භගන්දර රෝගය සුව කරන බෙහෙත් හදන්නේ මෙහෙමයි


ප්‍රශ්නය - අප පසුගිය සතියේ සාකච්ඡා කළේ භගන්දර රෝගයේ ස්‌වභාවය සහ එය ශරීරය තුළ පිහිටන ආකාරය. එසේම සැත්කම් මගින් මෙය සුවපත් කරන්නට බැරි බවත්, සුවපත් කළ හැකි එකම ක්‍රමය ආයුර්වේදය බවත් ඔබ පෙන්වා දුන්නා. අද සාකච්ඡා කරන්නේ මෙය සුව කිරීම සඳහා ආයුර්වේදය මගින් යොදා ගන්නා ඖෂධ මොනවාද කියන එකයි.

වෛද්‍ය පුෂ්පකුමාර මහතා - භගන්දර රෝගය සම්බන්ධයෙන් අප කළ ආයුර්වේද පර්යේෂණ ගණනාවක්‌ තිබෙන බව මෙහිදී කිව යුතුයි. කොළඹ වෛද්‍ය පීඨය සමඟ එකතුවෙලත් අප පර්යේෂණ කරලා තිබෙනවා. මේ පර්යේෂණවලට අදාළ පත්‍රිකා ඇමරිකාවේත් ශ්‍රී ලංකාවේ ආයුර්වේද සමීක්‍ෂා සඟරාවේත් පළකර තිබෙනවා. මේ අතර මේ රෝගයට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාරය ලෙස හඳුනාගෙන තිබෙන ක්‍ෂාර සූත්‍ර නමැති බෙහෙත් නූල් ප්‍රතිකාර ක්‍රමයයි. ක්‍ෂාර කියන්නේ ALKALINE සූත්‍ර කියන්නේ නූල. අප නූලක්‌ ගෙන වසර දහස්‌ ගණනක්‌ පැරැණි විද්‍යාත්මක ක්‍රමයකට අනුව එයට මුලින්ම ක්‍ෂාර වර්ගයකුත් ඊළඟට දලුක්‌ කිරිත් ඊළඟට කහ චූර්ණයත් ආලේප කරනවා.

ප්‍රශ්නය - ක්‍ෂාර හැටියට ඔබ ගන්නේ කුමක්‌ද? 

වෛද්‍ය පුෂ්පකුමාර මහතා - අපාමාර්ග නමැති ශාකයේ අළු තමයි අප ගන්නේ. අපාමාර්ග ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Achyranthus Aspera මේ ශාකය තුළ ඖෂධීය වටිනාකමක්‌ ඇති රසායනික ද්‍රව්‍ය කිහිපයක්‌ තිබෙනවා. අතීතයේ සිටි ඉන්දියානුවන් මෙය ඖෂධ සෑදීමට යොදා ගත්තා. ආතතිය සහ කාංසාව සඳහා ප්‍රතිකාර කිරීමේදීත් මෙය ඖෂධයක්‌ හැටියට පාවිච්චි කරනවා. අපාමාර්ග ගසට සිංහලෙන් කියන නම තමයි ගස්‌කරල් හැබ. එහෙමත් නැතිනම් කරල් සැබ. ඊළඟට අප ගන්නවා දලුක්‌a ගහේ කිරි, Euphorbia antiquoram නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පතොක්‌ වර්ගයේ ශාකයක්‌ තමයි, දලුක්‌ කියන්නේ. වසර දහස්‌ ගණනක සිට විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට දලුක්‌ ශාකය යොදාගෙන තිබෙනවා. ශාරීරික වේදනාව, මළබද්ධය, ඇඟේ හටගන්නා ඉදිමුම, චර්ම රෝග, කන් කැක්‌කුම, ස්‌නායු පද්ධතියේ රෝග, බෙලහීනතාව, උදර රෝග, අක්‌මාවේ රෝග, රුමැටික්‌ ආතරයිටීස්‌, කැස්‌ස, ඇදුම, දියවැඩියාව අර්ශස්‌ රෝගය යනාදිය මේ ශාකය යොදාගෙන සුවපත් කළ හැකියි. මෙහි අතුවලින් එන කිරිත්, මුල්වල පොතුත් ඖෂධ සෑදීමට යොදා ගන්නවා. එහෙත් අප මෙහිදී දලුක්‌ කිරි යොදා ගන්නේ ගම් එකක්‌ හැටියටයි. අපාමාර්ග හෙවත් කරල්සැබ ක්‍ෂාරයත්, දලුක්‌ කිරිත් කහ චූර්ණයත් කවන ලද නූල භගන්දර නලය දිගේ ඇතුළට යවා නිශ්චිත කලක්‌ තබනවා. විටින් විට නූල මාරු කරනවා. භගන්දර නලය තුළ ඇති නරක්‌ වූ පටක සහ රෝගී පටක ඉවත් කිරීමටත්, අලුත් නිරෝගී පටක වර්ධනය කිරීමටත් මේ ක්‍රියාවලියට පුළුවන්. ඊට පසු ක්‍රමයෙන් තුවාලය තුළ මස්‌ වර්ධනය වී භගන්දරය සුවපත් වෙනවා. සාමාන්‍යයෙන් සතියකට සෙන්ටිමීටරයක්‌ විතර තමයි සුවපත් කරගන්න පුළුවන් වන්නේ. සති කිහිපයක්‌ තුළ රෝගියා සෞඛ්‍ය සම්පන්න නිරෝගී කෙනෙක්‌ බවට පත් වෙනවා. මෙය තමයි භගන්දර රෝගයට තිබෙන විශිෂ්ටතම ප්‍රතිකාරය. එක කැපුම් පහරක්‌ නැතිව රෝගය සුව කරන්නට හැකි ක්‍රමය මෙයයි.

Post a Comment

0 Comments