සමාජ අපරාධ මැඬලීමට විවෘතව දඬුවම් දිය යුතුයි


සේයා සඳෙව්මි පස්‌ හැවිරිදි ළදැරිය සාහසික ලෙස ඝාතනය කිරීම නිසා ඝාතකයාට මරණ දඬුවම දෙන්නැයි රට පුරා උද්ඝෝෂණ විරෝධතා පැන නැඟිණ. එවැනි අපරාධයක්‌ කළවිට "ඕකව මැරුවත් මදිය" යන සිතිවිල්ල සෑම පුහුදුන් හදකම පැන නගින්නකි. මෙයද එවැනි අවස්‌ථාවකි. වර්තමාන සමාජය අපරාධවලින් පිරී පවතී. මේ අපරාධ සමාජයෙන් තුරන් කිරීමට මරණ දඬුවම ප්‍රමාණවත් ද යන්න විපරම් කර බැලීම වටී. මහජන හඬට කන් දෙන ජනාධිපතිතුමාද කීවේ පාර්ලිමේන්තුව සම්මත කරන්නේ නම් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවයි. දැනට පෙනෙන හැටියට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව කැමති බවද එය සම්මත කරන බවද පෙනේ. සත්‍ය වශයෙන්ම මරණ දඬුවම දීම පළිගැනීමක්‌ පමණි. එයින් අපරාධ අඩු නොවේ.

අද ලංකාවේ ප්‍රචලිත අපරාධ මොනවාද?

මිනී මැරීම් අතුරුදන් කිරීම්, කාම අපරාධ, රාජ්‍ය දේපළ සොරකම් කිරීම, අල්ලස්‌ ගැනීම හා රාජ්‍ය ව්‍යාපෘතිවලින් කොමිස්‌ ගැනීම, අනුන්ගේ ඉඩම් බලෙක්‌ අල්ලා ගැනීම, රජයේ ඉඩම් හොර රහසින්ම විකුණා ගැනීම යන මේ සියල්ල අපරාධය. මේ අපරාධ සියල්ලටම මරණ දඬුවම දුන්නත් මේවා වළකින්නේ නැත.

මිනිසුන් මේ අපරාධ කරන්නේ සිතා මතාය. සැලසුම් සහගතවය. ඒවාට බලපාන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තණ්‌හාව, වෛර බැඳීම ආදී සිතිවිලිය. මිනිසුන් අපරාධ කරන්නේ සිතෙනි. ඒ නිසා මිනිසුන්ගේ සිත් හැදිය යුතුය. සිත් හදන්න බණ කීමෙන් නුපුළුවන. අපේ රට තරම් බණ කියන පිරිත් කියන රටක්‌ මුළු ලෝකයේම නැත. එහෙත් දවස ගානේ අපරාධ වැඩිවේ.

මිනිස්‌සුන් හැදෙන්නේ අත් දැකීමෙනි. බිය වීමෙනි. යම් යම් දේ දැකීමෙන් අවබෝධ කර ගැනීමෙනි. මිනිස්‌සුන් දඬුවමට බිය බව ඇත්තය. එහෙත් දඬුවමට බිය වන්නේ දඬුවම දැකීමෙනි. ලංකාවේ ක්‍රියාත්මක වන එල්ලා මැරීම සාමාන්‍ය ජනයා නොදනී. එය දකින්නේ අතළොස්‌සකි. එල්ලුම් ගහට ගිය සමහර වරදකරුවන් එල්ලුම් ගස වෙත යන්නේ ද සිනාසෙමිනි. එයට යන පුද්ගලයාවත් එයට බය නැත. කවදා හිටියත් මැරෙනවා කියන බව මේ කවුරුත් දනිති. ඒ නිසා මරණ දඬුවමට බිය නැත. එල්ලුම් ගස අපරාධකරුවෝ නොදකිති. අසවලා එල්ලා මැරුවේ යෑයි පුවත්පතක පළ වීමෙන් මිනිසුන් තුළ සංත්‍රාසයක්‌ ඇති නොවේ. විඳීමක්‌ද නැත. කෙනෙක්‌ව එල්ලා මැරුවේ යෑයි ඇසීමෙන් ඇසින් නුදුටු දෙයක්‌ පිළිබඳව මිනිසුන් තුළ හැඟීම උපදවන්නේ නැත. සේයා ළදැරිය මරා දමා තිබුණ සැටි දැකීමෙන් හදවත් තුළ උපන් ගති ලක්‍ෂණ ඝාතකයා එල්ලා මැරීමෙන් හදවත් තුළ ඇති නොවේ. එය එකට එක කිරීමක්‌ පමණි. පළිගැනීමක්‌ පමණි.

රටේ අපරාධ අඩු කළ සමහර විට නැත්තටම නැති කළ ක්‍රමවේදයක්‌ අප රටෙත් තිබිණි. වෙනත් රටවලත් තිබේ. මරණ දඬුවම නොදී වෙනත් බරපතළ දඬුවම් දීමෙන් අපරාධ තුරන් කළ අන්දම අපේ ඉතිහාසයේ තිබේ. ජාතක පොතේ ජාතක කතාවලද, තිබේ. සිංහල රජවරුන් දවස දඬුවම් කීපයක්‌ දෙස අපි අවධානය යොමු කරමු.

ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය පාලකයකු වූ සර් ජෝන් ඩොයිලි විසින් ලියන ලද සිංහලේ ආණ්‌ඩුක්‍රමය නමැති පොතේ එකල දඬුවම් පැහැදිලි කර ඇත.

රාජෙද්‍රdaහී වීම රජය පෙරළීමට කැරලි ගැසීම, කුමන්ත්‍රණය කිරීම සඳහා දේපළ රාජසන්තක කිරීම, මේ මරණ දඬුවම දුන්නේද රහසිගතව නොවේ. මහජනයා ඉදිරිපිටදීය. වරදකරුවා රතු මල් පළන්දා වීදි දිගේ මහජනයාට දර්ශනය වන සේ ගෙන යයි. එසේ ගෙන ගොස්‌ ප්‍රසිද්ධියේ මහජනයා ඉදිරියේ එක්‌කෝ ගෙළ සිඳියි. නැතිනම් උල හිටවයි. මෙසේ කිරීමෙන් නරඹන්නා තුළ බිය ඇති වේ. ඔහුට එසේ නම් මටත් මේ එසේම යයි අත්දැකීම් ඇති වේ. හිතා මතා සැලසුම් කර යමෙකු ඝාතනය කළේ නම් ඒ ඝාතකයාට මරණ දඬුවම දී ඇත. එය දුන්නේ විවෘතවය. හැංගි හොරා නොවේ.

අනියම් මිනී මැරුමකට, වරදකරු මහනුවර වීදි දිගේ කස පහර දෙමින් ඇවිද්දවීම ඈත ගමක හිරකර තැබීම මෙසේ වරදකරුවන්ට කස පහර දෙමින් වීදි දිගේ ඇවිද්දන විට නරඹන්නා තුළ ද බිය වේදනාව ඇතිවේ. මේ වැරැද්දට දඬුවම මේක නම් ඔහුට වගේම මටත් මේ ටිකමය යන්න අවබෝධ වේ. එයින් මිනිසා හැදේ. මේ අත්දැකීම් මගින් මිනිසා සංවර වේ.

භාණ්‌ඩාගාරය සතු දේපළ වංචා කිරීම සොරකම් කිරීමට දඬුවම් ලෙස, කස පහර දෙමින් වීදි දිගේ ඇවිද්ද වීම මගින් හොරා කවුදැයි මහජනයා දැනගනී. අද භාණ්‌ඩාගාරයේ වංචා කරන සොරකම් කරන කරවන පුද්ගලයා ලබන මැතිවරණයෙන් වැඩි මනාප ගෙන පාර්ලිමේන්තුවට එයි. කෞතුකාගාරයේ රන් කඩු සොරකම් කළ හා කර වූ අයට කවරක්‌ සිදුවීද?

- ආගම කෙළෙසීම, භික්‍ෂූන්ට පහර දීම මහනුවර වීදි දිගේ කස පහර දෙමින් ඇවිද්දවීම ඇඟලි කපා දැමීම.

- ස්‌ත්‍රී දූෂණ කස පහර දීම, වැරැද්ද කළ අවයවය කපා දැමීම.

- හොර අත්සන් තැබීම, හොර කාසි මුද්‍රණය බරපතළ ශාරීරික දඬුවම්.

- රජයේ අරමුදලෙන් සොරකම් කිරීම, කොමිස්‌ ගැනීම අල්ලස්‌ ගැනීම අතේ පහළ කොටස කපා දැමීම.

- ප්‍රධානියකුට භික්‍ෂුවකට පහරදීම( කන් නාස කැපීම, ඇඟිලි කැපීම.

මේ කීපයකි. මෙම සියලු දඬුවම් දී ඇත්තේ ප්‍රසිද්ධියේය. මහජනයා ඉදිරියේය. ඒ නිසා ඒ දඬුවම් දකින ජනයා තුළ බියක්‌ තැති ගැනීමක්‌. සිත්වල පෙරළියක්‌ ඇතිවේ. ඔහුට එසේ නම් මටත් එසේම යෑයි සිත් තුළ පැළ පදියම් වේ. කායානුපස්‌සනාව කියන්නේ ඒකයි. අනිත් කෙනා සමාන කොට උපමා කොට තමන් දිහා බැලීමයි.

මේ දඬුවම අමානුෂික යයි, ප්‍රජාතන්ත්‍රවාදී රටකට නොහොබී යයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මේවා අමානුෂික නැත. ඇත්තේ රෝම ලන්දේසි නීති පොතේ මේ නීති හා දඬුවම් නැති කමයි.

මැද පෙරදිග රටවල වරදකරුවන්ට ගල් ගසා මරණ ක්‍රමයක්‌ ඇත. මෙය අද මැද පෙරදිග ඇතත් අතීතයේ දඹදිව පැවැති බව ජාතක පොත කියවීමෙන් අවබෝධ කර හැකිය. පදමානවක ජාතකයේ රජගෙදර දේපළ සොරකම් කළ සොරු දෙදෙනා මහජනයා විසින් ගල් ගසා මරා දැමීය. බණ්‌ඩහාල ජාතකයේ රජු වරදට පෙළඹ වූ පුරෝහිත මහජනයා විසින් ගල් ගසා මරා දැමීය. ගුත්තිල සමඟ වාදයට ගිය මූසිලනම් වාදකයාට මහජනයා විසින් ගල් ගසා මරා දමන ලදී.

දඬුවම් ක්‍රම තිබිය යුත්තේ සමාජය සදාචාර කිරීමටය. සමාජය සදාචාර වන්නේ අත්දැකීම් තුළිනි. කාටත් නොපෙනෙන කුඩා කාමරයක්‌ තුළ වරදකරුවකු එල්ලා දැමීමෙන් මහජනයාට ඒ අත්දැකීම ලැබෙන්නේ නැත. ආදියේ මිනිසුන් උල තබ්බවා ඇත්තේ ප්‍රසිද්ධියේය. අජාසත්තගේ අධිකරණ නායක වස්‌සකාර උත්තර සාමණේරයන් උල හිටවීමෙන් බුදුන් දවසත් උල හිටුවීම පැවැති බව පෙනේ. ඒ නිසා මෙම දඬුවම අමානුෂිකැයි බැහැර නොකළ යුතුය. සමාජය හදන්න නම් නිවැරදි කරන්න නම් එවැනි දඬුවම් විවෘතව දිය යුතුය. එසේ නැතිව හොර රහසේ එල්ලා මරා අපරාධ වළක්‌වාගත නොහැකිය. හැමදා විවේචනය කරමින් සිටින්නට පුළුවන.

රාජ නීති උගන්වන්න මනුස්‌මෘතිය නම් පොතේ උගන්වන දඬුවම් මෙසේය.

යමෙක්‌ කාන්තාවක්‌ දූෂණය කළේ නම් එකෙනෙහිම ඔහුගේ ලිංගය කැපිය යුතුය. කාන්තාවක්‌ තවත් කන්‍යාවක්‌ ඇඟිලි එබීමෙන් දූෂණය කළේ නම් ඇයට දඩ නියම කිරීමට අමතරව ඇගේ දැවැද්ද මෙන් දෙගුණයක්‌ දිය යුතුය. යම් ස්‌ත්‍රීයක්‌ තම ස්‌වාමියාගෙන් පර පුරුෂයන් කරා යන්නේ නම් ඇය බල්ලන් ලවා කැවිය යුතුය.

පල පහකට වඩා සොරකම් කළොත් සොරාගේ අත කැපිය යුතුය.

සාමාන්‍යයෙන් පුද්ගලයකුට දඬුවම එකක්‌ නම් මන්ත්‍රීවරයකුට ඇමැතිවරයකුට දහසක්‌ දඩය. ඒ මනු නීතියයි.

මනුස්‌මෘතියේ එන අයුරින් මේ දඬුවම් ද දී ඇත්තේ ප්‍රසිද්ධියේය. එසේ ප්‍රසිද්ධියේ දඬුවම දීම නිසා මිනිසුන් සදාචාරවත් වී ඇත. වරදින් මිදී ඇත. ජාතක පොත්හි එන ආද්‍ර සමුඛ ජාතකය හෙවත් ගාමිණී චණ්‌ඩ ජාතකයේ එන පරිදි ආද්‍ර සමුඛ රජු විවෘතව නඩු අසා විවෘතව දඬුවම් දුන් බව පැහැදිලිය. මනුස්‌මෘතිය ජාතක පොත ආදර්ශයට ගනිමින් අප රටේද විවෘතව දඬුවම් දිය යුතුය. සදාචාර සම්පන්න ජනතාවක්‌ ඇති කළ යුතුය.

කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණයෙන් පසුව අපරාධ බහුල විය. පස්‌පව් දස අකුසල් වර්ධනය විය. ඒ වකවානුවේ ශක්‍රයා අශ්වයකු තරම් උස මහත මහා සැර පරුෂ බල්ලකුද බැඳගෙන (මහාකණ්‌හ ජාතකය) ඇවිත් හන්දියක්‌ හන්දියක්‌ ගානේ බල්ලා ලවා රෞද්‍ර හඬින් බුරවමින් ඇවිද්දේය. රජ මාළිගාව සමීපයේ දොරකඩ බල්ලා බුරද්දී රජු පැමිණ මේ බල්ලා බුරන්නේ මන්දැයි විමසීය. එවිට ශක්‍රයා කියන්නේ මේ බල්ලාගෙන් ශීලාචාර මිනිසුන්ට වරදක්‌ නැත. පස්‌පව් දස අකුසල් කරන අශීලාචාර මිනිස්‌සු මේ බල්ලා විසින් කා දමනු ලැබේ. මේ බල්ලා එවැනි අය මරා දමයි. යනුවෙන් රජුට කීය. මේ පණිවුඩය ඇසූ රට වැසියෝ පස්‌පව් දස අකුසල් අත්හැර ශීලාචාර යහපත් ජීවිත ගත කළ හෙයින් මුළු රටම ධාර්මික ශීලාචාර විය. එදා සිටි ශක්‍රයා එසේ ආවද අද සිටින ශක්‍රයා අපේ රට ශීලාචාර කිරීම සඳහා අද පැමිණෙන්නේ නැත. ඒ නිසා නව දඬුවම් නීති ක්‍රම ඇති කරමින් විවෘතව ප්‍රසිද්ධියේ දඬුවම් දෙමින් මේ රට ශීලාචාර රටක්‌ කළ යුතුය.

අප රටේ නීති පද්ධතිය අනුව සමහර වැරදිවලට දෙන දඬුවම් ලිහිල් වැඩිය. විශේෂයෙන්ම කාම අපරාධ ළමා අපචාර වැරදිවලට දෙන සීමිත දඬුවම් නිසා කෙටිකාලීන නිසා අපරාධකාරයෝ එවැනිම තවත් අපරාධ කරති. අවුරුද්දක්‌ සිරදඬුවම විඳින පුද්ගලයා සිරගෙදරින් නිදහස්‌ව ගොස්‌ නැවතත් අපරාධ කරති. ළමා අපචාර කාම අපරාධ සඳහා ශාරීරික දඬුවම් ඇඟ රිදෙන දඬුවම් දිය යුතුය. එසේ ප්‍රසිද්ධියේ විවෘතව ශාරීරික දඬුවම් දෙන විට අනෙක්‌ අය ඒවා බලා සිටිති. එය දැකීමෙන් කායානුපස්‌සනාවෙන් වරදවල්වලට පෙළඹීම අඩුවේ. වර්තමාන සිරදඬුවම් දඬුවමක්‌ නොවේ. එහි දී ආහාර පාන වස්‌ත්‍ර ආදිය පමණක්‌ නොව තමන්ට අවශ්‍ය කුඩු (හෙරොයින්) ආදියද ලැබේ. මේ මේ තත්ත්වයන් යටතේ සිරදඬුවමත් ප්‍රමාණවත් දඬුවමක්‌ නොවේ. මරණ දඬුවම දීමෙන් අපරාධ වැළැක්‌වීමටවත් සමාජය සදාචාර කිරීමටවත් නොපුළුවන. සිංහල රජකාලේ දඬුවම් නියම කළ යුතුය. ඒ සඳහා නීති සකස්‌ කළ යුතුය. එයින් සමාජය යහමගට ගත යුතුය.

විජිතනන්ද සරත්චන්ද්‍ර

Post a Comment

0 Comments