මොනවද මේ සිරෝසිස්‌ සුව කරගන්නේ කොහොමද?


ප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ ඇසේ සුද සහ ග්ලූකෝමා රෝගය ගැන අප ඔබ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අද සිට අප ඔබ සමග කතා කිරීමට බලාපොරොත්තු වන්නේ සිරෝසිස්‌ රෝගය ගැනයි. බටහිර වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේදය මගින් මේ රෝගය අර්ථ නිරූපණය කරන ආකාරය සහ එයට කරන ප්‍රතිකාර ගැන පාඨකයන් දැනුවත් කිරීමට අප කල්පනා කළා. පළමුවෙන් ම අපට විස්‌තර කරන්න මොකද්ද මේ සිරෝසිස්‌ රෝගය කියන්නේ.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - දිගු කාලීනව අක්‌මාවට හානි වුණාම හරියාකාරව ක්‍රියාත්මක වීමට අක්‌මාවට බැරි වෙනවා. එනම් අක්‌මාවේ පටක විනාශයට පත් වී තුවාල සහිත පටක හටගන්නවා. සිරෝසිස්‌ රෝගය එක දවසකින් හැදෙන්නෙ නැහැ. මුලදී කිසිදු රෝග ලක්‍ෂණයක්‌ පෙන්වන්නෙත් නැහැ. මෙහි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නට මාස ගණනක්‌ ගත වෙනවා. හරියට ප්‍රතිකාර නොකෙරුණොත් මේ මගින් රෝගියා මරණයට පත් වෙනවා.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවද?

වෛද්‍ය වික්‍රමාරච්චි - මා මුලදී කීවා වගේ මෙහි රෝග ලක්‍ෂණ එළියට එන්නේ තත්ත්වය දරුණු වුණාමයි. මුල්ම රෝග ලක්‍ෂණය වන්නේ රෝගියා ඉතා ඉක්‌මනින් අධික ලෙස මහන්සියට පත් වීමයි. ඉන් පස්‌සේ ශරීරයේ තැන් තැන්වල කසන්නට පටන් ගන්නවා. ඊළඟට පාද ඉදිමෙනවා. ශරීරයේ සම කහ පැහැ ගැන්වෙනවා. බඩේ වතුර පිරෙනවා. සම යටින් දිවෙන ලේ නහර මකුළුවකුගේ අඬු වගේ පිටතට පෙනෙන්නට පටන් ගන්නවා. සිරෝසිස්‌ රෝගියා නිතරම ඉන්නේ ව්‍යාකූල ස්‌වභාවයෙන්. ඔහු සමහර විට විසඥ වෙනවා.

ප්‍රශ්නය - මෙම රෝගයට හේතු වන්නේ කුමක්‌ද? සිරෝසිස්‌ රෝග වැළඳෙන අවස්‌ථා මොනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පළමුවැන්න තමයි අධික ලෙස මත්පැන් පානය කිරීම. මත්පැන් නැතිව පුරුද්දක්‌ වශයෙන් දීර්ඝ කාලයක්‌, සීමාවක්‌ නැතිව අරිශ්ට පානය කරන අයටත් සිරෝසිස්‌ රෝගය වැළඳෙනවා. මොකද අරිශ්ටවල තිබෙනවා එය තුළ හටගන්නා මද්‍යසාර වගේම පිටතින් එකතු කරන මද්‍යසාරත් තිබෙනවා. දීර්ඝ කාලීනව මේවා අක්‌මාව සමඟ ගැටෙන්නට වුණාම සිරෝසිස්‌ හටගන්නවා. මද්‍යසාර මගින් අක්‌මාවේ තිබෙන ප්‍රොaටීන, මේදය, කාබෝහයිඩේ්‍රට යනාදිය ශරීරයට උරා ගැනීමේ ක්‍රියාවලියට බාධා කරමින් අක්‌මාවට තුවාල කරනවා. මේ සමගම මද්‍යසාර නිසා හට ගන්නා හෙපටයිටිස්‌ රෝගයත් උණත්, කහ උණත් ශරීරය කෘෂ වීමත් ඇතිවෙනවා. ඇමරිකාව වගේ රටවල සිරෝසිස්‌ රෝගීන්ගෙන් 40% කට එය වැළඳෙන්නේ මද්‍යසාර නිසයි. මගේ පුද්ගලික වැටහීමේ හැටියට ලංකාවේ තත්ත්වය ඊට වඩා දරුණුයි.

ඊළඟ රෝග තත්ත්වය තමයි මද්‍යසාර හේතුවක්‌ නොවන Non - alcoholic steatohepatitis සිරෝසිස්‌ රෝගය. මෙහිදී අක්‌මාව තුළ මේදය වර්ධනය වී අක්‌මාවේ පටකවලට හානි කරන්නට පටන් ගන්නවා. අධික ස්‌ථුලභාවය, දියවැඩියා, ප්‍රොaටීන ඌනතාව, හෘද රෝග, ස්‌ටිරොයිටි වර්ගවලින් දීර්ඝ වශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම යන තත්ත්වයන්ට මුහුණ දුන් රෝගීන්ට මේ රෝගය හට ගන්නවා. 

නිදන්ගත හෙපටයිටිස්‌ C වැළඳුන අයටත් මේ රෝගය හැදෙනවා. හෙපටයිටිස්‌ C මගින් ඇති කරන ආසාදනය නිසා අක්‌මාව තුළ ප්‍රදාහ තත්ත්වයක්‌ ඇති වෙනවා. මේ ප්‍රදාහ තත්ත්වයෙන් දශක කිහිපයක්‌ ගත වුණාට පසුව සිරෝසිස්‌ රෝගය වැළඳෙනවා. එයට ප්‍රමුඛ හේතුව තමයි පෙර කී ප්‍රදාහ තත්ත්වය නිසා අක්‌මාවට සිදුවන හානිය.

නිදන්ගත හෙපටයිටිස්‌ B රෝගය වැළඳීමත් පසු කාලීනව සිරෝසිස්‌ හට ගැනීමට හේතුවක්‌. පිත්තාශය හානියට පත් වුණාමත් අක්‌මාවට තුවාල සිදු වී සිරෝසිස්‌ වැළඳෙනවා. පවුලේ වෙනත් අයට සිරෝසිස්‌ තිබෙනවා නම් ජාන උරුමයෙනුත් සිරෝසිස්‌ ඇති වෙනවා. අක්‌මාව තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා තඹ හෝ යකඩ තැන්පත් වුණාමත් සිරෝසිස්‌ හැදෙනවා.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න

Post a Comment

0 Comments