කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා බණ්‌ඩාරනායක මැතිණිය විසින් දියත් කළ අරගලයේදී ඇගේ ස්‌ත්‍රීත්වය හා මාතෘත්වය එතුමියගේ පෞරුෂයෙන් මනාව ප්‍රකට වු අතර එය ඇයගේ වචනයෙන් සහ ක්‍රියාවෙන් ද ව්‍යක්‌ත ලෙස ප්‍රකාශ විය.
එතුමිය ලංකාවේ ප්‍රථම අගමැතිනිය මෙන්ම ලොව ප්‍රථම කාන්තා රාජ්‍ය නායිකාව වීමද හේතුකොට ගෙන වනිතා පරපුර බලගැන්වීමෙහි ලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළාය. එය සිදු වූයේ 1975 වසරේ දී මෙක්‌සිකෝවේ දී පවත්වන ලද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කාන්තාවන් සඳහා වන ප්‍රථම ලෝක සම්මේලනයේ ප්‍රධාන කථිකයා ලෙස දේශනය පැවැත්වීමට ආරාධනා කිරීමට දශක එකහමාරකට ප්‍රථමයෙන්ය. එතුමිය කිසිදු පැකිලීමකින් තොරව පහසුවෙන් එම කාර්යය ඉටු කළේ එයටම උපන් හපනියක් ලෙසයි. ඇයගේ එම භූමිකාව ශ්‍රී ලාංකික මෙන්ම සෙසු ලෝක ප්‍රජාවගේ ද පිළිගැනීමට හේතු විය.
ශ්‍රී ලංකාවේ අගමැති වීමට පෙර එතුමිය මහජනයා ඉදිරියේ පෙනී සිටියේ ප්‍රථමයෙන් ඇමැති කෙනෙක්‌ව සිට පසුව ලංකා අගමැති වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ හුදු භාර්යාව වශයෙනි. කෙසේ වුවද තරමක් අප්‍රකට තත්ත්වයක් පැවති මේ කාලයේ දී පවා එතුමියගේ කැමැත්තෙන් ම තම සිතැඟි පරිදි පුළුල් ජන කොටසක් සමග ගැවසෙමින් කාන්තා පක්‍ෂය බලගතු කිරීමෙහිලා විශේෂ උනන්දුවකින් ක්‍රියාකිරීම ඒ වන විටත් ආරම්භ කර තිබුණි. මහිලා සමිති ව්‍යාපාරය මගින් ඇයට අවශ්‍ය වූයේ ග්‍රාමීය කාන්තාවගේ කුසලතා දියුණු කිරීම සහ ආදායම් උපයා ගැනීමේ විභවතා පුළුල් කිරීමයි.
තම ස්‌වාමි පුරුෂයා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ ජීවිතය සාහසිකයෙකුගේ අතින් හදිසියේ අතිශය සංවේගී ලෙස අවසන් වූ අවස්‌ථාවේදී ක්‍රියා කළ ආකාරයෙන් ඇයගේ ප්‍රකෘති ස්‌වභාවය හා ධෛර්යය, මනාව ප්‍රකට විය. තම පෞද්ගලික සංෙවේගය නොතකා එතුමිය එම අවස්‌ථාවට උචිත පරිදි ඉදිරිපත් වී තම පවුලට මෙන්ම රටට ඉටුවිය යුතුව තිබුණු වගකීම් ගැහැණියකට පමණක් සුවිශේෂ වූ තුලනාත්මකව සහ එඩිතර බවින් යුතුව ඉටු කළාය.
දැඩි විශ්වාසයකින් ක්‍රියාකර තම ස්‌ත්‍රීත්වය රැකගෙන සමාජයේ යහපත උදෙසා දායක වීමටත් ඇති හැකි විය. මේ අනුව රාජ්‍ය නායිකාව ලෙස තම තත්ත්වය රැකගෙන එම භූමිකාව ස්‌ත්‍රීත්වයත්, මාතෘත්වයත් මුසුකර ක්‍රියාවට නැංවීමේ හැකියාව එතුමියට ලැබුණි. මෙම පූර්ණ සහ ප්‍රායෝගික ප්‍රවේශය මගින් ඇයට සියලු තරාතිරමේ කාන්තාවන්ගේ සිත් ගැනීමට හැකි විය.
යම් ප්‍රශ්නයක් පිළිබඳ සියලු පැතිකඩ ගැන මනා වැටහීමකින් යුතුව ක්‍ෂණික තීරණ ගෙන ක්‍රියාත්මක වීමට තියුණු බුදධියක් ඇය සතු විය. වේගයෙන් මෙන්ම කාර්යක්‍ෂමශීලීව කටයුතු කිරීමේ මෙම හැකියාව ගැහැණුන්ට අත්වන්නේ කුසගින්නේ, අපිරිසිදුව හඩා වැළපෙන තම ළමා ළපටියන්ට කවා පොවා සතපා ඔවුන්ගේ වැඩකටයුතුවල යෙදෙන ගෙදර දොරේ වටපිටාවක් තුළින්ය. මෙවන් සන්දර්භයක් තුළ තමනට හුරු පුරුදු වූ සැහැල්ලු මෙන්ම විවේකී වටපිටාවක් තුළ ක්‍රියා කිරීමට බොහෝමයක් කාන්තාවන් හට ඉඩක් නොමැත. මේ අනුව පැරැණි ආප්තෝපදේශයක් වන "කාලයක්, රළ පහරත් ගැහැනියකට අවශ්‍ය පරිදි නවතින්නේ නැත" යනුවෙන් වෙනස් කිරීමට බණ්‌ඩාරනායක මැතිණිය සතු ශක්‌තිය මා සිතන අන්දමට ඇයට ලැබී ඇත්තේ තම නිවසේ භාර්යාවක් ලෙසත්, මවක් ලෙසත් ලද ආභාෂය කරණකොට ගෙනය.
තම ස්‌ත්‍රීත්වය සමග රාජ්‍ය කටයුතු කිරීමෙහි දී එතුමියට උපකාරී වූ තවත් අංශයක් නම් එතුමිය සතු කාල කළමනාකරණ හැකියාවයි. අගමැති තනතුරට අමතරව එතුමිය අමාත්‍යාංශ තුනක් මෙහෙය වූවාය. ඒවානම් ආරක්‍ෂක, විදේශ කටයුතු සහ ක්‍රමසම්පාදන සහ අමාත්‍යාංශයි. එහි ප්‍රතිඵලය වූයේ මෙම අමාත්‍යංශයන්ගේ අවධානය යොමු විය යුතු සියලුම ප්‍රශ්න ගැන ක්‍රියා කිරීමට හැකි වනසේ කාලය උපරිම ආකාරයෙන් උපයෝගී කර ගැනීමට සිදුවීමය. තම නිවෙස්‌වල පැන නඟින අසීමිත ප්‍රශ්නවලට මුහුණ දීමේ දී නිතැතින්ම කාලය කළමනාකරණය කිරීමට සෑම තරාතිරමකම ස්‌ත්‍රීන්ට සිදුවේ. තම නිවසින් බැහැරව වැඩ කරන කාන්තාවට මෙම ප්‍රශ්නය තවත් සංකීර්ණ වේ. එනම්, නිවසේ අවශ්‍යතා මෙන්ම තම වැඩ බිමේ අවශ්‍යතා ගැනද සැලකිලිමත් වීමට අවශ්‍ය වන හෙයිනි. 1976 වසරේ දී කොළඹ පැවති පස් වන නොබැඳි ජාතීන්ගේ සමුළුවේ දී එතුමිය සතු නොපැකිලව තීරණ ගැනීමේ හැකියාව සහ කටයුතු මෙහෙයවීමේ සහ පාලනය කිරීමේ කෞශල්‍යත්වයන් මනාව ප්‍රදර්ශනය විය. එක් එක් ක්‌ෂේත්‍රයන් සතු වගකීම් එම නිලධාරීන් විසින් ඉටු කරන ආකාරය නිරීක්‌ෂණය කර මෙහෙයවීම සහා එතුමිය අධ්‍යක්‌ෂ ජනරාල්වරයකු ද පත් කළාය. පසුව එම එක් එක් නිලධාරියා තමන්ට ඉදිරිපත් කළ වාර්තා අනුව සමස්‌ත සංවිධාන කමිටුවේ කාර්යයන් මෙහෙයවීමට එතුමියට හැකිවිය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ රාජ්‍ය නායකයින් අනූ දෙදෙනෙකුගේ සහභාගීත්වය ඇතිව පැවැත්වූ පස් වන නොබැඳි සමුළුව ඉතා සාර්ථක සමුළුවක් ලෙස නිමාවට පත්වීමයි.
බණ්‌ඩාරනායක මැතිණියගේ අචල විශ්වාසය වූයේ කාන්තා අයිතීන් තහවුරු කිරීම සඳහා සාමය සහ සමගිය පූර්ව අවශ්‍යතාවක් බවයි. එතුමියගේ විශ්වාසය වූයේ ඒවා ආවේණික බැඳීමකින් යුක්‌ත, බෙදා වෙන් කළ නොහැකි කරුණක් බව සහ එය ස්‌වාභාවික යුක්‌ති ධර්මතාවන් මත පදනම්ව ඇති බවය. ඇය කියා සිටියේ කාන්තාවන්ගේ පරිශ්‍රමය විය යුත්තේ සමාජයේ කිසියම් තැනක් ලබාගැනීම නොව සමාජය තුළ නියෝජනය වන ප්‍රබල කොටසක් විය යුතුය යන්නයි. මෙම සත්‍යය පිළිගැනීම වෙනත් අංශයන්හි දියුණුවට පසුව, කාන්තා අයිතිවාසිකම් ලබාදීම අනුක්‍රමිකව ඉටුවිය යුත්තක් නොව කාන්තාවන්ගේ සම අයිතිය මිනිස් අයිතිවාසිකමක් බැවින් එය නොපමාව ඉටුවිය යුතුය යන බව පිළිගැනීමයි. ඇයගේ විශ්වාසය වූයේ කාන්තාවන්ට සම අයිතියක් නොදී සිටීම මනුෂ්‍ය ශිෂ්ටාචාරයට කැළලක් බවයි. එතුමිය ලොව පුරා ස්‌ත්‍රී වර්ගයා සමග එක්‌වී සටන් වැදුනේ එම විශ්වාසයන්හි පිහිටාය.
එතුමිය කාන්තා අයිතීන් ලබාගැනීමට කෙතරම් ප්‍රබල සටනක යෙදුනත් බිම් මට්‌ටමේ යථාර්ථයන් නොසලකා හැරියේ නැත. සමාජ ආර්ථික විවිධත්වය හා ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් පැවති අසමාන සංවර්ධනයෙන් සංකීර්ණත්වය ගැන එතුමියට මනා වැටහීමක් තිබුණි. සමානත්වය පිළිබඳ දෘඩ සංකල්පයක එල්බ නොගෙන, හැඩ ගැසීම සහ එක්‌ව ක්‍රියා කිරීම ගැන ඇය විශ්වාසය තැබුවාය. ලෝක බැංකුව සඳහන් කරන පරිදි එක ප්‍රමාණයක පාවහන් සැමට ගැලපෙන්නේ නැත යන ප්‍රකාශය සනාථ කරමින් එක් විසඳුමක් සැමට නොගැලපෙන බව ඇයට ප්‍රත්‍යක්‌ෂ වී තිබුණි.
එතුමියගේ මතය, එක්‌සත් ජාතීන්ගේ පළමුවන කාන්තා සම්මේලනයේදී ගෙනහැර දැක්‌වූයේ මෙසේය.
* සියලු සංවර්ධන පරිශ්‍රමයන්හි සහ අරගලයන්හි පරිසමාප්තිය සාමකාමී එකඟතාවය සහ සමගියයි. බෙදා වෙන් කළ නොහැකි මෙම තත්ත්වයන් සමාජයේ සහ පොදු ජන ජීවිතයේ සෑම තලයකදීම පැහැදිලිව ප්‍රකාශ විය යුතු අතර එය දක්‌නට ද තිබිය යුතුය. ජන සමාජයට, රටට සහ අවසානයේදී මුළු මිනිස් පවුලටම, සාමය සහ සමගිය කි¹ බසිනුයේ නිවසේ සිටය.
* අපගේ මේ සියලු සාකච්ඡාවන්ගේ හරය වන්නේ, ස්‌ත්‍රීන් සහ පුරුෂයන් අතර සමානත්වය මත පදනම් වූ හවුල් සංවර්ධන වැඩපිළිවෙළක් තුළින් පමණක් දරිද්‍රතාව, විරැකියාව, ලෙඩ රෝග සහ නොදැනුවත්කම තුරන් කළ හැකිය යන අදහසෙහි මම තරයේ එල්බ ගෙන සිටිමි. එසේ වුවද, එක් එක් සමාජයේ දේශපාලන, සමාජ, සංස්‌කෘතික සහ ආර්ථික වෙනස්‌කම් නොතකන සමානත්වය පිළිබඳ දෘඪ නිර්වචනයක් මට පිළිගත නොහැක.
* සමානත්වය පිළිබඳ දෘඪ සංකල්පයට විල්පයක් ලෙස ස්‌ත්‍රී පුරුෂ අනුපූරකත්වය ඉදිරිපත් කළ හැක.
* අප සොයමින් සිටින්නේ අනුවර්තනය බව අමතක නොකළ යුතුය මන්ද යත් කල් පවතින ජීව ඒකකයක රජයන සිද්ධාන්තය අනුවර්තනයයි.
* දශක ගණනාවක් පුරා මානව පවුල ගෙන ගිය එක්‌සත් පරිශ්‍රමයක අවසන් ප්‍රතිඵලය ලෙස මෙම සම්මන්ත්‍රණයෙන් කාන්තාවන්ට සමාජයේ මතුපිට තැනක් ලැබීම ගැන පමණක් මම සෑහීමකට පත් නොවෙමි. කාන්තාවන් සමාජ සංයුතියේ වෙන්කළ නොහැකි කොටසක් බැවින් ඔවුන්ට මතුපිට තැනක් අවශ්‍ය නොවේ.
* සමාජයේ තමන්ට හිමි භූමිකාව තෝරා ගැනීමේ අයිතිය කාන්තාවන් සතුය.
* ස්‌ත්‍රී අයිතිවාසිකම් නඟා සිටුවීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ වෙනසක් ඇති කිරීමට යම් ප්‍රමාණයක ආර්ථික ස්‌ථාවරත්වයක් සහ ස්‌වශක්‌තියක් ඇතිවන තෙක් බලා සිටිය යුතුය යන්න අපට පිළිගත නොහැකිය. අප රටවල පවතින ආර්ථික සංවර්ධන ක්‍රියාදාමය කෙතරම් සංකීර්ණ ද යත්, එවැනි අනුපූරක ප්‍රවේශයක් ගැන විශ්වවාසය තැබිය නොහැක්‌කේ ගැහැනුන්ගේ ප්‍රශ්න සමාජීය සහ ආර්ථික වශයෙන් වඩා වාසිදායක තත්ත්වයක් උදාවන තෙක් කල් දැමිය නොහැකි හෙයිනි.
* දැන් අප ඉදිරියේ දක්‌නට ලැබෙන්නේ මෙතෙක් ජාත්‍යන්තර ප්‍රජාව වෙන් වෙන්ව මුදුන් පමුණුවා ගැනීමට ප්‍රයත්න දැරූ කරුණු තුනක් අව්‍යාජව හා ප්‍රායෝගිකව ගැලපීමට දරන උත්සාහයකි. එනම්, මූලික මිනිස් අයිතීන්, පළමුවන සහ දෙවන සංවර්ධන දශකයන්ගේ අපේක්‍ෂාවන් සහ නිරායුධ දශකයේ අපේක්‍ෂාවන්ය.
* මෙලෙස අදහස් හුවමාරු කර ගැනීම මෙන්ම, මෙම සම්මන්ත්‍රණයේ හරය විය යුත්තේ ජාතීන්ගේ අත්දැකීම් බෙදාහදා ගෙන ඒවා ආශ්‍රයෙන් විශ්වීය අරමුණු හා සම්බන්ධ පොදු හරයක් සකසා ගැනීම විය යුතුය යන අදහස මා බොහෝ සේ ධෛර්යමත් කර තිබේ.
* ස්‌ත්‍රීන්ගේ ඒකායන අරමුණ නම් ජීවිතයේ සියලුම අංශ සම්බන්ධයෙන් පිරිමින් සමග නියම සමානතාවයක් ඇතිකර ගැනීමය. මෙම අරමුණ පදනම්වී ඇත්තේ ස්‌වාභාවික යුක්‌ති ධර්මය මතයි. යම්තැනක එයට ඉඩ ඇහිරී ඇත්නම් එය සමස්‌ත මානව ශිෂ්ඨාචාරයටම කැළළකි.
* තම අයිතිවාසිකම්වලට සහ විභවයන්ට අවකාශ ලබා ගැනීම සඳහා කාන්තාවන් ලොවපුරා ගෙන යන අරගලයට මා එක්‌වන්නේ මෙවන් සහයෝගීතාවයක් මත පිහිටාය.
මෙයින් කාන්තා අයිතිවාසිකම් ගැන එතුමියගේ දැඩි උනන්දුව ප්‍රකාශ වනවා පමණක් නොව බොහෝ නායකයන් තුළ දක්‌නට නොලැබෙන පෞරුෂත්ව ලක්‍ෂණයක් ද පෙන්නුම් කරයි. මෙම සම්මන්ත්‍රණයට මම ප්‍රධාන පිළිවෙත් නිලධාරිනය ලෙස එතුමිය සමඟ ගියෙමි. ආපසු පැමිණි විගස, කාන්තාවන්ගේ තත්ත්වය නඟා සිටුවීම සඳහා අප අනුගාමී කටයුතු වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන මගේ මත ඉදිරිපත් කරන ලෙස එතුමිය මට කීවාය. මම එයට ආරම්භයක් වශයෙන් ව්‍යාපෘති තුනක් යෝජනා කළෙමි.
(1) කාන්තාවන් සඳහා වන විශේෂිත ව්‍යqහයක් පාලන තන්ත්‍රය තුළ ස්‌ථාපිත කිරීම.
(2) කාන්තාවන්ගේ වැඩකටයුතු ගැන තොරතුරුවල ඌණතාවයක් තිබීම නිසා ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගැන ප්‍රකාශනයක් සකස් කිරීම.
(3) කාන්තාවන්ට සම අයිතිවාසිකම්වල අවශ්‍යතාව හුවා දක්‌වන චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබූ චිත්‍රපටය සඳහා වූ අත් පිටපතෙහි අඩුපාඩු තිබුණු බැවින් එය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උද්ගත විය. විශේෂ ව්‍යqහය සඳහාවූ යෝජිත කාන්තා කාර්යාංශයක් පිsහටුවීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කළ නමුත් කොළඹ පැවැත්වීමට නියමිතව තිබුණ පස්‌වැනි නොබැඳි සමුළුව ආශ්‍රීත වැඩ කටයුතු සඳහා බණ්‌ඩාරනායක මැතිණියට නිතර විදේශ ගත වීමට සිදුවූ හෙයින් එය ක්‍රියාත්මක කිරීමට නුපුළුවන් විය. එය පසුව 1978 දී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් එය පිහිටුවන ලදි. මෙම අංශයෙහි ක්‍රමයෙන් ඇති වූ ප්‍රගතිය හේතුවෙන් කාන්තා අමාත්‍යාංශයක් බිහිවුණ අතර කාන්තා ප්‍රඥප්තියක්‌ද ප්‍රකාශයට පත්කරන ලදී. එය ක්‍රියාත්මක කිරීමට කාන්තාවන් පිළිබඳ කමිටුවක් ද ස්‌ථාපනය කරුණි. මේ සියල්ල බණඩාරනායක මැතිණියගේ උනන්දුව, මූලිකත්වය සහ උත්සාහය නිසා දියත් වූ බව අමතක නොකළ යුතුය.
එක්‌සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණයේදී කාන්තා අයිතීන් අරභයා බණ්‌ඩාරනායක මැතිණිය නැගූ හඬ ලොව පුරා පැතිර ගොස් වැඩි කලක් යාමට පෙර ආසියාව, මැදපෙරදිග යුරෝපය සහ ලතින් ඇමරිකාවේ කාන්තා රාජ්‍ය නායිකාවන් මතුවිය. වර්තමානයේදී ද වනිතා අයිතීන් යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා වූ අරගලයන් ලොව පුරා සියලු තලයන්හි නොනැවතී ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒවා දේශපාලන කැපවීම් ලබාගැනීම උදෙසා ක්‍රියාත්මක වෙමින් පවතී. නමුත් මෙම තත්ත්වය වෙනස් කිරීමට බණඩාරනායක මැතිණියට හැකි විය.
"සිරිමාවෝ" ලොව ප්‍රථම අගමැතිනියට උපහාරයක් යන ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.
මානෙල් අබේසේකර
0 Comments