලවරට වන්නට පිහිටි ග්‍රාමයකි. දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණය හිමි ඇල්ලේ කඳු, දියඇලි, ගංඟා, නිම්න බොහෝමයක්‌ පිහිටා ඇත. ඒ අතරින් ඇල්ල කපොල්ලේ පිහිටි පුංචි සිරිපාදය ලෙස හඳුන්වන අපූරු කඳු වැටියක්‌ සොයා ගිය චාරිකාව මෙසේ සටහන් කරන්නෙමු.

රාත්‍රී තැපැල් දුම්රියේ කොළඹ සිට පැමිණෙනවානම් උදැසන 6.00 වන විට ඇල්ලට ළඟා විය හැක. තවද වාහනයකින් එන විට රත්නපුර බදුල්ල පාරේ පැය 6 ක්‌ වත් ගතවේ. කෙසේ හෝ සිනිඳු මීදුම් සේල සිල්පර කොටන් උඩින් ඉහළට ඇදෙන්නට වූයේ රත්වුණු දුම්රිය රේල් පාර දිගේ ගමන් කරන නිසාවෙනි. කුකුලා අතින් අරගත් විදේශකයන් ඔවුන්ගේ සුවිසල් ගමන් බෑග රැගෙන ලහි ලහියේ දුම්රිය වේදිකාවට ගොඩ වුණි. හෙමින් සීරුවේ ඇඟපත අසල වූ සීතල ජලයෙන් දොවාගත් පසු ඇල්ල මංසන්ධියට පිටත් වුණේ කුසට යමක්‌ දමා ගැනීමටය. මේ වන විට දැඩි ලෙස සංවර්ධන අදියරේ පවතින ඇල්ල - වැල්ලවාය පාරේ මේ කොටස තනිකරම බොරළු පිරී ඇත. අද හෝ හෙට කාපට්‌ දමා පියාසැරි ගණයට අයත්වන මෙම පාරේ අසිරිය විඳිමින් වැල්ලවාය හෝ නමුණුකුල පස්‌සර හරහා බදුල්ලට වුව යා හැකිය. ඇල්ල ප්‍රධාන මංසන්ධියෙන් වමට දමන මාර්ගය එනම් නමුනුකුල දෙසට තිබෙන මාර්ගයේ කි. මි. 2 ක්‌ පමණ ගිය විට දකුණු පසින් නැවතත් කුඩා මාර්ගයක්‌ හමුවේ. බලන බලන අත නිවාස, කාමර කුලියට දීමේ සහ සම්භාහන කිරීමේ පුවරු විශාල ගණනකි. ගමක්‌ ලෙස සුන්දර වූ මෙම ප්‍රදේශය අද වන විට උඩරට නොනිදන නගරයක්‌ තරමට සංකීර්ණ සමාජ ශිෂ්ටාචාරයකට අයත් වී හමාරය. සමහර විට ඔබ නොදන්නා ඇල්ලේ අඳුරු කථාව එය විය හැක. කෙසේ හෝ අප අපගේ සොබාදම් චාරිකාව පටන් ගෙන පයින්ම පුංචි සිරිපාදේ කන්දට යැමට තීරණය කළෙමු.

ඇල්ල ප්‍රසිද්ධ වන සොබාසිරි කිහිපයකි. එනම් දෙමෝදර ආරුක්‌කු නවයේ පාලම, රාවණා ඇල්ල, ඇල්ල කන්ද, පුංචි සිරිපාදය, රාවණා ගුහාව, කරඳගොල්ල ගුහාව හා කුරුලන්ගල ආදියයි. ඇල්ල කපොල්ල නිම්න මැදින් වැල්ලවාය දෙසට කිලෝමීටර් ගණනක්‌ දිවෙන අතර පුංචි සිරිපාදය යනු තරමක කුඩා කඳු ගැටයකි. නමුත් එය හරිත වර්ණ වෙලාගත් කඳු වැටි ත්‍රිත්වයක පමණ සුසැඳියෙන් යුත් අලංකාර පියස්‌සකි. සිරිපාදය නම් පූජනීය කන්දේ මහගිරිදඹ කොටස ආකාරයට මෙම පුංචි සිරිපාදය පිහිටා ඇත. මෙම කන්දේ පා ගමනින් නැඟීම පටන් ගන්නා කොටස සිට මුදුනත දක්‌වා එම මහගිරිදඹ ලෙස හැඩයෙන් යුතු බැවින් මෙයට "පුංචි සිරිපාදය" ලෙස නම වැටී ඇත. කෙසේ හෝ ලාහිරු කිරණ නමුණුකුල කඳු වලල්ලෙන් එබෙන හිමිදිරි සිසිලසේ අප පුංචි සිsරිපාදය තරණය කිරීමට පටන් ගත්තෙමු. කුඩා පියගැටපෙළක ගමන නිල වශයෙන් ආරම්භ කරන ස්‌ථානයේ සිට මුදුනට යනතුරු තිබෙන නිසා මෙම තරණය තරමක්‌ පහසුය. දල වශයෙන් මීටර් 300 ක්‌ පමණ එසේ නැඟ ගත යුතු අතර අත්වැල් කිසිවක්‌ නැති හෙයින් පරිස්‌සම් වීම වැදගත්ය. හදිසියේ හෝ පය පැකිලීමකින් වැටුණු හොත් මරණය පවා විය හැකි තරම් භයානකය. විනාඩි 15 කින් පමණ ඉහළ කොටසට පැමිණි අප පුංචි සිරිපාදය ප්‍රධාන කඳු වැටියට පැමිණියෙමු. මෙම කන්ද සුන්දර ලෙස දැක බලා ගැනීමට හා කාච ගත කිරීමට හැකිවන්නේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිට පමණි. කඳු මුදුනතේ බිම කොන්ක්‍රීට්‌ දැමු කොටසක්‌ පවතින අතර සුවපහසු ලෙස කූඩාරම් රහිතව වුවද රැය පහන් කළ හැකිය. අප යන විටත් විදෙස්‌ යුවලක්‌ එහි සිsරි විඳීමට පැමිණ සිටි අතර මීදුම් සළු පෙරවගෙන තවමත් නිදියහනේ සැතපෙන ඇල්ල කන්දේ සුන්දරත්වය කියා නිම කළ නොහැක.

පොඩි ඉඩකඩක්‌ පවතින කඳු මුදුනතේ එහේ මෙහේ යමින් අංශක 360 ක පරිසරය නිරීක්‍ෂණය කළ අතර පසෙකින් තුරු ලතා අතරින් හරි අපුරුවට පෙනෙන හෝටලයක්‌ සහ හෙලිකොප්ටර අංගනයක්‌ද දකුණු දිග ඈතින් රාවණා ඇල්ලද යන්තමින් දැකගත හැකිය. ඒ අතර ඇල්ල කන්දේ පාමුලින් දඟර ගැසී යන මාර්ගයේ කුඩා කෙලිබඩු මෙන් එහෙ මෙහේ දුවන රථවාහන සහ ඇල්ල කපොල්ල දිගේ කෙලවරක්‌ නොපෙනෙන දකුණු දිග ප්‍රදේශයම දැකගත හැකිය. දසතම විශාල කඳු පන්ති වලින් වටව තිබෙන මෙම කඳු මුදුනතට නමුනුකුල හා ඉන් ඔබ්බටත් හාලිඇල සහ උතුරු දිග තුරු හිස්‌ මුදුන් දක්‌වාත් දැක ගත හැකිය. තද හිරු සහිත පැහැදිලි දිනයක දකුණු වෙරළ පවා දැකිය හැකි බව අපට පැවසුවේ ගම් වැසියෙකුය.

බටහිරට වන්නට පිහිටි හෙල ඉතා ගැඹුරුය. එලෙසම එය ගල් කුට්‌ටි පිරුණු මාරාන්තික ඉසව්වක. අප මෙම කඳු වලල්ලේ ඉතිරි කඳු වැටි කිහිපයටත් ගමන් කළෙමු. එක්‌ වැටියක හෙලට නෙරා ගිය අපූරු හතරැස්‌ ගල් කුට්‌ටියේ විවිධ ඉරියව් වලින් හිඳ ඡායාරූප බොහොමයක්‌ ගත් අතර මෙම හෙල පහළ සිට වුවද මෙය තරණය කළ හැකි බව අපට වැටහුණි. නමුත් මෙම ස්‌ථානවලදී හෙලට වැටුණහොත් මරණය නියත බැවින් අප පරිස්‌සම් වුණෙමු. හරිත වර්ණයේ විවිධ වර්ණ අවස්‌ථා වලින් සැකසුණු පුංචි සිරිපා කඳු වලල්ලත් අවට පරිසරයත් මීදුම් රොද සමඟ කලාකරුවකු චිත්‍රයක්‌ පින්තාරු කරමින් සිටියහ. ඒ ඇසිල්ලේ අප එහි රසය විඳිමින් බොහෝ වේලාවක්‌ එහි ගත කොට හිරු මුදුන් වල හෝරාව කිට්‌ටුවේ නැවත කන්ද බැසීමට පටන් ගත්තෙමු. පසුව අප දවසේ ඊළඟ ක්‍රියාදාමය සොයා වනගත වුයේ දෙමෝදර දෙසටය. පුංචි සිරිපා කඳුවැටිය පොලිතින්, ප්ලාස්‌ටික්‌ වලින් අපවිත්‍ර නොකර තව තවත් සුන්දර ලෙස රැක ගත යුතුය. මන්ද මෙහි තිබෙන අපූර්වත්වය හා නිදහස ජීවිතයට අලුත් ජීවයක්‌ එක්‌ කරන සොඳුරු ඉසව්වක්‌ හෙයිනි.

සංචාරක සටහන හා ඡායාරූප -
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

Post a Comment

0 Comments