බර අඩු කර ගන්නවනම් උනන්දුව වැදගත්


මෙම වැඩසටහහන මා විසින් නිර්මානය කිරීමට හේතුව වූයේ මගේ බර පාලනය කරගන්නට මට තිබූ දැඩි අවශ්‍යාතාවය යි. බර අඩු කර ගැනීමට මා වරින් වර විවිධ ක්‍රියාමාර්ග ගත්තද මගේ බර 85 ට දක්‌වා වැඩි විය. මා මුලින් කළ දේවල්වළින් ඇතැම් විට බර තරමක්‌ අඩු වුවද ඉලක්‌කයටම අඩුකරගන්නට නොහැකි වූ අතර එය පවත්වාගන්නට කිසිසේත්ම නොහැකිව පෙර තිබුණාටත් වඩා බර වැඩි විය. එම අභියෝගයට මුහුණදීම සඳහා කාලයක්‌ තිස්‌සේ කැපකිරීම් රාශියක්‌ කර මම මෙම වැඩසටහන ගොඩනැඟුවෙමි. මෙම වැඩසටහන කිසිම බටහිර පොතකින් හෝ සඟරාවකින් මා උගත් දෙයක්‌ නොවන බව අවධාරණය කළ යුතුය. මෙම වැඩසටහන ගොඩනැඟêමේ මූලිකම පදනම වූයේ මා, මා වෙනුවෙන්ම කළ අත්හදා බැලීම්ය. මෙම වැඩසටහන දැන් ඉගෙනගන්නා ඔබට මා ගුරුවරයෙකු වුවත් මට ඉගෙනගන්නට ගුරුවරයෙක්‌ සිටියේ නැත. එබැවින් විවිධ සාර්ථක වීම් මෙන්ම ඇතැම් අසාර්ථක අවස්‌ථාවලටද මුහුණ පාන්නට මට සිදු විය . එහෙත් ඒ කිසිවකින් නොසැළුණු මා අවසානයේ මගේ ඉලක්‌කයද අභිබවා 65 දක්‌වා එනම් 20 ට බර අඩු කර ගැනීමට සමත් විය. එපමණක්‌ නොව මේ වන විට මම වසර 10 ක්‌ තිස්‌සේ එය අඛණ්‌ඩව පවත්වාගනිමින් මගේ සෞඛ්‍යයේ සෑම අංශයක්‌ම ප්‍රවර්ධනය කර ගැනීමට සමත් වී සිටිමි. 

මම මෙම වැඩසටහන ගොඩනඟා නොපිළිපැද බර අඩු කර නොගත්තානම් මේ වන විට මම දියවැඩියා රෝගියෙක්‌ වී බොහෝ කල්ය. කොලෙස්‌ටරෝල් මට්‌ටම උත්සන්න වී බොහෝ කල්ය. මේ වන විට මට හෘදයාබාධයක්‌ වැළඳී තිබීම ගැනත් මට සැක නැත. මා ජීවතුන් අතර සිටියා නම් ඒ බයිපාස්‌ සැත්කමක්‌ කර හෝ කිරීටක ධමනිවලට ඇතුල් කරන ලද ස්‌ටෙන්ට්‌ (Stent) උපාංග ද සහිතවය. මා මහත් වීගෙන ආ විදිහට දිගටම මහත් වූවානම් මම අද හන්දි ගෙවී ඇවිදගන්නටවත් බැරි එක්‌තැන් වූ රෝගියෙක්‌ වෙමි. ඇති විය හැකිව තිබූ ලෙඩ රෝග ලැයිස්‌තුව තවත් බොහෝ දික්‌කළ හැකිය. 

නමුත් මෙම වැඩසටහන ගොඩනඟා පිළිපැද විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගත් මම අද වන විට මගේ පාසල් වියේ සිටි ජාතික මට්‌ටමේ ක්‍රීඩකයන්ට මා අසලට වත් ළඟා විය නොහැකි කායික, මානසික, ආධ්‍යාත්මික සුවයක්‌ අත් විඳින්නෙක්‌ බවට පත් වී ඇත්තෙමි. මගේ කායික යෝග්‍යතාවය දකින බොහෝ දෙනා අසන්නේ මා පාසල් කාලයේ සිටම දිගටම ක්‍රීඩා කලාද යන්නයි. නමුත් මා පාසල් කාලයේදී කිසිම විශේෂිත ක්‍රීඩාවක යෙදුනෙක්‌ නොවෙමි. මා ගෙන හැර දැක්‌වූ කරුණු කීපයෙන් මෙම වැඩසටහනේ වටිනාකම ඔබට තවදුරටත් වඩ වඩාත් තහවුරු වන්නට ඇත.

මෙම වැඩසටහන ගොඩනැඟêමේදී මා විවිධ හැල හැප්පිලි වලට භාජනය වුවද ඔබ ඊට කිසිසේත්ම බිය විය යුතු නැත. මන්ද යත් අප වැඩසටහන ඉතාම සාර්ථකව ගොඩනඟා ස්‌ථාපිත කොට ඇති බැවිනි. එසේම කිසිම හැල හැප්පිල්ලකින් තොරව මෙම වැඩසටහනින් ඉලක්‌කයටම බර අඩු කර ගත් අය මේ වන විට සිය ගණනක්‌ සිටිති. 

දහස්‌ ගණනකට කියා දී ඇති, පොදු දේශනද සැළකූ විට ඇත්ත වශයෙන්ම ලක්‌ෂ ගණනකට කියා දී ඇති, පොත් සහ පුවත් පත් ලිපි සැළකුවොත් මුළු රටටම කියා දී ඇති මෙම වැඩසටහනෙන් ලබාගත් සියලු ප්‍රතිඵල විස්‌තර කරන්නට ගියහොත් ලිපි මාලාව අනවශ්‍ය සහ කියවන ඔබට වෙහෙසකර ලෙස දීර්ග විය හැකිය. එබැවින් අප මෙහි දක්‌වන්නේ ප්‍රතිඵලවල සාරාංශය පමණි.

මෙම ලිපි මාලාව කියවා පිළිපැදීමෙන්ම 10 ට බර අඩු කර ගත් කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ ගිය සතියේ අපට විශේෂ ප්‍රශංසාත්මක ලිපියක්‌ද එවා තිබූණි. අප ඒ බව සඳහන් කළේ මෙම ලිපි මාලාව කියවන ඔබ තව දුරටත් දිරිමත් කරන්නටය.

මෙ වන විට අපි ඉලක්‌කයටම බර අඩු කර ගත් සහ 10 ට වලට වඩා බර අඩු කර ගත් 150 දෙනෙකුට පමණ විශිෂ්ටතා පදක්‌කම් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන ඇගයීම් පත් ද පිරිනමා ඇත.

වතුපිටිවල මූලික රෝහලේ අප පවත්වන බර අඩු කර ගැනිමේ සායනයේ ලේඛණවල ලියාපදිංචි කළ අය පමණක්‌ මේ වන විට 5000 ක්‌ සිටී. අනෙක්‌ සායන යටතේ ලියාපදීංචිව බර අඩු කර ගැනිම සඳහා යොමුකළ අයද ලියාපදිංචි නොකර වැඩසටහන කියා දී ඇති අයද ඇතුළුව සළකතොත් වතුපිටිවල මුලික රෝහලේදී පමණක්‌ අප මෙම වැඩසටහන 7000 කට වැඩි පිරිසකට මුහුණට මුහුණ කියා දී ඇත.

මේ වන විට අපේ සක්‍රීය ශාඛා වැඩසටහන් 10 ක්‌ ඇති අතර එම වැඩසටහන් වලින්ද දහසකට වැඩි පිරිසකට මෙම වැඩසටහන මුහුණට මුහුණ සහ නැවත නැවත කියා දී ඇත.

දිවයින පුරා විවිධ කණ්‌ඩායම් සිය ගණනකට අප මෙම වැඩසටහන පවත්වා ඇත. ආසන්නතම වැඩසටහන් වන්නේ යුධ හමුදා රෝහලේදී පැවැත්වූ වැඩසටහන සහ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේ සියලු නිළධාරින් සඳහා පැවැත්වූ වැඩසටහනය. 

මෙම සියලු කණ්‌ඩායම් සැළකුවොත් ලක්‌ෂයකට කට වැඩි පිරිසකට අප මෙම වැඩසටහන කියා දී ඇත. 

මෙම වැඩසටහන කියා දීම යනු ඔවුන්ගේ බර, උස සහ බඩේවට ප්‍රමාණය බලා BMI අගයද ගණනය කර කිලෝග්‍රෑම් කීයක්‌ වැඩිදැයි කියා සොයා දී එය අඩුකරගන්නට, මෙම වැඩසටහන සවිස්‌තරාත්මකව හොඳින්ම ඒත්තු යන පරිදිද මතක තබා ගත හැකි පරිදිද ඉගැන්වීමය. එක්‌ කෙනෙකුට හෝ කිහිප දෙනෙකුගේ කණ්‌ඩායමකට මෙම වැඩසටහන කියාදීමට පමණක්‌ අපි අවම වශයෙන් පැය 1 1/2 ක්‌ වත් කැපකරන්නෙමු. දේශනයක්‌ ආකාරයෙන් පැවැත්වීමට අවම වශයෙන් පැය 3 ක්‌ අවශ්‍යය.

මේ වන විට සහභාගිත්වය ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන ඇත. මුල් සැසියට සහභාගි වු අය නැවත වතාවක්‌ බර බැලීම සඳහා ආ යුතු වන්නේ මාසිකවය. එසේ ඉලක්‌කයටම බර අඩු කර ගැනීම දක්‌වාද ඉලක්‌කයටම අඩුකරගත් පසු පවත්වාගැනීම සඳහාද මාසිකව පැමිණීම ස`දහා අපි දීදි ලබා දෙමු. පැමිණෙන සෑම දිනයකදීම අපි නැවත බර බලා ප්‍රගතිය අපේ ලියාපදීංචි ලේඛණවලද සහභාගිවන කෙනා ළඟ ඇති සායන පොතේ හෝ කාඩ්පතේද ලකුණු කරන්නෙමු. එසේ විධිමත් ලෙස නැවත පැමිණෙන අය අතර මේ වන විටත් 2000 කට වඩා බර ඉතා සාර්ථක ලෙස අඩු කර ගත් අය ඇත. සාර්ථක ප්‍රතිඵල ලබාගත් අය නැවත පැමිණෙන අයගේ ප්‍රතිශතයක්‌ ලෙස ගතහොත් එය 96% ක්‌ තරම් ඉහලය.

විවිධ හේතු රාශියක්‌ නිසා සැළකිය යුතු පිරිසක්‌ නැවත නොපැමිණේ. ඒ සඳහා වැඩිපුරම බලපාන හේතුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ දරුවන්ගේ අනෙකුත් විභාගයි. මෙම නිදසුන් දෙකෙන් ඔබට එය මනාව තහවුරු වේවි. 

3 පන්තියේ ඉගෙනගත් දරුවෙක්‌ සායනයට පැමිණි විට ඔහුගේ බර 50 ණට විය. ඔහු දෙවන වර පැමිණෙන විට 48 ණට දක්‌වා බර අඩු කර ගෙන තිබුණි. එහෙත් 5 වසර ශිෂ්‍යත්වය නිසා ඉන්පසු මව දරුවා රැගෙන නාවේය. විභාගය ඉවර වී නැවත සායනයට එන විට 72 දක්‌වා දරුවාගේ බර වැඩි වී තිබුණි.

පාසල් ගුරුතුමියක්‌ ද වන මවක්‌ මාස 3 ක්‌ තුළ 11 ට වළින් ඉතා සාර්ථක ලෙස බර අඩු කරගත්තේය. දුවගේ ශිෂ්‍යත්ව විභාගය නිසා ඇය සායනයට ඒම අතහැරියේය. මාස 4 කට පසු නැවත එන විට ඇගේ බර 5 ට වලින් වැඩි වී තිබුණි. 5 වසර ශිෂ්‍යත්වය දරුවන්ට මෙන්ම අම්මලාටද කොපමණ අභාග්‍යයක්‌ උදාකර ඇද්දැයි එම සත්‍ය නිදසුන් දෙකෙන් පැහැදිලිවම ඔප්පු වෙයි.

කඩිසවර ඇවිදීමේ ව්‍යායාම වැඩසටහනද සමග අප වතුපිටිවල මූලික රෝහලේ සායනය සෙනසුරාදා උදේ වරුවේ පවත්වන්නේ පාසල් යන දරුවන් නිසාමය. නමුත් කණගාටුවට කාරණය වන්නේ දෙමව්පියන් අමතර පන්ති තියෙන බව කියා දරුවන් සායනයට එක්‌ක ඒම ප්‍රතික්‌ෂේප කිරීමය. අප පවත්වන්නේ දරුවන්ගේ අනාගත ජීවිතය පිළිබඳ වැදගත්ම පන්තිය බව තේරුම් ගන්නට තරම් බුද්ධියක්‌ එවැනි දෙමව්පියන්ට නැති බව අපට කණගාටුවෙන් වුවත් පැවසීමට සිදු වේ.

විවිධ හේතු නිසා බොහෝ දෙනා සායනයට නිතිපතා නොපැමිණියද මාස කීපයකට පසුව ඇතැම් අය මෙහි වටිනාකම තමාම තේරුම්ගෙන නැවත පැමිණෙයි. කලකට පසුව වෙනත් කාරණා සඳහා රෝහලට පැමිණි විටද නියමිත දිනයේ නොපැමිණි අය සායනයට පැමිණෙයි. ඇතැම් අය අතරමග නැවතුණු පසුව වෛද්‍යවරුන් විසින් නැවත අප සායනයට යොමුකෙරෙයි. ශල්‍ය සායනය නාරිවේදී සායනට ආදී වෙනත් සායන වලින්ද ඇතැම් අය අප වෙත නැවත යොමුකෙරෙයි. එසේ විවිධ මාර්ගවලින් කාලයකට පසුව අප සායනයට පැමිණෙන අය අතරද ඉතාම සර්ථක ලෙස බර අඩුකරගත් අය බොහෝ සිටී. ඒ අතර සමහර අය අප ලබාදුන් ඉලක්‌ක වලටම බර අඩු කර ගෙන නැති මුත් සැලකිය යුතු බර ප්‍රමාණයක්‌ අඩු කරගෙන තිබේ. 

අප වැඩසටහනට වරක්‌ පැමිණ එහෙත් නිතිපතා නොඑන අයද අවම වශයෙන් බර වැඩිවීම හෝ නවත්වාගෙන සිටී. බර වැඩි වන අයගේ වැඩි නොවී පවත්වාගැනීම පවා සැලකිය යුතු මට්‌ටමේ ප්‍රතිඵලයකි. අප වැඩසටහනට සහභාගි වන අය අතුරින් බර වැඩිවන්නේ ඉතාම කලාතුරකින් කෙනෙකුගේ පමණි. නමුත් එය වැඩසටහනේ දෝසයක්‌ නිසා ඇතිවන්නක්‌ නොව ඔවුන් එය පිළිපැද නොමැති නිසා ඇතිවන දෝසයකි. 

අප වැඩසටහනට නොපැමිණ මෙම පොතේ මුල් මුද්‍රණ කියවීමෙන් බර අඩු කර ගත් අයද රාශියක්‌ අපට මුණ ගැසී ඇත. බොහෝ අය අපට ඒ බව දුරකතනයෙන් දැනුම් දී ඇත. වෙනත් කිසිම ක්‍රමයකින් බර අඩුකරගන්නට බැරිව ලතැවෙමින් සිටිද්දී අප පොත කියවා බර අඩු කර ගත් අයද අපට මුණ ගැසී ඇත. එම සියලු කාරණා සැළකිල්ලට ගත් විට අප ගොඩනඟා ඇති මෙම වැඩසටහනෙන් සාර්ථක ලෙස බර අඩු කර ගත් අය දහස්‌ ගණනක්‌ සිටින බව අපට ස්‌ථීර ලෙසම පැවසිය හැකිය. 

මෙම වැඩසටහනෙන් සහභාගි වූ අය ලබාගත් විශිෂ්ට ප්‍රතිපඵලවල සාරාංශයක්‌ අපට මෙසේ දැක්‌විය හැකිය. මෙහිදී අප දක්‌වා ඇත්තේ බර අඩු කරගත් බවට ලිත සාක්‌ෂි තිබෙන අය පමණි.

වැඩසටහනට වතුපිටිවල මුලික රෝහලේදී සහභාගි වූ සංඛ්‍යාව 7300 දේශනද අප විසින් වැඩසටහන කියා දී ඇති සංඛ්‍යාව 100000 ඉක්‌මවයි.

නැවත පැමිණි අය අතරින් බර අඩු කරගත් බවට ලිත සහ තහවුරු කරගත් තොරතුරු තිබෙන සංඛ්‍යාව 2655 කි.

නැවත පැමිණි අය අතරින් බර අඩු කරගත් අය ප්‍රතිශතයක්‌ ලෙස 96 % කි. 

අප වැඩසටහනෙන් 30 ට කට වඩා බර අඩු කර ගත් සංඛ්‍යාව 3 කි 

අප වැඩසටහනෙන් 20 ට හෝ ඊට වඩා බර අඩු කරගත් 8 කි.

අප වැඩසටහනෙන් 15 ට හෝ ඊට වඩා බර අඩු කරගත් අය 30 කි.

අප වැඩසටහනෙන් 10 ට හෝ ඊට වඩා බර අඩු කරගත් අය 206 කි. 

අප වැඩසටහනෙන් 5 ට හෝ ඊට වඩා බර අඩු කරගත් අය 450 කි. 

අප වැඩසටහනෙන් නියමිත ඉලක්‌කයටම බර අඩු කරගත් අය 204 කි.

අප වැඩසටහනෙන් ආර්තව චක්‍රය ක්‍රමවත් වූ යුවතියන් සහ කාන්තාවන් 200 කට වැඩිය.

අප වැඩසටහන පිළිපැදීමෙන් බර අඩුකරගෙන ගර්භණීභාවයට පත් වූ කාන්තාවන් 16 යි.

කාන්තා සහභාගිත්වය ප්‍රතිශතයක්‌ ලෙස 88 කි.

සාර්ථකව බර අඩු කර ගත් වයස 15 ට අඩු දරුවන් සංඛ්‍යාව 126 කි.

නැවත පැමිණීමේ ප්‍රතිශතය 42 

සංඛ්‍යාත්මකව දැක්‌විය හැකි ප්‍රතිඵල එසේ වුවද සංඛ්‍යාත්මක ලෙස දැක්‌විය නොහැකි ගුණාත්මක ප්‍රතිඵල ලබාගත් අය බොහෝය. ගුණාත්මක ප්‍රතිඵල බර අඩුකරගන්නා අයගෙන් 100 % ටම ස්‌ථීර ලෙසම ලැබෙයි. බර අඩු කර ගත් සෑමදෙනාම දෙවන පැමිණීමේදීම පවසන්නේ තමා දැන් පුදුමාකාර සහනයක්‌ සැහැල්ලුවක්‌ නිරෝගීභාවයක්‌ මෙන්ම එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුවෙන් කරගැනීමේ තත්වයක්‌ අත්විඳින බවයි. එසේම කලින් අයින් කළ ඇඳුම් සියල්ලම දැන් ඇඳිය හැකි බව පවසන අය තවදුරටත් කියා සිටින්නේ තමාගේ ඇඟට හැඩය ඇති කැමති ඇඳුම් දැන් පහසුවෙන් තෝරා ගත හැකි බවයි. 

කළින් ඇඟ නැමිය නොහැකිව තිබුණද දැන් අපහසුවකින් තොරව නැමිය හැකි බව පවසන බොහෝ දෙනා පහත් වී කළ යුතු වැඩ දැන් පහසුවෙන් කළ හැකි බවද පවසයි. එසේම බණ ඇසීම, සිල් ගැනීමා භාවනා කිරීම, යාඥා කිරීම ආදී ආගමික කටයුතු ඉතාම පහසුවෙන් දැන් කළ හැකි බවද බොහෝ දෙනා පවසයි. බර වැඩි කාලයේදී මෙන් නොව දැන් හයියෙන් ඇවිඳීමට මෙන්ම අවශ්‍ය අවස්‌ථාවකඳී දිවීමට හැකි බවද බර අඩු කරගත් අයගේ අත්දැකීමයි. මෙම සියලු සහනයන් අප සමග පවසද්දී අපට පමණක්‌ නොව අප හැදූ වැඩූ දෙමව්පියන්ට පවා පින් දෙන්නට ඔවුන් අමතක කරන්නේ නැත. මගතොටේදී අපට හමුවන සමහර සාමාජිකයන් පවසන්නේ zzදැන් අපේ බර හොදට අඩු වෙලා. අනේ සර්, සර්ට ගොඩාක්‌ පිං අපේ බර අඩු කරල දුන්නට'' කියාය.

වසර 7 ක්‌ තිස්‌සේ පවත්වාගෙන යන බර අඩුකරගැනීමේ සායනයට අපි දැනට වසර 5 කට පෙර සිට කඩිසරව ඇවිදීමේ ප්‍රායෝගික වයායාම වැඩසටහනද එක්‌ කළෙමු. ඉන්පසු සහභාගිත්වය ලබාගන්නා ප්‍රතිඵල තවදුරටත් සාර්ථක වී තිබේ. 

බර වැඩියෙන් තිබූ හෘද රෝගීන් රාශියක්‌ම දැන් නියමිත ඉලක්‌කයටම බර අඩු කර ගෙන ඇති අතර ඔවුන්ගේ ව්‍යායාම දරාගැනීමේ හැකියාව බෙහෙවින්ම ව_ධනය වී ඇත. එසේම ඔවුන්ගේ කොලෙස්‌ටරෝල් මට්‌ටම් සහ සීනි මට්‌ටම් අන් කවරදාටත් වඩා දැන් හොඳින්ම පාලනය වී තිබේ. 

බර අඩු කරගැනීමේ වැඩසටහනෙහි නිරතවන දියවැඩියා රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය ඉතාම හොඳින් පාලනය වී ඇති අතර රෝගීන් රැසකගේ ඖෂධ මාත්‍රාවන් අඩුකරන්නටද අපට හැකි විය. ඒ අතර ඉතා හොඳ පාලනයක්‌ සහිතව බෙහෙත් සම්පූර්ණයෙන් නැවැත්වූ රෝගීන් මෙන්ම ඉන්සියුලින් විදීම නැවැත්වූ රෝගීන්ද වෙති.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

Post a Comment

0 Comments