රත්නපුර නගරය කළුවර වෙලාය. රාත්‍රි ආහාර ගැනීමට අපි කෑම කඩයක් සොයාගෙන වීථියක් දිගේ ඇවිද ගියෙමුq. පාර අද්දර කෑම විකුණන පෙට්‌ටි කඩයක් සෙනග වටකරගෙනය. කඩේට කිට්‌ටු කරන විට දැනෙන කෑම පුසුඹට බඩේ ගින්දර තව, තවත් අවුළුවන තරම්ය. විදුලි බුබුළින් ආලෝකවත් කළ පෙට්‌ටි කඩයට අපි ද හිස එබුවෙමු. අදහාගැනීමට නොහැකිය. සුරූපී තායි ලඳුන් සිව් දෙනකු පුංචි කඩේ ක්‍ෂණිකව ආහාර පිළියෙළ කරන්නාහ. අපේ දෙනෙත් කෑම පිසින ඒ ලඳුන් අසල නතර විය.
'සර්ලා කෑම ගෙනියන්නද... කාලා යන්නද...' පෙට්‌ටි කඩයේ අයකැමියේ සිටි තරුණයකු අපගේ දැහැන බින්දේය.
'මෙතැන කෑම කන්නත් පුළුවන්ද...' පෙරළා අපි ඔහුට පැනයක් යොමු කළෙමු.
'ඔව්... අපේ රෙස්‌ටුරන්ට් එක පහළ තියෙනවා...'
'µන් එකක් ගන්න නම් ඉක්‌මනට යමං. දොළහට වහනවා...' අප අසලින් පහළට ගමන් කරන එක් තරුණයකු ඔහු සමග ගමන් ගත් අනෙක් තරුණයාට එසේ කියනවා ඇසිණි.
'මොකක්‌ද ඒ හරුපය...' අපි ඒ තරුණයන් දෙදෙනා ගමන් කරන තැන ගැන විපරම් කළෙමු. පෙට්‌ටි කඩය අසලිsන් පහළට ගිය ඔවුන් දෙදෙනා රෙස්‌ටුරන්ට් එකට ඇතුළු වන දොරෙන් එහා තවත් දොරකින් ඇතුළු විය. කුස ගින්දර අමතක කළ අපි තරුණයන් ගිය තැන ගැන විපරම් කළෙමු. වැඩි වෙලාවක් ගියේ නැත. තැන මොකක්‌ද කියා අපට සොයාගැනීමට හැකි විය. ඒ රත්නපුරයට ඇති එකම රාත්‍රි සමාජ ශාලාවය.
'අපිත් ඇතුළට ගිහින් බලමුද...' මා සමග ගමන් ගත් සගයා අලුත් යෝජනාවක් ගෙනාවේය.
'අදහස හොඳයි. සේරටම ඉස්‌සෙල්ලා බඩට මොකුත් දාගෙන ඉමු...' මම ඔහුගේ යෝජනාව ප්‍රතික්‌ෂේප නොකරමි.
ප්‍රථමයෙන් අපි කෑම කෑමට රෙස්‌ටුරන්ට් එකට ඇතුළු වීමු. ටේබල් නැත. හවුස් µqල්ය. සෑම ටේබල් එකක් මතම, මත් පැන් බෝතල්ය. දුම් දමන රසමසවුළු තසිම්ය. රෙස්‌ටුරන්ට් එකේ වැඩ කරන බහුතරය තායි කාන්තාවන්ය. කෑම ගෙන අවසාන වූ පසු සෙමෙන් අපි රාත්‍රි සමාජ ශාලාවට ඇතුළු වන දොරටුව දෙසට ගියෙමු. ඒ අසලම යුරෝපීය ඇඳුමකින් හැඩ වූ තරුණයකු ටිකට් පොතක් තබාගෙන සිටියි.
'ගුඩ් ඊවිනින් සර්...' ප්‍රියමනාප සිනාවකි.
'ඇතුළට යනවද. එක් අයකුට රුපියල් දහයි...'
අපි රුපියල් දෙදහසක් දී ටිකට් පත් දෙකක් ලබා ගත්තෙමු.
'හරි සර් මෙතැනින් යන්න...' ඒ තරුණයාම ඇතුළත දොරක් පෙන්නුවේය.
කොළඹ සමාජ ශාලාවල මෙන් කළු ඇඳුම් ඇගලාගෙන, මුහුණට රෞද්‍ර පෙනුම ආරූඪ කරගත් සිනාව ගිල ගත් දොරටුපල්ලන් මෙතැන නැත. ඇතුළු කිරීමට පෙර සියොලඟ අත පත ගාන්නේ ද නැත. පිවිසීම හරිම චාම්ය. සුහදශීලීය.
'ඇතුළත කොහොම වේද...' දෙගිඩියාවෙන් අපි රතු පලස මතින් පියගැට පෙළ නැග්ගෙමු.
ඩුම්... ඩුම්... ගාන ශබ්දය ඇසේ... කැකිරි පැළෙන සිනා හඬ දෝංකාර දෙයි. පියගැටපෙළ අවසානයේ තවත් දොරකින් අපි ඇතුළු වීමු. ගලා ආ වේග රිද්ම සංගීතයට දෙකන් අගුළු වැටුණු ගානය. ශාලාව අඩ අඳුරුය. වෛවර්ණ ලයිට් එළි අඳුරු ශාලාව නෙක අයුරින් වර්ණ ගන්වන්නේය. ශාලාව මැද වේදිකාව සිසාරා පාට පාට එළි විහිදුවන විදුලි බුබුළකි. එය මත තරුණ, තරුණියන් එක පොදියට නටති. සිප වැළඳ ගනිති. එක නාඩගමකි. සුන්දර ලලනාවෝ අපහට ද මඳහස පාති. සූරාවෙන් සූර් වූ ඇතැම්හු සැප අසුන්වලට බර දී ලඳුන් සමඟ කති, බොති, සතුටු වෙති. ඇතැම් තරුණියන් තරුණයන්ගේ කකුල් මතය. ශාලාව වටා ඇති සෝපා සියල්ලම පිරී ගොස්‌ය. හිඳ ගැනීමට අසුනක් සොයාගැනීමද ලේසි පහසු නැති තරම්ය. අපි ශාලාව වටා ඇවිද ගියෙමු. එහෙත් අසුනක් හිස් වන සේයාවක් හෝ නැත. අප තැනක ගල් වෙද්දි දෙනෙත් අසුනක් සොයාගෙන ශාලාව වටා ගමන් කළේය. එහෙත් දෙනෙත් නතර වූයේ අනඟ රැඟුම් පාන නළඟනන්a අසලය.
'එන්න අතන ටේබල් එකක් තියෙනවා...' ටීෂර්ට් එකකින් සහ ත්‍රී ක්‌වාටා කලිසමකින් සැරසුණු හීන්දෑරී තරුණියක් එසේ කියා අප වෙතට බීර කෑන් දෙකක් පිළිගැන්නුවාය.
'බියර් කෑන් දෙක අපෙන් පුංචි තෑග්ගක්. අපිට මොනවද දෙන්නේ...' එසේ කියූ තරුණිය මාගේ මිත්‍රයාගේ එක් අතකින් ඇදගෙන හිස් සෝපාව දෙසට ගියාය. ඇමට පැටළුණු මාළුවකු මෙන්ම මගේ සගයා ඇය පසු පසින් ගොස් සෝපාවට වැටිණි. මමත් ඔහු අසලිsන්ම අසුන් ගත්තේය.
'දැකලා පුරුදු මුහුණු නෙමෙයි... රත්නපුරේ නෙමෙයි නේද...' තරුණියගේ කතාව හරිම හීන්ය. ඇය අප සමඟ තොඳොල් වන අතරේ ඇස්‌වලින් තවත් තරුණියකට කතා කරනවා මගේ නෙත පැටලිණි.
ඇසිපිය සැලෙන ඇසිල්ලට තවත් තරුණියක් අප අසල පෙනී සිටියාය. කෙටි ගවුමකින් සැරසුණු ඇය තරමක් උස මහතය. පෙනුම පියකරුය.
ඔයාගේ ගම් පළාත කොහේද...?
'කුරුණෑගල...'
කොළඹ ක්‌ලබ්වල වැඩ කරලා නැද්ද...?
'නෑ. මේක තමයි පස්‌ට් ජොබ් එක...'
'මෙතැන හොඳ ද... ගෙවීම් කොහොමද...' එක දිගට මම ප්‍රශ්න වැලක් ඉදිරිපත් කරමි.
'මෙතැන ආරක්‍ෂාව හොඳයි. ක්‌ලබ් එකේම උඩ තට්‌ටුවේ තමයි අපි නැවතිලා ඉන්නේ. අපිව බලා ගන්න වෙනම ඇන්ටි කෙනෙක් ඉන්නවා. කෑම බීම, ඉඳුම් හිටුම් සේරම නොමිලේ. මාසෙකට සතුටු වෙන්න පුළුවන් ගානක් හොයා ගන්නත් පුළුවන්. එළියට බහින්නේ නිවාඩුවට ගෙදර යන දවසට විතරයි. කොළඹ නයිට් ක්‌ලබ්වලට යනවා කියන්නේ ගැලවීමක් නෑ. මරු වැලක් පටලවා ගත්තා වගෙයි. ගම්වල මිනිස්‌සු අවංකයි. මේ ක්‌ලබ් එකට එන කස්‌ටමර්ලත් අපෙන් ගන්න දේට වඩා දෙගුණයක් අපිට දෙනවා...' වක්‌කඩේ කැඩුවා ගානය. ඇය එක දිගට කතා කරන්නීය.
'ඔයත් එක්‌ක කීයක් විතර මෙතැන ඉන්නවද...'
'දොළහක් ඉන්නවා. ඔයා ආවේ මාව ඉන්ටවිව් කරන්නද... µන් එකක් ගන්නද... නිකං මෙතැන තැක්a ගැහෙන්න මට කාලයක් නෑ. ඉක්‌මනට කියන්න මොනවද බොන්නේ...' මා අසල ගිරවියක් වී සිටි ඇය එක පාරටම ආරූඪ විය.
'ඔයාගේ යාළුවා අපිට බියර් කෑන් දෙකක් දුන්නා. අපි ඒක බොමු...' මම ඇයට දුම්මල අහුරක් විසි කළෙමි.
'මම බියර් බොන්නේ නෑ...' නෝක්‌කාඩුවෙන් මෙන් ඇය මූණ දික් කර ගත්තාය.
'මොනවද බොන්න තියෙන්නෙ...' මම ඇසුවෙමි.
'ඔයා බාබා වෙන්න හදනවා නේ. නයිට් ක්‌ලබ්වලට ගිහිල්ලම නැතුව වගේනේ කතා කරන්නේ...' ඇය උපහාසයට මෙන් සිනාසෙන්නීය.
'හරි... හරි... නයිට් ක්‌ලබ් ගිහිල්ලා තියෙනවා. මම ඇහුවේ මෙතැන මොනවද තියෙන විශේෂ බීම කියලා...' මමත් ඇයට සත්තමක් දැම්මේය.
'ඔයා ඉල්ලන ඕනෑම මත්පැන් වර්ගයක් මම දැන් ගෙනත් දෙනවා... ඉල්ලන ඕනෑම බයිට් එකක් ගෙනත් දෙනවා. බයිට් හදන්නේ තායි ගෑනු. පට්‌ට රසයි. කෑවොත් ආයිත් එනවා...' කොක් හඬලා ඇය සිනා සෙන්නීය.
'පේනවා නේද අපේ බාර් එක...' ඇය ආඩම්බර ලීලාවෙන් නැවතත් සිනා සෙන්නීය.
මගේ දෙනෙත් ඒ දෙසට ඉගිලිණි. ශාලාවේ එක පසක කවුන්ටරය අසල බිත්ති කබඩ් එක පිරෙන්නට මත්පැන් බෝතල් අඩුක් කර තිබේ. ඒ අසල ශීතකරණයක් පිරෙන්නට බියර් සහ අධි ශක්‌ති ජනක පාන බෝතල්ය. තව ශීතකරණයක මිදි, ඇපල්, දොඩම් විවිධ පලතුරු ගොඩවල්ය.
'දැක්‌කා නේ... කවුන්ටරයට ගිහින් අවශ්‍ය දේ ඕඩර් කරලා බිල ගෙවන්න. සෙල්µa සර්විස්. ඔයාලා සතුටින් කීයක් හරි දුන්නොත් ඇරෙන්න අපිට බිල් දාන්න තහනම්. මෙතැන කොළඹ ක්‌ලබ්වලට වඩා වෙනස් නේද...' ඇය දැන් මාව ඉන්ටවිව් කරන්නීය.
'පොඩි, පොඩි වෙනස්‌කම් තියෙනවා...' මම කීවෙමි.
පොඩි නෙමෙයි, ලොකු වෙනස්‌කම් තියෙනවා. විනෝද වෙලා අන්තිමේ බිල දැක්‌කම පිච්චෙන්න ඕනා නෑ. අතේ තියෙන ගානට හරි යන්න බීලා කාලා යන්න පුළුවන්. පන්දහේ ඉඳලා විසිපන්දහ වෙනකම් පැකේඡ් තියෙනවා. විසි පන්දහසේ පැකේඡ් එකට බ්ලැක් ලේබල් බෝතලයක්, මස් මාළු කිලෝ එකහමාරක විතර ගීල් එකයි, පලතුරු ප්ලේට් එකයි, රෙඩ් බුල් කෑන් 4 ක් තියෙනවා. සිගරට් පැකට් එකකුත් තියෙනවා. පන්දහෙ පැකේඡ් එකට විස්‌කි කාලයි, රෙඩ් බුල් කෑන් දෙකයි, බයිට් ප්ලේට් දෙකක් තියෙනවා. එහෙම නැති නම් ලිකර් ඩ්‍රෑම්වලට ගන්නත් පුළුවන්. බයිට් ප්ලේට් වෙනම ගන්නත් පුළුවන්. පලතුරු ප්ලේට් එකක් 400 යි. කජු ප්ලේට් එකක් 600 යි. චිකන් ප්ලේට් එකක් 800 යි. කැමති දෙයක් ගන්න. අපි හොඳ සර්විස් එකක් දෙන්නම්. යනකොට අපිව සන්තෝස කරන්න ඕනා...' ඇය දෑස් පුංචි කර දත් විරිත්තුවාය.
මගේ මිත්‍රයා කවුන්ටරයට ගොස් ඩ්‍රෑම් ගානට මත්පැන් වීදුරු හතරක් සහ බයිට් වර්ග දෙකක් ඇණවුම් කර බිල ගෙව්වේය. අප අසල අසුන්ගෙන සිටි කාන්තාවන් දෙදෙනා ද කවුන්ටරය අසලය. මම සෝපාව මත තනි විය.
රත්නපුරයට රාත්‍රි සමාජ ශාලාවක් හඳුන්වාදී ඇත්තේ සිංගප්පූරු ජාතික ජෝසිම්ය. අසූව දශකයේදී ජෝසිම් ලංකාවට පැමිණියේ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු හවුල් කරගෙන කොළඹ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමටය. එවකට ආණ්‌ඩුවෙන් ඔහුට කිසිදු බාධාවක් නොවීය. වසර ගණනාවක් මෙරට පදිංචිව සිටි ජෝසිම් තම කැසිනෝ අණසක කොළඹ පතුරුවා හැරියේය. 1982 වර්ෂයේදි ජෝසිම් රත්නපුරයේ ද කැසිනෝ ශාලාවක් විවෘත කළේය. ජෝසිම් එම සමාජ ශාලාවට නම තබා ඇත්තේ 'පාතයා' කියාය. ජෝසිම් රත්නපුරයේ කැසිනෝ ශාලාවක් විවෘත කර ඇත්තේ ඒ වන විට මැණික් මිලට ගැනීමට පැමිණි විදේශීය ව්‍යාපාරිකයන් ඉලක්‌ක කරගගෙනය. ඔහුගේ ඉලක්‌කය සාර්ථක විය. කැසිනෝ ශාලාව විවෘත කළ අලුත කොළඹ අයත් කැසිනෝ සෙල්ලම් කිරීමට රත්නපුරයට ගියේය. එහෙත් වැඩි කාලයක් ගියේ නැත. පාතයා කැසිනෝ ශාලාව පැරදිණි. පවත්වාගෙන යැමට බැරි විදිහටම පැරදිණි. අවසානයේ කැසිනෝ ශාලාව වසා දැමිණි. පසුව රත්නපුරේ කැසිනෝ ශාලාව රාත්‍රි සමාජ ශාලාවක් ලෙස විවෘත කෙරිණි. එවකට පැවති රජය සමග තිබූ බැඳීම් බිඳී යැමත් සමග ජෝසිම්ව ද මෙරටින් පිටුවහල් කෙරිණි. එහෙත් ඔහු ආරම්භ කළ කැසිනෝ ශාලා තවමත් කොළඹ වැඩය.
'ටිකක් නටමුකෝ...' අසල වාඩි වී සිටි තරුණිය මගේ අතින් ඇද්දාය.
තවම ඔයාගේ නම කිව්වෙත් නෑනේ...? ඇය කළ යෝජනාව නොඇසුණු ගානට මම ඇයගේ පෞද්ගලික ජීවිතයට ඇතුළුවීමට උත්සාහ කළෙමි.
'වත්සලා...'
හරි ලස්‌සන නමක්... වත්සලාට වයස කීයද...?
'මොකටද කසාද බඳින්නද...'
'කසාද බඳින්නේ පස්‌සෙ නේ. මුලින් වයස කියන්නකෝ...?
'26 යි...' මුසාවක් කියා සිතිය නොහැකිය. බැලූ බැල්මට ඇයගේ පෙනුම ළාබාලය.
ඇයි මේ විදිහේ ජොබ් එකක් තෝරගත්තේ...?
'ඒක දිග කතාවක්. මම ටිකක් ඩාන්ස් කරනවා...' ඇය කතාව මගහැර වේදිකාවට දිව්වාය.
ශාලාව තුළ බඹරු මෙන් එහෙට, මෙහෙට දුවන පනින තරුණයන් වැඩි වයසක් නැති ගානය. ඒ අතර විදේශීය තරුණයන් ද පස් හය දෙනෙක් විය. ඔවුන්ගේ ඇඟ දැවටෙන විදේශීය යුවතියන් ද සිව් දෙනකු සිටිනවා ඇස ගැටිණි. සියලු දෙනා උපරිම µන් එකේය. විටෙක අසුන් ගෙන සිටින සෝපාවෙන් නැඟිට වේදිකාවට පැන නටති. ඒ අතර කෙල්ලො, කොල්ලො කිටි, කිටියේ තුරුලු වෙමින් සිප වැළඳ ගනිති. හති වැටෙනකොට නැවතත් සෝපාවට වැටෙති. 'මේ මගේ කෙල්ල... අර උඹේ කෙල්ල...' කියා බදාගෙන කෑමක් නැත. ශාලාව තුළ සියලුම ලළනාවන් පොදු වස්‌තුය. සතුටු වී හති වැටී සෝපාවක වැතිරි සිටින තරුණයන් කිහිපදෙනකු= සමඟ අපි කුළුපග වෙමින් කතාබහ කළෙමු. ඒ අතර සිටි තරුණයන් තිදෙනකු පැමිණ තිබුණේ පිළියන්දල ප්‍රදේශයේ සිටය. ඒ පුෂ්ටිමත් මුහුණුවලින්ද වැඩි වයසක් නොපෙනෙන තරම්ය. තරුණයන් තිදෙනාගේ ඇඳුම් පැළඳුම් විලාසිතා ද හරිම චාම්ය. අඩියෙන්, අඩියට සමාජ ශාලා තිබෙන කොළඹට නොගිහින් රත්නපුරයේ සමාජ ශාලාවටම පැමිණියේ ඇයි දැයි කියා අපි ඔවුන්ගෙන් ඇසූ පැනයට ඔවුන්ගේ පිළිතුර වූයේ වෙනසක් බලාපොරොත්තුවෙන් පැමිණි බවය. තාරුණ්‍යය වෙනසට කැමැතිය. එහෙත් 'මොකක්‌ද අපි මේ කරගත්තේ කියා සිතෙන්නේ...' වෙනස කොඩිවිනයක් වූ විටය.
සමාජ ශාලාව තුළ දී අප කුළුපගව කතාබහ කළ තවත් තරුණයන් සිව් දෙනකු පැමිණ සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙනි. ඔවුන්ගේ කතාව අනුව රත්නපුරේ රාත්‍රි සමාජ ශාලාව හොඳට හුරුපුරුදුය. එමෙන්ම ඔවුන් ද හොඳ විනෝදකාමීන්ය. සම අවපැහැ ගැන්වුණු කාෂ්ටක පෙනුමැති කිහිපදෙනකු ද සමාජ ශාලාව තුළ විනෝද විය. ඔවුන් විනෝද වන හැටි ඈතින් සිට බලා සිටියා හැරෙන්නට කුළුපග ඇසුරක් පවත්වන්නට අපි අකැමැති වීමු. අප කතාබහ කළේ මතින් බරිතව බෙල්ල සාක්‌කුවට නොවැටුණු ප්‍රියමනාප තරුණයන් සමඟ පමණි.
'කෝ ඔයාලා ඩාන්ස් එකක් දාන්නෙත් නෑ. වටේ ඇවිද, ඇවිද ඉන්නවා විතරයි. තව පැය භාගයයි තියෙන්නේ. ක්‌ලබ් එක ක්‌ලෝස් කරනවා...' අපට සේවා සැපයූ වත්සලා නැවත අප වෙතට පැමිණ එසේ කීවාය.
'එහෙම කෙහොමද නයිට් ක්‌ලබ් එකක් වහන්නේ පාන්දර තුන හතරට නේ...' මගේ හඬ තරමක් ශබ්ද විය.
'නිතීයට අනුව ක්‌ලබ් එකක් දොළහට වහන්න ඕනා. අපි නිතීයට වැඩ...' මුලින් ඇය අපට පෙන්නූ ළෙන්ගතුකම අතුරුදන් විය. අප අසලින් ඈත් වූ අය මොහොතකින් සමාජ ශාලාව තුළින්ම නොපෙනී ගියාය.
රත්නපුරයේ මැණික් කර්මාන්තයෙන් ද සැප විඳින්නේ අතලොස්‌සකි. බහුතරය මැණික් පතල් තුළ අපා දුක් විඳින්නාහ. එසේ දින ගණන් පතල් තුළ සිර වී සිටි මිනිස්‌සු මානසික ආතතියෙන් මිදෙන්නට නයිට් ක්‌ලබ් එති. එහෙත් දුක් විඳ හරි හම්බ කරන තුට්‌ටුව නළඟනන් ඉදිරියේ වෙන්දේසි කරන්නට පෙර වරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතුය. මන්ද මාස ගණනකින් හම්බ කරන මුදල් නයිට් ක්‌ලබ් එකකදී පැයකින් වියදම් කළ හැකි නිසාය. 'සැපක්' ගැනීමට යැමට පෙර ඒ ගැනත් සිත තබාගැනීම කාට, කාටත් ඇඟට ගුණය.
තරංග රත්නවීර
0 Comments