ප්රශ්නය - පසුගිය සති කිහිපය තුළ අංශභාගය හෙවත් ආඝාතය (Stroke) යන රෝගය පිළිබඳව පාඨකයන් දැනුවත් කළා. ඊළඟට අප සැලසුම් කරගෙන සිටියේ ඇසේ සුද මතුවීම සහ පාරම්පරික සිංහල වෛද්‍ය ප්‍රතිකාර මගින් එය සුවපත් කරගන්නා ආකාරය ගැන පාඨකයන් දැනුවත් කිරීමටයි. එහෙත් කලක පටන් පාඨකයන් අපෙන් ඉල්ලා සිටිනවා වැරිකෝස් (Varicose) හෙවත් නහර ගැටගැසීමේ රෝගය ගැන ලිපි පෙළක් අරඹන ලෙස. අපට කරුණාකර කියන්න මොකද්ද මේ රෝගය.
වෛද්‍ය වික්‍රමාරච්චි-නහර ගැට ගැසීමේ රෝගය හෙවත් නහර ඉදිමුම කොතරම් වේගයෙන් සමාජය ගිල ගන්නවාද කියනවානම් මෙයට අවුරුදු හතළිහකට පෙර වයස අවුරුදු හතළිහෙන් පනහෙන් උඩ අයට පමණක් හැදුණු මේ රෝගය අද වන විට තරුණ තරුණියන්ටත් හැදෙන්නට පටන්ගෙන තිබෙනවා. මා අද මෙම ලිපියෙන් විග්රහ කරන්නට යන්නේ බටහිර වෛද්‍යවරුන් මේ දෙස බලන ආකාරය සහ ඔවුන් මෙය අර්ථකථනය කරන විදිය ගැනයි. ඊට පසුව ආයුර්වේදය සහ පාරම්පරික සිංහල වෛද්‍යවරුන් මෙම රෝගය දකින ආකාරයත් එයට කරන ප්‍රතිකාර ගැනත් සඳහන් කරනවා. නහර ඉදිමුම හෙවත් වැරිකෝස් ප්‍රධාන වශයෙන් බලපාන්නේ පාදයටයි. එහෙත් ඊට අමතරව ශරීරය තුළ තිබෙන වෙනත් තැන් ගණනාවකම මෙම නහර ගැටගැසීම ඇති විය හැකියි. ඒවා ගැනත් පසු ලිපිවල විස්තර කරනවා. ශරීරයේ රුධිර ගමනය සිදුවන්නේ එක්තරා ලතාවකට අනුවයි. ඒ අනුව ශරීරයේ හදවතින් නිකුත් කරන රුධිරය ශරීරය පුරාම ගමන් කරනවා. ශරීරයේ පූර්ව (උඩ) කොටසේ සිට ගමන් කරන රුධිරය ශරීරයේ අපර (පහළ) කොටසට ඇවිත් නැවත උඩට ගමන් කරනවා. මෙසේ උඩට ගමන් කරන රුධිරය ආපසු පහළට ගලා ඒම සහ රොක්වීම වළකින්නේ නහරවල ඇති කපාට හෙවත් වෑල් (Valve) විශේෂයක් නිසයි. ශරීරයේ රුධිරය ගමන් කරන්නේ එක් දිසාවකට පමණයි. හදවතින් නිකුත් වන රුධිරය පාදවල ඇඟිලි දක්වා ගමන් කරන්නේ පහළට යන රුධිරය සඳහා විතරක් විවර වන වැල්ව් පද්ධතිය නිසයි. එසේ පහළට එන රුධිරය ආපසු උඩට යන්නේ ඒ කාර්යය සඳහා විවෘත වුණ වෑල් පද්ධතියක් සහිත නහර දිගෙයි.
මේ නිසා උඩට යන රුධිරය ආපසු පහළට එන්නට හැදුවොත් ඒ ක්‍රියාන්විතයට අදාළ වෑල්ව් වැසී යනවා. මෙය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මා මෙය විස්තර කරන්නේ හැකි තරම් සරල උදාහරණ සහිතවයි. නහර ඉදිමුම හෝ නහර ගැටගැසීම හටගත් විට වෑල් පද්ධතිය නිශ්ක්‍රීය වෙනවා. එවිට උඩ සිට පහළට පැමිණ නැවත පහළ සිට උඩට යන්නට නියමිත රුධිරය මඟක් දුර ගොස් ගුරුත්වාකර්ෂණයට අවනත වෙමින් ආපසු පහළට ගලන්නට පටන් ගන්නවා. එයට හේතුව කපාට පද්ධතිය ක්‍රියාත්මක නොවීමයි. නහර ඉදිමුම පාදවල හටගැනීම බහුල නිසා හිටගෙන ඉන්න විට එම ඉදිමුණ නහරවලට විශාල පීඩනයක් එනවා. ඒ කියන්නේ මුළු ශරීරයේම බර දරන්නේ පාදවලින්. ඒ නිසා උඩ සිට පහතට තෙරපුම වැඩියි. වැරිකෝස් හැදුනම ශරීරයේ පාද අවලස්සනයි. රෝගය හැදුණු තැන නහර ගැටගැසිලා වගේ තිබෙනවා. නහර වැල් නිල් පාට නිසා මෙය ඉතාම හොඳින් කැපී පෙනෙනවා. ඒ එක්කම මෙයින් අධික වේදනාවක් හටගන්නවා. වැරිකෝස් රෝගියා හිටගෙන ඉන්න විට රුධිරය පහතට රොක් වීම නිසා නහර ඉදිමෙනවා. ඒ කියන්නේ කකුල් ඉදිමෙනවා. නහරවල නැමීම් හටගෙන eczema තත්ත්වයක් ඇතිවෙනවා. සාමාන්‍ය ජනයා මෙය දදය, කුෂ්ටය, පණුකැවිල්ල, කඩුවේගන් යන වචනවලින් හඳුන්වනවා. ඊළඟට එතන සම ගනකම් වෙන්නට පටන් ගන්නවා. හරියටම අලියකුගේ මතුපිට සම වගේ. මේ තත්ත්වයට බටහිර වෛද්‍යවරුන් කියන්නේ lipodermatosclerosis යනුවෙන්. ඊළඟට Ulceration තත්ත්වයක් එනවා. ඒ කියන්නේ එතැන වණ වෙනවා. අප මෙහිදී ඉංගී්රසි වචන පාවිච්චි කරන්නේ ඕනෑම කෙනකුට අන්තර්ජාලයට පිවිස එම වචන ටයිප් කිරීමෙන් තවදුරටත් තොරතුරු ලබා ගැනීමට හැකි වන නිසයි. වැරිකෝස් හැදුනට කවුරුවත් මැරෙන්නේ නැහැ. එහෙත් මෙය හරිම කරදරයක්. සනීප කර ගත්ත තරමට රෝගියාට ලෙහෙසියි.
මේ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව තුළ සැත්කම් වගේම සැත්කම් රහිත ප්‍රතිකාර තිබෙනවා. පැරණි එංගලන්තයේ සම්ප්රදායයක් තිබුණා ඉදිමුණ නහර කපා ඉවත් කිරීමට. මේවා ඉතින් ජීවිතය සහ මරණය අතර සිට කරන සූදු කෙළීම් වැනි ක්‍රියා. එහෙත් සිංහල පාරම්පරික වෙදකම කරන අප නම් සැත්කම් අනුමත කරන්නේ නැහැ. සුවිශේෂ ආහාර වර්ග, කසාය වර්ග, මහාහරි තෛලය වැනි තෙල් වර්ග සහ අවසාන වශයෙන් රස බෙහෙත් වලින් මේ රෝගය සුවපත් කළ හැකියි. ඒ ගැන ලබන සතියේ කතා කරමු.
මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා
0713464276/ 0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
0 Comments