මෙරට වයස අවුරුදු 19 ට අඩු ගැහැනු දරුවන්ගෙන් සියයට 5.3 ක් අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ලක් වේ."
"අනවශ්‍ය ගැබ් ගැනීමේ හේතුවෙන් ගබ්සාවන් සිදු කර ගන්නා ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී."
මේ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් මෙරට සිදු කරන ලද සමීක්‌ෂණයකදී අනාවරණය කර ගත් කරුණු කිහිපයකි.
පාසල් යන වයස්‌වල පසුවන ගැහැනු දරුවන්ගෙන් ඇතැමෙකු තම පෙම්වතුන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම නිසාද, තවත් සමහරෙක් දූෂණයට ලක් වීම නිසාද මෙසේ අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ලක් වන බව අනාවරණය වී තිබේ. මෙහි ඇති අහිතකර ප්‍රතිවිපාකයන් වනුයේ එසේ අනවශ්‍ය ගැබ් ගැනීමට ලක් වූ ගැහැනු දරුවන් දරු ගැබක් දරා ගැනීමේ හැකියාවකින් යුතු නොවීම මත එම දරුවාගේ මෙන්ම මවගේද සෞඛ්‍ය අනතුරුදායක මට්‌ටමකට පත් වීමයි.
මෙවැනි අනවශ්‍ය ගැබ් ගැනීම් ගබ්සාවලින් අවසන් වන අවස්‌ථා මෙන්ම එසේ සිදු කර ගන්නා ගබ්සාවන් අනාරක්‌ෂිත ඒවා වීම හේතුවෙන් එම අනවශ්‍ය ගැබ් ගැන්වීම්වලට ලක්‌වූ ගැහැනු දරුවන්ගේ ගර්භාෂයට හානි පැමිණීම, අනවශ්‍ය ගැබ් ගැනීම් හේතුවෙන් ගැහැනු දරුවන් සිය දිවි නසා ගැනීමට පෙළඹීම මෙහි ඇති අහිතකර ප්‍රතිවිපාකයන්ය. මෙම තත්ත්වය මත පෙර නොවූ විරූ අයුරින් මෙරට ගැහැනු දරුවන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව පෙනී යයි.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 10-19 අතර වයස් කාණ්‌ඩයේ පසු වන ගැහැනු දරුවන් නව යොවුන් වියෙහි පසුවන්නන් ලෙස සැලකෙන අතර එවැනි ගැහැනු දරුවකු අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක් වීම එම දරුවාගේ මෙන්ම උපත ලැබීමට නියමිත දරුවාගේ ළමා අයිතීන් උල්ලංඝනය කිරීමක් සේද සැලකේ.
මෙහිදී ගැහැනු දරුවන් සිටින දෙමවුපියන්ට එම දරුවන්ගේ ගුරුවරුන්ට විශාල වගකීමක් පැවැරේ. එනම් වයස අවුරුදු 10-19 වයස් කාණ්‌ඩයේ පසු වන ගැහැනු දරුවකු පෙම්වතෙකු ඇසුරු කරන්නේද? ඇය එම පෙම්වතා සමඟ අනිසි ඇසුරකට යොමුවී ඇත්ද යන්න පිළිබඳව විමසිලිමත්ව සිටීමයි. මෙය කාලීන අවශ්‍යතාවක් බවට පත් වෙමින් පවතිනුයේ තම පෙම්වතා සමඟ ලිංගික ඇසුරකට යොමු වීමෙන් නැතහොත් ඔහු අතින් දූෂණය වීමෙන් ගැහැනු දරුවෙකු අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක් වීමට ඉඩකඩ පැවැතීම හේතුවෙනි.
තම පාසල් යන දියණිය නිසි පරිදි පාසලට යන්නේද? එහි අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු කරන්නේද? පාසල් වේලාවෙන් පසු අමතර පංති සඳහා නිසි පරිදි සහභාගි වන්නේද? ඇය පාසල් වෙලාව තුළ පංති මඟහැර වෙනත් ගමන් යන්නේද? යන්න සෑම දෙමවුපියකු විසින්ම සොයා බැලිය යුතු තත්ත්වයක් වර්තමානයේ උද්ගතව පවතී. අනෙක් අතට දෙමවුපියන් තම දියණියන්ගේ යහළුවන් වශයෙන් ක්‍රියා කරමින් ඔවුනගේ අවශ්‍යතාවන් සොයා බැලීමත් ඔවුන් නොමඟට යැම වැළැක්‌වීම සඳහා නිසි උපදෙස් නිකුත් කිරීමත් අතිශයින් වැදගත් වේ.
ගුරුවරයාද තම පාසල් සිසුවියන් පාසලේ ඉගෙනුම් කටයුතුවල නිරත වන්නේද? වෙනත් පිරිමියකු සමඟ සම්බන්ධකම් පවත්වන්නේද? යන්න පිළිබඳව විමසිලිමත් විය යුතුය.
එහෙත් වර්තමානයේ මෙසේ දෙමවුපියන් මෙන්ම ගුරුවරුන්ගෙන් වැඩි දෙනකු මෙම කරුණු ගැන අවධානය යොමු කරනු දක්‌නට නොලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස එහි අවාසනාවන්ත ගොදුරු බවට පත් වනුයේ ගැහැනු දරුවන්ය.
වයස අවුරුදු 10-19 අතර පසුවන මෙරට ගැහැනු දරුවන්ගෙන් ඇතැමෙකු තම පෙම්වතා හඳුනන පුද්ගලයන් නැතහොත් තම පවුලේම ඥතියෙකු අතින් දූෂණයට ලක් වනුයේ ඔවුනට නිවසේදී මෙන්ම පාසලේදීත් ලැබිය යුතු රැකවරණය නොලැබී යැම හේතුවෙනි.
මෙසේ දූෂණයට ලක් වූ ඇතැම් ගැහැනු දරුවන් එම සිද්ධිය පවුලෙන් වයන් කරමින් තවදුරටත් තමා අතවරයට පත් කළ තැනැත්තන් සමඟ ඇසුරක් පැවැත්වීමටද ඉඩ තිබේ. මෙහිදී එවැනි දැරියක් ගැබ් ගැනීමකට ලක්‌ව දරුවෙකු ප්‍රසූත කිරීම මෙන්ම අනාරක්‌ෂිත ගබ්සාවක් හරහා එම දරු ගැබ විනාශ කිරීමද ගැහැනු දරුවාගේ ජීවිතය අවදානම් තත්ත්වයකට පත් කරනා සිද්ධීන්ය. වර්තමාන සමාජය තුළ වැඩි වෙමින් පවතිනුයේද මෙම තත්ත්වයයි.
වෛද්‍ය මතයට අනුව වයස අවුරුදු 10 සිට 19 දක්‌වා වයස් තත්ත්වයේ ගැහැනු දරුවකු අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක්‌ව දරුවා ප්‍රසූත කිරීමට යොමු වුවහොත් වයස අවුරුදු 20 සිට 24 දක්‌වා වයස්‌වල පසුවන තරුණියකට උපත ලබන දරුවෙකුට වඩා දැරිය බිහි කරන දරුවා මියයැමේ හැකියාව දෙගුණයකින් වැඩිය. එසේම එවැනි දරුවන් නොමේරූ තත්ත්වයේ උපත ලැබීමේ හැකියාවද ඉහළ මට්‌ටමක පවතින අතර නීරක්‌තිය හා ශ්වසන අපහසුතා සහිතව උපත ලැබීමේ හැකියාවද ඉහළ බව වෛද්‍යවරු පවසති.
මෙහිදී වැදගත්ම කර්තව්‍ය වනුයේ ගැහැනු දරුවන් මෙවැනි අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක් වීමෙන් වැළැක්‌වීමයි. එසේ අනවශ්‍ය ගැබ් ගැනීමකට යම් හෙයකින් ගැහැනු දරුවකු ලක් වුවහොත් එවැනි අවස්‌ථාවකදී ආරක්‌ෂිත ගබ්සාවක් කරා යොමු වීමට එම දැරියන්ට නීතියෙන් අවසරය ලබා දිය යුතු බවට මේ වන විට වෛද්‍යවරුන් මෙන්ම ළමා ක්‍රියාකාරීන් අතර මතයක් ගොඩනැඟෙමින් පවතී.
එවැනි ආරක්‌ෂිත ගබ්සාවකට දැරියන් යොමු වීමට අවශ්‍ය පහසුකම් නීතියෙන් සලසා දී නොතිබීම හේතුවෙන් එවැනි දැරියන් පිහිට පතා යනුයේ හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති අනාරක්‌ෂිත ගබ්සා මධ්‍යස්‌ථානයන් වෙතය.
එවැනි අනාරක්‌ෂිත ගබ්සා මධ්‍යස්‌ථානයන් හරහා සිදු කෙරෙන ගබ්සාවන් සඳහා භාවිත කරන අනාරක්‌ෂිත උපකරණ හේතුවෙන් ගැහැනු දරුවාගේ ගර්භාෂයට හානි පැමිණීමත් ඇතැම් විට එච්අයිවී/ඒඩ්ස් වැනි සමාජ රෝගවල විෂබීජ ශරීරයට ඇතුළු වීමටත් ඉඩකඩ පවතින බව අනාවරණය වී තිබේ.
මෙසේ අනාරක්‌ෂිත ගබ්සාවන්ට යොමු වී ඒවා වැරැදීමෙන් ඇති වුණ රුධිර වහනයන් හේතුවෙන් රෝහල්ගත කෙරෙන ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාවද විශාල බව වෛද්‍යවරු පෙන්වා දී තිබේ.
මෙය කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ගැටලුවක් වී ඇත්තේ මේ හේතුවෙනි. එක් අතකින් ගැහැනු දරුවා වයස අවුරුදු 10-19 අතර වයස්‌වලදී ගැබ් ගැනීමට ලක්‌වීමෙන් වැළැක්‌විය යුතුය. අනෙක් අතින් අපචාරයකට හෝ අනියම් ඇසුරකට ගොදුරු වීමෙන් ගැහැනු දරුවෙකු ගැබ් ගතහොත් එය ආරක්‌ෂිත අයුරින් ගබ්සා කිරීමට අවශ්‍ය පහසුකම් රාජ්‍ය මට්‌ටමින් සලසා දිය යුතුව ඇත. එවැනි පහසුකම් නොමැතිවිට ගැහැනු දරුවා යොමු වනුයේ අනාරක්‌ෂිත ගබ්සාවන් සිදු කර ගැනීමට බව අමුතුවෙන් කිව යුතු නොවේ.
දිවයින පුරා හතු පිපෙන්නාක් මෙන් බිහිවෙමින් පවතින අනාරක්‌ෂිත ගබ්සා මධ්‍යස්‌ථානයන් වටලා ඒවා වසා දමන මට්‌ටමින් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමද අද කාලීන අවශ්‍යතාවක් වී තිබේ.
වර්තමාන සමාජය නවීන තාක්‌ෂණයේ දියුණුවත් සමඟම අතිශයින්ම සංකීර්ණ වී තිබේ. ෙµaස් බුක්, ට්‌විටර් ඇතුළු සමාජ වෙබ් අඩවි හේතුවෙන් පාසල් යන වියේ පසුවන ගැහැනු දරුවන්ටද නොයෙක් මාදිලියේ යහළු යෙහෙළියන් හඳුනා ගැනීමට ඔවුන් ඇසුරු කිරීමට හැකි වාතාවරණයක් අද නිර්මාණය වී තිබේ. ඇතැම් විට ඔවුන්ට ඇසුරු කිරීමට සිදු වනුයේ තම පියා හෝ සීයාගේ වයස්‌වල පසුවන වැඩිහිටි පුද්ගලයන්ය.
මෙවැනි මිතුරුකම්වල අවසානය ඔවුන් හදිසි පෙම්වතුන් වී අනිසි ඇසුරකට යොමු වීමයි. එසේත් නොමැති නම් එම වැඩිහිටියන් අතින් එම ගැහැනු දරුවන් බලහත්කාරයෙන් දූෂණය වීමයි. මෙවැනි තත්ත්වයන්ගෙන් හට ගන්නා මානසික පීඩනය මත එම දැරියන් අතර සියදිවි නසා ගැනීමට පෙළඹෙන අයද සිටිති.
මෙම තත්ත්වයන්ට අනුව පෙනී යනුයේ වත්මන් ගැහැනු දරුවා දැඩි ආනාරක්‌ෂිත තත්ත්වයක පසුවන බවයි. 2012-2013 වසරවල සිදු කරන ලද ජාතික යෞවන සෞඛ්‍ය සමීක්‌ෂණයට අනුව වයස අවුරුදු 15-19 අතර වයස් කාණ්‌ඩවල පසුවන ගැහැනු දරුවන්ගෙන් සියයට 8.3 ක් සියදිවි නසා ගැනීමට දැඩි සේ පෙළඹෙන තත්ත්වයක් පවතින බවය.
මෙම තත්ත්වයන් වළක්‌වා ගැහැනු දරුවන්ගේ අනාගතය සුරක්‌ෂිත කර ඔවුන් සමාජයේ ඵලදායී ආයෝජනයන් කිරීම මෙරට බලධාරීන් සතු යුතුකම මෙන්ම වගකීමද වේ.
ඒමන්ති මාරඹේ
0 Comments