හාවර්ඩ් විශ්වවිද්‍යාලය නොමිලයේ බුදුසමය උගන්වයි

ඇමරිකාවේ මැසචුසෙට්‌ හි අක්‌කර 210 ක්‌ පුරා විසිර ඇති ලොව ප්‍රමුඛතම හා විශාලතම විශ්වවිද්‍යාලය වන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයයි. 1636 දී ආරම්භ කරන ලද මෙහි ශාස්‌ත්‍ර හැදැරූ උපාධිධරයන් අතර ඇමරිකානු ජනාධිපතිවරු 8 දෙනෙක්‌ ද තවත් ලෝක රාජ්‍ය නායකයන් රැසක්‌ ද ජීවතුන් අතර සිටින ලොව ප්‍රමුඛ බිලියනපතීන් 62 ක්‌ ද වේ. හිටපු ඇමරිකානු ජනාධිපති ඔබාමා මෙන්ම ඔහුගේ බිරිය ද මෙම විශ්වවිද්‍යාලයෙහි උපාධිධරයන් වේ. එමෙන්ම ලොව අංක එකේ ධන කුවේරයන් වන බිල් ගේට්‌ස්‌ ද,ෆේස්‌බුක්‌ නිර්මාතෘ මාර්ක්‌ සකර්බර්ග්ද මේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූවෝ වෙති. මේ අවස්‌ථාවේදී අප ලොව අංක එකේ විශ්වවිද්‍යාලය ගැන කථා කරන්නේ කවර හේතුව නිසාද? එහි ශිෂ්‍යයන් විසිඑක්‌දහසක්‌ ඉගෙනුම ලබන නිසා හෝ පශ්චාත් උපාධිධාරීන් 14,500 ක්‌ සිටින නිසා නම් නොවේ.

හාවර්ඩ් විශ්වවිද්‍යාලය මගින් බුදු දහම ඉගැන්වීම සඳහා නොමිලයේම අන්තර්ජාල පාඨමාලාවක්‌ ආරම්භ කර ඇති නිසා ය.

මෙම පාඨමාලාවේ ආචාර්යවරයා ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය චාල්ස්‌ හැලිසේ මහතාය.

ඔහු බෞද්ධ සාහිත්‍ය පිළිබඳ ප්‍රාමාණික උගතෙකි. සති හතරකට කාලයක්‌ සඳහා මෙම පාඨමාලාව සකස්‌ කර ඇති අතර, සතියකට පැය 6 - 10 ත් අතර කාලයක අධ්‍යයන කටයුතුවල නිරත වීමට සිදුවේ.

මෙම පාඨමාලාව හරහා තමාට තමා ගැන යම් හඳුනාගැනීමක්‌ සිදු කිරීමට හැකි වන්නේ යෑයි මහාචාර්ය චාල්ස්‌ හැලිසේ කියයි. මෙම පාඨමාලාව නම් කර ඇත්තේ "Buddhism Through its Scriptures" මැයෙනි.

මහාචාර්ය චාල්ස්‌ බෞද්ධ තෙරණියන්ගේ ථෙරි ගාථා පිළිබඳ ග්‍රන්ථයක්‌ ද රචනා කර ඇත. හාවර්ඩ් විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශයට පත්කර ඇති මෙම ග්‍රන්ථය Therigatha : Poems of First Buddhist Women ලෙස නම් කර ඇත.

කවරක්‌ වෙතත් ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය මගින් අන්තර්ජාලය හරහා බුදු සමය පිළිබඳව ඉගෙන ගත හැකි පාඨමාලාවක්‌ නොමිලයේම ආරම්භ කිරීම අගය කළ යුතු වේ. ලොව බොහෝ බුද්ධිමතුන්ගේ අවධානය බුදු සමය වෙත යොමුවන මෙවන් කාලයක මෙවැනි පාඨමාලාවක්‌ ආරම්භ වීම බෞද්ධයන් වශයෙන් අපට සතුටට කරුණකි. ඇමරිකාවේ ඉගෙනුම ලැබ මෙරටට පැමිණි සමහරු දේශීය සංස්‌කෘතියට ආගමට ගරහන මොහොතක ලොව පුරා විසිර සිටින බුදු සමය ගැන උනන්දුවන විද්‍යාර්ථීන්ට මෙන්ම වෙනත් අයට ද මෙම පාඨමාලාව වැදගත් වනු ඇත.

කවරක්‌ නමුත් අපට මේ අවස්‌ථාවේදී සිහිවන්නේ කුමක්‌ද? ගූඪබවින් තොර මගේ දහම ඉර හඳ සේ බබළන්නේ යෑයි බුදුන් වහන්සේ දෙසූ ප්‍රකාශයයි

චතුර පමුණුව

Post a Comment

0 Comments