විවාහයට කළ හූනියමෙන් ඇදුරෙකුවූ ගුරුවරයා

විවාහය කැඩීමට පවුලේ අයම කළ හූනියම ඔහු ගුප්ත විද්‍යා ඇඳුරෙකු බවට පසු කල පත් කරයි.උපාධිය සමත් වූ පසු උපාධි උප ගුරුවරයෙකු ලෙසින් මට දුෂ්කර සේවය සඳහා ගලේවෙල මහා විද්‍යාලයට ස්‌ථාන මාරුවක්‌ ලැබිණි. එය වියළි කලාපයේ මායිමේ ඉතා ජනාකීර්ණ අක්‍රමවත් නගරයකි. නවාතැනක්‌ සොයා ගැනීම ඉතා දුෂ්කර විය. විදුහල්පති හා තවත් ගුරුවරු කිහිප දෙනෙක්‌ විදුහල්පති නිවසේ කාමරවල පදිංචිව සිටියහ. විදුහලේ ඉඩ ඇති කුඩා කාමරවල තවත් ගුරුවරු කීප දෙනෙක්‌ නවාතැන් ගත්හ. තවත් තුන් දෙනෙක්‌ සමඟ මා නවාතැන් ගත්තේ සාදා ඉවර වූ එහෙත් විවෘත කර නොතිබූ විද්‍යාගාරයේ කාමරයකය. බාගයක්‌ කළු ගලෙන් බැඳ ඉතිරි භාගය දැල් ගසා තිබූ බිත්තිවලින් හමා එන සුළං ගිනියම් අව්ව නිවාලන සිසිලක්‌ ගෙනෙයි. ඒත් මේ දැල් තුළින් පියාඹා එන මදුරුවන් නිසා රෑට විද්‍යාගාරය එකම මදුරු ගුහාවක්‌ බවට පත් වෙයි. විද්‍යාගාරය අසලම කූඩයක්‌ ලෙස අතු රවුමට විහිද ගිය මයිල ගසකි. වැලි පාරෙන් එහා වැහි වතුර එකතු වූ අපිරිසිදු කුඩා වැවකි. ඒ කෙළවර තල් ගස්‌ පේළියකි.

විද්‍යාගාරයේ අප සමඟ අලුතින්ම පදිංචියට එකතු වූයේ මැදිවිය පසු කළ විමලසූරිය මහතාය. කලක්‌ විදුහල්පතිවරයකු ලෙස කටයුතු කළ ඔහු ඒ තනතුර අතහැර දමා ගමට යැමේ පහසුව සලකා මේ ලොකු විදුහලේ උපාධි උප ගුරුවරයකු ලෙස මාරුව ලබාගෙන ඇත. ඔහු මිටිය. මහතය. උපැස්‌ යුවළක්‌ නිතර පළඳී. ජාතික ඇඳුම අඳියි. උදරය ඉදිරියට නෙරා ඇත. රාත්‍රි කල කෑමට පසු බොහෝ වේලා නින්ද නොයන ඔහු උස්‌ හඬින් තනිව සංස්‌කෘත- ශ්ලෝක කියයි. මැදියම් රැය පසු කළ විට ගොරවමින් නින්දට වැටෙයි. මදුරුවන් තලමින් ඩහදිය පෙරමින් නින්ද නැතිව සිටින විට ඔහු තම අතීතය රස කරමින් අපට කියයි.

" ඔයා කොහොමද ගුප්ත කටයුතු ඉගෙන ගත්තේ?"

"ඒක දිග කතාවක්‌. මම කියන්නම්." 

ඔහු කතාව අරඹයි. 

"මම තරුණ කාලේ හුඟක්‌ කවි ලියන්න පුරුදු වුණා. ඒ කාලේ තිබුණා හුඟක්‌ මාස්‌පතා පළ වන කවි සඟරා. ඒ සඟරාවල මගේ කවි පන්ති මගේ පින්තූරෙත් එක්‌ක නිතර පළ වුණා. ඒ කවි කියවලා රස විඳපු තරුණ ගුරු මහත්මියක්‌ මට ලිපි එවන්න පටන් ගත්තා. මාත් ඒ කාලේ හිටියේ ඈත පිටිසර පුංචි ඉස්‌කෝලේ විදුහල්පති විදිහට. පාළුව යන්නටත් එක්‌ක මම ඒ ලිපිවලට උත්තර ලියන්න පුරුදු වුණා. ටිකෙන් ටික ආස්‌සරේ වැඩි වුණා. ඒත් දෙන්නට දෙන්නා දැකලා නෑ. එක දවසක්‌ කතා කරගෙන හමුවුණා. ඒ නෝනා කුලයෙන් තරමක්‌ අඩුයි. මම ඒක සැලකුවේ නෑ. ඒත් ගෙදරින් උත්සවය කියන කොට ගෙදර ඔක්‌කොම තදින් විරුද්ධ වුණා. හේතුව අර කුල ප්‍රශ්නය. ඒත් මගේ තනි අදහසට මං විවාහ වුණා.

"ඉතින්"

ඔහු මොහොතක්‌ නිහඬව මුණිවත රකියි. ඉන්පසු නිශ්ශබ්දතාව බිඳිමින් කතාවට වැටෙයි. "විවාහය වුණු දවසේම මට නැඟිටින්න බැරි වෙන විදිහට තදින් අසනීප වුණා. ඇඳෙන් නැඟිටින්නත් බැරි වුණා. මුළු ඇඟම ගින්දරෙන් පුච්චනවා වගේ දනවා. රෑට ඩිංගක්‌ දැවිල්ල අඩු වෙනවා. රෑටත් පැයක්‌ දෙකක්‌ ඇඟ මුළුමනින් වෙනස්‌ වෙලා මුත්‍රා කරන්න බැරි වෙන විදිහට පුරුෂ නිමිත්ත ඇඟට ගිලිලා. මනමාලි මට සාත්තු කරමින් ඉඳගෙන අඬනවා. දොස්‌තරලා ළඟට ගියා. මුළු ඇඟම හෝදිසි කරලා කිසිම ලෙඩක්‌ නෑ කිව්වා."

"බෙහෙත් බිව්වාට කිසිම පළක්‌ නෑ. නෑවා වගේ මුළු ඇඟේම ඩාදිය ගලනවා. ඇඟ පිච්චෙනවා. පුරුෂ නිමිත්ත අතුරුදන් වුණා වගේ. අන්තිමේ ඉංගී්‍රසි වෙදකම අත්හැරලා සිංහල වෙදකමට බැස්‌සා. සිංහල බෙහෙත් ගත්තු වෙද මහත්තයා ටිකක්‌ වයස නක්‌ෂත්‍රයත් හොඳට දන්න කෙනෙක්‌. ලෙඩේ හැදුණු විදිහ එයා මගෙන් ඇහුවා. මම ඔක්‌කොම විස්‌තර කිව්වා. එයා නිමිත්තක්‌ බැලුවා. හිතුවක්‌කාරකමට කර ගත්තු විවාහය කඩන්න පවුලේම අය කරපු කොඩිවිනයක්‌. මම මේක සුව කරන්නම් කියලා පොරොන්දු වුණා. වෙද මහත්තයා නියම කරපු ජාති අරගෙන නියමිත දවසේ බොහොම රහසේ එයාගේ ගෙදරට ගියා. අලුයම් වෙලාවේ පුද පූජා ඔක්‌කොම දීලා මන්ත්‍ර කියලා අළු පුහල් ගෙඩිය කැපුවා. ඒ එක්‌කම මම තරුණ කාලේ හිටපු විදිහට ඇඟට පණ ආවා. මුළු ඇඟම ආයෙත් පරණ විදිහට ලැබුණා. හරියටම මැරිලා ඉපදුණා වගෙයි. වෙද මහත්තයා රහසේ කරන්න උපදෙස්‌ වගයක්‌ දුන්නා. මහ ගෙදර අය ගෙදර නැති වෙලාවක මම කුස්‌සියේ ළිප හාරලා බැලුවා. ඒ ළිප යට මගේ රූපය වගේa රූප ගොඩක්‌ කපලා කටු ගහලා වළලලා ඒ ඔක්‌කොම අරන් අයින් කළා. ළිපේ ගින්දර පත්තු වෙලා අර කටු රූප රත් වෙන කොට තමා මුළු ඇඟම ඉවසන්න බැරි තරමට පිච්චෙන්න පටන් ගත්තේ. ළිප පත්තු වෙවී තියෙනකල් මුළු ඇඟම දනවා පිච්චෙනවා. ඇඟ නිවුණේ ළිප නිවුණම. හූනියම කළේ විවාහය කැඩිලා දෙන්නා වෙන් කරන්න."

"මම නොදන්නවා වගේ හාරපු ළිප වහලා දැම්මා. ඊට පස්‌සේ මාරුවක්‌ හදාගෙන ඈත ඉස්‌කෝලෙට නෝනත් එක්‌ක ගියා. ඒ හූනියමට කියන්නේ කලවා බන්ධනය කියලා. ඒක කරන්නේ හතුරන් විනාශ කරන්න. එහෙත් අපේ පවුලේ අය මගේ විවාහයට තරහට මේක කළේ මට- හරියට කසාද බැඳපු දවසේ මේ අසනීපය හැදුණේ. අවුරුදු තුනක්‌ ඇඩු කඳුළින් නෝනා දාසියක්‌ වගේ මට ඇප උපස්‌ථාන කළා. මං වෙනුවෙන් දුක්‌ වින්දා මම ලෙඩ රෝග සනීප වුණාම බුලත් අරගෙන වෙද මහත්තයා ළඟට ගිහින් වැඳලා මේ වෙදකම ගුප්ත ශාස්‌ත්‍ර මට උගන්වන්න කියලා ඉල්ලුවා. කාලයක්‌ මම වෙද මහත්තයාගෙන් මේ ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙන ගත්තා. ඒ අතරතුර පොතපත කියවලා දැනුම වැඩි කර ගත්තා."

" එතකොට කොහේද විමලේ වැඩ කළේ?" 

"සේරුවිල කිට්‌ටුව බොහොම දුෂ්කර ගොවි ජනපද ඉස්‌කෝලෙක. ත්‍රිකුණාමලයට ගිහින් ලාන්ච් එකේ නැඟලා තමයි කලපුවෙන් ගියේ. ඉන්න හිටින්න බැහැ අවුකූටකයේ. සුළඟත් එක්‌ක වැල්ල ගහනවා. ගමනාගමනය හරි දුෂ්කරයි. කෑම බීම ගිනි ගණන්. මිනිස්‌සුත් ලෙඩට බෙහෙත්වලට වඩා විශ්වාස කළේ යන්ත්‍ර මන්ත්‍ර බලි. මුලින්ම මම ඉස්‌කෝලෙන් පස්‌සේ පුංචි පුංචි පූජා සාත්තු කරන්න පුරුදු වුණා. ඒකෙන් ලැබුණු ආදායම ජීවන වියදම අඩු කර ගන්න උදව් වුණා. ඔය කාලේ දේවතා ආකර්ෂණීය අධි මානසික බලය ටිකෙන් ටික මට ලැබුණා. අල්ලායී ජනපදයේ දුෂ්කරම විදුහලක මම මුල් ගුරුවරයකු විදිහට හිටියා. ඔය කාලේ තමයි විද්‍යාලංකාරය විශ්වවිද්‍යාලයක්‌ විදිහට ආරම්භ වුණේ. මම ගෞරව උපාධියට බාහිරව ලියාපදිංචි වුණා."

"පාඩම් කරන්න පොතක්‌ ඇල්ලුවේ නෑ. විභාගය කොහොම ලියන්නද කියලා හිත හිතා හිටියේ. එක දවසක්‌ පාන්දර මට ඔක්‌කොම ප්‍රශ්න හීනෙන් පෙන්නුවා. ඒ ප්‍රශ්න ලියාගෙන මම උත්තර සොයා ගත්තා. තුන් හතරවතාවකට හීනෙන් ප්‍රශ්න පත්තර පෙන්නන කොට මම නැඟිටලා ලියා ගෙන ඒවාට උත්තර සූදානම් කර ගත්තා. පුදුමය කියන්නේ ඒ ප්‍රශ්න ඔක්‌කොම ඒ විදිහට ප්‍රශ්න පත්තරවලට ඇවිත් තිබුණා. මට බාහිර ගෞරව උපාධිය පළමු පන්තියේ සාමාර්ථ්‍යයක්‌ ලැබුණා. අල්ලායී වගේ දුෂ්කර ප්‍රදේශයක හිඳගෙන ගෞරව බාහිර උපාධිය පළමු පන්ති සාමාර්ථයක්‌ ඇතිව සමත් වුණා කියලා මට විශේෂ ප්‍රශංසාවක්‌ උපාධි ප්‍රදාන උත්සවයේදී ලැබුණා."

"ඊට පස්‌සේ?" 

"අල්ලායිවල ඉඳලා දඹුල්ලේ කණ්‌ඩලම ජනපද විදුහලට විදුහල්පති ලෙස මාරුවක්‌ ආවා. ඒ කණ්‌ඩලම ජනපදය ආරම්භ වුණු කාලයේ. හරිම දුෂ්කරයි. දඹුල්ලේ ඉඳලා ගියේ පයින්. මුළු ජනපදයම පාලනය කළේ ජනපද නිලධාරීන් මුල් ගුරු නිවස තිබුණේ කොළණි ඔපිසරගේ ගේ ළඟ. කොළණි ඔපිසර ගමේ මිනිස්‌සු වගේ මාවත් පාලනය කරන්න උත්සාහ කළා. අවුරුද්දකට විතර පස්‌සේ දවසක්‌ ලොකු බහින් බස්‌වීමක්‌ වුණා. බලපන් අද රෑට උඹට වෙනදේ. මම කිව්වේ දුරදිග හිතලා නොවෙයි. කරුමෙට ඒ මනුස්‌සයාට හිටියේ අවුරුදු දහයක විතර එක දුවක්‌. එදා රෑ කුප්පි ලාම්පුව පෙරළිලා අර කෙල්ලගේ ගවුම ගිනි අරගෙන ඉස්‌පිරිතාලෙට යන කොට කෙල්ල මැරිලා. ඒක මගේ හපන්කමට වෙච්චි දෙයක්‌ නොවෙයි ඒ ළමයාගේ කරුමට වෙච්චි දෙයක්‌. මේක මගේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් වුණා කියලා පහුවදාම ජනපද නිලධාරි බඩු මුට්‌ටුත් බැඳ ගෙන ගමෙන් ගිsහින් ඈතට මාරුවක්‌ හදා ගත්තා. ගමේ අය ඊට පස්‌සේ මට බොහොම බය පක්‌ෂපාතව සලකන්න පුරුදු වුණා. අවුරුදු පහක්‌ කණ්‌ඩලමේ වැඩ කරලා ගෙදර යන්න එන්න පහසුවටයි. මුල් ගුරුකම දමලා ගහලා මම උප ගුරුවරයෙක්‌ විදිහට මෙහාට ආවේ."

විමලසූරිය මගේ අතින් ඇද ගෙන එළියට රැගෙන යයි. අහසේ ඇති තරු එකින් එක පෙන්වා මට පැහැදිලි කරයි. ඔහුට නින්ද නොයයි. මට නිදිමත උතුරයි.

ඔහු උසස්‌ පෙළ පන්තියට ඉගැන්වූයේ සිංහලයි. කිසිම දවසක ඔහු උසස්‌ පෙළ පන්තියේ අකුරක්‌ නුගන්වයි. පන්තියට ගොස්‌ ඉඳ ගෙන පත්‍රය දිගෑරගෙන ඇස්‌ පෙනුම අඩු නිසා කාලපරිච්ඡේදය නිම වන තුරු පත්‍රය කියවයි. ළමුන් කීවේ ග්ලැසියරය එනවා කියලයි. එහි අර්ථය ලොකු හිම කුට්‌ටිය යනුයි. එහෙත් විභාගය ළං වන විට ඔහුට ප්‍රශ්න පත්‍රය සිහිනෙන් පෙනෙයි. ඔහු නැඟිට සිංහල ප්‍රශ්න පත්‍රය ලියා ගනියි. ඔහු ඒ ප්‍රශ්න පත්‍රය ළමුන්ට දී එයට පිළිතුරු පැහැදිලි කර හොඳින් ලියා දෙයි. ඒ අතරතුර ළමුන්ගේ කේන්දර උපන් වේලාවට ගෙන්වා ගෙන විභාගයට පිටත් වීමට සුබ නැකැත් සාදා දෙයි. ඔහු දෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රයට එයි. ළමුන්ට විශිෂ්ට සාමාර්ථ ලැබෙයි. විදුහලේ හොඳම ප්‍රතිඵල ඇත්තේ පන්තියේදී අකුරක්‌වත් නුගන්වන විමලසූරියටයි.

"කොහොමද ඔය ප්‍රශ්න පත්‍ර දැක ගන්නේ?"

"විභාගයට සති දෙකක්‌ විතර තියෙද්දී මට හීනෙන් ප්‍රශ්න පත්‍ර පේනවා. මම ඒවා ලියාගෙන හොඳට උත්තර ගලපලා ළමයින්ට උත්තර කියලා දෙනවා."

මා සමඟ එක්‌ව අවුරුදු කිහිපයක්‌ විද්‍යාගාරයේ නැවතී සිsටි ඔහු තම අත්දැකීම් රසවෑහෙන ලෙස මට කියයි. දූරියන් වාරයට ඔහු ගමට ගිය විට දූරියන් ගෙඩි දෙක තුනක්‌ කටු සැස මට රැගෙන එයි. මා ගමට මාරු වීමට පෙර ඔහු ස්‌ථාන මාරුවක්‌ ලබා ගම් පළාතට ගියේය. අවුරුදු දෙක තුනකට පෙර ඔහු මට ලිපියක්‌ එවා තිබුණි. ජීවිතයේ සැඳෑ කාලය ගෙවමින් දරු මුණුපුරන් සමඟ ඔහු තාම ජීවත් වන බව මට සිතෙයි.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ 
එස්‌. කේ. ජයවර්ධන

Post a Comment

0 Comments