දුටුගැමුණු රජතුමාට සහෝදරියක්‌ ඉඳලා

රජරට නිදහස්‌ කර ගැනීමේ සටනේ ආරම්භක නියමුවා වූ කාවන්තිස්‌ස මහ රජුගේ අග මෙහෙසිය වූයේ කැලණි රාජ්‍යයේ කැලණිතිස්‌ස රජුගේ දුව විහාර මහා දේවියයි. කාවන්තිස්‌ස මහ රජුට හා විහාර මහා දේවියට උපන් පුතුන් දෙදෙනා පිළිබඳව වංශ කථා පුමුඛ සාහිත්‍ය මූලාශ්‍රවල මහත් අභිරුචියෙන් වර්ණනා කර ඇත. 

කාවන්තිස්‌ස රජුට දාව විහාර මහා දේවියට ලැබුණු මෙම පුතුන් දෙදෙනාට අමතරව අන්‍ය බිසවකගෙන් ලැබුණු දීඝාභය නම් කුමාරයකු ගැන ද වංසකතාවේ තොරතුරු සඳහන් වේ. එළාරට එරෙහි යුද්ධයේදී මහවැලි ගඟේ එක්‌ තොටුපලක්‌ වූ කසාතොට රැකවල් ලා සිටියේ මෙම දීඝාභය කුමාරයා ය. ඒ අනුව අග මෙහෙසිය වූ විහාරමහා දේවියට අමතරව කාවන්තිස්‌ස රජුට තවත් බිසෝවරු සිටි බව පැහැදිළි වේ. 

එහෙත් අප මේ කියන්නට යන්නේ අන්‍ය බිසවකගෙන් ලත් දියණියක්‌ විසින් පරිත්‍යාග කරන ලද බවට අනුමාන කළ හැකි පාත්‍රයකින් හෙළිවන අතිශය දුර්ලභ වූ තොරතුරකි. මාතර තාරකා කොටුවේ ප්‍රදර්ශනයට තබා ඇති වසර දෙදහසක්‌ පමණ පැරණි මැටි පාත්‍රයක මතුපිට ලියූ අභිලේඛනයකින් කාවන්තිස්‌ස මහ රජුගේ දියණියක මෙන්ම දුටුගැමුණු මහ රජුගේ නැඟණියක පිළිබඳ ඉතාම දුර්ලභ තොරතුරක්‌ හෙළි වී තිබේ. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා මේ පිළිබඳව කළ පර්යේෂණවලින් මෙම දුර්ලභ සාක්‌ෂිය අනාවරණය කරගෙන ඇත. මාතර තාරකා කොටුව වූ කලී ලන්දේසි සමයේ දී ඉදිකරන ලද බලකොටුවකි. මෑත කාලයේ දී මෙම ස්‌ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කෞතුකාගාරයක්‌ ස්‌ථාපිත කර ඇත. මෙම අක්‌ෂර සහිත මැටි බඳුන් කැබැලි සියල්ල තිස්‌සමහාරාම සර්වෝදය වත්ත කැණීමෙන් ලැබුණු පුරාවස්‌තු වේ. තිස්‌සමහාරාමය සර්වෝදය වත්ත කැණීම් ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ කාවා ආයතනය එක්‌ව වසර කීපයක්‌ තිස්‌සේ සිදු කරන ලද්දකි. මෙම කැණීම් ව්‍යාපෘතිය මගින් රුහුණේ ඉතිහාසයට සම්බන්ධ ඉතා වැදගත් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සාක්‌ෂි බොහොමයක්‌ සොයාගෙන ඇත.

මෙතැන් සිට මෙකී ලිපිය දිගහැරෙනුයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරෙනි. ඔහු මෙකී අභිලේඛනයේ සඳහන් තොරතූරු මෙන්ම ඓතිහාසික මූලාශ්‍ර උපයෝගී කරගෙන මේ ගැන තොරතූරු හෙළි කළේය.

මෙහි දක්‌නට ලැබෙන පාත්‍රයක බඳ කොටසක "අ ය ති ෂ හ ඣි ත අ" යනුවෙන් සඳහන් අභිලේඛනයක්‌ දක්‌නට ලැබේ. මෙහි සඳහන් 'අය තිෂ' යන්නෙන් හැඳින්වෙන්නේ කාවන්තිස්‌ස මහ රජතුමා බවට විශ්වාස කළ හැකිය. පුරාණ රෝහණයට අයත් බෝවත්තේගල, සමන්ගල, කුසලාන්කන්ද, මොට්‌ටයාකල්ලු යන ස්‌ථානවලින් හමුවී ඇති බොහොමයක්‌ පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනවලින් එම කාරණාව තහවුරු වී ඇත. එම ලේඛනවල කාවන්තිස්‌ස රජු අය තිශ, රඣ තිශ, ගමණි තිශ යනුවෙන් හඳුන්වා ඇත.

පුරාණ රෝහණයට අයත් සමන්ගලින් ලැබුණු ලෙන් ලිපියක අය තිශ ලෙස කාවන්තිස්‌ස රජුව හඳුන්වා ඇත. එම ලිපියේ කාවන්තිස්‌ස හා සම්බන්ධ පරම්පරා හතරක තොරතුරු දක්‌නට ලැබේ. එහි පෙළ මෙසේය.

පෙළ - 

"උප රඣ පුත අය අබය පුත අය තිශහ පුත තිශ අයෙන කරිතෙ මහ ලෙණෙ අගත අනගත චතු දිශ ශගශ දිනෙ."

තේරුම - 

උපරාජ (ගේ) පුත්‍ර අය අබය (ගේ) පුත්‍ර අය තිශ ගේ පුත්‍ර තිශ අය මහ ලෙණ කරවා පැමිණි නොපැමිණි සිවු දිග සංඝයාට දෙන ලදී. (මේධානන්ද 17 ,18)

මෙහි සඳහන් උපරඣ යනු මහානාගය. අය අබය යනු ගෝඨාභයයි. ඒ අනුව මහානාගගේ පුතෙක්‌ ලෙස ගෝඨාභය හඳුන්වා ඇත. එහෙත් වංශ කථාවේ මහානාගගේ පුතා ලෙස සඳහන් වන්නේ යටාලතිස්‌ස වන අතර ඔහුගේ පුතා ලෙස ගෝඨාභය හඳුන්වා ඇත. එහෙත් ශිලා ලේඛන සාක්‌ෂිවලට අනුව ගෝඨාභය හා යටාලතිස්‌ස සහෝදරයන් වේ. නිදසුන් ලෙස දෙයියන්නෙකෙම සෙල්ලිපියේ උපරාජ මහානාගගේ පුත්‍රයා ලෙස සඳහන්ව ඇත්තේ යටාල තිස්‌සගේ නමයි. (බෙනිල් ප්‍රියන්ක 2009, 133) එහෙත් සමන්ගල, කුසලාන්කන්ද, මලයඩිකන්ද සහ මොට්‌ටයාකල්ලු යන ලිපිවල උපරාජ මහානාගගේ පුතෙක්‌ ලෙස ගෝඨාභය දක්‌වා ඇත. (බෙනිල් ප්‍රියංක 2009, 132) මෙම තොරතුරුවලට අනුව උපරාජ මහානාගගේ පුතුන් දෙදෙනා ලෙස යටාලතිස්‌ස හා ගෝඨාභය හඳුනා ගැනීම වරදක්‌ නැත.

ලිපියේ අය අබයගේ (ගෝඨාභය) පුතා ලෙස සඳහන්ව ඇත්තේ අය තිශ නමැත්තෙකි. වංශ කථාවට අනුව ගෝඨාභයගේ පුතා කාවන්තිස්‌සය. මේ අනුව සමන්ගල ලිපියේ සඳහන් අය තිශ යන්න අන් කිසිවකු නොව කාවන්තිස්‌ස රජුය. ඔහුගේ පුතා ලෙස සඳහන් වන තිශ අය යන්න සද්ධාතිස්‌ස රජු ලෙසට හඳුනාගත හැකිය. ඒ අනුව මහානාගගේ සිට සද්ධාතිස්‌ස දක්‌වා පරම්පරා හතරක්‌ මෙම ලිපියේ සඳහන් වේ.

පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන්ට වෙල්ලස්‌ස ප්‍රදේශයේ පුද බිමකින් ලැබුණු ලිපියක කාවන්තිස්‌ස රජු රඣ තිශ යනුවෙන් හැඳින්වෙන්නේ යෑයි කියයි. එම ලිපියේ පෙළ පහත ආකාරයට විස්‌තර කළ හැකිය. 

"උපරඣ පුත රඣ තිශ පුත ගමිණි අබය දෙවනපිය මහ රඣහ මනපදශනෙ ලෙණෙ" 

තේරුම- 

උපරජුගේ (මහානාග) පුත්‍ර රඣ තිශ (කාවන්තිස්‌ස) පුත්‍ර දේවානම්ප්‍රිය ගාමිණි අබය මහ රජුගේ මනාපදර්ශන ලෙණ (සංඝයාට)

මෙම ලිපියේ 'උපරඣ' ලෙස සඳහන් කර ඇත්තේ ගෝඨාභය රජු විය යුතුය. ගෝඨාභය රජුව උප රජු ලෙස මෙම ලිපියේ හඳුන්වා තිබීම විශේෂත්වයකි. ලිපියේ සඳහන් 'රඣ තිශ' ගේ පුතා ලෙස දක්‌වා ඇත්තේ 'ගමිණි අබය දෙවනපිය මහ රඣ' ලෙස සඳහන් වන රජ කෙනෙකි. මෙම ගමිණි අබය දෙවනපිය මහ රජු යනු දුටුගැමුණු රජුය. දුටුගැමුණු රජුගේ පියා කාවන්තිස්‌ස මහ රජුය. ඒ අනුව ලිපියේ සඳහන් 'රඣ තිශ' යන්න කාවන්තිස්‌ස ලෙස තහවුරු වන අතර උපරඣ යන්න ගෝඨාභය විය යුතුය. (මෙධානන්ද 1996, 18-19)

කාවන්තිස්‌ස රජතුමා 'ගමණි තිශ'ලෙස සඳහන් කළ ශිලා ලේඛන සාක්‌ෂි කිහිපයක්‌ද පැරණි රුහුණෙන් ලැබී ඇත. ඒ අතරින් මඩකලපු දිස්‌ත්‍රික්‌කයට අයත් කුසලාන්කන්ද ලිපියක කාවන්තිස්‌ස රජු 'ගමණි තිශ' ලෙස හඳුන්වා ඇත. එම ලිපිය පහත දැක්‌වේ.

පෙළ-

"උප රජ නග පුතෙ රඣ අබයෙ නම තස පුතෙ ගමණි තිසෙ නම තෙන කරිතෙ සුදසනෙ සගස" (Paranavitan 1970, 30) 

තේරුම- උපරජ නාගගේ පුත්‍රයා රජ අබය වේ. ඔහුගේ පුත්‍ර ගාමිණී තිස්‌ස විසින් කරවන ලද සුදර්ශන නම් ලෙණ සංඝයාට ප්‍රදානය කරන ලදී. 

ඉහත ලිපියට අනුව උපරාජ මහානාගගේ පුත්‍රයා ලෙස සඳහන්ව ඇති 'රඣ අබය' යනු ගෝඨාභයයි. ඔහුගේ පුත්‍රයා වූ කාවන්තිස්‌ස මෙම ලිපියේ දක්‌වා ඇත්තේ 'ගමණි තිසෙ' යනුවෙනි. තවද මොට්‌ටයාකල්ලු නම් ස්‌ථානයෙන් ලැබුණු ලිපියක ද කාවන්තිස්‌ස රජුගේ නම 'ගමණි තිශ' යනුවෙන් දක්‌වා ඇත.(Paranavitan 1970, 37)

එම ලිපියට අනුව කාවන්තිස්‌ස රජුව, (ගමණි තිශ) දසභාතිකයන්ගේ බෑනා වූ උපරාජ නාගගේ මුණුබුරා ලෙස ද මහපසධික අබය රජුගේ පුත්‍රයා ලෙසද හඳුන්වා ඇත. මෙම ලිපියේ ඇති තවත් විශේෂත්වයක්‌ ලෙස ගෝඨාභය රජුව 'මහපසධික අබය' ලෙස හඳුන්වා ඇත.

ඉහත විස්‌තරවලට අනුව මාතර තාරකා කොටුවේ දක්‌නට ලැබෙන මැටි බඳුන් කැබැල්ලේ සඳහන් අභිලේඛනයේ දක්‌නට ලැබෙන 'අයතිශ' යන්න කාවන්තිස්‌ස මහ රජු බව පැහැදිලිය. 

ඒ අනුව මෙහි සඳහන් 'අයතිශ හ ඣිත' යනු කාවන්තිස්‌සගේ දියණිය යන අදහසයි. 'ඣිත' යනු දුව යන අදහසයි. (රණවැල්ල 2009, 76) ඒ අනුව කාවන්තිස්‌ස රජුගේ දියණියක්‌ ගැන මෙන්ම දුටුගැමුණු මහ රජුගේ සහෝදරියක්‌ ගැන මෙම පාත්‍ර කැබැල්ලෙන් කියෑවෙන බව පැහැදිළි ය. ඇය ගේ නම සඳහන් කොටස අවාසනාවට අහිමි වී ඇත. නමුත් අගට 'අ' යන්න පමණක්‌ ඉතිරි වී ඇත. අ යන්න යන අකුර 'අභි' යන වචනයේ පළමු අකුර විය හැකි ය. 'අභි' යනු කුමරිය යන අදහසයි. විහාර මහා දේවිය ගැන සඳහන් වන ලිපිවල -අභි සවෙර ලෙස සඳහන් වන්නේ සවෙර කුමරිය යන අදහසයි. ඒ අනුව මෙම අභිලේඛනයේ කාවන්තිස්‌ස රජුගේ දියණිය ගේ නමෙහි මුලට යොදන ලද කුමරිය යන කොටස ඉතිරි වීමෙන් පෙනී යන්නේ ඇය රාජකීය කාන්තාවක්‌ බවයි. (රාජකීය කාන්තාවන් සඳහා පමණි 'අභි' යන යෙදුම යොදා ඇත්තේ.)

වංසකථාවේ එකම තැනක කාවන්තිස්‌ස රජුට දියණියන් කිහිප දෙනෙක්‌ සිටින බව සඳහන් කරයි. ඊට අනුව දීපවංසයේ 18 වන පරිච්ඡේදයේ කාවන්තිස්‌ස රජු ගේ මනා සේ ධර්මයේ දක්‌ෂ වූ සියලු දියණියෝ මේ වන විට භික්‌ෂුණියන් වී සිටියහ. යනුවෙන් සඳහන් වේ. මෙම සඳහනට අනුව කාවන්තිස්‌ස මහ රජුට දියණියන් කිහිප දෙනකු සිටි බවත් එම දියණියන් සියලු දෙනාම පසු කාලයේ දී සසුන් ගත වූ බවත් හෙළි වේ.

දීපවංසයේ සඳහන් මෙම තොරතුරට අමතරව කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් සොයාගෙන ඇති මහනුවර රාජධානි සමයට අයත් ආඳාගල සන්නසෙන් ලැබෙන තොරතුරුවලට අනුව කාවන්තිස්‌ස රජුට දියණියක්‌ සිටි බවට තවත් සාක්‌ෂියක්‌ ලැබේ. මෙම සන්නස ප්‍රදානය කරනු ලබන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. එහි දැක්‌වෙන ආකාරයට කාවන්තිස්‌ස රජුගේ දියණියකගේ පුතකු වූ පුෂ්පදේව කුමාරයා එම ප්‍රදේශයේ තල්කොට නම් නුවරක්‌ ඉදිකරගෙන සිටි බව සඳහන් කරයි. ආඳාගල සන්නසෙන් ලැබෙන මෙම විස්‌තරවලට අනුව මෙම තොරතුර ලැබෙනුයේ මහනුවර යුගයේ දී බැවින් එම අභිලේඛන සාක්‌ෂියේ විශ්වසනීයත්වය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකිය.

ඒ අනුව මෙම පාත්‍ර කැබැල්ලේ සඳහන් විස්‌තරයේ දැක්‌වෙන පරිදි එතුමා ගේ එක්‌ දියණියක්‌ විසින් මහා සංඝරත්නය සඳහා ගිහි කල දී කරන ලද පරිත්‍යාගයක්‌ ලෙසින් හඳුනාගත හැකි ය. කාවන්තිස්‌ස රජු ගේ දියණියන් ගේ නම් වංස කථාවේ සඳහන් නොවේ. ඒ නිසා ඔවුන් ගේ නම් කෙසේ වී දැයි දැන ගැනීමට හැකියාවක්‌ නැත. මෙම පාත්‍ර කැබැල්ලේ සඳහන් නම කොටස ද අවාසනාවන්ත ලෙස අහිමි වී ඇත. 

මෙම කරුණේ ඇති ඓතිහාසික වැදගත්කම වන්නේ සාහිත්‍ය මූලාශ්‍රයක්‌ වූ දීපවංසයේ සඳහන් එක්‌තරා කරුණක්‌ අභිලේඛනයකින් තහවුරු වීමයි. මහාවංසයේ පවා සඳහන් නොවන කාවන්තිස්‌ස රජුගේ දියණියන් සම්බන්ධ තොරතුරු අභිලේඛනයකින් තහවුරු වීම දුර්ලභ අවස්‌ථාවක්‌ ලෙස සඳහන් කළ හැකි බැව් බුද්ධි නාගොඩවිතාන මහතා පවසන්නේය.

ගාල්ලේ ලලිත් චාමින්ද

Post a Comment

0 Comments