ප්රශ්නය - පසුගිය සති කිහිපය තුළ අප Ulecerative Collitis හෙවත් අන්ත්‍ර ප්‍රදාහය. IrritableBowl Syndrom හෙවත් ග්‍රහණි රෝගය, ගුද විද්‍රදිය වැනි ගුදගත රෝග රැසක් ගැන අප සාකච්ඡා කළා. අද අප ඔබෙන් අහන්නට බලාපොරොත්තු වන්නේ Pilonidal Sinus හෙවත් නාඩි ව්රණ රෝගය ගැනයි. අප මේ ගැන සාකච්ඡා කිරීමට අදහස් කළේ පාඨකයන් එසේ කරන ලෙස අපෙන් ඉල්ලා සිටි නිසයි.
විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - නාඩි ව්රණ රෝගය ලෙස ආයුර්වේදයේදී හැඳින්වෙන මේ රෝගය Pilonidal cyst, Pilonida Abscess, sqcrococcygeal fistula යනුවෙනුත් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ හැඳින්වෙනවා. මෙය ශරීරයේ කොඳු ඇටපෙළේ අවසන් පුරුකට පහළින් ගුද මාර්ගයට ඉහළින් විද්රදියත්, ඉදිමුමක්. තුවාලයක් හෝ විසර ගෙඩියක් ලෙස මතු වෙනවා. එය හටගන්නා තැනට කියන්නේ අනුත්‍රිකාස්ථික ප්‍රදේශය කියලයි. විශේෂයෙන් මෙය හටගන්නේ වයස අවුරුදු 15 - 35 අතර වයස් කාණ්ඩයේ අයටයි. මෙයට අමතරව ඉකිලිය, පෙකණිය, ලිංගාශ්‍රිත ප්‍රදේශ යනාදියෙහිත් මෙය හටගන්නවා. එහෙත් මෙය බහුල ලෙස හට ගන්නේ මුලින් සඳහන් කළ අනුත්රිකාස්ථි ප්‍රදේශයේයි.
ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද?
විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - 1. ගුදය හෝ එය ආශ්රිත ප්‍රදේශයේ හට ගන්නා ඉදිමුමත් සහ විටින් විට හටගෙන නැතිව යන වේදනාවත්.
2. අනුත්‍රිකාස්ථිය අවට ප්‍රදේශයේ හට ගන්නා අසාමාන්‍ය තෙතමනයක්.
3. හිඳගෙන සිටින විට, බයිසිකල් පදින විට (ශරීරයේ පසුපස කොටස චලනය වන ආකාරයේ ක්රියාකාරීත්වයන් වලදී) හටගන්නා අපහසුතාව.
(මේ අතර ඇතැම් පුද්ගලයන්ගේ නාඩි ව්රණ තත්ත්වය කිසිදු රෝග ලක්ෂයකින් තොරවම වර්ධනය වන අවස්ථා තිබෙනවා.)
ප්රශ්නය - මෙය හට ගන්නේ කොහොමද?
විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - මෙය බොහෝ විට සමට යටින් වර්ධනය වුණ කෙස් ගසක් හෝ කෙස් ගස් කිහිපයක් නිසා ඇතිවන බවට මතයක් තිබෙනවා. කෙනෙකු දීර්ඝකාලීනව හිඳගෙනද සිටිනවා නම් එසේ හිඳගෙන සිටින - නිතර හිරවන නැවත ශරීරයේ පසුපස කොටසේ යටට යමින් කෝටරයක් වැනි අවකාශයක් ඇතිවී ඒවා තුළ කෙස් වැවෙනවා. ඉන්පසු එතැන ආසාදනය වෙනවා. එම කෙස් ගස් ආගන්තුක ද්‍රව්‍යයන් ලෙස හඳුනා ගන්නා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒවාට පහර දෙන්නට පටන් ගන්නවා. අන්තිමේදී මෙය විශාල ප්‍රමාණයේ විසර ගෙඩියක ස්වරූපය ගනිමින් පැසවන්නට, සැරව ගලන්නට පටන් ගන්නවා.
ප්රශ්නය - මෙය සුවපත් කරගන්නේ සැත්කමක් මගින්ද?
විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - මෙයට හොඳම සහ වඩාත් නොවරදින ප්රතිකර්මය තමයි ක්ෂාර සූත්‍ර නමැති ඖෂධීය නූල මගින් කරන ප්‍රතිකාරය. අවුරුදු 4000 කට ඉස්සර සුශෘත නමැති ආයුර්වේද ඉසිවරයා විසින් නාඩි වෘණ තත්ත්වය සඳහා ක්ෂාර සූත්‍ර ප්‍රතිකාර යෝග්‍ය බව පෙන්වාදී තිබෙනවා. බගන්දරා රෝගයට සුදුසුම ප්‍රතිකාරය තමයි ක්ෂාර සූත්‍ර ප්‍රතිකාරය. ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනුත් මේ ප්‍රතිකාරය පිළිගෙන තිබෙනවා.
ප්රශ්නය - ක්ෂාර සූත්‍ර හොඳම ප්‍රතිකාරය කියලා ඔබ කියන්නේ කොහොමද?
විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - හේතු කිහිපයක් තිබෙනවා. පළමුවෙන්ම මෙතැනදී සැත්කමක් මගින් සිරුර කැපීමක් හෝ කෙටීමක් සිදු වෙන්නෙ නැහැ. ඒ වගේම වේදනාවත් ඉතාම අඩුයි. දිනපතාම බෙහෙත් දැමීමට අවශ්‍යත් නැහැ. පැත්තකට වෙලා විවේක ගනිමින් ලෙඩේ සුව වන තුරු ඉන්න ඕනත් නැහැ. ක්ෂාර සූත්‍රයක් දමා තිබියදීම ඔබේ එදිනෙදා වැඩ කරගත හැකියි.
0 Comments