අතීත උරුමයක්‌ වූ ගෙවත්ත නිවහන


ගෙවත්තක්‌ නොමැති නිවහනක්‌ ලෙස තට්‌ටු නිවාස සහ නාගරික නිවාස රොදවල් දැන් දැන් අපේ රටට උරුම වෙමින් පවතින නමුත් අප රටේ භූ දර්ශනයේ දැනට දශක දෙක තුනකට පෙර මෙරටට උරුම වී තිබුණු නිවහන සහ ගෙවත්ත මානව සමාජයේ තිබූ අති විශේAෂ ඒකකයක්‌ ලෙසට හැඳින්විය හැකිය. මෙයට හෙතුව එක පැත්තකින් එයින් නිවැසියාගේ සමාජ, ආර්ථික හා රුචිකත්වය නිරූපණය වූ අතර ඒ සමගම සිය නිවස සහ ගෙවත්ත පිහිටා තිබූ ක්‌ෂුද්‍ර පරිසරයක තත්ත්ව ගණනාවක්‌ සමග මනා නෑදෑකමකින් ඒවා නිර්මාණය වෙමින් පැවති නිසාය.

නිවස එක්‌ අතකින් එම නිවැසියන්ගේ සමාජ ආර්ථිකයේ විවිධ අංශ නිරූපණය කරන ඒකකයකි. ශ්‍රී ලංකාවේ භූ දර්ශන සිතියම දෙස බලන විට එකිනෙකට වෙනස්‌ නිවාස හා ගෙවතු පෙන්නුම් කරන කලාප හෙවත් භූගෝලීය ඒකක ගණනාවක්‌ දැකිය හැකිය. සුළු මොහොතකට නාගරික ප්‍රදේශ අමතක කර එම සිතියම පරීක්‌ෂා කළ විට පෙනෙන්නේ කදිම සහ සුන්දර දර්ශනයකි. ශ්‍රී ලංකාවේ වෙරළබඩ තැනිතලාවෙහි හම්බන්තොට සිට හලාවත දක්‌වා තීරුවෙහි දක්‌නට ලැබෙන ගෙවතු, යාපන අර්ධද්වීපයේ ගෙවතු, වව්නියාවේ සිට මාන්කුලම සහ කිලිනොච්චිය ප්‍රදේශයේ ඇති ගෙවතු, අනුරාධපුරය අවට ප්‍රදේශයේ තිබෙන මධ්‍ය හා කුඩා පරිමාණයේ වැව් පද්ධතිය ආශ්‍රිsතව පැවති ගෙවතු, තෙත් කලාපයේ රබර් සහ පොල් සහිත ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති ගෙවතු, කඳුකර ප්‍රදේශවල ගෙවතු ආදි කලාප තුළ පවත්නා ගෙවතුවල රූපාලංකාර, වගා කරන බෝග සහ ඒවා නඩත්තු වන ආකාරය ආදී අංශවල ඇති කැපී පෙනෙන වෙනස්‌කම් පෙන්වන්නේ භූමියේ බෑවුම්වල ස්‌වරූපය, එම ප්‍රදේශවල පවත්නා පාරිසරික තත්ත්ව, එනම් විශේෂයෙන්ම ක්‌ෂුද්‍ර දේශගුණික තත්ත්ව සහ ප්‍රදේශයේ පවත්නා දහසකුත් එකක්‌ පාරිසරික ලක්‌ෂණ නිසා ආකර්ෂණය වී ඇති සත්ව හා ශාක විශේෂ යනාදී ලක්‌ෂණ නිසාය. බොහෝ ගෙවතුවල නිවසට ආසන්නයේ ජලය ලබාගන්නා තමාගේම ළිඳ හෝ පිහිල්ල අත්‍යවශ්‍ය එකකි. ගෙවත්ත තුළ නිවසට ආසන්නයේ ඉදිකර ඇති ප්‍රධාන ඒකක කිහිපය නිවස උරුම කොට ඇති වත්පොහොසත්කම් හා සමාජ වටිනාකම් අනුවම නිර්මිත ඒවා බව අවධාරණය කළ යුතුව ඇත. අතීතයේ නිවාස ප්‍රභේද ගණනාවක්‌ සහ එකිනෙකට උරුම වූ අති විශේෂ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයක්‌ අප සතුව තිබූ නිසා අදටත් යම් ප්‍රමාණයකට එම ලක්‌ෂණ දැක ගැනීමට හැකිය.

භික්‌ෂූන් වහන්සේ වැඩවාසය කළ නිවාස හැඳින්වූයේ පන්සල ලෙසය. මේවායේ ද ප්‍රභේද කිහිපයක්‌ හඳුනාගත හැකිවේ. අපේ ගෙවත්ත සහ ගෙයත් මේ ආගමික පසුතලයෙන් මනා ලෙස පෝෂණය වූ ඒවායි. ඒ හා සම්බන්ධ නැකත් විධි හා විවිධ විශ්වාස පිළිබඳව එදා බොහෝ ගැමියන් මනා අවබෝධයකින් පසුවූහ. පුරා විද්‍යාඥයන් පන්සලක්‌ අංශ පහකින් සමන්විත වූ බව පෙන්වා දී ඇත. බුදුගෙය, බණ මඩුව, ලැගුම් ගෙය, පොහොය ගෙය, පොත්ගුල යන ප්‍රධාන අංශ පහට අමතරව දේව මන්දිරයක්‌ සහිත පන්සල භූමිය අලංකාර පවුරකින් වෙන් කර තිබූ බව පෙනේ. අපේ රටේ පිරිවෙන්වල ඉහත අංශයන්ට අමතරව තවත් ඒකක ගණනාවක්‌ තිබූ බව පෙනේ. පොළොන්නරුව ආලාහන පිරිවෙන තුළ තිබූ භූමි පරිභෝගයේ යාන්තමට මතු කරගත් නටබුන් පරීක්‌ෂා කරන විට අද සමාජයේ සිටින ඕනෑම ගෘහ නිර්මාණ ශිල්පියකු සහ භූමි පරිභෝගය ගැන සාකච්ඡා කරන්නකු මවිත වන බව නොඅනුමානය. මේවායේ තිබූ ගොඩනැඟිලිවල රූපාලංකාර, බිත්ති සහ වහළ සකස්‌ කර තිබූ ආකාර ගණනාවක්‌ හඳුනාගෙන තිබේ. ගමේ පන්සල තුළ අද තිබෙන්නේ පුදුමාකාර නිහැඬ සුන්දර බවක්‌ සහ තැන තැන තිබෙන මල් පඳුරු සහ සුදුවැලිවලින් මතුකරගන්නා ලද වැලිමළුව සහිත සිත නිවන සිතුවම් ජාලයකි. 

ශ්‍රී ලංකාවේ පන්සල් හා ආරාමවල ගෘහනිර්මාණ ශිල්පයේ තිබූ විශේෂ ලක්‌ෂණ ගණනාවක්‌ පිළිබඳ දිවංගත මහාචාර්ය සේනක බණ්‌ඩාරනායකයන්ගේ පොත්පත්හි සඳහන් වෙයි. හින්දු කෝවිලක දැකිය හැකි ලක්‌ෂණ බෞද්ධ පන්සලකට බොහෝ සෙයින් වෙනස්‌ය. එම ස්‌ථාන දෙකටම වඩා වෙනස්‌ වූ ලක්‌ෂණ ක්‍රිස්‌තු භක්‌තිකයන්ගේ ආගමික ස්‌ථානයන්හි හා මුස්‌ලිම් භක්‌තිකයන්ගේ ආගමික ස්‌ථානයන්හි පවතින බව භූගෝලාලංකාරයෙහි මිනිසා හා සම්බන්ධ අංශ පිළිබඳ අවධානය යොමු කරන විට අමතක කළ නොහැකිය. එසේම මේ ස්‌ථානයන්හි ගෘහ නිර්මාණ ශිල්පයේ එකිනෙකට කැපී පෙනෙන ලෙස වෙනස්‌ ලක්‌ෂණ රාශියක්‌ හඳුනාගත හැකිය. අලංකාරය යනු අන් කිසිවක්‌ නොව විඳදරාගැනීමට උරුම කර ගත යුත්තක්‌ බව මේ පරිශ්‍රයන් සියුම් ලෙස විමර්ශනය කරන කල මනාව පසක්‌ වන්නකි.

තව කොටසක්‌ ලබන සතියේ - පාලිත සේනානායක

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us