ශ්‍රී ලංකාවේ මෝසම් වැස්‌ස


ගිනිකොණ දෙසට වන්නට පසුගිය 14 වැනිදා ඇරඹි වායුගෝලීය කැළඹිලි තත්ත්වය ක්‍රමයෙන් තරංගාකාර කැළඹිලි තත්ත්වයක්‌ බවට වර්ධනය වීමත් සමග වර්ෂාපතනයේ වැඩිවීමක්‌ ද සිදුවන්නට විය. පසුව මෙය අඩු පීඩන තත්ත්වයක්‌ බවටත්, එහි වර්ධනීය අවස්‌ථාව වූ පීඩන අවපාතයක්‌ බවටත් පත්ව ශ්‍රී ලංකාවට ඉහළින් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් රටට ඇතුළු විය. එය රට හරහා ගමන් කර පසුගිය 15 වැනිදා සැඳෑවේ මන්නාරමෙන් එළියට ගමන් කර උතුරු තමිල්නාඩුව ප්‍රදේශය දක්‌වා ගමන් කෙරිණි.

ගතවූ දින කිහිපයේ ශ්‍රී ලංකාවේ උතුරු කොටසට වැඩි වශයෙන් ද අනෙකුත් ප්‍රදේශවලට අඩු වැඩි වශයෙන් ද වැසි ඇතිවීමට හේතු වූ කාරණාව මෙය බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා ''දිවයින''ට පැහැදිලි කළේ ය.

මෙම වර්ෂාව පසුගිය 15 වැනිදා සවස වනවිට නතර වූයේ ඉතිහාසගත වාර්තා ද ඉතිරි කරමිනි. මන්නාරමට මෙතෙක්‌ ඇති වූ වැඩි ම වර්ෂාපතනය පසුගිය 15 වැනිදා වාර්තා වූයේ ඒ අනුව ය. පැය 12 ක්‌ ඇතුළත මන්නාරමට මිලි මීටර් 350 ක වර්ෂාපතනයක්‌ පසුගිය 15 වැනිදා ලැබී තිබිණි. මීට පෙර මන්නාරමට මිලි මීටර් 250 ඉක්‌ම වූ වැස්‌සක්‌ ඇති වී නැත.

මේ තත්ත්වය යටතේ ඇති වූ මහ වැසි හේතුවෙන් ප්‍රදෙAශ රැසක ජල ගැලීම් ඇති විය. එයින් පවුල් 38,645 කට අයත් පුද්ගලයින් 135547 දෙනෙකු 16 වැනි සඳුදා වනවිට පීඩාවට පත්ව සිටි බවත්, සැඩ පහරට හසුවීමෙන් කිලිනොච්චියේ පදිංචිකරුවෙකු මියගොස්‌ ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ''දිවයින''ට කීවේ ය. 

යාපනය දිස්‌ත්‍රික්‌කයට මෙම වැස්‌සෙන් වැඩි ම බලපෑමක්‌ ඇති වූ අතර එහි පවුල් 18036 කට අයත් පුද්ගලයින් 59526 දෙනෙකු පීඩාවට පත්ව ඇත. කෝපායි, වෙලනි, යාපනය, නල්ලුර්, සන්දිලිපායි, උඩුවිල්, තෙලිප්පලෙයි, චාවකච්ෙච්රි, පේදුරුතුඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට අයත් ප්‍රදේශ රැසක නිවාස, පහත් බිම්, මාර්ග රැසක්‌ මෙම වැස්‌සෙන් යට විය. මේ හේතුවෙන් දෙදිනක්‌ පුරා ගමනාගමන කටයුතුවලට ද බාධා සිදු වූ බව යාපනය දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය වාර්තා කර තිබිණ. 

පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ පවුල් 2979 කට අයත් පුද්ගලයින් 10346 දෙනෙක්‌ ද ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 1964 කට අයත් පුද්ගලයින් 8122 දෙනෙක්‌ ද මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පවුල් 1938 කට අයත් පුද්ගලයින් 4893 දෙනෙක්‌ ද කිලිනොච්චියෙහි පවුල් 6500 කට අයත් පුද්ගලයන් 22328 දෙනෙක්‌ ද ත්‍රිකුණාමලයේ පවුල් 2387 කට අයත් පුද්ගලයින් 9054 දෙනෙක්‌ ද මන්නාරම පවුල් 538 කට අයත් පුද්ගලයින් 1899 දෙනෙක්‌ ද ආදි වශයෙන් අනෙකුත් ප්‍රදේශවල විශාල පිරිසක්‌ මෙකී තත්ත්වය යටතේ පීඩාවට පත්වූහ.

ජීවිත හානි 2 ක්‌ද වාර්තා වූ අතර, ප්‍රදේශ කිහිපයකින් නිවාස හානි ද වාර්තා වූ අතර එයින් මුළුමනින් ම හානි වූ නිවාස සංඛ්‍යාව 213 කි. තවත් නිවාස 2964 ක්‌ අර්ධ වශයෙන් හානියට පත්ව ඇත. නිවාසවලට හානි සිදු වීමෙන් අවතැන් වූ පවුල් 6455 කට අයත් පුද්ගලයින් 23652 දෙනෙකු ආරක්‍ෂිත ස්‌ථාන 121 ක තාවකාලිකව නවාතැන් ගෙන තිබිණි. ඔවුන්ට අවශ්‍ය ආහාර, සනීපාරක්‍ෂාව සැපයීම ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස නිලධාරීන් විසින් සිදු කරනු ලැබ ඇත.

මේ අතර උතුරු පළාතේ ජලාශ සියල්ලම ජලයෙන් පිරීගොස්‌ ඇති අතර අනුරාධපුරය, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කවල ද ජලාශ රැසක්‌ පිරී ඉතිරී ගොස්‌ ඇත. මීළඟ කන්නයේ වගා කටයුතු සඳහා නම් මෙය හිතකර තත්ත්වයක්‌ වුවත් ජලාශ පිටාර ගැලීමෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවල විශාල පිරිසක්‌ පීඩාවට පත් වූහ.

පසුගිය සැප්තැම්බරයේ අග ආරම්භ වුණු දෙවන අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය යටතේ රට පුරා විටින් විට වැසි ඇති විය. දෙවන අන්තර් මෝසම යනු ශ්‍රී ලංකාවේ සමස්‌ත වර්ෂාපතනයෙන් වැඩි ම වැසි ප්‍රමාණයක්‌ ලැබෙන කාලගුණික තත්ත්වයකි. මේ කාලයේ දී ඇති වන වැස්‌සෙන් මුළු රටේ ම කෘෂි කර්මාන්ත කටයුතු ආරම්භ කෙරෙනු ඇත. මෙම කාලයේදී ශ්‍රී ලංකාවට ඉහළ වායු ගෝලයේ විටින් විට පීඩන කලාප වර්ධනය වීම ස්‌වාභාවික තත්ත්වයකි. රටට වැසි ඇති වීම කෙරෙහි බලපාන්නා වූ බොහෝ ස්‌වාභාවික ක්‍රියා පද්ධතියක්‌ මේ කාලයේ දී ක්‍රියාත්මක වන අතර එහි ප්‍රතිඵලය වන්නේ ඇති තරමට වැසි ඇති වීමය. සාමාන්‍ය තත්ත්වය මදක්‌ ඉක්‌මවා යමින් මෙවර දෙවන අන්තර් මෝසම් වැස්‌සේ වැඩි වීමක්‌ දක්‌නට ලැබෙන බව අපට දැනගන්නට ලැබුණි. එයට බලපෑ ප්‍රධාන හේතු දෙකකි. එකක්‌ නම් පැසිපික්‌ සාගරයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් හටගෙන ඇති එල්නිනෝ තත්ත්වය නිසා වායුගෝලයේ සුළං රටාවේ වෙනසක්‌ සිදුවී තිබීමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වැස්‌ස වැඩි වීම ය. අනෙක්‌ කාරණාව ලෙස කාලගුණ විද්‍යාඥයින් දක්‌වන්නේ ''මැඩන් ජූලියන් දෝළනය'' යනුවෙන් හැඳින්වෙන ලොව පුරා වායු ගෝලයේ සැරිසරන්නා වූ සංඥා දහරාවක්‌ මේ දිනවල ඉන්දියන් සාගරය ආශ්‍රිත ව පැවතීම ය. එය ද ශ්‍රී ලංකාව හා අවට රටවල වැස්‌ස වැඩි කිරීමට හේතුවී තිබේ. 

තුෂාරී කළුබෝවිල

Post a Comment

0 Comments