හෙළ ගොවියා ස්‌වාභාවික පොහොරින් පස සරු කළ හැටි


පැරණි ලාංකිකයන්ගෙන් අති බහුතරය යහපත් ජීවන වෘත්තියක්‌ හැටියට කෘෂිකාර්මික කටයුතු හා දැඩි ලෙස බද්ධ වී සිටි බව ප්‍රකටය. අතීත යුගයන්හි මෙරට පවුල්වල ස්‌ත්‍රී, පුරුෂ යොවුන් හැමදෙනා ගොවි කටයුතුවලට විවිධාකාරයෙන් දායක විය. ඒ හේතුවෙන් රටේ හැම පෙදෙසකම ගොඩමඩ ඉඩම් ස්‌වාභාවික පොහොරින් හා වගාවන්ගෙන් සශ්‍රික වූ අතර වැඩට කැපවූ ක්‍රියාශීලී ජනතාවක්‌ දක්‌නට ලැබිණ.

දේශීය පාරම්පරික වී වර්ගයන් මුල් කොටගත් සහල් නිපැයුමට අමතරව කුරක්‌කන්, මෙනේරි, මුං, තල ආදී ධාන්‍යයන්ද අල වර්ග, එළවළු, පලතුරු මෙන්ම කිරි පැණිද එකල බහුල විය. වී ගොවිතැන, හේන් ගොවිතැන, ගෙවතු වගාව එළගම හා මී ගව පාලනය මෙන්ම සහ බද්ධ වූ අතුරු කර්මාන්තද විය. මේ කිසිදු ආහාර නිපැයුමකට කෘත්‍රිම රසායනික යෙදවුම් භාවිත කළේ නැත. පසත් ජලයත් හිරු එළියත් ඔවුන්ගේ අගනාම සම්පත විය. අව්ව වැස්‌ස රැය දහවල යන ස්‌වාභාවික සංසිද්ධි උපයෝගී කරගෙන අගනා කෘෂි නිපැයුම් බිහි කිරීමට ඔවුහු අති දක්‌ෂ විය. කෘත්‍රිම රසායනික යෙදවුම් නොදැන සිටි ඔවුන් පස සරු කිරීමට යොදා ගත් ක්‍රමවේදයන් පරපුරින් පරපුරට උරුම වූ දැනුමෙන් සහ අත්දැකීමෙන් පෝෂිත විය.

"දැතේ මහන්සියෙන්" වැඩට දායක නොවී ආහාරපානාදිය ගෙන කාලය ගෙවීම එකල සැලකුනේ මහත් වූ "මදිපුංචිකමක්‌" "අවමානයක්‌" ලෙසිනි. ගොවි කටයුතු හොඳින් දැන සිටීම සහ ඒවායේ නිරත වීමට තරම් ජවසම්පන්නව සිටීම එකල ඉහළම පිළිගැනීමට ලක්‌ව තිබිණ. තමන් සතු ගොඩ මඩ ඉඩම් වගාවට යොදවා සශ්‍රිකව පවත්වා ගැනීමට හැම කෙනෙක්‌ම මහත් සේ උනන්දු වූයේ එකිනෙකාට උදව් උපකාර කර ගනිමින් සමගියෙන් බැඳී සිටිමිනි. බත බුලතින් රට සරු වූ හෙයින් ආහාර අහේනියක්‌ නොවීය.

ජලය ර¹ පවතින පහත් බිම් සුදුසු ලෙස සකස්‌ කොට කුඹුරු බවට පත් කෙරිණි. වී අස්‌වනු ලබාගත් පසු ඉතිරි වන වෙල් ඉපනැල්ල සහිත බිමට ගවයන් දක්‌කනු ලැබිණ. ඒ ශාක කොටස්‌ ගව ආහාර පිණිස වූ අතර "ගොම" කුඹුරු යායටම එක්‌විය. කුරුළු රෑන්වල "වසුරුද" එසේම පසට එක්‌විය. පිදුරුවලින් කොටසක්‌ පස පෙරළන තෙක්‌ කෙතටම පොහොර වූ අතර සෙසු කොටස "කරත්ත ගොනුන්ගේ" ආහාර පිණිස විය. නියරවල් දෙපස කපා ශුද්ධ කර ජලය සහිත ලියදිවලටම එක්‌ කෙරිණි. වී පොතු, දහයියා අළු ආදිය එක්‌ කළේද කුඹුරු බිමටය. ඒවා තෙත පොළව සමඟ එක්‌වී ශාක කොටස සමඟ කුඹුරුවලට දිරාපත් විය. කල්යල් බලා ජලය බැඳ උදැල්ලෙන් පස පෙරළන විට මී ගවයන් යොදා සීසාන විට, මේ තැම්බී ගිය පෙහොර තට්‌ටුව මඩ තට්‌ටුවක්‌ බවට පත්වේ. එවිට නොදිරා තිබෙන කොටස්‌ නියරවල් මතට ඉවත් කෙරේ. අනතුරුව පාත්ති වෙන්කර වැඩි ජලය ඉවත් වෙන්නට සලස්‌වා බිත්තර වී ඉසින්නට සූදානම් කෙරේ.

එයට අමතරව නව කන්නයකට කුඹුරු බිම් සූදානම් කරන්නට පෙර, පිට ඇළවල් ශුද්ධ කිරීම හා පිට වැටවල් ඇත්නම් කපා දැමීමේදී එක්‌වන ශාක කොටස්‌ කුඹුරු බිමටම යොදා දිරාපත් වන්නට හැරීමක්‌ද සිදු කෙරිණ.

මෙසේ සරු කෙරෙන කුඹුරු බිමේ පස ශක්‌තිමත් නියරවල් යොදා සකස්‌ කෙරෙන්නේ අමතර ජලය ඉවත් කිරීමේදී සරු පස සේදී ඉවත්ව නොයන පරිදිය. "පුරන් කෙටීම", "දෙකෙටුම", "පෝරුගෑම" යනුවෙන් රුහුණේ ගොවීන් හඳුන්වන බිම් සකස්‌ කිරීමේදී සිදු වන්නේද කුඹුරු බිම්වල පස හොඳින් කපා පෙරළා ශාක කොටස සමඟ එක්‌වන්නට හැරීමයි.

හැම කන්නයකදීම ඉතිරි වන වෙල් ඉපනැල්ල ඇතුළු පුරන් බිමේ හැදෙන වටිනා ශාක කොටස්‌ විශාල වශයෙන් එම පසටම එක්‌වීමට ඉඩ සැලසීමක්‌ එබඳුම දේ බැහැරින් ගෙනවිත් එක්‌ කිරීමත් පස සරු කෙරෙන සාර්ථක ක්‍රමයකි. ඒ පස ආරක්‌ෂා කර ගැනීම එයටත් වඩා වැදගත් දෙයක්‌ විය. වල් පැළ මතු නොවන ලෙස ක්‍රමානුකූලව වතුර බැඳ තැබීම සහ මතු වන වල් පැළ උදුරා දමා ගොයම සරු කරන්නට පැරණි ගොවියා මැළි නොවීය. ඒ සඳහා දිනපතා සොයා බලා කෙරෙන කැපවීමක්‌ අවශ්‍යය. මේ නිසා "වල් නාශක" රසායනික යෙදවුම්ද අවශ්‍ය නොවීය. රසායනික පෙහොර වෙනුවට ගවගාල්වලින් ඉවත් කරන වියළි ගොම පොහොර ළිපේ අළුඅළු හුණු ආදී නොයෙක්‌ දේ පැළපත් ගොයමට එක්‌ කෙරිණ. වියළි ගොම පොහොර ඉතා බහුල විය. 

කෘමීන් මර්දනයට නොයෙක්‌ පාරම්පරික ක්‍රම (කෙම් ක්‍රම) ගොවීන් විසින් අනුගමනය කෙරිණ. විශේෂයෙන් මාසය තුළ "පුර" "අව" භේදය පොහොය ඉර පෑයීම ආදී ස්‌වාභාවික සංසිද්ධි සැලකිල්ලට ගෙන ගොවි කටයුතු ඉටු කෙරුණේ ඔවුනටම ආවේණික වූ ක්‍රමවේදයන්ටය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ සොබා දහමට අනුකූල සරු අස්‌වැන්නක්‌ ලැබීමයි.

කෘත්‍රිම රසායනික යෙදවුම්වලින් තොර වීම නිසා පසේ ස්‌වභාවික ක්‍රියාවලියට හානි වූයේ නැත. "තෙරුවන" මුල් කරගෙන සිදු කෙරුණ ඒ ධාර්මික ගොවිතැනේදී වී සහල් හැඳින්වූයේ "බුද්ධ භෝග" වශයෙනි. ශ්‍රමය සාමූහිකව යෙදවීමේදී "මත්වතුර" වැනිදේ එදා වෙල් යායක්‌ අහලකටවත් ගත්තේ නැත.

උදැල්ලෙන් පස ගැඹුරට පෙරළීමට තරම් සවි ශක්‌තියක්‌ද, අව්වට වැස්‌සට ඔරොත්තු දෙන තරමේ සිරුරක්‌ද, කය වෙහෙසා වැඩ කිරීමේ අපූරු හැකියාවක්‌ද එදා ගොවීනට විය. කුඹුරුවල පසේ විවිධ ලක්‌ෂණයන්ට සරිලන දේශීය වී වර්ග වගා කරමින් එකිනෙකට වෙනස්‌ වූ අස්‌වනු කන්නයෙන් කන්නයට ලබා ගැනීමට ඔවුනට හැකි විය. වාරි ජලය අඩු පසුබිමක්‌ තුළ අස්‌වනු අඩු "බාල වී" වපුරා හෝ වගාව දිගටම කරගෙන යාමට ඔවුහු සමත් විය. ඒ කුමන වී වර්ගයකදී වුවත් කුඹුරු බිම්වල සශ්‍රිS්‍රකත්වය ආරක්‌ෂා විය.

එකම වගාවක්‌ යම් භූමියක දිගටම කරගෙන යාමේදී එකී භෝගයට අවශ්‍ය පසේ පෝෂක කොටස්‌ හිනවී යන බව ඔවුන් දැන සිටියේ (අද මෙන් ගොවි දැනුම දෙන රැස්‌වීම්වලට සහභාගි වීමෙන් නොව) පරම්පරාගත දැනුමෙනි. ඒ නිසා ඔවුන් සිය කුඹුරු බිම්වලට බැහැරින් විවිධ (කාබනික) පොහොර ගෙනැවිත් දැමූහ. ගව පාලනය බෙහෙවින් ව්‍යාප්aතව පැවැති බැවින් වියළි ගොම පොහොරද, වියළි දිරාපත් වගාවට හිතකර කොළ පොහොරද ඉසීමෙන් සරු කෙතක හිමිකරුවන් බවට පත් විය. කැප්පිටියා, මකුළත ආදී පසට සාරගුණ එක්‌ කරන දේ යෙදීම සිරිත විය.

හේන් ගොවිතැන (ගොඩ ගොවිතැන) ගත් විට මහ වනය කපා වියළී ගිය විට ගිනි වැඳීමට කටයුතු කළේ වසරක්‌ තුළ උදාවන එයට සුදුසුම කාලය තුළය. සතුන් ඒ භූමියෙන් පලවා හැරීමටද ආවේනික ක්‍රම යොදා ගත්හ. ගොවිබිම වන සතුන්ගෙන් රැක ගැනීමට මහා දැව කඳන් වටේට සිටුවා "දඬුවැට" සකස්‌ කොට වැසි සමයේ සෙසු වැඩ පටන් ගත්හ. ගිනි ගත් දැව අළු සහ කාලයක්‌ තිස්‌සේ ඒ භූමියේ දිරාපත් ශාක තට්‌ටුවලින් යුත් පොහොර පස උදැල්ලෙන් පෙරළීමෙන් වැසි දිය හා මිශ්‍ර වී අගනා සරු පසක්‌ නිර්මාණය කළේය. ගැමි එළවළු හා තල, මෙනේරි, කුරක්‌කන්, මුං ආදී ධාන්‍යද ඒවායේ වගා කළේ වන සතුන්ගෙන් රැක ගැනීමට "පැල් රැකීමෙහි" ද නිරත වෙමිනි. වරක්‌ දෙකක්‌ ඒ හේන් බිමෙහි වගා කොට හැර දමා වෙනත් කැලෑ බිමක්‌ සොයා ගියේ ඒ වන විට පස නිසරු වී ඇති බව ඔවුන් දැන සිටි බැවිනි. කිසිදු රසායනික යෙදවුමක්‌ කෘත්‍රිමව යොදා නොගත් බැවින් ලබාගත් භෝග අස්‌වනු ඉතා ඉහළ ස්‌වභාවික පෝෂ්‍ය ගුණයෙන්ද යුක්‌ත විය. හැර දමා ගිය හේන් බිම නැවත ශීඝ්‍රයෙන් වල් වැදී ස්‌වාභාවික පරිසරයට එක්‌විය.

එකල තිබූ ගෙවතු බෙහෙවින් පල බර විය. කෙසෙල් වර්ග, අල වර්ග, කොස්‌, පොල් වැනි ගස්‌ සහ පලතුරුද ඖෂධීය ශාකද ඒවායේ විය. තෙතමනය හිරු එළිය මනා ලෙස සංකලනය වෙමින් කාබනික පොහොරින් යුත් ඒ බිමේ අස්‌වනු ගෙහිමියන්ට වසර පුරාම භුක්‌ති විඳීමට හැකි විය. ගව ගාලෙන් ඉවත් කරන පිදුරු සහ ගොම, ළිපේ අළු, කුස්‌සියෙන් ඉවත දමන දේ ආදී සියල්ල ගෙවත්තෙහිම පොහොර පිණිස විය. ගෙයින් ඉවත් කරන අපද්‍රව්‍ය අතර පොලිතින්, ප්ලාස්‌ටික්‌ හා වෙනත් නොදිරන අපද්‍රව්‍ය එකල නොවීය. බෑවුම් සහිත ඉඩමක්‌ නම් කාණු කපා ගල් වැටි බැඳ මනා ලෙස සකසා ගනිමින් ප්‍රයෝජන ගත්හ. මතුපිට සරු පස (ගොඩ හෝ මඩ) කවර වගා බිමක වූවත් ඉතා වැදගත්ම කොටස බැවින් ඒ පස රැක ගැනීමේ වැදගත්කම පැරණි ගොවියා දැන සිටියහ.

අද අවශ්‍ය වන්නේ අපේ පැරණි ගොවි පරපුරේ අගනා අත්දැකීම් නැවත අප අතරට ගෙන ඒමය. පැරණි පස සරු කිරීමේ ක්‍රමවලට එතරම් මුදල් වැය වන්නේ නැත. අවශ්‍ය වන්නේ අවබෝධාත්මක කායික ශ්‍රම සම්පතයි. ස්‌වාභාවික පොහොරින් අපේ ගොවිබිම් සරු කිරීමට සුදුසු කාලය පැමිණ තිබේ.

දම්සිරි කරුණානායක

Post a Comment

0 Comments