කාන්තාවන් වැළඳ ගන්නා කරදරකාර රෝගය සුදයැම


නීරෝගීකම සෑම දෙනකුටම ජීවිතය සතුටින් ගත කිරීමට අත්‍යවශ්‍යම දෙයකි. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක්‌ විවිධාකාරයේ රෝගාබාධවලට ගොදුරුව නිරෝගිකම සොයමින් සිටිති. රෝග පොදුවේ ගැහැනු පිරිමි භේදයකින් තොරව වැළඳුණත් කාන්තාවන්ටම පමණක්‌ වැළඳෙන රෝගාබාධයන්ද පවතී.

බොහෝවිට කාන්තාවන්ට වැළඳෙන සමහර රෝගවලදී බොහෝ කාන්තාවන් එම රෝගාබාධ සඳහා ප්‍රතිකාර කටයුතු වලට යොමුවීමේදී දැඩි අසරණකමට පත්වන අවස්‌ථාද අප දැක ඇත්තෙමු. විශේෂයෙන්ම ලැඡ්ජාව නිසා මෙම රෝගාබාධවලට නිසි ප්‍රතිකාර ලබානොගෙන ඒවා උත්සන්න වීමෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්වන කාන්තාවන්ද අප දැක ඇත්තෙමු.

අද අප කතා කිරීමට යන්නේද එවැනි කාන්තාවන්ටම පමණක්‌ වැළඳෙන රෝගයක්‌ ගැන සහ එය සුවකර ගැනීමට ආයුර්වේදය සතු ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳවය. මේ පිළිබඳව පෑලියගොඩ රන්පත වෙද මැඳුරේ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා අප සමඟ මෙසේ පැවැසීය.

කාන්තාවන්ට වැළඳෙන ලැඡ්ජාව නිසා බොහෝ කාන්තාවන් ප්‍රතිකාර ගන්න අදිමදි කරන මොකක්‌ද මේ සුදයැමේ (ශ්වේත ප්‍රදර) රෝගය කියන්නේ.

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ඔව්· මෙය කාන්තාවන්ටම පමණක්‌ වැළඳෙන රෝගී තත්ත්වයක්‌. ඒවාගේම මෙය සඟවාගෙන නොසිට ප්‍රතිකාර කරා යොමුවිය යුතු රෝගී තත්ත්වයක්‌. කාන්තාවන්ගේ යෝනි මාර්ගය අවට ප්‍රදේශය තෙත් ගතියකින් පැවැතීම සාමාන්‍ය තත්ත්වයක්‌. ගර්භාෂය නිතරම කලලයක්‌ දැරීමට සූදානමින් සිටින අතර එම ක්‍රියාවලියේදී ඩිම්බ පිටකිරීමද සිදුකරනවා. මේ නිසා යෝනි මාර්ගය අවට ඇතිවන ස්‍රාව තත්ත්වයන් වැඩි වශයෙන් ඇතිවන අතර සුද යැමේ රෝගී තත්ත්වය ඇතිවූ විට මේ තත්ත්වය තවත් වැඩිවෙනවා. එලෙස වැඩි වශයෙන් යෝනි මාර්ගයෙන් ස්‍රාවයක්‌ පිටවීමේ තත්ත්වය සුද යැමේ රෝගී තත්ත්වය ලෙස හැඳින්වෙනවා.

ඇතැම් විට එම ස්‍රාවයන් කිරි පැහැයටද (මේවා බොහෝ විට මුදවපු කිරි වලට සමාන තත්ත්වයක්‌ ගනු ලැබේ) තරමක්‌ උකු ස්‍රාවයක්‌ ලෙසින්ද පිටවිය හැකිය. 

තවද සුදු පැහැති ලෙසද යෝනි මාර්ගය අවට පැතිරී පැවැතිය හැකි අතර මීට අමතරව රතු පැහැයට ලා රතු පැහැයට කහ මෙන්ම තද කහ පැහැයෙන්ද පිටවීම සිදුවිය හැකියි. එලෙස විවිධ පැහැයෙන් ස්‍රාවයන් පිටවීමේදී කාන්තාවන්ට තමන්ට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇති බව දැනගත හැකියි.

මෙම රෝගය වැළඳීමත් සමඟ ඔවුන්ට ඇතිවන අපහසුතා මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට විවිධ අපහසුතා ඇතිවිය හැකියි. ඒ අනුව යෝනි මාර්ගය අවට ප්‍රදේශය නිතර නිතර කැසීමේ තත්ත්වයක්‌ ඇතිවීම සහ එම කැසීම ඉකිළි ආශ්‍රිත ප්‍රදේශය දක්‌වා ව්‍යාප්ත වීම සහ නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරු වීම ප්‍රධාන ලෙසට දැකිය හැකි අපහසුතා ලෙස දැක්‌විය හැකියි. මේ නිසා බොහෝ කාන්තාවන්ට කාර්යාලවලදී පොදු මගී ප්‍රවාහන සේවාවලදී නිතර පිරිස්‌ අතර ඇසුරේදී ඉතා දැඩි අසරණභාවයකට පත්වීමට සිදුවන්නේය.

මේ රෝගය වැළඳෙන්නේ මොනවගේ හේතු කාරණා නිසාද?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

ඇත්තටම මෙය වැළදෙනවාට වඩා වැළඳගන්නවා යෑයි කීවොත් එය බොහෝ නිවැරැදියි. බොහෝ විට කාන්තාවන් තම ශරීර සනීපාරක්‍ෂාව පිළිබඳ අඩු අවධානයක්‌ යොමු කිරීමෙන් මෙම රෝගය ඇතිවිය හැකියි. එනම් යෝනි මාර්ගය අවට ප්‍රදේශය නිරන්තරයෙන්ම පිරිසිදුව තබා නොගැනීම, හොඳ සෞඛ්‍ය පුරුදු නොමැතිවීම, ක්‍රිමි ආසාදන (පණු රෝග) ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටින සහ වැඩිපුර ඉඳගෙන සිටීමද මෙම රෝගය ඇතිවීමට හේතුවිය හැකියි. තවද බර ඉසිලීම, පොදු වැසිකිළි භාවිතය හා අපිරිසිදු වැසිකිළි භාවිතය, බහු පුරුෂ සේවනය ආදිය සුද යැමේ රෝගය ඇතිවීමට බලපාන හේතු කාරණා ලෙස හැඳින්විය හැකියි.

තවද ඉහත හේතූන්ට අමතරව උෂ්ණාධික ආහාර ගැනීම, විශේෂයෙන්ම තරුණ අවධියේ සිටින කාන්තාවන් අමු අඹ, අන්නාසි, බිලිං, අඹරැල්ලා, අච්චාරු වැනි දේ ආහාරයට ගැනීමෙන් මෙම රෝගී තත්ත්වයට ගොදුරුවිය හැකියි. විශේෂයෙන්ම ශරීරයේ අධික උෂ්ණාධික බවද මෙම රෝගය හටගැනීමේ හේතුවක්‌ ලෙස දැක්‌විය හැකියි.

මෙවැනි වැරදි ක්‍රියාකාරකම් නිසා බොහෝ කාන්තාවන් මෙම රෝගී තත්ත්වයට ගොදුරුවන අතර එනිසා හැකිතාක්‌ නිවැරදි ආහාර රටාවන්ට හොඳ සෞඛ්‍ය පුරුදුවලට පිරිසිදුකමට මූලිකත්වය දුන්නොත් බොහෝදුරට මෙම රෝගය වැළඳ නොගැනීමේ හැකියාව පවතින බවද මෙහිදී පැවසිය යුතුම වෙනවා.

මෙම රෝගය වැළඳුණු කාන්තාවන් එයින් මුදාලීම සඳහා ආයුර්වේදය සතු ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා,

ශ්වේත ප්‍රදරය (සුදයැම) රෝගය සුව කිරීම සඳහා ඉතා හොඳම ප්‍රතිකාර ක්‍රමවේදය ආයුර්වේදයයි. මන්ද මෙම රෝගය වැළඳුණු කාන්තාවන් අප කරා පැමිණ ඔවුන් මේ සඳහා විවිධ ප්‍රතිකාර ලබාගත් බවත් නමුත් අවසන රෝගය සුවවූයේ අපගේ ප්‍රතිකාර මගින් බවත් නිරන්තරයෙන්ම අප හා පවසනවා. එනිසා මේ සඳහා හොඳම ප්‍රතිකාර ක්‍රමය ආයුර්වේදය බව නොබියව පැවැසිය හැකියි.

මේ සඳහා ආයුර්වේදය සතු ප්‍රතිකාර ක්‍රම විවිධයි. මන්ද මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට ඇතිවන අපහසුතා විවිධාකාරයි. ඉහත සඳහන් කළාක්‌ මෙන් එම විවිධ අපහසුතා පිළිබඳ සියුම්ව රෝගීන් සමඟ සාකච්ඡා කර ඒ ඒ අවස්‌ථා සඳහා වෙන වෙනම ඖෂධ ලබාදීම සිදුකළ යුතුයි. ඒ සඳහා සැකසූ විශේෂිත ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ අප සතුව තිබෙන අතර වෛද්‍ය නිර්දේශ අනුවම පමණක්‌ රෝගීන් එම ප්‍රතිකාර ලබාගත යුතුවෙනවා.

විශේෂයෙන්ම මෙම රෝගී තත්ත්වය දිගු කලක්‌ පැවැතීමෙන් ගර්භාෂය ආශ්‍රිතවද යම් යම් රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක්‌ තිබෙන නිසා බොහෝ විට එවැනි අවස්‌ථාවලදී දරුඵල නොමැතිවීම දක්‌වා තත්ත්වය භයානක විය හැකි බැවින් මේ සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසද කාන්තාවන්ට පැවැසිය යුතුම වෙනවා


Post a Comment

0 Comments