සැබෑ ජාතික නිෂ්පාදන පිළිවෙතක්‌ සඳහා


ලංකාවට එන යුරෝපීය හා ඇමෙරිකානු සංචාරකයින් අතරින් ඉතාම වැඩිදෙනෙක්‌ පෙට්‌රෝ රසායනික අපද්‍රව්‍යවලින් නිපදවන පAල්ස්‌ටික්‌ හා පොලිතින් නිෂ්පාදන පිළිකුල් කරන්නවුන් වන හෙයින් සංචාරක හෝටල්වල පාලකයින් ප්ලාස්‌ටික්‌ කලාල හා පොලිතින් සැරසිලි වෙනුවට පන්පැදුරු කලාල හා පන්වලින් කළ බෑග් ආදී නිෂ්පාදන උපයෝගී කරගන්නේ නම් සොබා පරිසරවාදී ජීවහිතවාදී පන්පැදුරු කලාල කර්මාන්තය ලෝක මට්‌ටමට ගෙනයා හැකිවනු නිසැකය. පසුගිය ලිපියේ දෙවැනිව ඉදිරිපත් කළ පොල් හා පලතුරු නෙළීම සඳහා උපයෝගී කරගත හැකි දිගහරින හකුලන රිටි නිපදවීම ජාතික කර්මාන්තයක්‌ බවට පත් කළ හොත් දෙකෝටි විසි ලක්‍ෂයක්‌ තරම් ජනගහණයක්‌ වෙසෙන ශ්‍රී ලංකාවේ පවුල් හතලිස්‌ ලක්‌ෂයක්‌ ඉලක්‌ක කරගෙන රිටි දස ලක්‍ෂයක්‌ තරම් සංඛ්‍යාවක්‌ වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකිවේ. එසේ වුවහොත් එම රිටි පිළිසකර (රෙපයාර්) කිරීමද අතුරු කර්මාන්තයක්‌ වනු ඇත.

ජාතික නිෂ්පාදන පිළිවෙතක්‌ සඳහා වූ ලිපි පෙළේ දෙවැනි ලිපියට මීට දාහත් වසරකට පෙර මවිසින් "දිවයින" පුවත්පත මගින් ඉදිරිපත් කරන ලද සුපිරි චුවිංගම් නිපැයුමක්‌ මගින් ලෝදනන් ලංකාව වෙත ආකර්ෂණය කිරීමේ අදහසද එක්‌ කළ යුතුව තිබේ. ආහාර වර්ග රස හා සුවඳ ගන්වන කුළුබඩු නිෂ්පාදනය සඳහා ලෝක ප්‍රකට අතීත වාර්තාවක්‌ ඇති ශ්‍රී ලංකාවේ නිපදවන කරඳමුංගු, කරාබුනැටි, ඉඟුරුපියලි, සාදික්‌කා වසාවාසි නිසි පදමට එකතු කර නිපදවන සුපිරි චුවිංගම් නිපැයුමක්‌ මගින් ලෝ දනන් අප රට වෙත යොමු කර ගත හැකි බවට සැකයක්‌ නැත. කිසිම දත් බෙහෙතක්‌ දත් මැදීමෙන් පසු මුඛයේ තබාගත නොහැක. එසේ වුවත් චුවිංගම් අවශ්‍ය තරම් වේලාවක්‌ මුඛයේ තබාගත හැකිවේ. දකුණු ආසියාවට අයත් ඉන්දියාව, පකිස්‌තානය, බංගලිදේශය හා අග්නිදිග ආසියාවේ රටවල් රැසක ජනතාව අතීතයේ මුඛ ප්‍රසන්නතාවය පවත්වා ගැනීමට උපයෝගී කරගත්තේ කරද මුංගු කරාබු නැටි හා වසාවාසි එකතු කරගත් බුලත් විටි වුවත් වත්මන් පරපුර තමන්ගේ මුඛයන්හි අප්‍රසන්න භාවය මග හරවා ගන්නට යොදා ගන්නේ චුවිංගම් බව රහසක්‌ නොවේ. යුරෝපය, ඇමෙරිකාව හා අප්‍රිකාවද ඇතුළු සමස්‌ත ලෝක ජනගහනයෙන් සියයට පනහක්‌ පමණ චුවිංගම් මගින් මුඛ ප්‍රසන්නභාවය පවත්වා ගනිති. දාහත් වසරකට පෙර මා විසින් ඉදිරිපත් කරන ලද සුපිරි චුවිංගම් නිපයුමක්‌ මගින් ලොව ජයගැනීමේ අදහස මැතිවරණ වේදිකාවට ගෙනා නායකයෙක්‌ වර්තමානයේ දේශපාලන බලවතෙක්‌ වී සිටියද සුපිරි චුවිංගම් නිෂ්පාදනය මගින් ලෝක ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමේ අදහස අමතක කළ බවක්‌ පෙනේ.

ජාතික නිෂ්පාදන පිළිවෙතත් සඳහා වු මේ දෙවැනි ලිපියේදී අප ඉදිරිපත් කරන්නේ අපේ කප්රුක වූ පොල් ගසෙන්ම ලැබෙන සුවිශේෂ සම්පතකි. ඒ සම්පත වෙන අන් කිසිවක්‌ නොව පොල් ලෙල්ලෙන් ලබා ගන්නා පොල් කෙන්දයි. කොහු කර්මාන්තයේ අතුරු පලයක්‌ වන කොහුඹත් රටට විදේශ විනිමය ගෙනෙන මගක්‌ වී තිබේ. වියළුනු වැලි පොළවක්‌ සහිත අරාබිකරයේ අධි කාන්තාර බිම් සරුකර ගැනීම සඳහා කොහුබත් මිලදී ගන්නට ඛණිජ තෙල් විකුණා ලැබෙන ධනයෙන් කොටසක්‌ යෙදවීම ලංකාවට ආශිර්වාදයකි. කොහුබත් ලැබෙන්නේ කෝටිගණන් පොල්ලෙලිවලින් කොහු ඉවත් කර ගැනීමේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් බව සිසු දරුවන් පවා දන්නා සත්‍යයකි. එසේ වුවත් ප්ලාස්‌ටික්‌වලින් තැනූ කොසු (මුස්‌න) දහස්‌ සංඛ්‍යාත පන්සල්වලත් දස ලක්‍ෂ සංඛ්‍යාත ගෙවල්වලත් දහස්‌ ගණන් පාසල්වලත් දසදහස්‌ ගණන් ආපනශාලා ආදී වෙළෙඳසැල්වලත් රෝහල්වලත් සංචාරක හෝටල්වලත් පාවිච්චිය සඳහා යොදා ගැනීම ජාතික විපතක්‌ වී තිබේ. ඉක්‌මනින් රැළි වැටී මුදු ගැසී වකුටු වන ප්ලාස්‌ටික්‌ කොසුවලින් ගේදොර අතු ගා ගැනීමට දුෂ්කර ක්‍රියාවකි. ප්ලාස්‌ටික්‌ කොසුවලින් පොළව අතුගෑමේදී දුවිලි ඉවත් නොවන හෙයින් හණ කෙඳි හෝ වෙනත් ස්‌වභාවික කෙඳි වර්ග යෙදු මුස්‌න දියෙන් පොඟවා පිඟන් ගඩොල් ඇල්ලූ පොළට නැවත පිස දමන්නට සිදු වී තිබේ. ස්‌වභාවික කෙන්ඳක්‌ වු පොල්කොහු කෙඳියෙදු මුස්‌න මගින් පන්සල්, පාසල්, ගෙවල්, වෙළෙඳසැල් රෝහල්, සංචාරක හෝටල් ආදියේ බිම අතුගාන්නේ නම් දියෙන් පෙඟවූ මුස්‌න මගින් පිසදැමීමක්‌ (මොබ් කිරීමක්‌) අවශ්‍ය නොවේ.

ප්ලාස්‌ටික්‌ කෙඳි යෙදූ මුස්‌නවල කෙඳි ඉතා ඉක්‌මනින් රැළි වැටී වකුටු වී මුදු ගැසී අවභාවිතයට පත්වූවත් පොල් කෙඳිවල පවත්නා තෙත් ගුණය නිසා බිම අතු ගෑමත් සමඟ දූවිලිද ඉවත් වේ. එසේම පොල් කෙඳි ප්ලාස්‌ටික්‌ කෙඳිමෙන් පරිසර දූෂණ මාධ්‍යයක්‌ බවට පත් නොවේ.

පන්සල්වල, පාසල්වල, ගෙවල්වල, වෙළෙඳසැල්වල රෝහල්වල හා සංචාරක හෝටල්වල බිම අතුගා පිරිසිදු කිරීමේදී සොබාවික පොල් කෙන්දෙන් සැදූ කොසු (මුස්‌න) යොදා ගැනීමේ ලාභදායක බවත් පරිසර හිතවාදී බවත් පහදා දීමේ වැඩ පිළිවෙළක්‌ මගින් අභාවයට යමින් පවත්නා ජාතික සුළු කර්මාන්තයක්‌ වු පොල් කෙඳි කොසු හා බුරුසු නිෂ්පාදනය දීප ව්‍යාප්ත ජාතික කර්මාන්තයක්‌ ලෙස ජාත්‍යන්තර මට්‌ටමට ගෙන යා හැකි වනු නිසැකය. ස්‌වාභාවික පොල් කෙඳිවලින් නිපද වන කොසු හා බුරුසුවල පරිසර හිතවාදී බව අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. රටට විදේශ විනිමය ගෙනෙන මඟක්‌ වූ කොහුබත් ලබා ගන්නටද පොල් කෙඳි නිෂ්පාදනය කරන කොහු කර්මාන්තය රැකගත යුතුව තිබේ. දැනට බස්‌නාහිර පළාතට, වයඹ පළාතට හා දකුණු පලාතට සීමා වී ඇති කොහු මෝල් ජාතික මට්‌ටමට නැංවීම සඳහා කොහු කෙඳිමගින් කරන විවිධාංගීය නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට ගෙන යන වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුය. එය ලංකාවට මෙන්ම සොබා පරිසරවාදී නිෂ්පාදනවලට යොමු වී සිටින ලොවටම වැඩදායක වේ. ශ්‍රී ලංකාවේ නායකයින් විදේශීය රටවලට තෑගි වශයෙන් ගෙනයා යුත්තේ සොබා පරිසරවාදී ජීව හිතවාදී දේශීය නිෂ්පාදන මිස යුරෝපාදී රටවල දේශගුණයට නොගැලපෙන අලි පැටවුන් නොවේ. ලොවපුරාම පරිසර අර්බුදයෙන් බැටකන ජාත්‍යන්තර ප්‍රජාව සොබා පරිසරවාදී නිෂ්පාදන පරිහරණය කරන්නට පෙළඹී ඇති හෙයින් පොල් කොහු මුස්‌නවලට අමතර පොල් කොහු පාපිසි හා පොල් ඉරටුවලින් නිෂ්පාදනය කරන ඉදල් සෑදීමේ ගෘහ කර්මාන්තයද ලෝක මට්‌ටමට ගෙන යැ හැකි බව අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. අවභාවිතයට පත්වන ප්ලාස්‌ටික්‌ කොහු, ඉදල් පරිසර දූෂණ ගණයට අයත් වන නොදිරන අප ද්‍රව්‍ය වේ.

පිදුරු සහ සිමෙන්ති මිශ්‍රණය මගින් සැකසෙන ඇස්‌බැස්‌ටෝස්‌ හා සිවිලින් තහඩුවලින් වාතයට එක්‌වන දූවිලි වැනි සියුම් කුඩුද පිළිකා කාරකයක්‌ බවට පත්වන බව පසුගිය දසක කීපය තුළ ඇස්‌බැස්‌ටෝස්‌ වහළ යට ජීවත් වූවන්ගේ ෙ€දජනක අත්දැකීම්වලින් පැහැදිලි වී තිබේ. මේ ලිපිය ලියන මගේ ගම්පියසේ ඇස්‌බැස්‌ටෝස්‌වලින් වැසූ එකම වහළක්‌ යට වෙළෙඳ සැල් දෙකක්‌ වශයෙන් සිල්ලර වෙළෙ¹ම හා බේකරි නිෂ්පාදන අලෙවි කළ මගේ කිට්‌ටුවර ඥාතීන් වු මෝනිස්‌ අප්පුහාමිත් ඡේම්ස්‌ ආප්පුහාමිත් යන දෙදෙනාම හැටවිය ඉක්‌මෙන්නට කලින් මිය ගියේ පිළිකා රෝගීන් ලෙසය. ශ්‍රී ලංකාවේ බොහෝ ගම්බද හා නගරබද පෙදෙස්‌වලින් මෙවැනි ෙ€දජනක අත්දැකීම් කොතෙකුත් අසන්නට ලැබේ. මේ තත්ත්වය පර්යේෂණයට ලක්‌ කළ විද්වතුන්ගේ නිගමනය වුයේ දිගු කලක්‌ ඇස්‌බැස්‌ටස්‌ වහළයට සුළු වෙළෙඳාම් ආදී වෘත්තීන්හි නියුතු වූවන් පිළිකා රෝගීන් බවට පත්වීමට හේතු වන ප්‍රධාන සාධකය ඇස්‌බැස්‌ටෝස්‌වලින් නිකුත් වන සිමෙන්ති කුඩු මිශ්‍ර දූවිලි බවයි. දැනටමත් රටපුරා කොතෙකුත් වෙළෙඳ සැල්වල (විශේෂයෙන් ආපන ශාලාවල) ඉදිරිපස පියෑස්‌ස පොල් අතුවලින් සකසා ගැනීම ජනප්‍රිය වී ඇත්තේ පොල්අතු පියෑස්‌ස නිසා උණුසුමද අඩුවන හෙයිනි. පොල්අතු වහළ සමඟ විශේෂයෙන් ශක්‌තිමත් ගල්ලැහැ පන් පැදුරු වලින් සිවිලිම සකසා ගත හැකිවේ. රටේ බොහෝ පෙදෙස්‌වල සුළු වෙළෙන්දන්ගෙන් සෑහෙන ප්‍රමාණයක්‌ විදුලි පංකාදිය නැතිව උණුසුම අඩු හිතකර පරිසරයක්‌ පවත්වා ගැනීම සඳහා පොල්අතු වහළ හා මැටි බිත්ති යොදාගෙන ඇත. මේ තත්ත්වය සොබා පරිසරවාදී ජාතික කර්මාන්ත දෙකකට මග පාදන්නකි. පළමු වැන්න පොල්අතු විවීම ජාතික කර්මාන්තයක්‌ බවට පත් කර ගැනීමයි. දෙවැන්න පෝරණුවල පුළුස්‌සන ගඩොල් වෙනුවට වඩා ලොකුවට තැනූ නොපිළිස්‌සු මැටි හා පස්‌ මිශ්‍ර ගල්භාවිතයයි.

වහළ සඳහා වියන ලද පොල්අතු භාවිත කිරීමේදී අවුරුදු කීපයක්‌ තබාගත හැකි අයුරින් ඉක්‌මනින් නොදිරන ලෙස සකස්‌ කරගත යුතුව තිබේ. ඒ සඳහා පොල්අතු ඉක්‌මනින් නොදිරන අයුරින් සුදුසු තීන්ත වර්ගයක්‌ යොදා ගත හැකිවේ. බාල ලී වර්ග කලක්‌ පවත්වා ගැනීම සඳහා එම ලී පදම් කර ගන්නාක්‌ මෙන් වේළුණු පොල් අතුද පදම් කරගත හැකිවනු ඇත. උතුරේදී පොල් අතු වෙනුවට තල් අතුද යොදාගත හැකි වේ. දැනටත් බොහෝ සංචාරක හෝටල්වල එළිමහන් විවේක කුටි හා එළිමහන් භෝජනශාලා සඳහා පොල්අතු වහළ යොදා ගන්නා බව දක්‌නට ලැබේ. බේරුවල මොරගල්ල වෙරළ ආශ්‍රිත "බාබේරියන් රීඡ්" හෝටලය මේ සඳහා දැක්‌විය. හැකි එක්‌ උදාහරණයකි. මේ ක්‍රමය දීප ව්‍යාප්ත කිරීමෙන් පරිසර හිතවාදී පොල්අතු විවීමේ ගෘහ කර්මාන්තය ජාතික කර්මාන්තයක්‌ බවට පත් කළ හැකිවේ. පොල් අතුවිවීමට පැදුරු විවීමට තරම් කාලය ගත නොවන හෙයින් වියන ලද පොල් අතු ඉල්ලුම වැඩි කරන පිළිවෙතක්‌ රාජ්‍ය, සමුපකාර හා පුද්ගලික ව්‍යාපාරික ආයතන මගින් දියත් කිරීම කාලීන අවශ්‍යතාවක්‌ වී තිබේ. අවුරුදු උත්සව සඳහා පොල් අතු විවීමේ තරග පැවැත්වෙන්නේ එය ඉක්‌මන් පහසු කටයුත්තක්‌ වන නිසාය. යුද හා නාවික හමුදා මගින් පවත්වන අවුරුදු උත්සවවලදී පොල් අතු විවීමේ තරගවලට සහභාගි වන්නේ පිරිමි හමුදා සෙබළුන්වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තේ වෘත්තීය මට්‌ටමින් පොල් අතුවිවීම ස්‌ත්‍රී පක්‍ෂයට සීමා නොකළ යුතු හෙයිනි. වෘත්තීය පොල් කඩන්නන් හිඟවීම නිසා හිසමත ගෙඩිවැටෙන තත්ත්වයට පත්වී එපා වෙමින් පවත්නා ගෙවතු පොල්වගාව රැකගන්නට දිගහරින හකුළන රිටි යොදා ගැනීම මෙන්ම පොල්කොහු සැකසීමේ හා පොල්අතුවිවීමේ ගෘහ කර්මාන්තය ජාතික කර්මාන්ත මට්‌ටමට නැංවීම බෙහෙවින් ඵලදායක වේ.

බොහෝ කල් පවත්වා ගත හැකි වනසේ පෝරණුවේ පුළුස්‌සා ජීවානුහරණය කරන ලද පිළිස්‌සූ ගඩොල් වෙනුවට මැටි හා පස්‌ මිශ්‍ර කර සාදන ලද නොපුළුස්‌සන ලද ලොකු ගඩොල් භාවිත කිරීමට ජනතාව පෙළඹවීම සඳහා එය ජාතික කර්මාන්තයක්‌ බවට පත් කළ යුතුය. මේ ලිපිය ලියන මා ඉපදී හැදී වැඩුණේ කෙතරම් උෂ්ණාධික කාලයක වුවද උණුසුම් නොවන තාප්ප මැට්‌ටෙන් තනා කපරාරු කළ සිංහල උළුතැබූ නිවසකය. එම නිවසේ එකල පොළවට දමා තිබුණේ සතරැස්‌ ගඩොල් වර්ගයකි. පසුව තැනින් තැන කැඩුණු ඒ සතරැස්‌ ගඩොල් ඉවත් කර පොළවට සිමෙන්ති දැමුවද ගේ තුළ උණුසුම වෙනස්‌ වූයේ නැත. මා අනගාරික දිවිමගට එළඹුණු පසු මගේ සොහොයුරන්ද වෙනම ගෙවල් තනා ගනු ලැබූවෙන් පාළුවට ගිය නිවසේ වහළට වඳුරන්ගෙන් සිදු වු හානි නිසා සිංහල උළු ඉවත් කර රට උළු දමා තිබුණද ගෙතුල උණුසුම එතරම් වෙනස්‌ නොවුයෙන් මගේ හැත්තෑ එක්‌වැනි ජන්ම දිනයේ දෙමාපියන්ටත් ඒ පැරණි නිවස තැන වූ මුත්තණුවන්ටත් පින්පතා සාංඝික දානයක්‌ දුන්නේද ඒ නිවසේමය. එදින දානයට වැඩම කළ පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි (දැන් මහනාහිමි) පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පූජ්‍ය දරණගම කුසලධම්ම නාහිමි, සුප්‍රකට ගිරි භණ්‌ඩ පූජාව මෙහෙය වන පූජ්‍ය තලගල සුමනරතන නාහිමි හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාලය පීඨාධිපති පූජ්‍ය ඕපල්ලේ ඥාණ සිරි හිමි පූජ්‍ය මලේගොඩ හා නන්ද නාහිමි ස්‌වේජින් නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද නාහිමි ආදී හිමිවරුන් අවුරුදු එකසිය හතළිස්‌ ගණනක්‌ පැරණි අපේ තාප්පමැටි මහගෙදර ගැනත් ගෙවත්තේ උද්‍යාන පරිසරය ගැනත් සාක්‍ෂි දරනු ඇත. මා මේ ලිපියට අපේ මහ ගෙදර කථාව එක්‌ කළේ නොපිළිස්‌සූ තාප්ප මැටි නිර්මාණ කෙතරම් ඵලදායක වේද? යන්න පෙන්වාදීම සඳහාය. එම තාප්ප මැට්‌ටෙන් කළ නිවසේ අපි පරම්පරා හතරක්‌ ජීවත් වූයෙමු.

තාප්ප මැට්‌ටෙන් හා මැටි පස්‌ මිශ්‍ර කර තැනු නොපිළිස්‌සු ලොකු ගඩොලින් සාදන ගෙවල් උග්‍රවන පිරිසර අර්බුදයට විසඳුමක්‌ වන්නේ මැටි ගෙවල්වල කාලය අවසන් වී කඩා දැමූ පසු සියල්ල පොළවට එක්‌වන හෙයිනි. වසර දෙදහස්‌ පන්සියයක්‌ තිස්‌සේ අපේ මුතුන් මිත්තන් පිළිස්‌සූ ගඩොලින් ගෙවල් හැදුවා නම් අද වන විට අපට පොල්ගසක්‌ තබා මල්ගසක්‌ වත් සිටුවන්නට තරම් බිමක්‌ ඉතිරි නොවනු නිසැකය. රට එක්‌සේසත් කර රුවන්වැලිසෑය හා ලෝවාමහා ප්‍රාසාදය කරවු දුටුගැමුණු රජතුමාගේ හෝ ලොව ලොකුම ස්‌ථුපය වූ අභයගිරි මහදාගැබ කර වූ වළගම්බා රජතුමාගේ හෝ කලාවැව හා ජයගඟ කර වූ ධාතුසේන රජතුමාගේ හෝ අනුරපුර යුගයේ වෙනත් කිසිම රජකුගේ මාලිගාවක නටබුන් සොයා ගන්නට එච්. සී. පී. බෙල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ආදී පුරාවිද්‍යාඥයින්ට නොහැකි වූයේ ඒ රජවරු කිසිවෙකු පිළිස්‌සු ගඩොලින් ලොකු මාලිගා නොතැනූ නිසාය. ඒ සත්‍යය මත පදනම් වූ ඓතිහාසික ප්‍රකාශය වන්නේ " මාගේ" මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්‌තිථිය උදෙසා වේ." යෑයි ප්‍රකාශ කළ දුටු ගැමුණු රජතුමාගේ සුප්‍රකට කියමනයි. වත්මන් පරපුරට අයත් දේශප්‍රේමී, ජාතී හිතෛෂී, ජනහිතකාමී, ජීව හිතවාදීන් දුටු ගැමුණු ආදර්ශය පිළිගන්නේ නම් පුංචි ලංකා භූමිය පිළිස්‌සූ ගඩොලින් හා කොන්ක්‍රීට්‌වලින් නොවසා මැටිපස්‌ මිශ්‍ර නොපිළිස්‌සූ ලොකු ගඩොලින් ගෙවල් තැනිය යුතුය. පුළුස්‌සන ගඩොල් සඳහා ගන්නා මැටි හිඟවී ඇති නිසා පරිසර අර්බුදයට මුහුණ දීමට ඇති හොඳම විසඳුම වන්නේ මැටි පස්‌ මිශ්‍ර නොපුළුස්‌සන ලොකු ගඩොල් කර්මාන්තයයි. රටපුරා හැම තැනම පස්‌ තිබෙන නිසා නොපුළුස්‌සන පස්‌ මැටි මිශ්‍ර ලොකු ගඩොල් කර්මාන්තය සොබා පරිසරවාදී අනාගතය නියෝජනය කරන මහා ජාතික කර්මාන්තයක්‌ බවට පත් කර ගත හැකි වේ. එය කොන්ක්‍රීට්‌ විමාන නිසා ගිනියම් වන ලොවක වෙසෙන සැමටම ආදර්ශයක්‌ වනු නිසැකය. ලොව පුරා හැම රටකම පාහේ (වැලිකාන්තාර හැර) පස්‌ තිබෙන නිසාත් පස්‌වලින් තනන ගොඩනැඟිලි කල් ඉකුත් වූ පසු යළි පසටම එක්‌වන නිසාත් එසේ පස්‌ අවසන් නොවනවා මෙන්ම පස්‌වලින් තනන නොපුළුස්‌සන ලොකු ගඩොල් කර්මාන්තයද අවසන් නොවේ. ශ්‍රී ලංකාවට උචිත ලොවට ආදර්ශයක්‌ වන කර්මාන්ත පද්ධතියක්‌ ගැන ලියෑවෙන තුන්වැනි ලිපියට ඉඩ තබමින් මේ ලිපිය මෙසේ අවසන් කරනු ලැබේ. 

අනගාරික ධර්මසේකරතුමා

Post a Comment

0 Comments