අඩු ඉඩකින් වැඩි අස්‌වැන්නක්‌ ලබා දෙන ගොටුකොළ

ගෙවත්තක බිමේ හෝ බඳුන්ගතව පහසුවෙන් වගා කර ගත හැකි ඔසු ගුණ පිරි ගුණදායක කොළ එළවළුවක්‌ ලෙස ගොටුකොළ සඳහන් කළ හැකි ය. පඳුරු ගොටුකොළ හා වැල් ගොටුකොළ ලෙස ගොටුකොළ වර්ග දෙකකි. පඳුරු ගොටුකොළ සමාන්‍යයෙන් සෙ.මී. 1 - 1.5 ක්‌ දිගැති පත්‍ර සහිතව පඳුරක්‌ ආකාරයට වැඩේ. එක්‌ පඳුරක පත්‍ර 100 ක්‌ 125 ක්‌ අතර තිබිය හැකිය. වැල් ගොටුකොළ වල නම් පත්‍රවල ප්‍රමාණය අනූව වර්ග තුනකි. විශාල පත්‍ර සහිත ගොටුකොළ වර්ගයේ පත්‍ර සෙන්ටිමිටර 5.5 ක්‌ පමණ දිග වන අතර මධ්‍යස්‌ථ ප්‍රමාණයේ පත්‍ර ඇති ගොටුකොළ වර්ගයේ පත්‍රයක දිග සෙන්ටිමීටර් 2.5 ක්‌ පමණ වේ. කුඩා පත්‍ර ඇති වර්ගයේ පත්‍රයක්‌ සෙන්ටිමීටර් 1.5 ක්‌ පමණ දිගය. 

ගොටුකොළ, පොල්, කොස්‌, දෙල් වැනි විශාලව වැඩෙන ගස්‌වල යටි වගාවන් ලෙස හෝ තනි වගාවන් ලෙස පවත්වා ගෙන යා හැකි ය. පස සෝදාපාළුවට ලක්‌ වීම වළක්‌වා ගැනීමට වැල්ගොටුකොළ වගා කරයි. වියළි ප්‍රදේශවල ගොටුකොළ වගා කිරීමට පටන් ගන්නා විට වැසි සමය ආරම්භ කළ යුතු ය. නිරෝගී පැළ වලින් මධ්‍යස්‌ථ ප්‍රමාණයේ පඳුරු තෝරා ගෙන සිටුවිය යුතු වේ. පඳුරු ගොටුකොළ සිටුවීමේ දී පඳුරු දෙකක්‌ අතර සෙන්ටිමීටර් 20 ක පමණ පරතරයක්‌ තැබීමට මතක තබා ගත යුතු වේ. එසේ ඉඩ තැබීමෙන් ගොටුකොළ පඳුර සාරවත්ව වර්ධනය වේ. 

ගොටුකොළ සිටුවීමේ දී පාත්ති වල සිටුවන්නේ නම් වියළි ප්‍රදේශ වල ගිල්වූ පාත්ති ද තෙත් ප්‍රදේශ වල උස්‌ පාත්ති ද යොදා ගැනීම සුදුසු වේ. ගොටුකොළ සුටුවීමට සකස්‌කර ගන්නා පාත්ති වල පස්‌ බුරුල් කර හොඳින් පස්‌ කැට පොඩිකර හොඳින් ජලය බැස යන ආකාරයට සකස්‌ කර ගත යුතුය. පැල සිටුවීමට පෙර පාත්තිවලට කාබනික පොහොර යොදා සතියක්‌ පමණ තැබීමෙන් ගොටුකොළවලට හිතකර සරු පසක්‌ ඇති කර ගත හැකි ය. ගොටුකොළ සිටුවීමට වඩා සුදුසු වන්නේ සවස්‌ කාලයයි.

පඳුරු වල විචිත්‍ර පුල්ලි ඇති වීම ගොටුකොළ වෛරස්‌ රෝගයේ ලක්‌ෂණයකි. එවැනි ලක්‌ෂණ ඇති පැළ විනාශ කර දැමීමෙන් රෝගය පැතිරී යැම පාලනය කර ගත හැකිය. කොළ පුල්ලි රෝගය, මුල් කුණු වීමේ රෝගය, හිටු මැරීම වැනි රෝගවලට ද ගොටුකොළ ගොදුරු වේ. රෝගී ගොටුකොළ පඳුරු ගලවා විනාශ කර දැමීමට පාත්තිවලට හොඳින් හිරු එළිය වැටීමට සැලැස්‌වීම හොඳින් ජලය බැස යැම සැලැස්‌වීම හා පාත්ති පිරිසිදුව තබා ගැනීමෙන් නිරෝගී ගොටුකොළ වගාවක හිමිකරුවෙක්‌ විය හැකි ය. එසේ ම කුඩා ඉඩකින් සැලකිය යුතු ගොටුකොළ අස්‌වැන්නක්‌ ද ලැබෙනු ඇත. තම ගෙවත්තේ වගා කිරීමෙන් වස විසෙන් තොර එළවළුවක්‌ ලෙස ආහාරයට ගැනීමට ද හැකි වේ.

සරත් විජයගුණවර්ධන

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us