ඉඟුරු, කහ, කුරුඳුවලින් ආත්‍රයිටිස්‌ වේදනා නාශකයක්‌

ප්‍රශ්නය - පසුගිය සති ගණනාවක්‌ මුළුල්ලේ අප ආත්‍රයිටිස්‌ රෝගය ගැන දිගින් දිගටම සාකච්ඡා කළා. රූමටික ආත්‍රයිටිස්‌, ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ ඇතුළු ආත්‍රයිටිස්‌ රෝග විශාල ප්‍රමාණයක්‌ සම්බන්ධයෙන් පාඨකයන් දැනුවත් කළා. මේ සංවාදවලින් ප්‍රතිඵල ලද දහස්‌ සංඛ්‍යාත පාඨක පිරිස්‌ අපටත්, අදාළ වෛද්‍යවරුන්ටත් දුරකථන ඇමතුම් දී ඒ බව තහවුරු කර තිබෙනවා. අද අප කරන්නේ පුනරීක්‍ෂණ ලිපිsයක්‌. මෙතෙක්‌ අප කළ ලිපි සමූහයේ සාරය යම්කිසි ප්‍රමාණයකට කැටිකර දැක්‌වීමයි අපගේ අරමුණ.

වෛද්‍ය වසන්ත උදයජීව - සන්ධිවාත ලෙස පොදුවේ හැඳින්විය හැකි ආත්‍රයිටිස්‌ රෝගයේ රෝග ලක්‍ෂණ හැම එකකින්ම තවත් ප්‍රතිඵලයක්‌ එනවා. මේ රෝගයේ පළමුවැනි ලක්‍ෂණයන් විය හැක්‌කේ උණ. ඒ සමගම රෝගියා විඩාවට ලක්‌වනවා. ක්‍රමයෙන් ශරීරයේ බර අඩු වනවා. ඊළඟ ලක්‍ෂණය සන්ධි වේදනාව හට ගැනීමයි. එවිට සන්ධි ඉදිමෙනවා. ඊළඟට සන්ධි විකෘති වෙනවා. සන්ධිවල ප්‍රදාහ තත්ත්වයක්‌ හට ගන්නවා. අවසන් වශයෙන් සන්ධි දිග හැර ගන්නට බැරි තද ගතියක්‌ ඇති වෙනවා.

ඊළඟට අප කෙටියෙන් මතක්‌ කරමු ආත්‍රයිටිස්‌ රෝගය සුවපත් කර ගන්නට යොදා ගත හැකි දේවල් මොනවද කියලා. තුවරලා (Boswellia serrata) නමින් ශාකයක්‌ ගමේ ගොඩේ තිබෙනවා. 

මා දන්නා පරිදි සිංහල පාරම්පරික වෙදකම තුළ ආත්‍රයිටිස්‌ රෝගය සුවපත් කිරීම සඳහා හදන හොඳම ඖෂධවලට යොදා ගන්නේ තුවරලා ශාකයයි.

ඊළඟට එන ශාකය තමයි මින්චි. මින්චි කොළවලත් තිබෙනවා ආත්‍රයිටිස්‌ සමනය කරන ගුනය. තුන්වැන්න එඬරු ශාකයයි. දෙහිපොතුවලිනුත් පුළුවන් ආත්‍රයිටිස්‌ වලට ගුණ දෙන ඖෂධ හදන්නට. Tinospora Cordifolia හෙවත් රසකිඳ ශාඛය තුළත් තිබෙනවා ආත්‍රයිටිස්‌ නසන ගුණය.

ආත්‍රයිටිස්‌ රෝගය නිසා පීඩාවට පත් වන තැන් මොනවද?

හකුපාඩා, ඉඟටිය, ගෙළ, පාද, දණ, අත්, මැණික්‌ කඩුව, විලුඹ ආශ්‍රීත ප්‍රදේශ, වැලමිට, උරහිස්‌ යන ප්‍රදේශවලට මේ මගින් විශාල පීඩාවක්‌ ඇති වෙනවා. ආත්‍රයිටිස්‌ රෝගය බෝ නොවන රෝගයක්‌. සන්ධි තුළට, ශරීරය තුළම හට ගන්නා රෝගයක්‌. එහෙත් මේ රෝගය ශරීරය තුළ හට ගැනීම ඉක්‌මන් කරන කරුණු කිහිපයක්‌ තිබෙනවා. එයින් පළමුවැන්න තමයි අධික විඩාව. ඊළඟ හේතුව මහලු විය. දුම්පානය, විවිධ ආසාධානවලට ලක්‌වීම, මත්ද්‍රව්‍ය පාවිච්චියට පුරුදු වීම, ආහාර අසාත්මිකතාවලට ලක්‌වීම, ජානමය හේතුන්, හෝමෝන අසමතුලිතතාව, පාරිසරික හේතු, බැක්‌ටීරියා හෝ වෛරස්‌ ආසාදන යනාදිය නිසා රෝගය වැළඳීමට ඉක්‌මන් වෙනවා. හරියට ප්‍රතිකාර නොලැබුණොත් මේ රෝගය නිසා සන්ධි විකෘති වෙනවා. කාටිලේජ, පටක, ඉරී තුවාල වී යළි සුව නොවන තැනකට පත් වෙනවා.

මීළඟට අප සාකච්ඡා කරමු ආත්‍රයිටිස්‌ වේදනාවෙන් දැවෙන සන්ධිවලට ප්‍රතිකාර කළ හැක්‌කේ කොහොමද කියලා. අමු වදකහ කැබැල්ලක්‌ ගෙන ඇල් වතුරෙන් අඹරා තුනී පාප්පයක්‌ සාදාගෙන එය ආත්‍රයිටිස්‌ ආසාදිත ප්‍රදේශවල ආලේප කළාම වේදනා අඩු වෙනවා. මිදි කොළ අඹරා සන්ධිවල ගෑවත් ඉතාම සුදුසුයි. ඒවා ඇඹරිය යුත්තේ ඇල් ජලයෙනුයි.

ආත්‍රයිටිස්‌ වේදනාවට විශේෂ කසායක්‌

ඉඟුරු කැබලි (අඟලක්‌ දිග) 1 යි

කහ කුඩු තේ හැඳි 1 යි

කුරුඳු පොත්තක්‌ (අගල් 2 ක්‌ දිග)

මේ සියල්ල වතුර කෝප්ප 2 කට දමා විනාඩි 20 ක්‌ උතුරුවන්න. ඉන් පසු ලිපෙන් බා විනාඩි 5 ක්‌ නිවෙන්න තබන්න. එය මී පැණි තේ හැන්දක්‌ දමන්න. ඉන් පසු උදයට අඩක්‌ හා සවසට අඩක්‌ වශයෙන් දිනකට දෙවරක්‌ බැගින් මාස 3 ක්‌ පානය කරන්න. මෙය ආත්‍රයිටිස්‌ වේදනා නාශකයක්‌.

Post a Comment

0 Comments