පාරිසරික ගොවිතැන වෙනුවෙන් භාවිත කෙරෙන ස්වාභාවික පොහොර නිෂ්පාදන ක්‍රමවේද කීපයක්ම වේ. කොම්පෝස්ට් නිෂ්පාදනය, ජීව අඟුරු භාවිතය, කෘෂි වනවගා ක්‍රමවේද සහ ජීවාමෘත නිෂ්පාදනය මේ අතරින් ජනප්‍රිය ක්‍රම කීපයකි. මේ අතරම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වාදෙන නවතම ස්වාභාවික ශාක පෝෂක, දියර පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය නම්, 'මහීලතා සාරය' හඳුන්වා දීමයි. එනම්, ගැඩවිල් පණුදියර පොහොර නිෂ්පාදනය කිරීමේ තාක්ෂණික ක්රමවේදයයි. අතිරේක වියදමකින් තොරව නිවසේ එදිනෙදා භාවිතයට ගන්නා එළවළු පලතුරු සහ පළාකොළ වැනි දේවල් වල ඉවත දමන කොටස් ප්‍රයෝජනයට ගෙන, ගැඩවිල් පණුවාගේ උපකාරයෙන් නිපදවාගත හැකි මේ අනගි දියර පොහොර සාරය, සෙසු පොහොර විශේෂවලටත් වඩා වැඩි පෝෂණයක් ඔබගේ ගොවිබිම කරා ගෙන එයි.
මහීලතා සාරය නිපදවා ගැනීම.
නිවසේ මුළුතැන්ගෙයි එදිනෙදා භාවිතයට ගන්නා එළවළු, පලතුරු සහ පලාකොළ වර්ගවල කපා ඉවත දමන කොටස් ප්‍රයෝජනයට ගෙන, වියදමකින් තොරව, අමතර මහන්සියකින් හෝ කාලය වෙන් කිරීමකින් තොරව නිපදවා ගත හැකි මේ පෝෂක ද්‍රdවණය සොබාදහම් ගොවිතැනට ආශිර්වාදයකි. මේ සඳහා ඔබ කළයුතු වන්නේ ඉවත දමන එළවළු, පලතුරු කොටස් සපයාදීම පමණෙකි. ගොවියාගේ හිත මිතුරා ගැඩවිල් පණුවා ඔබට අවශ්‍ය තරම් දියර පොහොර නොමිලේම සපයා දෙයි. ඒ සඳහා ඔවුන් අපට උපකාර කරනු ඇත.
රතු හෝ රෝස පැහැති දිගටි හැඩයෙන් යුතු ගැඩවිල් පණුවා සපයා ගැනීම අසීරු කාර්යයක් නොවේ. අළුත් ගොම, වළං ඉඳුල් සෝදන ස්ථානවල පස තුළ මෙන්ම, නිතරම තෙතමනය පවතින පසේ මොවුන් වාසය කරන බැවින්, අවශ්‍ය පමණ පණුවන් සපයා ගැනීම පහසුවෙන් කළ හැකිය.
අවශ්‍ය ද්‍රව්‍ය
* එකක් මත අනෙක තැබිය හැකි ආකාරයේ ප්‍රමාණ දෙකකින් යුත් බේසම් හෝ බකට් දෙකක්.
* මතුපිට පස් කොටස් 04 යි
* වියළි ගොම කොටස් 01 යි
* ගැඩවිල් පණුවන් 50 දෙනෙකු පමණ
* කපා ඉවත දමන එළවළු කොටස්
ඇටවුම සැකසීම
01.ඔබ තෝරාගත් බඳුන් දෙකෙන්, ඉහළින් තබන බඳුන ගෙන එහි පතුලේ සිදුරු කීපයක් විදගන්න. අනතුරුව සිදුරු විදගත් බඳුනේ පතුල මත ගල්කැට තට්ටුවක් අතුරන්න.
02. මතුපිට පස් සහ වියළි ගොම එකට මිශ්‍රකර ගුලියක් ඇඹිය හැකි පදමට අනාගන්න. මෙහි තෙතමනය සියයට අසූවක් පමණ වීම වැදගත් වේ.
03. අනාගත් මිශ්‍රණය ඉහළින් තබන බඳුනේ ගල් කැබලි තට්ටුව මත අඟල් 06 ක් පමණ උසට අතුරන්න.
04. ප්‍රමාණයෙන් කුඩා බඳුන යට සිටින ආකාරයට භාජන දෙක සකස් කර නොතෙමෙන සෙවණ ඇති සිසිල් ස්ථානයක දින හතක පමණ කාලයක් තිබෙන්නට හරින්න.
05. ඇටවුම සකසා දින 07 කට පසු ඉහළ බඳුනට ගැඩවිලි පණුවන් ඇතුළු කර අඟල් හයක් පමණ උසට එළවළු කොටස් එකතු කරන්න. එතැන සිට එළවළු මට්ටම අඩු නොවන ආකාරයට අලුත් එළවළු කොටස් එකතු කරන්න. ගැඩවිලි පණුවන් බඳුනෙන් ඉහළට පැමිණෙන්නේනම්, එය වලකාලීමට බඳුනේ ඉහළ දාරමත සබන් ආලේප කරන්න. නොබෝ දිනකින් පහළින් ඇති බඳුනට දියර පොහොර එක්වීමට පටන් ගනී. ඒවා අවශ්‍ය විටෙකදී භාවිතයට ගත හැකිය. එළවළු කොටස් දිරාපත් වීමෙන් පසුව ඉතිරි වන කොම්පෝස්ට් පොහොර වියළා බෝගවලට යොදන්න. නැවත නැවතත් අලුත් එළවළු කොටස් යොදමින් දියර පෙහොර යාන්ත්‍රණය පවත්වාගන්න. මෙලෙස කිරීමෙන් නොකඩවා අඛණ්ඩව ඔබට අවශ්‍ය කරන මහීලතා සාරය නිපදවා ගැනීමට හැකිවේ.
බෝගවලට යොදන ආකාරය
දියර පොහොර කොටස් 01 ක් ජලය කොටස් 10 කට මිශ්‍ර කර ශාක පත්‍රමත හොඳින් තෙමෙන ලෙස සති දෙකකට වරක් ඉසින්න. දියර පොහොර ගුණාංගවලට අමතරව පළිබෝධ නාශක ගුණයද මෙම මිශ්‍රණයේ තිබේ.
මෙහි පොස්පරස් පෝෂකය බහුල බැවින් බෝගවල මුල් හට ගැනීම ක්‍රමවත්ව සිදුවේ. මෙහි පොටෑසියම් පෝෂකය බහුල බැවින් වගාවේ මල් හටගැන්වීම සඳහා සාර්ථකව භාවිතා කළ හැකිය. විෂ බීජ නාශකයක් ලෙසද, හෝමෝනයක් ලෙසද මෙම 'මහීලතා සාරය'' ක්‍රියා කරයි.
මේ අනුව මහීලතා සාරය නමින් හඳුන්වන ඉතාමත් පහසුවෙන් නිපදවාගත හැකි මේ ගැඩවිලි දියර පොහොර මිශ්‍රණය ගෙවත්තේ, ගොවිබිමේ පෝෂණය උදෙසා මා හැඟි මෙහෙවරක ඉටු කරන බව ඔබටද වැටහෙනවා ඇත.
* වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක ඩබ්.එම්. ගයාන් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.
මාදම්පේ චන්ද්‍රපාල අතලගේ
0 Comments