මව්බස නොදන්නෝ මවු නොහඳුනන්නෝ

මව්බස වැරදි ලෙස යෙදීම හෝ වරද්දා ගැනීම ජාතියේ අභාග්‍යයකි. එසේම මව්බසින් ඉගෙනීම අත් හැරීම ද ජාතියේ ඉදිරි ගමනට බාධාවකි. නව නිර්මාණ ඉදිරිපත් නොකරන ජාතිය කිසි කලකත් ලොව ඉහළට යන්නේ නැත. අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී. හිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මර ගී." යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් පැවසුවේ ද එයයි. අලුත් අලුත් දේ නිර්මාණය කිරීමට නම් මව්බස ප්‍රගුණ කළ යුතුමය. යොදා ගත යුතුමය. විදේශයක ඉපදී එම දේශය තුළ හැදුණු වැඩුණු සිංහල මවුපියන්ගේ දරුවකුට මව්බස වන්නේ එම දේශයේ භාෂාවයි. එය ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ හෝ වෙනත් භාෂාවක්‌ විය හැකියි. එම දරුවා හැදෙන වැඩෙන විට ඔහුගේ මනසෙහි නව නිර්මාණ බිහි වන්නේ එම භාෂාවත් සමඟයි. එහෙත් සිංහල මවුපියන්ගේ දරුවෙක්‌ මෙරට හෝ පිටරට බිහි වී සිංහලය මව්බස ලෙස කුඩා කල සිට යොදා ගන්නේ නම් ඔහුට නව නිර්මාණ බිහිකළ හැක්‌කේ සිංහල මව්බස තුළින්ය. සිංහලය මව්බස කර ගත් අයට ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවන් කොතරම් දුරට ප්‍රගුණ කළත් එම භාෂා අධ්‍යයනය තුළින් ඔහුට සාර්ථක නව නිර්මාණ බිහි කළ නොහැක. 

බෙංගමුවේ නාලක හිමි.

තම අදහස්‌ අන් අයට වචනයෙන් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා උපකරණය භාෂාවයි. මිනිස්‌ ලොවේ විවිධ ජන කොටස්‌ ජීවත් වන අතර ඒ හැම කොටසකටම තමන්ටම සුවිශේෂ වූ භාෂාවක්‌ ඇත. එය මව්බස නමින් හැඳින්වේ. මව් යන විශේෂණය යොදා ගැනෙණුයේ මොළය හා හදවත යන අංශ දෙකටම බැඳුණු යම් අදහසක්‌ පැවසීමටයි. ඒ අනුව මවගෙන් වියුක්‌තව භාවිත වන වචන කිහිපයක්‌ ඇත. වෙනත් භාෂා වල ද එවැනි යෙදුම් තිබෙන අතර සිංහල භාෂාවේ මව්බිම, මව්බස යන වචන දෙක විශේෂිතයි. තමා උපන් බිම මව්බිම වන අතර මවගෙන් උරුම වූ බස මව්බසයි. මව්බිමට මෙන්ම මව්බසට ද මවට හා සමානව සැලකීමේ හා පිළිගැනීමේ පිළිවෙතක්‌ මිනිස්‌ සමාජය තුළ විශේෂයෙන් ආසියාතික සමාජය තුළ පවතී. ඒ නිසාම "ජනනී ජන්මභූමිශ්ච ස්‌වර්ගාදපි ගරීයසි" යනුවෙන් වැදූ මවත් උපන් බිමත් ස්‌වර්ගයටත් වඩා උතුම්ය යන පැරණි කියමනක්‌ ද ඇත. මව්බස ද එවන් ගෞරවාන්විත බවකින් යුතු වන්නකි. 

සිංහලයාගේ මව්බස සිංහල බස ලෙස සැලකේ. එය හෙළබස යනුවෙන් ද සමහරු හඳුන්වති. සිංහල භාෂාව සිංහල රට තුළ සිංහලයන් විසින්ම සකස්‌ කරගනු ලැබූවකි. වෙනත් බොහෝ භාෂාවලට වඩා සිංහල භාෂාවේ ඇති සුවිශේෂ වැදගත් කම නම් එම බසට පමණක්‌ සුවිශේෂ වූ සංකේත හෙවත් අකුරු තිබීමයි. දෙමළ බසක්‌ තිබුණ ද එය ලියන්නේ ද්‍රවිඩ අක්‌ෂර වලිනි. සංස්‌කෘත හා හින්දි උර්දු ආදී භාෂාවන් ලියන්නේ දේවනාගරී අක්‌ෂර වලිනි. ඉංග්‍රීසි ඇමරිකන්, රුසියන්, ප්‍රංශ, ඉතාලි, ජර්මන් ආදී යුරෝපීය භාෂාවන් ලියන වෙන වෙනම අක්‌ෂර නොමැත. ඒ සියලු භාෂාවන් ලියන්නේ රෝම අකුරු වලිනි. එහෙත් රෝම භාෂාවක්‌ අද වනවිට නොමැත. මේ නිසා සිංහලය මව්බස ලෙස උරුම කර ගත් සිංහලයන් මෙන්ම සිංහල බසට ද ලොව සුවිශේෂී තැනක්‌ හිමිවිය යුතුය.

එහෙත් අද වන විට සිංහලයන්ගේ මව්බසට ලොව වෙනත් අයගේ පමණක්‌ නොව සිංහලයාගෙන් පවා ඒ හැටි ගෞරවයක්‌ පිළිගැනීමක්‌ ඇතැයි සිතිය නොහැක. ඒ නිසාම බොහෝ සිංහලයෝ සිංහල බස වරද්ද වරද්දාම ලියති. කියති. මහනුවර යුගය අවසන් වෙද්දී මෙම තත්ත්වය ප්‍රකාශිත උපහාසාත්මක කවියක්‌ මෙසේය.

සිහල බස වැඩක්‌ නෑ - එය උගැන්මෙන් පලක්‌ නෑ.
සකු මග ද කමක්‌ නෑ - ඒක දන්නා කෙනෙක්‌ නෑ.
අහලක උගතෙක්‌ නැත්නම් - කොහේ හරි ගිහිල්ලා.
දෙමළ බස ටිකක්‌ වත් - පාඩුවක්‌ නෑ උගත්තොත්.

අද වන විට මෙම කවියේ අන්තිම පදය "ඉංගිරිසි බස ටිකක්‌ වත් පාඩුවක්‌ නෑ උගත්තොත්" යනුවෙන් වෙනස්‌ කර කිව යුතු තැනට පැමිණ තිබේ. ඒ තරමටම උතුම් සිංහල බස කොන් වී ඉංග්‍රීසිය මතු වී ඇති බව පෙනී යයි. එසේ වීම මුළු මහත් ජාතියම ඉංග්‍රීසියට හෙවත් බටහිර අධිරාජ්‍යවාදීන්ට නතු වීමේ පෙරනිමිත්තක්‌ දැයි සිතේ. කිසියම් ජාතියකට හිමි මව්බස එම ජාතියේ නැගී සිටීමට උපකාර වේ. අදහස්‌ සෘජුව හා පැහැදිලිව පැවසිය හැක්‌කේ මව්බසිනි. අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායම විදේශීය කණ්‌ඩායම් සමඟ තරග වදිද්දී ක්‍රීඩා පිටියෙහිදී හැම දෙනා තුළින්ම තම අදහස්‌ ප්‍රකාශ වෙන්නේ මව්බසිනි. එනම් සිංහල භාෂාවෙනි. එය අනෙක්‌ අයට වටහා ගත නොහැකි වන ලෙස අදහස්‌ පැවසීමක්‌ නොව වේගවත්ව හා පැහැදිලිව තම කණ්‌ඩායමට දැනෙන ලෙස අදහස්‌ පැවසිය හැක්‌කේ මව්බසින් පමණක්‌ වන හෙයිනි. 

මව්බස වැරදි ලෙස යෙදීම හෝ වරද්දා ගැනීම ජාතියේ අභාග්‍යයකි. එසේම මව්බසින් ඉගෙනීම අත් හැරීම ද ජාතියේ ඉදිරි ගමනට බාධාවකි. නව නිර්මාණ ඉදිරිපත් නොකරන ජාතිය කිසි කලකත් ලොව ඉහළට යන්නේ නැත. අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී. හිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මර ගී." යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් පැවසුවේ ද එයයි. අලුත් අලුත් දේ නිර්මාණය කිරීමට නම් මව්බස ප්‍රගුණ කළ යුතුමය. යොදා ගත යුතුමය. විදේශයක ඉපදී එම දේශය තුළ හැදුණු වැඩුණු සිංහල මවුපියන්ගේ දරුවකුට මව්බස වන්නේ එම දේශයේ භාෂාවයි. එය ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ හෝ වෙනත් භාෂාවක්‌ විය හැකියි. එම දරුවා හැදෙන වැඩෙන විට ඔහුගේ මනසෙහි නව නිර්මාණ බිහි වන්නේ එම භාෂාවත් සමඟයි. එහෙත් සිංහල මවුපියන්ගේ දරුවෙක්‌ මෙරට හෝ පිටරට බිහි වී සිංහලය මව්බස ලෙස කුඩා කල සිට යොදා ගන්නේ නම් ඔහුට නව නිර්මාණ බිහිකළ හැක්‌කේ සිංහල මව්බස තුළින්ය. සිංහලය මව්බස කර ගත් අයට ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවන් කොතරම් දුරට ප්‍රගුණ කළත් එම භාෂා අධ්‍යයනය තුළින් ඔහුට සාර්ථක නව නිර්මාණ බිහි කළ නොහැක. 

මෙම සත්‍යය වටහා නොගෙන හෝ දැන දැනම ඊට පිටු පෑම නිසා හෝ මෙරට උගතුන් බුද්ධිමතුන් යෑයි කියාගන්නා අය මෙන්ම දේශපාලකයෝ ද සිංහල බසට හිමි විය යතු තැන නොදීම නිසා අතීතයේ මෙන් වර්තමානයේ සිංහලයන්ගෙන් නව නිර්මාණ බිහි වන්නේ නැත. මව්බස වරද්ද වරද්දා ලියන කියන සාමාන්‍ය ජනතාව මෙන්ම ඇතැම් පඬියෝ ද මව්බස මරා දමති. එහෙත් ඔවුහු ඉංග්‍රීසි බස නිවැරදිව ලිවීමට හැකි හැම උත්සාහයක්‌ම දරති. මෙය මව්බසට නිගරු කිරීමක්‌ පමණක්‌ නොව මව්බසින් ජාතියේ දියුණුව උදෙසා නව නිර්මාණ බිහි වීම වළක්‌වාලීමක්‌ ද වේ. මව්බස වරද්දන හැම කෙනෙක්‌ම මව්බස නොදන්නෝ මෙන්ම තම මවු නොහඳුනන්නෝ ද වෙති. මව්බසට ගරු නොකරන අය වැදූ මවට ද ගරු කරතැයි පිළිගත නොහැක. 

අදහසක්‌ නිවැරදිව පැවසීමට නම් මව්බස නිවැරදිව ලිවිය යුතුය. ඒ සඳහා මව්බස නිවැරදිව දැන සිටිය යුතුය. අද බොහෝ පාසල් දරුවන් මෙන්ම පාසල් ගුරුවරු පවා මර්දනය යන වචනය ලියන්නේ මර්ධනය යනුවෙන් වැරදියටයි. පුස්‌තකාලය යන වචනය ද පුස්‌ථකාලය යනුවෙන් වැරදි ලෙස ලියති. නණ ලළ හේදය ද නොතකා බොහෝ දෙනා වැරදි ලෙස ලියති. කළේය යනුවෙන් නිවැරදිව නොලියා කලේය යනුවෙන් වැරදි ලෙස ලියති. මව්බස යොදා ගනිමින් උගන්වන ඉගෙන ගන්නා හා පොත් පත් ලියන බොහෝ දෙනා මේ ආකාරයේ වැරදි බොහෝ සිදු කරති. දිනපතා පුවත්පත් වල ද එවැනි වැරදි බොහොමයක්‌ දක්‌නට ලැබේ. මෙසේ මව්බස වරද්දා ගැනීම මුල වරද්දා ගැනීමකි. මුල වරද්දා ගත් අයට අග හරියන්නේම නැත. ඉතා ශේ්‍රෂ්ඨ බසක්‌ හිමිකරගෙන ඇති සිංහලයන් එම බස නිසි ලෙස භාවිත නොකිරීම නිසා ජාතියක්‌ වශයෙන් හිමි අනන්‍යතාව මෙන්ම අනාගත දියුණුව ද ඇනහිට ඇත. 

වරක්‌ මා එංගලන්තයට ගොස්‌ එහි සිට ඉංග්‍රීසි බසින් ආචාර්ය උපාධියක්‌ ලබා ගැනීම සඳහා මගේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගැනීමට උසස්‌ අධ්‍යාපන ආයතනයක එම භාෂාව ඉගෙනීමට ගියෙමි. මා ඉගෙන ගත් පන්තියෙහි විවිධ රටවලින් පැමිණි ශිෂ්‍යයෝ සිටියහ. දිනක්‌ ඉංග්‍රීසි පාඩමට පැමිණි ගුරුවරියක්‌ අපට තදින්ම කියා සිටියේ ඉංග්‍රීසි භාෂාව වැරදුණාට කමක්‌ නෑ. හැබැයි මවු බස වරද්දන්න එපා යනුවෙනි. අපේ රටේ නම් එහෙම ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන් සොයාගත නොහැක.

ජාත්‍යන්තර මව්භාෂා දිනය සමරමින් උත්සව පැවැත්වීම සාර්ථක වන්නේ අපේ රටේ 75% බහුතර ජනතාවගේ මව්බස වන සිංහල බස නිවැරදිව භාවිත කිරීමට අවශ්‍ය පියවර ගතහොත් පමණි. එසේ නැතිව වෙනත් ජාත්‍යන්තර දිනයන් මෙන් ජාත්‍යන්තර මව්භාෂා දිනය උත්සවාකාරයෙන් පැවැත්වීම අපට කිසි වැඩක්‌ නැති ජාත්‍යන්තරයට ආවැඩීමක්‌ පමණක්‌ වනු ඇත. සිංහල මව්බස රැක ගැනීම මෙන්ම ප්‍රවර්ධනය කිරීම ද මෙරට ජාතික හිමිකම් සුරක්‌ෂිත කිරීමක්‌ ලෙස ද සැලකිය හැකිය.

Post a Comment

0 Comments