කිලෝමීටර් 12,000 ක්‌ මඟ ගෙවාය එන කුරුල්ලා


මේ පර්යටනික (Migration) කුරුල්ලන් ශ්‍රී ලංකාවට පැමිණෙන කාලසීමාවයි. සාමාන්‍යයෙන් වසරේ ඔක්‌තෝබර් මාසයේ සිට අප්‍රේල්, මැයි පමණ දක්‌වා මෙරටේ රැඳී සිටින මෙම පර්යටනික කුරුල්ලන් යළිත් තම නිජබිම් කරා පියඹා යන්නේ එම නිජබිම්වලට වසන්තය උදාවීමත් සමඟය. එසේ නම් මේ උදාව ඇත්තේ උත්තරාර්ධ ගෝලයට හිම වැටෙන, අධික සිසිල ඇති සිසිsර සෘතුවය. 

ශීත කාලයේ දී උතුරු අර්ධ ගෝලීය නිජබිම්වල වෙසෙන කුරුල්ලෝ ආහාර සොයා දකුණු අර්ධ ගෝලයේ රටවල්වලට පියඹා යති. සමකයාසන්න රටවල පවතින හොඳ හිරු එළියත්, වර්ෂාව සහ පරිසර පද්ධති (ආහාර බිම්) මෙසේ එන කුරුල්ලන්ට තෝතැන්නක්‌ ලෙස හැඳින්විය හැකිය. මෙවන් රටවල් අතර ශ්‍රී ලංකාවද අතිශය වටිනා කුරුලු නවාතැන් පොළකි. නොහොත් ගිමන් පොළකි. කුරුල්ලන්ටම කදිම නවාතැනක්‌ බඳු ශ්‍රී ලංකාවට කුරුල්ලන් පැමිණෙන්නේ වසර සිය දහස්‌ ගණනක පෙරාතුව සිටය. මේ "තානාපති අමුත්තෝ" වසර සිය දහස්‌ ගණනක්‌ ශ්‍රී ලංකාව හා අනෙකුත් රටවල් අතර සබඳතා පවත්වාගෙන ගිය පළමු ජීවී කොට්‌ඨාශයද වේ.

උතුරු අර්ධගෝලයේ සිට දකුණු අර්ධ ගෝලයේ රටවල් දක්‌වා පියාසරන සංචාරක කුරුල්ලන් අතර දිගු දුර පියාසැරීමේ අතිශය සමත්කමක්‌ දරණ කුරුල්ලන් ලෙස සැලකෙන්නේ මුහුදු ළිහිණියන්ය. මේ අතරින් උත්තර ධ්‍රැව ප්‍රදේශයේ එනම්, ආර්ක්‌ටික්‌ ප්‍රදේශයේ දිවි ගෙවන ආර්ක්‌ටික්‌ ටර්න් (Aරජඑසජ එeරබ) නමැති ළිහිණියා ලොව වසරකට වැඩිම දුරක්‌ ගමන් කරන කුරුල්ලා ලෙස හඳුනාගෙන ඇත. ඒ පක්‍ෂි විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණ මගිනි. ආර්ක්‌ටික්‌ ප්‍රදේශයේදී මෙසේ පරීක්‍ෂණයකට ලක්‌ව කකුලේ මුදුවක්‌ පැළඳ යෑවූ ආර්ක්‌ටික්‌ මුහුදු ළිහිණියකු පසුව නවසීලන්තයේ දී අල්ලාගෙන තිබිණි. ඒ අනුව මෙම කුරුල්ලා ගමන් කර ඇති දුර දළ වශයෙන් කිලෝමීටර් 15,000 කට ආසන්න වේ. සෘතුව අවසානයේ දී නැවතත් මෙම කුරුල්ලා තම නිජබිමට යැමේදී තවත් කිලෝමීටර් 15,000 ක්‌ ගෙවා දැමීම යනු වසරකදී කිලෝමීටර් 30,000 ක පියාසැරියකි. සැබැවින්ම විශ්මිත මේ පර්යටනික චාරිකා පහසුවෙන් විස්‌තර කළ නොහැකි සත්ත්ව ලොවේ විස්‌කම් ගැන වෙනම කතාන්දරයකි.

එසේම පාත්තයින් (වල් තාරාවන්) ලොව ඉහළ අහසින්ම පර්යටනය කරන පක්‍ෂීන් ලෙස හඳුනාගෙන ඇත. වෛරම් හිසැති පාත්තයා (Bar Headed Goose) තම ගමන් මාර්ගයේ දී හිමාලයටත් වඩා ඉහළින් පියාසර කරන බව වාර්තා වේ. 

මේ අප කියන්නට උත්සාහ දැරුවේ කුරුලු ලොවේ විශ්මයන් ගැන කතාන්දරයක්‌ නොව පර්යටනික නොහොත් සංචාරක පක්‍ෂීන්ගේ සෘතු සංචරණය පිළිබඳ කතාවකි. ඒ කතාවට මාතෘකාව සැපයුණේ පසුගිය දිනෙක පුත්තලම ප්‍රදේශයේ කලපුවකදී ධීවරයකුගේ දැළට හසුව තුවාල ලැබ හමුවූ මුහුදු ළිහිණියකුගේ පාදයේ තිබූ රිදී මුදුවකින් අනාවරණය වූ කරුණු නිසාය. 

මෙසේ ධීවරයකුගේ දැළේ පැටලී කකුළේ අස්‌ථි බිඳී තුවාලව වැටී සිට ඇත්තේ ලොව දිගු දුර පියාසැරීමේ හැකියාව ඇති ළිහිණි (ටර්න්) වර්ගයේම කුරුල්ලෙකි. එහෙත් මොහු ආර්ක්‌ටික්‌ ටර්න් කුරුල්ලකු නොවේ. හඳුනාගෙන ඇති පරිදි මොහු හීං කොණ්‌ඩ මුහුදු ළිහිණියා (Lesser Crested Tern) ය. ආර්ක්‌ටික්‌ ටර්න්ගේම ළඟම ඥතියෙකි. මෙවන් ළිහිණින් කිහිප දෙනකුම ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ. 

කෙසේ හෝ මෙම ළිහිණියා මීට ප්‍රථම කුරුලු විද්‍යාඥයන් විසින් අල්ලා පරීක්‍ෂණයකට බඳුන් කරන ලද කුරුල්ලෙකි. ඒ බව මෙම කුරුල්ලාගේ පාදයේ පැළැඳි රිදී මුදුව සාක්‍ෂි දරයි. කුරුල්ලන්ට මුදු පැළඳ අතහැරීම (Birds Ringing) ලෝකයේ බොහෝ තැන්වල සිදු කෙරෙන වැදගත් පර්යේෂණයකි. එහිදී බොහෝ විටම සිදු කරන්නේ පර්යටනික තොරතුරු රැස්‌ කිරීමය. ශ්‍රී ලංකාවේදී ද මෙවන් මුදු පැළඳවීම් සෑම වසරකදීම සිදු කෙරේ. ප්‍රකට පක්‍ෂි විද්‍යාඥ මහාචාර්ය සරත් කොටගම මහතාගේ උපදේශකත්වයෙන් බූන්දල ජාතික වනෝද්‍යානයේ දී මෙවන් මුදු පැළඳවීම් සිදු කෙරේ. මෙම හීං කොණ්‌ඩ මුහුදු ළිහිණියා මෙසේ පළමුව පර්යේෂණයට ලක්‌ව ඇත්තේ "ලන්ඩන් මියුසියම්" (ලන්ඩන් කෞතුකාගාර) කුරුලු පර්යේෂණ කණ්‌ඩායමක්‌ අතිනි. ඒ බව මෙම කුරුල්ලාගේ පාදයේ ඇති රිදී මුදුවේ සඳහන් වේ. එසේම එහි වෙබ් අඩවි කිහිපයක්‌ හා ඊමේල් ලිපිනයන් සඳහන්ව ඇති බවද දැනටමත් එම තොරතුරු ඔස්‌සේ අදාළ ආයතන සම්බන්ධ කර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවද දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා අප සමඟ පැවසීය. මෙම පක්‍ෂියා තුවාල ලබා කලපුවක වැටී සිටියදී ධීවරයන් පිරිසක්‌ විසින් අල්ලා ගිරිබාව වනජීවී අඩවි ආරක්‍ෂක ඩී. රාමසිංහ මහතා වෙත භාරදීමෙන් පසු වයඹ කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා වෙත භාරදී ඇත. 

මේ පිළිබඳව අප වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මෙම පක්‍ෂියාගේ අස්‌ථි බිඳීමක්‌ සිදුව ඇති බවකි. ධීවරයකුගේ දැළකට පැටලීමෙන් යෑයි සිතිය හැකි ලෙස කකුළ බිඳී ඇති නිසා අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ රඳවාගෙන ප්‍රතිකාර කරන බවත්, පාදයේ ලන්ඩන් කෞතුකාගාරයෙන් පැළඳ වූ රිදී මුදුවක අදාළ ආයතනවල තොරතුරු සඳහන්ව ඇති බවත්ය.

වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලැබූ පසු නිදහස්‌ කළ හැකිවන අතර මෙම කුරුල්ලා යුරෝපයේ සිට කිලෝමීටර් 12,000 ක්‌ පමණ පියාසර කර පැමිණ ඇති බව විශ්වාස කළ හැකි බවද වනජීවී නිලධාරීහු පවසති. යුරෝපයේ සිට රතු මුහුද හරහා ඉන්දියන් සාගරයටත්, එතැනින් ශ්‍රී ලංකාවටත් පැමිණි මේ අමුත්තාට අප ආගන්තුක සත්කාර ලබාදී පිළිගත යුතුව ඇති බවද හැකි ඉක්‌මනින් මෙම කුරුල්ලා සනීප කර පරිසරයට මුදාහැරීම තමන්ගේ කාර්යභාරය බවද වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියයි.

එසේම මෙම කුරුල්ලාට මුදු පැළඳ වූ සංවිධානය මෙන්ම, අනෙකුත් විස්‌තර අන්තර්ජාලය ඔස්‌සේ ලබා ගැනීමට කටයුතු යොදමින් සිටින බවද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.

ජගත් කණහැරආරච්චි 
ඡායාරූප 
අනුරාධපුරය - සිරිල් බස්‌නායක

Post a Comment

0 Comments