මතක ශක්‌තිය වර්ධනයට


වයස අවුරුදු 15 ත් 16 ත් අතර වියේ පසුවන මෙම දරු දැරියන් තවම ශාරීරික සහ මානසිකව පරිණතවී නැත. එනිසා මේ දිනවල ඔවුන් තුළ විභාගය සම්බන්ධව යම් පමණක මානසික සහ ශාරීරික පීඩනයක්‌ මතුව තිබීම සාමාන්‍ය දෙයකි.

මෙලෙස මානසික සහ ශාරීරිකව පීඩනයක්‌ ඇතිවීමට බලපා ඇති කරුණු පිළිබඳව සොයා බැලුව හොත් ප්‍රධාන වශයෙන්ම පවතින්නේ තමාට විභාගයට සාර්ථකව මුහුණ දියහැකිවේ දැයි යන්න පිළිබඳව මතුවන සැකයයි.

මෙය ඕනෑම විභාගයකට මුහුණ දෙන විට අප කොයි කාටත් මතුවන සාමාන්‍ය මානසික පීඩනයකි. එනිසා එම පීඩනය අනවශ්‍ය ලෙස වර්ධනය කරගෙන විභාග භීතිකාවක්‌ බවට පත් කර නොගැනීමට කොයි කවුරුත් වග බලාගත යුතුය.

ඒ සඳහා තමා තුළ විශ්වාසයක්‌ ගොඩ නගා ගත යුතුය. මා විභාගයට මුහුණ දෙන්නේ මගේ ශක්‌ති ප්‍රමාණයෙන් මිස අන් අයකුගේ හැකියාවන් සහ දක්‌ෂතාවන් දෙස බලමින් නොවන බව සිතට ගත යුතුය.

මෙය දෙමාපිය වැඩිහිටියන්ද වටහාගත යුතුය. තම දරුවා අන් දරුවන් හා සසඳමින් ඔවුන් මෙන් පාඩම් කරන ලෙස ඔවුන්මෙන් විභාගයට පෙනී සිටින ලෙස බලපෑම් නොකළ යුතුය. පළමුව තම දරුවාගේ දක්‌ෂතා වටහා ගන්න. දෙවනුව එම දක්‌ෂතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන්න.

විභාග සඳහා පෙනී සිටින බොහෝ දරු දැරියන්ට මතුවන දෙවන ගැටලුව වනුයේ තමා පාඩම් කළ දේවල් මතකයේ තිබේ දැයි යන සැකයයි.

මෙම සැකය දුරුකර ගත හැක්‌කේ විභාගයට දින කිහිපයකට පෙර පසුගිය වසර වල ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමයි. එවිට තමා තුළ පවතින මතක ශක්‌තිය හඳුනාගත හැකිය.

තෙවනුව මතුවන ගැටලුව වනුයේ විභාගය සඳහා අධික ලෙස මනස සහ කය වෙහෙස වමින් පොත්පත් පාඩම් කිරීම නිසා විභාගය ආසන්න කාලයේදී මතුවන මානසික සහ කායික පීඩාවය.

ඇතැම් දරුවන් සාමාන්‍ය පෙළ විභාගය ආසන්න වන විටදී පැය දෙකක්‌වත් නිදා ගන්නේ නැත. නිසි පෝෂ්‍යදායි ආහාර පාන පවා ගන්නේ නැත. මෙම තත්ත්වය නිසා බොහෝ දරුවනට පෝෂණ දුර්වලතා මතුවේ. සෙම් රෝග උත්සන්නවී නිතර අධික හිසරදය හට ගනී. මෙවැනි රෝග මතුවූ විට මතක ශක්‌තිය දුර්වලවේ. මනස සැහැල්ලු කරගෙන පොත්පත් පාඩම් කිරීමට නොහැකිවේ.

විශේෂයෙන්ම මෙම වයසේ පසුවන වැඩිවියට පත්ව තවම වසර කිහිපයක්‌ පමණක්‌ ගතව සිටින දියණියන් මෙලෙස අධික ලෙස මනස සහ කය වෙහෙසවන විට ඔවුන්ගේ ප්‍රජනන හෝමෝනවල ඇතිවන අසමතුලිතතාවය නිසා ඔසප් චක්‍රය අක්‍රමත් වේ. එයද ඔවුනගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ වනු ඇත.

විභාගය ආසන්න දිනවල හොඳින් විවේකීව දවස ගෙවන්න. අඩුම තරමින් පැය හයක්‌වත් නිදා ගන්න. විභාගයේ කාල සටහන අනුව මේ දිනවල පොත්පත් පාඩම් කිරීම සහ කෙටි සටහන් ලිවීම කෙරෙහි අවධානය යොමු කරන්න.

දිනකට විනාඩි 15 ක්‌ 20 ක්‌ පමණ ඇවිදින්න හැකි නම් ක්‍රීඩාවන්හි නිරත වන්න. ක්‍රීඩා තරගවලට සහභාගි වීම අනතුරු දායක බැවින් ඒවායේ නිරතවීමෙන් වළකින්න.

විභාගය ආසන්න වන දිනවල සිරුරේ මතුවන මානසික සහ කායික නොසන්සුන්තාව නිසා අධික්‍රියාකාරිත්වයක්‌ මතුවේ. එනිසා සිරුර නිතර උණුසුම්ව පවතී. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා දිනකට පිරිසිදු වතුර කෝප්ප 8 ක්‌ වත් පානය කරන්න.

විවිධ මෝල්ට්‌ වර්ග, කෝපි වර්ග හෝ ශක්‌තිජනක පාන වර්ග අධික ලෙස ගැනීමෙන් වළකින්න. මේදිනවල දිනකට තේ හෝ කෝපි හෝ කිරි එක වීදුරුවක්‌ පමණ පානය කිරීම සුදුසුය. සාමාන්‍ය ලෙස ආහාර වේල් තුන ගැනීම සිදු කරන්න.

මෙලෙස කටයුතු කිරීමෙන් ශරීරයේ මතුවිය හැකි අලස බව වෙහෙසකර බව සහ නිදිමත බව මඟහරවා ගත හැකිය. මතක ශක්‌තිය වැඩිකරගත හැකිය.

විභාගය ආසන්න වන විට බොහෝ දෙමාපියන් තම දරු දැරියන්ගේ මතක ශක්‌තිය වැඩිදියුණු කර ගැනීම සඳහා ඖෂධ, පෙති, කරල්, සිරප් සහ විටමින් වර්ග ලබාගැනීම සඳහා වෛද්‍යවරු වෙත පැමිණෙති.

පෙති කරල් හෝ විටමින් වර්ග මගින් මතක ශක්‌තිය වර්ධනය කරගත නොහැකිය. ඒ සඳහා ඇත්තේ මනස නිරවුල්ව තබා ගැනීම සහ අවබෝධයකින් යුතුව පොත්පත් පාඩම් කිරීමය.

මනස වෙනත් කරුණු වෙත යොමුකර ගෙන පොත්පත් පාඩම් කළ විට මතක ශක්‌තිය වර්ධනය කරගත නොහැකිය. එනිසා තම පාඩම් කෙරෙහි පමණක්‌ සිත යොමු කළ යුතුය.

තවත් දෙමාපියන් පිරිසක්‌ තම දරුවා විභාගයෙන් සමත්කරවා ගැනීම සඳහා විවිධ භාරහාර වෙති. යාග හෝම සිදු කරති.

තමා අදහන සහ ගරුකරන ආගම අනුව කටයුතු කිරීම සහ ආශිර්වාදයක්‌ ලබා ගැනීම වරදක්‌ නැත. නමුත් අනවශ්‍ය ලෙස එය පසුපස යැම නොකළ යුතුය. ඉන් සිදුවන්නේ අන්ධ විශ්වාසයන් තුළ හිඳීම නිසා දරුවාට පොත්පත් පාඩම් කිරීම සහ නිසි ක්‍රමවේදයක්‌ තුළ විභාගයට සූදානම් වීමට ඇති අවස්‌ථාව මගහැරීමය.

තම දරුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කාලය තුළ දෙමාපියන් විනෝදගමන් ආදිය යැම සඳහා කටයුතු සංවිධානය කර ගැනීම සුදුසු නැත. දරුවාගේ විභාගය වෙනුවෙන් එම දින ගණන දෙමාපියන් තුළ ඇති කැපවීම පෙන්වීම තුළින් දරුවාට ද ආත්ම ශක්‌තියක්‌ ඇතිවේ.

විභාගයට පෙනී සිටින දරු දැරියන් කිසි විටෙකත් මට මේ විභාගයෙන් සමත් වෙන්න බැරි වෙයි.යන සිතුවිල්ල ඇතිකර ගැනීම හොඳ නැත. මට හැකි අයුරින් විභාගයට මුහුණ දෙනවා යන ආත්ම විශ්වාසය ඇතිකර ගත යුතුය. අපොස සාමාන්‍ය පෙළ විභාගය ශ්‍රී ලංකාවේ සෑම දිස්‌ත්‍රික්‌කයකම ජීවත්වන දරු දැරියන් වෙනුවෙන් පොදුවේ සකස්‌කරන ප්‍රශ්න පත්‍රවලින් සමන්විත බැවින් ඒ සඳහා අනවශ්‍ය බියක්‌ ඇතිකරගත යුතු නැත. මෙය සිය දිවි හානි කර ගැනීමට තරම් බරපතළ විභාගයක්‌ද නොවේ.

එංගලන්තයේ රාජකීය වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතා ලබාදුන් තොරතුරු අනුව මෙම ලිපිය සකසා ඇත.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments